ඊබ්‍රා­හිම්ගේ තඹ කර්මාන්ත ශාලාවේ සැක­ක­රු­වන්ට ඇප දුන්නේ ජරාව කාලද? | සිළුමිණ

ඊබ්‍රා­හිම්ගේ තඹ කර්මාන්ත ශාලාවේ සැක­ක­රු­වන්ට ඇප දුන්නේ ජරාව කාලද?

පාස්කු ඉරිදා ප්‍රහාර මාලාවේ මහ මොළකරුවන් අතර දෙමටගොඩ මහවිල උද්‍යානයේ ඊබ්‍රාහිම් පවුල සුවිශේෂීය. එම පවුලට දැවැන්ත දේශපාලන සම්බන්ධකම්ද පැවැතිණි. සහරාන් පෝෂණය කළේත් ඔවුන්ය. ප්‍රභුවරු ලෙස සමාජයේ ඉහළින්ම වැජඹුණු ඊබ්‍රාහිම් පවුලේ වෙස් මුහුණු ගැලවෙන්නේ පිපිරීම් මාලාවත් සමඟානි. පොලිසිය ඒත් එක්කම ඔවුන්ට අයත් ව්‍යාපාරික ස්ථාන වැටලුවේය. බැංකු ගිණුම් තහනම් කළේය. ඊබ්‍රාහිම් පවුලට ගෑවුණු බොහෝ පිරිසක් අත්අඩංගුවටද ගත්තේය.

 

ඊබ්‍රාහිම් පවුලට අයිතියක් ඇති තඹ කර්මාන්ත ශාලාවක් වැල්ලම්පිටිය පැත්තේ තිබිණි. කොළඹ අපරාධ කොට්ඨාසයේ දැනුම් දීමකට අනුව වැල්ලම්පිටිය පොලිසිය එ් කර්මාන්ත ශාලාව වටලා එය සිය භාරයට ගන්නේ පාස්කු ප්‍රහාරයෙන් පැය 24ක් ඉක්ම යන්නටත් මත්තෙනි. කර්මාන්ත ශාලාවේ ඒ වන විටත් සේවයේ නිරතව සිටි මුස්ලිම් ජාතික සේවකයන් 10 දෙනෙකුද පොලිසිය අත්අඩංගුවට ගත්තේය. පොලිසිය මාධ්‍යට කීවේ පාස්කු ප්‍රහාරයේ පුපුරාගිය බෝම්බ සකස් කළේ එම කර්මාන්ත ශාලාවේදී බවය. අත්අඩංගුවට ගත් සේවකයන් හඳුන්වනු ලැබුවේ බෝම්බ නිෂ්පාදනයට හවුල් වූ අය ලෙසිනි.

දෙස් විදෙස් මාධ්‍යවලින් ඊට විශාල ප්‍රචාරයක්ද ලැබිණි. එම තඹ කර්මාන්ත ශාලාව මේ වන විටත් ප්‍රවෘත්ති මවන මැෂිමක් බවට පත්ව හමාරය. ඒ වෙන කිසිවක් නිසා නොව, එදා අත්අඩංගුවට ගත් සැකකරුවන් 10 දෙනාගෙන් 09 දෙනෙකුවම අධිකරණය මඟින් ඇප මත නිදහස් කර ඇති බැවිනි. ඒ ඔවුන්ව අධිකරණයට ඉදිරිපත් කරන්නේ ඇයිදැයි කියාවත් පොලිසිය නොදැන සිටි බැවිනි.

 

විශ්‍රාමික පොලිස් අධිකාරීවරයා

ඒ ගැන සමාජයේ දැඩි කතාබහක් ඇති වීමත් සමඟ වැඩබලන පොලිස්පති සී. ඩී. වික්‍රමරත්න ඒ ගැන සොයා බැලීමේ වගකීම පවරන්නේ විශේෂ විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්පති මෙවන් සිල්වාටය. ඒ සම්බන්ධයෙන් කෙරුණු දීර්ඝ විමර්ශනයකින් පසු එහි අතුරුවාර්තාවක් මේ වන විට වැඩ බලන පොලිස්පතිවරයා වෙත ඉදිරිපත් කර හමාරය. එකී අතුරු වාර්තාවේ සඳහන් වන ආකාරයට අනුව වැල්ලම්පිටිය පොලිසිය එම වැටලීම කළ අවස්ථාවේ සිටම ක්‍රියා කර ඇත්තේ වැරදි ආකාරයෙනි. ඒ පිටුපස යම් නොපෙනෙන හස්තයක්ද ක්‍රියාත්මකව තිබී ඇත. විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකුගෙන්ද පොලිසියට බලපෑම් එල්ල වී තිබී ඇති බව සඳහන්ය.

එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන්ට විදෙස්ගත වීමට පොලිස් සහතික ලබාදීමක් සම්බන්ධයෙන් වැඩ තහනමකටද ලක්ව ඇති එකී විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා මුස්ලිම් ජාතිකයෙකි. ඔහු පෙනී සිට ඇත්තේ ඊබ්‍රාහිම් පවුල වෙනුවෙනි. එම පවුල අහිංසක පවුලක් ලෙස හඳුන්වා දෙමින් අත්අඩංගුවට ගත් පිරිස මුදා හැරීමට ලොකු බලපෑමක්ද ඔහු කර ඇත. මුදලට පොලිස් නිලධාරීන් බිලි බා ගැනීමට දක්ෂයෙකු ලෙස හඳුනාගෙන ඇති එ් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා වැල්ලම්පිටියේ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු සිය ගොදුර කර ගත්තේදැයි ඇත්තේ ගැටලුවකි.

පොලිස් විශේෂ විමර්ශන ඒකකයේ පරීක්ෂණවලින් හෙළි වී ඇති ආකාරයට තඹ කර්මාන්ත ශාලාවෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කිරීම් සීමා වී ඇත්තේ පැමිණිලි සටහන් පොතේ පේළි කිහිපයකට පමණි. සැකකරුවන් 10 දෙනාගේම ප්‍රකාශ පැයක් වැනි කෙටි කාලයක් තුළ සටහන් කර අවසන් කර 22 වෙනිදා ඔවුන්ව අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයටද ඉදිරිපත් කර ඇත්තේය. එහිදී ඒ සියලුම සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරෙන්නේ මැයි 06 වැනිදා දක්වාය. එදින අධිකරණය හමුවේ පොලිස් ස්ථානාධිපති හෝ ඒ හා සමාන වගකිව යුතු කිසිදු නිලධාරියකු පෙනී සිටියේ නැත. ඒ වෙනුවට අධිකරණය හමුවට යන්නේ එම අත්අඩංගුවට ගැනීම ගැන කිසිවක් නොදත් පොලිස් කොස්තාපල්වරයකු පමණි. ඒ බව හෙළි කරන්නේ පොලිස් විශේෂ විමර්ශන ඒකකයයි.

ඒ සියල්ල හොඳින් නිරීක්ෂණය කළ විශේෂ විමර්ශන ඒකකය පොලිස්පතිවරයාට සිය අතුරු වාර්තාවෙන් නිර්දේශ කරන්නේ වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයාත් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාත් සැකකරුවන්ගේ කටඋත්තර ලියූ සැරයන්වරයාත් වැඩ තහනමට ලක් කළ යුතු බවය.

 

තඹ තොගය පැටවීම

එහිදී විශේෂ විමර්ශන ඒකකයේ විශේෂ අවධානයකට යොමු වී ඇත්තේ තඹ කර්මාන්ත ශාලාවේ තිබුණු කෝටි ගණනක් වටිනා භාණ්ඩ තොගයක් ජනතා විරෝධය මත වැල්ලම්පිටිය පොලිසියේ ආරක්ෂාවක් සහිතව කන්ටේනර් හයක පටවා එම ස්ථානයෙන් ඉවත් කිරීමක් ගැනය. එම භාණ්ඩ ඉවත් කිරීමට විරෝධය දක්වමින් එය හෙළි කිරීමට මුල් වුණු කිහිප දෙනෙකුට පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කර ඇති තර්ජනය කිරීමක් ගැනද විශේෂ විමර්ශන ඒකකයට මේ වන විට තොරතුරු ලැබී හමාරය. අධිකරණ නියෝගයකින් තොරව එසේ තඹ කර්මාන්ත ශාලාවේ තිබුණු භාණ්ඩ සංවිධානාත්මකව පිට කිරීම සම්බන්ධයෙන්ද මේ වන විට විශේෂ විමර්ශන ඒකකයේ අවධානයට යොමු වී ඇත. ඒ ගැනද බොහෝ සැඟවුණු තොරතුරු අවසන් වාර්තාවෙන් එළියට එනු ඇත.

වැල්ලම්පිටිය පොලිස් ස්ථානාධිපතිවරයා අධිකරණ සේවා කොමිසමට යන්නේ මේ අතරතුරදීය. අධිකරණ සේවා කොමිසමෙන් ඔහු ඉල්ලා සිටින්නේ සැකකරුවන් 09 දෙනාට අධිකරණය විසින් ඇප ලබාදීම සම්බන්ධයෙන් ස්වාධීන විමර්ශනයකි. ඒ සැකකරුවන්ට ඇප ලබාදීම සම්බන්ධයෙන් අධිකරණයට අභියෝගයක් කරමිනි. ඒ අනුව ඉදිරියේදී අධිකරණ සේවා කොමිසම විසින් කරනු ලබන විමර්ශනයේදීද බොහෝ තොරතුරු හෙළි වනු ඇත.

Comments