![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/05/10/sil-05-12-pushpananda.jpg?itok=JxF_zM4T)
* තොරණ පහක චිත්‍ර වැඩ පටන් ගත්තේ දෙසැම්බර් මාසයේ
* වැඩකළ අයට ගනුදෙනු බේරා ගම්වලට පිටත් කළා
* පාඩුව විඳගන්න පුළුවන්. රටට වෙන්න යන විපත දරා ගන්න අමාරුයි
සම්බුදු තෙමඟුල උදා වීමට තවත් ඇත්තේ දින කිහිපයකි. වෙන දා නම් මේ වන විට වෙසක් උත්සවය සඳහා සියල්ල සුදානම්ය. අවුරුදු හමාර වීමත් සමඟ වෙසක් උත්සවය පැමිණෙන බව සිහිපත් කරන්නේ ප්‍රධාන හන්දිවල ගසා ඇති දැන්වීම් පුවරු මඟිනි. මහා බත් දන්සල, මහා දුන්තෙල් බත් දන්සල, මහා මඤ්ඤොක්කා දන්සල. මහා අයිස්ක්‍රීම් දන්සල, ආදි වූ දන්සල් පිළිබඳ දැක්වෙන දැන්වීම්, වෙසක් නාට්‍ය ගැන දැන්වීම් හන්දියක් හන්දියක් ගානේ දැකිය හැකිය.
වෙසක් ආවා නේදැයි මැයි මාසේ මුල් සතියේම සිහිපත් කරන්නේ පැපිලියානේ ඉදි වන තොරණයි. තොරණේ සැකිල්ල නිර්මාණය කරන්නේ පොහෝ දිනට සති කිහිපයක් තිබියදීය. මෙවර වෙසක් අත ළඟටම ආවත් පරිසරය පාළු යැයි දැනෙන්නේ දැන් ය.
ප්‍රතිපත්ති පූජාවට මුල් තැන දුන්න ද වෙසක් උත්සවයේ දී නම් ප්‍රමුඛත්වය ලැබෙන්නේ ආමිස පුජාවටය. පාස්කු ඉරිදා වූ ඛේදවාචකයත් සමඟ වෙසක් උත්සවය වෙසක් සැරසිලිවලින් තොරව සැමරීමට රජය තිරණය කර ඇත.
වෙන දා එරබොදු මල් හැලී වෙසක් මල් පිපෙන්නේ කාගේ කාගේත් සිත්වල වෙසක් ගැන උනන්දුව ඇති කරමිනි. නමුදු එරබදු මල් පරව ගියේ රටම හඬවමිනි. එ් නිසා වෙසක් උත්සවයද වෙන දා මෙන් උත්සවාකාරයෙන් නොපැවැත්වෙනු ඇත.
වෙසක් උත්සවයේදි ප්‍රධාන තැනක් ගන්නේ තොරණය. තොරණ යනු වෙනමම කලාවකි. වෙසක් උත්සවය නිමිත්තෙන් ඉදි වන තොරණක කටයුතු ආරම්භ කරන්නේ මාස හයකට පමණ පෙරය. මේ වන විටත් තොරණ බැඳීමට සියල්ල සුදානම්ය. ඉතා ආශාවෙන් තොරණ කටයුතු කළ ඒ ඇත්තන් අද සිටින්නේ සුසුම් හෙළමිනි. මාස ගණනාවක් තිස්සේ දිවා රෑ මහන්සි වී සිත්තම් කළ සිතුවම් වසර ගණනාවක් තිස්සේ තොරණ කලාවේ නියැළෙන ප්‍රවීණ චිත්‍ර ශිල්පි පුෂ්පානන්ද දෙනිපිටිය හමුවීමට අපි ඉකුත් දිනෙක ගියෙමු.
පුෂ්පානන්ද කලාකරුවා හමුවීමට අප ගියේ ඔහුගේ වඩපොළටය. එය ඉබියතුරු දමා වසා තිබිණි. වෙන දා නම් ඔහුගේ වැඩපොළ කාර්යයබහුලය. සහාය චිත්‍ර ශිල්පීන්, මෙන්ම අනෙකුත් වැඩකරුවන්ගෙන් තොර වූ වැඩබිම දැන් පාළුවට ගොසිනි.
“වැඩ කරපු අයගේ ගනුදෙනු බේරලා ගම්වලට පිටත් කෙරුවා.” ආගිය තොරතුරු කතා කරන්නට පළමු පුෂ්පානන්ද මහතා අප හා කීය.
දකුණු පළාතේ වැලිගම දෙනිපිටිය ගමේ උපන් ඔහු පාරම්පරා උරුමයකට හිමිකම් කියන්නෙකි. ඔහුගේ පියා වූ දයානන්ද දෙනිපිටිය මෙන්ම සීයා වූ ජන්දිරිස් විහාර චිත්‍ර ඇඳීමේ හා මුර්ති නිර්මාණයේ නමක් දිනුවෝය. වැලිගම සිද්ධාර්ථ විද්‍යාලයේ ඉගෙනුම ලැබු පුෂ්පානන්ද කොළඹට පැමිණෙන්නේ එක්දහස් නවසිය හැත්තැ හතර වසරේදීය. තොටළඟ ධවලසිංහාරාම විහාරයේ චිත්‍ර නිර්මාණයේ යෙදුණ ඔහු තොටළඟ තොරණේ සහාය චිත්‍ර ශිල්පියෙකු ලෙස සම්බන්ධ වෙන්නේ 1977 අවුරුද්දේදීය.
සේපාල මාස්ටර් යටතේ තොරණවල චිත්‍ර ඇඳි පුෂ්පානන්දට ඉන් වසර කිහිපයකට පසු තොටළඟ තොරණ තනිවම නිර්මාණය කරන්නට ලැබිණි. සහායට සිටියේ ඔහුගේ සහෝදරයෝය. තොටළඟ තොරණ, ජනාධිපති මැඳුරේ තොරණ, නවලෝක තොරණ ආදි තොරණ කිහිපයක්ම ඔහුගේ සිතුවමින් හැඩවන්නට විය. අද වන විට රට වටා පෙන්වන බොහෝ තොරණ හී චිත්රශිල්පියා පුෂ්පානන්දය.
තොරණ යනු එක් අයෙකුගේ නිර්මාණයක් නොවේ. එය සාමුහික නිර්මාණ කාර්යයකි. මෙවර වෙසක් උත්සවය වෙනුවෙන් ඔහු නිර්මාණය කළ තොරණ සංඛ්‍යාව පහකි. එම තොරණ පහේ වැඩ නිමවූ චිත්‍ර සියල්ලම එක්තැනෙක ගොඩ ගසා ඔහුගේ වැඩබිමේ අගුළු දමා වසා තිබේ.
“මම තොරණ කරන්න අරගෙන අවුරුදු හතළිස් දෙකක් වෙනවා මේ අවුරුද්දට. නමුත් ඒ අවුරුදු ගානටම මේ පාර තමයි අපිට මේ වගේ අත්දැකීමකට මුහුණ දෙන්න වුණේ. එක් කාලයක් යුද්ධය තිබුණා. තවත් කාලයක් භීෂණය තිබුණා. ගංවතුර උවදුර තිබුණා. නමුත් කවදාවත් අපට මේ වගේ දෙයක් වුණේ නැහැ. මම ඇතැම් අවුරුදුවල වෙසක් තොරණ නවයක් හදලා තියෙනවා. මෙවර නම් තොරණ පහයි හැදුවේ.
තොරණ හදන්න පටන් ගන්නේ දෙසැම්බර් මාසයේ. මම සිකුරාදා හෝ අඟහරුවාදා දවසක තමයි මුලින්ම වැඩ පටන්ගන්නේ. තොරණේ කතාව සමඟ ඇඳිය යුතු රූප ගැනත් කියනවා. අමු රෙද්දේ තමයි සිතුවම් අඳින්නේ. බොහෝ විට මිනිස් රූප අඳින්නේ මම. සහාය ශිල්පීන් ඉන්නවා.
ඒ වගේම මේ චිත්‍ර රාමු කිරීම කරන අය ඉන්නවා. මා ළඟ කිහිප දෙනෙක්ම වැඩ කරනවා. මේ වන විට මම තොරණ පහක චිත්‍ර ඇඳලා ඉවරයි. අත්තිකාරම් මුදල් අරගෙන තිබෙන්නේ. අතේ තියෙන සල්ලිත් දීලා වැඩ කරපු අයගේ පඩිනඩි බේරුවා. ණයකාරයෙක් වෙන්න මට බැහැ. මම චිත්‍ර ශිල්පියා වුණාට තොරණ නිසා ජීවත් වෙන බොහෝ පිරිසක් ඉන්නවා. තොරණ බඳින්න ගන්න පුවක් ගහ දෙන මිනිහාගේ සිට තවත් බොහෝ අය මෙවර වෙසක් තොරණ නැති නිසා බොහෝ අසීරුවට පත් වෙනවා.”
පුෂ්පානන්ද මහතා පවසන්නේ වෙසක් තොරණ ප්‍රදර්ශනය නොකිරීමට ලැබෙන නිසා තමා ඇතුළු තවත් බොහෝ අය පත් වී ඇති අසීරුතාව ගැනය.
එදාට වඩා අද කාලය වෙනස්ය. එදවස තොරණ ඉදිරියේ නතර වී තොරණ කතා වස්තුව අසා සිටින්නේ ආශාවෙනි. මේ කතාවල චරිත වලට පණ දෙන්නේ එකල ගුවන් විදුලියේ ජනප්‍රියව සිටි නාට්‍ය ශිල්පීහුය. කතාව අසන අතරේම ඊළඟට අප බලන්නේ සිතුවම්ය. මේ සියල්ලම බලන අතරේ ඇස් අදහාගත නොහැකිව බලා සිටින්නේ විවිධ වර්ණ විදුලි බුබුළු මවන මෝස්තර රටා දෙසය.
“ දැන් සමහරු වාහනවල යන ගමන් තමයි තොරණ බලන්නේ. වෙසක් කලාප ආදි දේ ඇවිත් දැන් හැම දෙයක්ම වාණිජකරණය වෙලා. මෙවර මම නවලෝක තොරණ , කැලනිය රජමහා විහාරයේ තොරණ, කොට්ටාව මංසන්ධියේ තොරණ, දෙමටගොඩ තොරණ හා ගොඩගම තොරණේ චිත්‍ර ඇන්දා. ඒ චිත්‍ර තමයි මේ පැත්තකට කරලා තියෙන්නේ. තොරණ සංවිධායකයන් කිව්වා පොසොන් පොහොයටවත් මේවා කරන්න බලමු කියලා. මේවා කාලයක් පරිස්සම් කරන්න අමාරුයි. ප්‍රේම් ගහපු ලී පටි දිරලා යන්න ඉඩ තියෙනවා.
පුෂ්පානන්ද පවසන්නේ තමන් ඇඳි චිත්‍ර එකින් එක පෙන්වමිනි. මේ වන විට තොරණ 200ක පමණ චිත්‍ර නිර්මාණය කර ඇති ඔහු චිත්‍ර වලට අමතරව මුර්ති නිර්මාණයේද යෙදේ.
“කොහොම වුණත් තොරණ නතර වුණ එක ගැන දුකක් හිතේ තිබුණත් රටට වුණ විනාශය ගැන ඊට වඩා දුකක් තියෙනවා. පාඩුව විඳගන්න පුළුවන්. ඒත් මේ රටට වෙන්න යන විපත දරා ගන්න අමාරුයි. කලාකරුවෙකු හැටියට මට ඒ ගැන ලොකු දුකක් තියෙනවා . පුෂ්පානන්ද පමණක් නොව ඔහුගේ සොහොයුරෝ දෙදෙනාද තොරණ කර්මාන්තයේ නියැළී සිටිති.
අතින් අඳින සිතුවමට අමතරව අද වන විට ඇතැම් වෙසක් කලාප වල ඩිජිටල් තොරණද වේ. තොරණ ලයිට් ගැන කතා කරන විට ෆ්ලෑෂර් කොටය ද නිතැතින්ම සිහිපත් වේ. දැන ඇතැම් තොරණවල ඇත්තේ විදුලි පරිපථය. කෙසේ වුවත් වසර ගණනක් තිස්සේ විදුලි කාර්මිකයකු ලෙස කටයුතු කරන චමින්ද අත්තනායක කියන්නේ මෙවැනි කතාවකි.
“මම මේ රස්සාවට ඇවිල්ලා අවුරුදු හතලිහක් විතර ඇති. මගේ තාත්තා කරන්නෙත් මේ කාර්යයමයි. ඔහු රූපසේන අත්තනායක. මේ පාර නම් හරි වැඩක් තමයි වුණේ. මේ වෙනකොට කැලණි විහාරයේ කටුතොරණ බැඳලා ඉවරයි. මේ පාඩුව මට විතරක් නෙමෙයි. තොරණ බඳින්න ගන්න කොහු ලණුකාරයාටත් ලණු අඹරන්නන්ටත් පාඩුයි. අපි සාමාන්‍යයෙන් එක තොරණකට රුපියල් හැත්තෑදාහක් විතර ගන්නවා. හිතා ගන්න බැහැ මොනවා කරන්නද කියලා.” චමින්ද පවසයි.
මිනිසුන් කවුරුත් දැන් පත් වී සිටින්නේ අසීරුතාවකටය. සාමාන්‍ය ජන ජීවිතය වෙනසකට ලක් වී තිබේ. වෙසක් දිනයේදී බොහෝ අරුමෝසම් නොතිබුණද, අපි අතීතයේදී ද වෙසක් සැමරුවෙමු.
ඒ බට පතුරින් සෑදු වෙසක් පහන් කූඩුවලිනි. කෙසෙල් කඳන්වල රැඳවූ පොල්තෙල් පහනෙනි. වෙසක් නිසා එහි එන යම් යම් දේ සිය වෘත්තීය කරගත් මිනිසුන් අපහසුතාවට පත් වීම එක් පැත්තකින් දුකකි.
එය එසේ වුවද ජීවිත සරල වීමට අරුමෝසමින් පුහු ආටෝපයෙන් තොර වී ප්‍රතිපත්ති පුජාවට මුල් තැන දෙමින් වෙසක් සැමරීමට මෙදා වෙසක් පොහොය ආදර්ශයක් කරගන්නේ නම් එය කොතරම් නම් වටින්නේද? එකිනෙකාට වෛර කරගැනීම වෙනුවට මෛත්‍රීය කරුණාව වැඩීම කොතරම් නම් අගේද?
ඡායාරූප- තුෂාර ප්‍රනාන්දු