![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/05/03/sith-3.jpg?itok=kKNyTPf1)
සුව මැඳුර
පයිනස් වනාන්තරයට නල රැළි කඩා වදී. කොළ සිරි සිරි ගායි. පේන්නේ හරියට රණ්ඩු කරන්නාක් මෙනි.
මම යන ගමන නවතා මොහොතක් රණ්ඩුව දෙස බලා සිටිමි. සිරි සිරිය නවතී. ඔවුන් බොරුවට රණ්ඩු කරන්නට ඇත්තේ මගේ ගමන නවතන්නට මෙනි. මම යළිත් ගමන පටන් ගනිමි. ඒ ගමන ආයෙත් රණ්ඩුව ඇසෙන්නා සේ ය.
අපේ ගමේ සිට එන හෙදිය තම පැදිය වැර ගන්වාගෙන කන්ද නැග එයි. ඇය මා පසු කළේ පියකරු සිනා රැල්ලක් පාමිනි. ඒ සිනා රැල්ල වියළි පයිනස් කොළ අතර විසිරිණ. මම එය අහුලාගෙන මඳ දුරක් ගොස් කියැවීමි. එහි මෙසේ තිබේ.
‘... රමණීය ගොඩැල්ල ප්‍රතිකාර මධ්‍යස්ථානය ඇත්තේ ඔබ වෙනුවෙනි. අපේ දොස්තර මහත්තයාත්, බෙහෙත් දෙන පියල් අයියාත්, සෝමක්කාත්, මාත් පාන්දරින් ම මෙහි දිව එන්නේ ඔබ වෙනුවෙනි. රෝහල් ගොඩනැගිල්ල නවීකරණය වී ඇතත් ඔබ නම් තවමත් මුලින් ආ රෝගියා ම ය. ලෙඩ්ඩු සුව වි නතරවෙති. සමහරුන් මියගොසිනි. ඔබ දිවිමගේ හති ලමින් ගාටයි...‘
මම ඇගේ සිනාව සාක්කුවේ ලාගෙන කන්ද නගිමි. ප්‍රතිකාර මන්දිරයට පැමිණ එහි පොදු අසුන මත හිඳ ගනිමි.
පයිනස් වනාන්තරයෙන් යළිත් සිරි සිරිය ඇසෙයි.
‘ඔය හාදය මේ හතළිස් එක් වෙනි වතාව’ පයිනස් යාය කියයි. ‘හැබැයි ලෙඩක් තියෙන පාටක් නං නෑ’ සුළඟ කියන්නේ බර අතු සොලවා කිතිකවමිනි.
හෙදිය පොත් යුගල ද ගෙන ලෙඩුන් දොස්තර මහතා වෙත යොමු කරන ගමන් ම දෙස බලයි. ‘තවම නෑ වගේ සනීප’
‘තිබුණ තත්ත්වෙ හැටියට හොඳයි. වීල්වලටම අටදාහක් ගියා. දැන් බස්එකේ එතෑකි’ මම කියමි.
‘ලෙඩ්ඩු කියල අමුතු කොටසක් නෑ. කවුරුත් ලෙඩ්ඩු. ධර්මෙ තියෙනව බඩගින්නත් ලෙඩක්ය කියල’ කවුරුදෝ කියයි.
හෙදියට හිනා යයි. තවත් අය හිනැහෙන්නට පටන් ගනිති. හෙදිය ඔවුන් නිහඬ කරයි.
‘රමණීය ගොඩැල්ල’ යනු බෙරලපනාතර මහ විදුහල පිහිටි හෙල් පන්තියේ මහා පයිනස් වනාන්තරය මැද සිට රමණීය සේවාවක් සපයන නිහඬ තැනකි.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති,
සුවය ලබමින් සිටින සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
-------------------------------
අවුරුදු සැමරුම
අලුත් අවුරුදු දවසකි.
අපි කිරිබත් පිස, කැවිලි පෙවිලි ද සකසා දූවරුන් දෙදෙනා සමඟ සුබ මොහොතින් අනුභව කරන්නට සූදානම් වී සිටියෙමු.
මෙවිට ම අප නිවෙස ඉදිරිපසින් කෙඳිරිලි හඬක් නැගිණ. කෙඳිරිලි හඬ නැගුණේ නිවෙසෙහි රෝගී පරීක්ෂාවට වෙන් කැරුණු කුටියෙන් බව පැහැදිලි විය .
නිවෙසේ කවුළුවකින් එදෙස විපරම් කළ මට දැකගත හැකි වූයේ මහලු යුවළකි. ඔවුන් දෙදෙනාට ඇස් නොපෙනෙන බව ද මට වැටහිණ.
මම ආපසු හැරී ගෙතුළට ගියෙමි. වෙද හාමිනේ කෙනෙකු වූ මා බිරිය මවෙත විමසිලිමත් බැල්මක් හෙළුවා ය.
‘සතෙක් කාල වගෙයි‘ මම කීමි.
පළමු ව ඉටු කළ යුත්තේ කවරක් ද? අවුරුදු චාරිත්‍ර ද? නොඑසේ නම් රෝගියා සුවපත් කිරීම ද?
අපි වහා ම නිවැරදි දේ තෝරා ගතිමු.
කිරිබත් පිඬක් වහ වහා ගිල දැමූ වෙදහාමිනේ එසැණින් ම වෙද කුටියට ගියා ය. මම ද ගියෙමි.
එහි සිටියේ අන්ධ යාචක යුවළකි. ස්ත්‍රියට සර්පයකු දෂ්ට කර තිබිණ.
වෙදහාමිනේ ඇයට ප්‍රතිකාර කරන්නට පටන් ගත්තා ය. කෙමෙන් රෝගී කතගේ වේදනාත්මක කෙඳිරිය අඩුව ගියේ ය.
‘දැං විස බැහැල ගිහිං. ඔයාලට යන්ඩ පුළුවං’ වෙදහාමිනේ කීවා ය.
‘අනේ වෙදනෝන, මීට කලිං අපි ළඟපාත තිබුණ සර්ප විසට වෙදකං කරන තැන් දෙකකට ගියා. ඒත් බේත් කෙරුවෙ නෑ. අවුරුද්ද මූසල කරන්නැතුව පලයල්ල කියල කිව්ව’ අන්ධ සැමියා කීවේ ය.
‘දැං ප්‍රශ්නයක් නෑ. ඔය බේතින් හොඳ වෙයි’
‘අනේ නෝන, අපි ළඟ දෙන්ඩ සල්ලියක් නං නෑ. එ්ත් නොදිත් බෑ. මේ රුපියල් දහයමයි තියෙන්නෙ. නෝනට පින්සිද්ධ වෙනව කරපු උපකාරෙට’
අපි ඔවුනට ගමන් වියදම් ද දී පිටත් කර හැරියෙමු.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.