![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/05/10/sil-05-12-sunethradevi-1.jpg?itok=kq1tTpDW)
* යන්නට ගියේ අඩි 8ක් පොළොව යටට
* ගමේ දුප්පත් පවුල්වලට පාසලෙන් නිවාස
* ඉඹුල්ගොඩ සුනේත්රාදේවිය දැන් බබළන පාසලක්
“ලංකාවේ ඇති දුප්පත් ම, නොදියුණු ම පහළ ම මට්ටමේ පාසලකුයි ඔබ තෝරාගෙන තිබෙන්නේ. ඇයි මේ වගේ මෝඩ වැඩක් කරන්නේ. ඔබට දූලා දෙදෙනෙක් ඉන්නවා. ඔවුන්ට හොඳ පාසලකටයි ඔබ යන්නට ඕනෑ. ඔය පාසල ළඟදීම වසා දමන්නට රජය තීරණය කරලා. ඒකෙන් පේනවා ඔය පාසලේ තත්ත්වය. ඔබට හොඳ පාසලක් ලබා දෙන්නට මට පුළුවනි.”
දේශපාලනඥයකු ගේ ළඟම හිතවතකු වූ ඒ වැඩිහිටියා ගේ අවවාදය නිසා ඔහු තුළ ඇති වූයේ කලකිරීමකි.
“මම මගේ වුවමනාවෙන්මයි ඒ පාසල තෝරා ගත්තේ. ළමයි හතළිහක්, ගුරුවරු හතර දෙනෙක්, පන්ති පහක් තියෙන ඒ පාසල ඒ පළාතේ හොඳම පාසලක් බවට මා පත් කරනවා. දුන් අවවාදවලට, ස්තුතියි. උපකාර කිරීමට ඉදිරිපත්වීම ගැනත් ස්තුතියි.” ඔහු කීවේය.
එම්.ජී. රන්බණ්ඩා නමැති මේ විදුහල්පතිවරයා ජයවර්ධනපුර විශ්වවිද්‍යලයේ ව්‍යාපාර පරිපාලනය පිළිබඳ විද්‍යාවේදී ගෞරව උපාධිධාරියෙකි. අධ්‍යාපන විද්‍යා පශ්චාත් උපාධිධාරියෙකි. මහ විදුහල් කීපයක විදුහල්පතිකම් දරා ලැබූ අත්දැකීම් ඇත්තෙකි. එහෙත් ඔහු තෝරා ගත්තේ රජය විසින් වසා දැමීමට තීරණය කරනු ලැබූ ගම්පහ ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවි කනිටු විදුහලය.
රන්බණ්ඩා මහතා ගුරු වෘත්තියට පිවිසුණේ 1985 අම්පාර නාමල්ඔය මහ විදුහලේ උපගුරුවරයකු වශයෙනි. 1987 දී ඔහු නාමල්තලාව මහ විදුහලේ අංශ භාර ප්‍රධානියා විය. මේ යුගයේ අම්පාර ප්‍රදේශය ද කොටි ත්‍රස්තවාදයෙන් ගිනියම් වී තිබිණ. ඒ ගිනියම වැඩි වූ අවස්ථාවකි අරන්තලාව භික්ෂු ඝාතනය.
මේ පිළිබඳ නැගෙනහිර පළාතේ ජනතාවට සත්‍යය පැහැදිලි කිරීමේ වැඩ පිළිවෙළක් අවශ්‍යව තිබිණ.
ඝාතනයට ලක්වූ භික්ෂූන්ගේ දේහයන් අම්පාර මහජන ක්‍රීඩාංගණයේ දී ආදාහනය කැරිණ. කොටි ත්රස්තයන් උතුරු, නැගෙනහිර දෙපළාතම ලක්බිමෙන් වෙන්කොට වෙනම රාජ්‍යයක් ගොඩ නැඟීමට ගන්නා වෑයම හෙළිකොට ලියූ පත්‍රිකාවක් එහි දී බෙදා හැරිණ.
මෙය රාජ්‍ය විරෝධි ක්‍රියාවක් ලෙස සැලකූ පාලකයෝ පත්‍රිකා බෙදා හැරීමේ යෙදුණු කීප දෙනකු අත්අඩංගුවට ගත්හ. ඒ තරුණයන් නිදහස් කරන ලෙස ඉල්ලා අභියාචනාධිකරණයෙන් ඉල්ලීමක් කැරිණ. මේ සියලු කටයුතු පිටුපස රන්බණ්ඩා මහතා සිටින බව අම්පාරේ දේශපාලන බලවතාට ඉව වැටිණ.
“රන්බණ්ඩා මහ පොළොවේ අඩි අටක් යටට යවනවා” බලවතා කෑ ගැසීය.
මේ කෑ ගැසිල්ල ඇසූ අධ්‍යාපන නිලධාරියෙක් රන්බණ්ඩා වහාම කිලෝ මීටර් 160 ක් දුරින් පිහිටි දෙහිඅත්ත කණ්ඩිය පාසලකට මාරු කෙළේය.
අඩි අටක් වෙනුවට කිලෝමීටර් 160 ක් දුරට ගිය රන්බණ්ඩා මහතා බලවතාගේ මතකයෙන් ගිලිහිණ. ඉන්පසුව ඔහු දෙහිඅත්ත කණ්ඩියේ ම මීවන්පුර මහවිදුහලේ සහ නුවරගල මහ විදුහලේ විදුහල්පති තනතුරු දැරුවේය.
ඔහු සේවය කළේ ගොවි ජනතාවගේ දරුවන්ටය. උදේ වරුවේ පාසලේත්, සවස් වරුවේ කුඹුරේ හෝ හේනේත් සිය මා පියන් සමඟ දහදිය වැගුරුවේ දරුවන්ට ඉහළ ම මට්ටමේ අධ්‍යාපනයක් ලබාදීමට එතුමා කැපවූයේ ය. ගුරු පිරිස ද ඔහු අනුව ගියහ.
එහෙත් නුවරගල මහ විදුහලේ දී ඔහුට අප්‍රසන්න අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට සිදුවිය. පාසලේ කැන්ටිමක් තිබිණ. ගුරුවරු කීප දෙනෙක් ළමයින්ට අයිස් පැකට් විකුණූහ. මහ ඇළෙන් ගෙන එන වතුරට සීනි සැකරින් දමා අයිස් පැකට් සාදා විකිණීමෙන් ගුරුවරු ලොකු මුදලක් සපයාගත්හ.
මව සාදා දෙන බත් මුල ප්රතික්ෂේපකොට කැන්ටිමේ පාන්පිටි කෑමට පුරුදු වූ ළමයි මවුපියන්ගේ මුදල් සොරකමට ද පුරුදු වූහ. මුළු පාසලම හැම ළමයෙක් ම අයිස් පැකට් මිලට ගත්හ. ගුරුවරු කැන්ටිමේ දී දුම්පානය කළහ. ඔවුහු එහිදී වාද විවාදවල යෙදුණේ විවේක කාලය අවසන් බව හඟවන සීනුවට ද අකීකරු වූහ. විවේකයෙන් පසු කාලපරිච්ඡේදයේ සෑම පන්තියකම සිසු ගැටුම් අඩ දබර දක්නට ලැබිණ.
විදුහල්පති රන්බණ්ඩා මහතා මේ තත්ත්වය පිළිබඳව ගුරුවරුන් සමඟ කළ කතා බහෙන් පලක් නොවිණ. ඔහු කැන්ටිම වසා දැමුවේය. මේ නිසා ගුරු මණ්ඩලයෙන් ද ගමේ මවුපියන්ගෙන් ද විරෝධතා නැඟිණ. එහෙත් යළි කැන්ටිම විවෘත නොවිණ. ගෙදරින් ගෙනෙන බත්, කුරක්කන් රොටි පාසලේදී කෑමට ළමයි පුරුදු වූහ. පාසලෙන් සිගරට් දුම් ගඳ නොහැමුවේය. සීනුවට වැඩකරන ගුරු සිසු පිරිසක් දක්නට ලැබිණ. විරෝධය පෑ මාපියෝ ද “අපේ ළමයි දැන් කැන්ටිමෙන් කන්න ගෙදරින් සල්ලි හොරකම් කරන්නෙ නැහැ.” යි කීහ.
අම්පාර දිස්ත්‍රික්කයේ දහතුන් වසරක් සේවය කළ රන්බණ්ඩා මහතා ඒ ප්‍රදේශයේ සමුගත් දා සිසු දරු දැරියන් මෙන් ම මවුපියෝ ද හඬා වැලපුණහ.
රන්බණ්ඩා මහතා අම්පාරෙන් සමුගෙන පැමිණියේ ගම්පහ ඉඹුල්ගොඩ සුනේත්‍රාදේවි විදුහලටය.
1998 එක් දිනෙක උදෑසනක සුනේත්‍රාදේවි විදුහලේ සිවු දෙනකු වූ ගුරු මණ්ඩලය සහ ළමයි හතළිස් දෙනා අලුත් විදුහල්පතිවරයා පිළිගත්හ.
ගුරු සිසු දෙපසේ ම වූයේ මැලවුණු මුහුණුය. පාසල් වත්තෙන් නැඟුණේ ද මුස්පේන්තු පෙනුමකි.
“අපි පස්දෙනා එකා වගේ එකමුතුව පාසල ගොඩනඟමු.” විදුහල්පති රන්බණ්ඩා මහතා මුල් ම සාකච්ඡාවේදී කීය.
“මේක හෙට අනිද්දාම වහල දාන්නයි ආණ්ඩුව තීරණය කරල තියෙන්නෙ. අපි වැඩ කළා කියල වැඩක් වෙන එකක් නැහැ. කර කියා ගන්න දෙයක් නැති, දුප්පත් ම මිනිසුන්ගේ ළමයි තමයි මේ ඉන්නේ. මේ ළමයින්ට ඉගෙන ගන්න වුවමනාවක් නැහැ.”
එක් ගුරු මුවකින් නැඟුණු හඬ සිවු දෙනාටම පොදු බව හැඟිණ.
“අපි හොඳට වැඩ කරමු. මේ හතළිස් දෙනාට හොඳට උගන්වමු. අදක්ෂ කියල ළමයි කොට්ඨාසයක් නැහැ. ඇත්තේ නරක අධ්‍යාපනයයි. කලකිරෙන්න එපා. උදාසීන වෙන්න එපා. අපි මේ උගන්වන ක්‍රමය වෙනස් කරමු. ඒවාට සුදුසු ක්‍රම අපි ම සිතමු.”
විදුහල්පති තුමාගේ ඒ බසට ගුරු මණ්ඩලයම එකඟ වූහ.
වැඩබලන විදුහල්පතිනියව සිටියේ එම්.බී. කරුණාවතී මහත්මියයි. ඉංග්‍රීසි ඉගැන්වූයේ කුමාරසිංහ මහත්මියයි. නාලනී, ශ්‍රියානි මහත්මීහු සහ ලාල් සෝමසිරි මහතා ද ගුරු මණ්ඩලයට අයත් වූහ.
රන්බණ්ඩා මහතා සිය දියණිය මේ පාසලේ දෙවෙනි ශ්‍රේණියට ඇතුළත් කෙළේය.
“ලොකු ස්කෝලෙකට දාන්න පුළුවන්කම තියෙද්දිත් ලොකු සර් තමන්ගෙ දුව මේ ස්කෝලෙට දාලා.”
මේ සිදුවීම ගමේ ප්‍රචාරය විය. රන්බණ්ඩා මහතා ගමේ ඇවිද්දේය. ළමයින් හතළිස් දෙනාගේ ම මාපියන් හමුවිය. අනෙක් මා පියන් ද හමුවිය. අගහිඟකම් පිරි නිවෙස්වලට මේ අමුත්තා ගේ පැමිණීම ඔවුන්ට අමුත්තක් විය.
පාසලට ළමයි වැඩි කර ගන්න උපක්‍රම
“අපි පාසලේ ම ළදරු පාසලක් පටන් ගන්නවා නොමිලේ. අවුරුදු හතරේ - තුනේ ළමයි එවන්න” ඔහු කීය.
කාංචනා එගොඩ විතාන මෙනෙවිය ගේ ප්‍රධානත්වයෙන් ළදරු පාසල ඇරැඹිණ. ඇය ඉතා උනන්දුවෙන් වැඩ කළාය.
“නිසි වයස පැමිණිවිට මේ සෑම ළමයෙක් ම අපේ පාසලේ පළමුවන ශ්‍රේණියට ඇතුළු වේවි. වසර කීපයක් යනවිට පාසලේ ශිෂ්‍ය සංඛ්‍යාව වැඩිවේවි.”
ළදරු පාසල ඇරැඹුණු දා රන්බණ්ඩා මහතා කීය. එය එසේ ම සිදුවිය. පාසල් වත්ත ද කල එළිවිය. විවිධ පලතුරු, මල්, පලා - එළවුළු වර්ග ද වැවිණ. අධ්‍යාපන දෙපාර්තමේන්තුව තවත් ගුරුවරුන් ලබා දුනි.
2001 දී මුළු ගමේම සිත් පිබිද වූ පුවතක් පාසලට ලැබිණ. පහේ ශිෂ්‍යත්වයට ඉදිරිපත් වූ ළමයින් එකොළොස් දෙනාගෙන් 06 දෙනකුම සමත් වීමය ඒ. උදේත් හවසත් දෙවරුවම ඒ ළමයින් එකොළොස් දෙනා වෙනුවෙන් ගුරුවරු වෙහෙසුණ හ. අසමත් වූ ළමයින්ට සමත් වීමට අඩු වූයේ ලකුණක් දෙකක් පමණි.
“මුදල් වියදම් කරගෙන නගරයේ පාසල්වලට යවනවාට වඩා ගමේ පාසලට අපේ ළමයින් යවමු.”
මැද පන්ති මා පියන් අතර මේ මතය පැතිරිණ. හැම ළමයකුට ම නම කියා කතා කිරීමට රන්බණ්ඩා මහතා සමත් විය. ඒ ළමයින්ගේ මවුපියන්ගේ නම් ද ඔහුට මතකය. පාසලේ පැරණි ගොඩනැඟිලි ඉඩ මදි විය. මාපියෝ පොල් අතු වහලක් සහිත තාවකාලික ගොඩනැඟිල්ලක් තනා දුන්හ. එය ද ඉඩ මදි වූ විට තහඩු සෙවිලි කළ තාවකාලික මඩුවක් තැනූ හ. ගොඩනැඟිලි ළමයින්ගෙන් පිරිණ. දුප්පත් - පෝසත් භේදයෙන් තොරව ළමයි පන්ති කාමර තුළ අධ්‍යාපනය ලැබූහ. විදුහලේ දී සෑම ළමයෙක් ම සමාන විය. මැද පන්ති පවුල්වලින් ආ ළමයි පහළ පන්ති පවුල්වලින් ආ ළමයින් සමඟ එක ම පවුලේ අය මෙන් ජීවත් වූහ.
පාසල තුළ එස්. පහ සංකල්පය ක්‍රියාත්මක කිරීමෙන් පාසල සහ පාසල්වත්ත වඩාත් අලංකාර විය. වඩ වඩාත් ක්‍රමවත් විය. 2005 ඵලදායිතා සම්මාන උලෙළේදී මේ පාසලට දිවයිනේ සියලු පාසල්වලින් තෙවැනි ස්ථානය ලැබිණි.
පාසල් දරුවන්ගේ ගණිත - විද්‍යා නිපුණතා දියුණු කිරීම සඳහා ජපානයේ ජයිකා ආයතනය ඇරැඹූ ව්‍යාපෘතියේ දී ලංකාවෙන් තෝරාගත් පාසල් 25ට මේ පාසල ද අයත් විය. බස්නාහිර පළාතෙන් පාසල් 4 කි. සුනේත්‍රාදේවි කනිටු විදුහල ඒ හතරෙන් එකකි. විෂය දැනුමෙන් සිත් පිරෙන අතර ඒ සිත්වලට තෙරුවන පිළිබඳ ශ්රද්ධාවත්, සෞන්දර්ය වින්දනය් මුසුවිය යුතු බව ඇදැහු මේ විදුහල්පතිතුමා මේ සඳහා ද පාසල තුළ යහපත් පරිසරයක් තැනුවේය. ප්‍රකට රංගන ශිල්පි චමින්ද සිරිනාගල්ල මහතා ගේ මඟ පෙන්වීමෙන් පාසල් නාට්‍ය කලා අංශයක් ඇරැඹිණ. 2005 සමස්ත ලංකා නැටුම් තරගයෙන් මුල්තැන ‘සුනේත්‍රා දේවිය’ට ලැබිණ. නොකඩවා අට වසරක්ම ඒ තරගයෙන් මුල් තැන ගත්තේ මේ පාසලය. චමින්ද මහතාගෙන් පසුව ගිම්හානි රසා ගුරුතුමිය ඒ මෙහෙයෙහි යෙදෙයි.
2003 දී පාසලේ සියලුම ළමයින් සහභාගි වන ‘අපි වෙමු තරුවැල්’ නමින් සෞන්දර්යාත්මක වැඩසටහනක් ඇරැඹිණ. වසරේ එක් දිනෙක රාත්‍රි 10 වනතුරු ක්‍රියාත්මක වන ඒ වැඩසටහන නොකඩවා පසළොස් වසරක් පැවැත්විණ.
2005 සිට ගම්පහ අධ්‍යාපන කලාපයේ පහේ ශිෂ්‍යත්ව උසස් ම ප්‍රතිඵල ලබන පාසලක් බවට ‘සුනේත්‍රා දේවිය’ පත්විය.
උපන් දින තිළිණ සමාජ සත්කාරක වැඩසටහන සහ පාසලෙන් ප්‍රජාවට වැඩසටහන් දරුවන්ගේ සිත් සමාජ සේවාවට යොමු කෙළේය. ඇති හැකි ළමයින්ගේ උපන් දින සාදවලට වැය කරන මුදල් සමාජ සත්කාරයේ යෙදවිණ.
ඒ මුදල් වැයකොට ගමේ දුප්පත් පවුල් තුනකට නිවාස තනාදෙනු ලැබිණ. ගෙම් පිළිකා රෝගියෙක් මිය ගියේය. ඔහු සුවපත් කිරීම සඳහා ඔහු සිටි නිවස ද උකසට තබා රුපියල් ලක්ෂ තුනක් ණයට ගෙන තිබිණ. ණයහිමියා ඒ නිවෙස අත්පත් කර ගැනීමට සැරසුණේ ය. විදුහල්පතිතුමා ගේ යෝජනාව පරිදි පාසල් සංවර්ධන සමිතිය ඒ නිවෙස උකසින් බේරා ඒ පවුලට ලබා දුන්නේය. එබඳු පින්කම් රැසක් රන්බණ්ඩා මහතාට මෙහිදී කළ හැකි විය.
ආගමික ශික්ෂණය, අධ්‍යාපනය, සෞන්දර්ය වින්දනය, ක්‍රීඩා කුසලතා, සමාජ සේවාව, විනයගරුක බව ඉහළ ම තලයකට ගෙන ආ ‘සුනේත්‍රා දේවිය’ට සිය දරුවන් ඇතුළු කිරීමට අවට මාපියන්ට ද අවශ්‍ය විය. එහෙත් ගොඩනැඟිලි ඉඩ මඳ විය.
අලුත් පාසල් ගොඩනැඟිලි අවශ්‍ය විය. දෙගුරු පිරිස සියලු වැඩ බාර ගත්හ. විදුහල්පතිතුමා ඔවුන්ගේ හැකියා දන්නා හෙයින් ඔවුන් අතර වැඩ බෙදිණ.
දිනක් උදෑසන හයයි තිහට පමණ ගල්ගොඩ ළඟ සිට පාසල් වත්තේ කෙළවරට මිනිස් පෙළක් සෑදිණ. ටයි පටි පැලඳගත් වෛද්‍යවරු, රජයේ නිලධාරීහු, හෙදියෝ, නීතිඥයෝ, ගොවියෝ, කම්කරුවෝ, අතින් අතට ගල් යවමින් වහා සුළු වේලාවකින් ගල්ගොඩම පාසල් වත්තේ කෙළවරක තැබූහ. වැඩ අවසන් වූ පසු මේ ශ්‍රමිකයෝ පාසලේ ම සූදානම් කළ උදේ ආහාරයෙන් කුස පුරවා ගත්හ.
ෙම් පාසලේ වාර්ෂික ඇගයීම් උලෙළ ද අමුතු ය. ඇගයීම්වලදී නිර්නායක 18 කි. විෂය දැනුම ඒ නිර්නායකයනට ඇතුළත් නොවේ. සමාජ ඵලදායිතාවයට හේතුවන යහ පැවතුම්, ආකල්පවලට මෙහිදී මුල් තැන ලැබේ. තෑගි පිදීමක් ද සිදුවේ. තෑගි පිදීමේ අරමුණ විශිෂ්ටයකු තැනීමය. 2018 දී පාසලට සියවස පිරිණ. උලෙළක් පැවැත්විණ. එහිදී ආගමික කටයුතුවලට මුල් තැන ලැබිණ. ගුරුහු, දෙගුරුහු, සිසුහු සිල්වත්ව සියවසරක් වූ ‘සුනේත්‍රාදේවි’ ය පිදූහ.
සියවසේ ගෙවී ගිය විසි වසර තුළ සුනේත්‍රා දේවි ලැබූයේ මහා ප්රගතියකි. දැනුමද ගුණය ද සපිරි දරු පිරිසක් ඇගෙන් ජාතියට ලබා දීමට කැපවුණු ඇම්.ජී. රන්බණ්ඩා මහතා සුනේත්‍රා දේවිගෙන් සමුගත්තේ විශ්‍රාම ගත්තේ “මා සිතූ පරිදි, කී පරිදි වැඩ කළා. ජයගත්තා” කියමිනි.
දෙනගම සිරිවර්ධන
ඡායාරූප - නාමල් වන්නිආරච්චි