සුපිරි හෝටල් රකින කොමාන්ඩෝ සුන­ඛයෝ | සිළුමිණ

සුපිරි හෝටල් රකින කොමාන්ඩෝ සුන­ඛයෝ

* සුන­ඛ­යන් හෝටල් ආර­ක්ෂා­වට යෙදී­මෙන් විදේ­ශි­ක­යන් අතර ආර­ක්ෂාව පිළි­බඳ දැඩි විශ්වා­ස­යක්
* ඉවෙන් උප­රිම දක්ෂතා පෙන්වන්නේ මෙහෙ­ය­වන සෙබ­ළාගේ දක්ෂ­තාව අනු­වයි
* ඇතැම් හෝට­ල්ව­ලින් සුන­ඛ­යන්ට වායු සමනය කළ කුටි

පාස්කු දින ම්ලේච්ඡ ප්‍රහා­ර­යත් සමඟ පොලි­සිය සහ ත්‍රිවිධ හමු­දාව රට­පුරා ආර­ක්ෂාව තර කිරී­මට පෙරට එද්දී ඊට මනා සහා­යක් දක්ව­න්නට වූයේ සුන­ඛ­යන්ය. ඒ, එසේ-මෙසේ සුන­ඛ­යන් නොව අස­ම­සම හැකි­යා­වෙන් යුත් ආර­ක්ෂක අංශ සතු සුනඛ විරු­වන්ය. පුපු­රණ ද්‍රව්‍ය සෝදිසි කිරීම්, අප­රා­ධ­ක­රු­වන් අත්අ­ඩං­ගු­වට ගැනී­මට, මුර රාජ­කා­රි­යට යුහු­සු­ලුව ක්‍රියා­ත්මක වන සුන­ඛ­ය­න්ගෙන් සම­න්විත 'වෝ ඩොග්' නමින් හඳු­න්වන යුද­මය ක්‍රියා­න්වි­ත­ව­ල­ටම විශේ­ෂ­යෙන් පුහුණු කළ කොමාන්ඩෝ රෙජි­මේ­න්තුව සතු කැනල් 9 හෙවත් කේ9 ඒක­කයේ සුන­ඛ­යන් කොළඹ නග­ර­යට රැගෙන ආවේ ප්‍රහා­රය එල්ල වූ සැණිනි.

යුද හමුදා මාණ්ඩ­ලික ප්‍රධානී, කොමාන්ඩෝ රෙජි­මේන්තු අධි­පති මේජර් ජෙන­රාල් ශවේන්ද්‍ර සිල්වාගේ උප­දෙස් මත කොමාන්ඩෝ බළ­සේ­නා­ධි­පති කර්නල් අනිල් සම­ර­සිරි, රෙජි­මේන්තු මූල­ස්ථාන සේනා විධා­යක කර්නල් ශ්‍යාමල් සිල්වා සහ කැනල් 9 සුනඛ ඒක­කය බාර හත­ර­වැනි කොමාන්ඩෝ රෙජි­මේන්තු අණ­දෙන නිල­ධාරි ලුති­නන් කර්නල් උපුල් පිල­පි­ටි­යගේ මෙහෙ­ය­වී­මෙන් කේ9 කණ්ඩයේ නිලධාරී අණ­දෙන මේජර් ශිරන්ත අල­හ­කෝන් සිය සුනඛ කණ්ඩා­යම රැගෙන පැමි­ණියේ කොළඹ නග­රයේ තරු පන්තියේ හෝටල් සහ සියලු මර්ම­ස්ථා­න­වල ආර­ක්ෂාව තහ­වුරු කිරී­ම­ටය.

ප්‍රහා­රය එල්ලවූ දින පටන් මේ සුන­ඛයෝ අඛ­ණ්ඩව ආර­ක්ෂක මෙහෙ­යුමේ යෙදෙති.

මේ වෙද්දී සුන­ඛ­යන් 15කට අධික සංඛ්‍යා­වක් කොළඹ මර්ම­ස්ථාන ආරක්ෂා කිරීම සඳහා යොදවා ඇතැයි මේජර් අල­හ­කෝන් පව­සයි.

"අපේ සුන­ඛ­යන් පුපු­රණ ද්‍රව්‍ය පිළි­බඳ විශේෂ පුහු­ණුක් ලබා තියෙ­නවා. කේ9 සුනඛයෝ කියන්නේ විශේෂම රාජකාරියකට පමණක් එළියට ඒන පිරිසක්. උන් බොහෝ විට සැඟවිලයි සිටින්නේ. විශේ­ෂ­යෙන් විදේ­ශීය සංචා­ර­ක­යන්ට කිසිදු ලෙසක බාධා­වක් නොවන ලෙසයි සුන­ඛ­යන් යොදවා පරීක්ෂා කිරීම් කරන්නෙ. සාමා­න්‍ය­යෙන් අපේ සුන­ඛ­ය­කුට හසු නොවී ගිනි පෙට්ටි­ය­ක්වත් ගෙනි­යන්න බැහැ. විදේ­ශි­ක­යන් සුන­ඛ­යන් යොදවා කරන රාජ­කා­රිය ගැන දැඩි විශ්වා­ස­ය­කින් සිටින්නෙ. ඔවුන් කියන්නෙ සුන­ඛ­යන් කරන පරීක්ෂා කිරීම් සිය­යට සිය­යක් නිවැ­රැ­දියි කියායි. එසේම විදේ­ශි­ක­යන් සුන­ඛ­යන්ට දක්වන්නෙ පුදුම ළැදි­යා­වක්. එය අපේ රාජ­කා­රි­යට සෑහෙන පහ­සු­වක්. අපේ සුන­ඛ­යන් රැඳී සිටින්නේ හෝට­ල්ව­ලට ඇතු­ළු­වන ආලි­න්ද­යේයි.

කොමාන්ඩෝ රෙජි­මේ­න්තුව සතු පුපු­රණ ද්‍රව්‍ය සෙවී­මෙහි අති­දක්ෂ ෆ්‍රෑන්ක්, ටීෂා, සැන්ඩි, ලෙග්ස්, අග්නි වැනි කී නොකී නම්ව­ලින් යුත් සුනඛ කණ්ඩා­ය­ම­කින් සැදු­ම්ලත් එම පිරිසේ කළු පැහැති ෆ්‍රෑන්ක් සුන­ඛයා අපට මුණ ගැසුණේ ගෝල්ෆේස් අවට තරු හෝට­ල­යක ආලි­න්දයේ රාජ­කා­රිය අත­ර­තුර ගිමන් හරි­මින් සිටි­ය­දීයි. ඒ මොහො­තේද විදේ­ශි­කයෝ ෆ්‍රෑන්ක් සමඟ සෙල්ෆි ඡායා­රූප ගනි­මින් ඌ අත­පත ගාමින් සිටි­යහ. මේ දින­වල මෙරට පම­ණක් නොව ලෝක­යේද ෆ්‍රෑන්ක් ජන­ප්‍රිය සුන­ඛ­යෙකි. ඒ ප්‍රහා­ර­යත් සමඟ 'ඇමෙ­රි­කා­වත් පුදුම කළ සුන­ඛයා' ලෙස බොහෝ විදෙස් මාධ්‍ය­යද ෆ්‍රෑන්ක් ගැන කතා කළ හෙයිනි. වයස අවු­රුදු දෙක­කට ආසන්න කාල­යක් ෆ්‍රෑන්ක් මෙහෙ­ය­වන කෝප්‍රල් රත්නා­යක එම සිද්ධිය පැහැ­දිලි කළේ මෙසේය.

"ප්‍රහා­ර­යෙන් දින දෙක­කට පස්සෙ යුනි­යන් ප්ලේස්වල තියෙන සුපිරි හෝට­ල­ය­කින් පරී­ක්ෂා­වක් කරන්න කියා අපේ ඉහළ නිල­ධා­රි­න්ගෙන් ඉල්ලී­මක් කර තිබුණා. අපි ගිහින් සුන­ඛයා යොදවා කාමර පරීක්ෂා කළා. එහෙම කාමර පහ­ළො­වක් විස්සක් විතර පරීක්ෂා කළා. එක් කාම­ර­ය­කට ගොස් රෙදි ගොඩක් ළඟ ෆ්‍රෑන්ක් නතර වුණා. මම ඌ එතැ­නින් අර­ගෙන නැව­තත් පරී­ක්ෂා­වට යොමු­කළා. ඌ ආයෙත් එතැ­නම වාඩි­වුණා. පස්සෙ හෝටල් බල­ධා­රින් දැනු­ව­ත්කොට අදාළ කාම­රයේ සිටින අය ගැන විම­සුවා. ඔහු ඇමෙ­රි­කන් ජාති­ක­යෙක්. පුපු­රණ ද්‍රව්‍ය සෙවීමේ විශේ­ෂ­ඥ­යෙක්. ඇමෙ­රි­කන් තානා­පති කාර්යා­ල­යෙ­නුයි ගෙන්වා තිබුණේ. ඒ අතරේ සුන­ඛයා වාඩි වූ තැන පරීක්ෂා කළා. වයර් කෑලි සමඟ උප­ක­ර­ණ­යක් හමු­වුණා. එය පුපු­රණ ද්‍රව්‍ය හඳු­නා­ගැ­නීමේ උප­ක­ර­ණ­යක්. කොහො­ම­හරි එහි පියවි ඇසට නොපෙ­නෙන ප්‍රමා­ණ­යක පුපු­රණ ද්‍රව්‍ය ගෑවිලා. ෆ්‍රෑන්ක්ට ඉව වැටුණේ ඒ ප්‍රමා­ණ­ය­ටයි. පස්සෙ ඇමෙ­රි­කන් ජාති­ක­යන් ඇවිත් සුන­ඛ­යාගේ ඉව ගැන පුදුම වුණා."

කොමාන්ඩෝ රෙජි­මේ­න්තුව සතු අගනා වස්තු­වක් සේ සල­කන මෙරට සුනඛ ඉති­හා­සයේ වාර්තා­ගත සුන­ඛ­යකු වූ ටීෂා නමැති සුනඛ ධේනු­වද එහි සිටි­යාය. 2015 වස­රේ­දීද ටීෂාට මාධ්‍ය ඉඩ වෙන්වූයේ කොමාන්ඩෝ රෙජි­මේ­න්තුවේ මේජර් සිර­න්ජීව ටීෂා බඩේ බැඳ අඩි හාර­ද­හ­සක පමණ ඉහළ අහසේ සිට පැර­ෂු­ටය ආධා­ර­යෙන් බිමට පතිත වෙමින් වාර්තා තැබූ නිසාය. ඉතාම කීකරු සුන­ඛ­යකු වන ටීෂා ඇතැම් විදේ­ශි­ක­යන්ටද බොහෝ ළෙන්ගතුකම් පායි.

දින ගණ­නා­වක් පුරා කොළඹ නග­රයේ රැඳෙ­මින් සුන­ඛ­යන් සිදු කරන්නෙ භාර­දූර කාර්ය­යකි. සුන­ඛ­යන්ට සේම උන් මෙහෙ­ය­වන සෙබ­ළු­න්ටද එය දැඩි වෙහෙ­සකි. එහෙත් සුන­ඛ­යන් වෙනු­වෙන් හෝට­ල්ව­ලින්ද උප­රීම පහ­සු­කම් සපයා තිබේ. අපට හමුවූ තරු හෝට­ල­යක බල­ධා­රි­යෙක් කීවේ,

"සුන­ඛ­යන් හෝට­ල්වල ආර­ක්ෂා­වට යෙදී­මෙන් සංචා­ර­ක­යන්ට ලොකු විශ්වා­ස­යක් ඇති­වෙලා තියෙ­නවා ආර­ක්ෂාව ගැන. උන්ගෙ රාජ­කා­රිය ඉතාම නිවැ­රැ­දිව සිදු වන බවයි බොහෝ සංචා­ර­ක­යන් පව­සන්නෙ. අපි මේ නිල­ධා­රින් සහ සුන­ඛ­යන් කරන කාර්ය­භා­රය බොහෝ අගය කර­නවා." යනු­වෙනි.

සුන­ඛ­යන් වෙනු­වෙන් ඇතැම් හෝට­ල්වල වෙන­මම වායු සමී­ක­ර­ණය කළ කුටිද ස්ථාපි­ත­කොට තිබෙනු දක්නට ලැබිණි. ඇතැම් හෝටල් මේ සතුන්ට ආහා­ර­පාන සැප­යී­මට ඉදි­රි­පත් වුවත් උන්ටම වෙන්වූ පෝෂ­ණ­යෙන් අනූන කේ9 සුනඛ අංශ­යෙන් සප­යන ආහාර පම­ණක් සප­යන බව මේජ­ර්ව­රයා අපට කීවේය. සුන­ඛ­යන්ගේ සාමාන්‍ය දින චර්යාව හා ක්‍රියා­න්විත සඳහා උන් පුහුණු කරන කොමාන්ඩෝ කේ9 සුනඛ ඒක­කය ගැනත් මේජර් සිරන්ත පැහැ­දිලි කළේය.

"අපේ ඒක­කයේ සුන­ඛයෝ 91 දෙනෙක් ඉන්නවා. උන් ලංකාවේ සිය­ලුම පළාත් ආව­ර­ණය වන පරිදි රාජ­කා­රි­යට යොදවා තිබෙන්නෙ. මේ සුන­ඛ­යන් යුද්දෙ කාලේ වගේම යුද්දෙන් පසු­වත් උතුරු නැගෙ­න­හිර පුපු­රණ ද්‍රව්‍ය සොයා ගැනී­මට විශාල සේව­යක් කළා. ඇතැම් සුන­ඛ­යන් දින­කට පුපු­රණ ද්‍රව්‍ය කිලෝ සිය ගණ­නක් සොයා­ගෙන තියෙ­නවා. ඇත්ත­ටම සුන­ඛ­යාගේ ඉවෙන් උප­රීම සේව­යක් ලබා­ගැ­නී­මට හැකි වන්නෙ මෙහෙ­ය­වන සෙබ­ළාගේ දක්ෂ­තාව මතයි."

මිනිස් සිත හොඳින්ම කිය­විය හැකි සත්ත්වයා සුන­ඛයා බව සුන­ඛ­යන් මෙහෙ­ය­වන සෙබළු පව­සති.

"මෙහෙ­ය­වන්නා උදේට ගිහින් කූඩුව අරින්නෙ මොන වගේ 'මූඩ්' එක­කින්ද කියා සුන­ඛයා දන්නවා. අපි කුමන හෝ පෞද්ග­ලික ප්‍රශ්න­ය­කට සිත් තැවු­ලෙන් සිටි­න­වා­නම් එයාට තේරෙ­නවා. එදාට සුන­ඛ­යාත් දක්වන්නෙ මැල­වුණු ස්වභා­ව­යක්. අපි සතු­ටින් ඉන්න­දාට එයාත් හරිම ක්‍රියා­ශී­ලියි. අපේ සිත් හොඳින්ම කිය­වන්නෙ සුන­ඛ­යන් කියා අපි කියන්නේ ඒකයි." සුනඛ අංශයේ මාණ්ඩලික සැරයන් ධර්ම­දාස කීවේය.

ඇතැම් සුන­ඛයෝ විවේ­කීව සිටින අව­ස්ථා­ව­ලදී නුහුරු පරි­ස­ර­යක වුවත් මෙහෙ­ය­ව­න්නාගේ බසට කීකරු වෙමින් තම සංද­ර්ශන හැකි­යා­වන්ද පෙන්නුම් කරති. උන් හෝටල් මිදුලේ හා ආලි­න්ද­වල දුව පැන ඇවි­දින්නේ හුරු­පු­රුදු ලෙසිනි. අග්නි සුන­ඛයා සෑම විටෙ­කම හෝටල් මිදුලේ සැරි­ස­ර­මින් ඉව කරන්නේ පුපු­රණ ද්‍රව්‍ය සෙවී­ම­ටද නැති­නම් සෙල්ල­ම­ටද යන්න අපට නොතේ­රෙයි.

"මං නිවාඩු ගියාම අග්නිට සංකාව හැදෙ­නවා. බලා­ගත්තු අත බලා­ගෙ­න­මලු ඉන්නෙ. කෑම දුන් විට ඈතට කර­න­වලු. අපි­ටත් ගෙදර ගියා­මත් මතක් වෙන්නෙ සුන­ඛ­යා­මයි. ඉතින් නිවා­ඩුව ඉවර වෙන්නත් කලින් රාජ­කා­රි­යට එන අවස්ථා තියෙ­නවා. එන­කොට ඌ කෙට්ටු වෙලා. කබ පෙරා­ගෙ­නයි ඉන්නෙ. හැබැයි මාව දැක්ක ගමන් ඉස්පා­සු­වක් නෑ. කරට පනි­නවා, මූණ අත­පය ලෙව කනවා. හැබැයි දවස් දෙක තුන­කින් නැව­තත් නියම තත්ත්වෙට එනවා." අග්නි සුන­ඛයා මෙහෙ­ය­වන කෝප්‍රල් තිලකරත්න අපට පැව­සීය.

කොමාන්ඩෝ රෙජි­මේ­න්තුව බිහි­කළ කර්නල් සුනිල් පීරිස් මහ­තාගේ සංක­ල්ප­යක් අනුව 1984 වස­රේදී ස්ථාපිත කොමාන්ඩෝ සුනඛ අංශයේ මෙතෙක් සිටි සුන­ඛ­යන් සංඛ්‍යාව 263 කි. ඒ පුපු­රණ ද්‍රව්‍ය සෙවීම, අප­රා­ධ­කා­ර­යන් ලුහු බැඳීම, මුර සුනඛ රාජ­කා­රිය වෙනු­වෙනි. ඒ අතරේ මේ සියලු සුන­ඛයෝ සංද­ර්ශ­න­ව­ල­දීද දස්කම් දක්වති. සුන­ඛයෝ අට­දෙ­නෙක් මේ දින­වල දකුණු ආසි­යා­වෙන්ම ප්‍රථ­ම­ව­රට නව­තම පාඨ­මා­ලා­වක් ලෙස මළ­සි­රුරු සෙවීමේ පාඨ­මා­ලා­ව­කට යොමුවී කොමාන්ඩෝ සුනඛ අංශයේ පුහු­ණුව ලබති. නාය­යෑම් වැනි ආපදා තත්ත්ව­ය­කදී වැළ­ලෙන මළ­සි­රුරු සෙවීමේ කට­යු­තු­ව­ලට ඉදි­රි­යේදී එම සුන­ඛ­යන් යෙද­වෙනු ඇත.

ලැබ්‍රඩෝ, ඩොග­මන්, බීගල්, බොක්සර්, ජර්මන් ෂෙපඩ්, ඩැල්මේ­ෂන් ආදි සුනඛ වර්ග දහ­ය­කට අධික ප්‍රමා­ණ­ය­කින් සම­න්විත කේ9 සුන­ඛයෝ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමු­දා­වට එක්ව විදේ­ශ­ව­ලද රාජ­කා­රි­ව­ලද නිර­තව සිටී.

සාමා­න්‍ය­යෙන් දින­කට උදේට කිරි වේලක් සහ හව­සට සියලු පෝෂණ කොට­ස්ව­ලින් යුත් ආහාර වේලක් උන්ට ලබා දේ. සෑම දිනෙ­කම කොමාන්ඩෝ සෙබ­ළෙකු සේම සුන­ඛ­යන්ද කාල සට­හ­නක් අනුව දින චර්යාව ගෙවෙන්නේ ව්‍යායාම් හාපු­හු­ණු­වීම් සිය­ල්ලත් සම­ඟිනි.

මාස තුනත්, පහත් අතර වය­සේදී මෙහෙ­ය­වන්නා සමඟ පුහු­ණු­වට එක්ක­රන සුන­ඛයෝ මාස තුනක මූලික කීකරු පාඨ­මා­ලා­වෙන් පසු පුපු­රණ ද්‍රව්‍ය, ලුහු­බැ­ඳීම්, මුර සුනඛ ආදි ලෙස වර්ග කොට වස­රක පමණ පුහු­ණු­වක නිරත වෙති. එසේ මනා පුහු­ණු­ව­කින් පසු රාජ­කා­රි­යට පැමි­ණෙන සුන­ඛ­ය­කුගේ වටි­නා­කම මිල කළ නොහැකි බව කොමාන්ඩෝ සුනඛ අංශ සෙබළු පව­සති.

ඡායා­රූප රංජිත් අසංක

Comments