
පාස්කු ඉරිදා ප්‍රහාරය අඳුරු අතීතයක් එක් කළා සේම මේ ප්‍රහාරයෙන් පසු නැවත වතාවක් ශ්‍රී ලංකාවේ මිනිසුන්ගේ මනුෂ්‍යත්වය ලොවට කියා පෑවේය.
බෝම්බ ප්‍රහාර රැසකට මුහුණ දීමට සිදු වූ ජනතාවට ත්‍රස්තයන් හමුවේ ජීවිත තුන්සියයකට වැඩි ප්‍රමාණයක් පූජා කිරීමට සිදු වූ අතර තවත් පන්සියකට ආසන්න පිරිසක් තුවාල ලැබුවේය. මෙලෙස තුවාල ලැබූ පිරිසට අවශ්‍ය ලේ ලබාදීම සඳහා දසදහස් ගණනින් ජනතාව පක්ෂ, පාට, ආගම්, ජාති භේදයකින් තොරව රෝහල්වලට එක්ව සිටිනු ජනමාධ්‍යයෙන් දැකගත හැකි විය. තවත් පිරිස් තමන්ට හැකි අයුරින් පීඩාවට. දුකට පත් ජනතාව සමඟ දුක බෙදා ගනු ලැබීය.
මේ අතර තවත් විශේෂ සිදුවීමක් පුවත්පත් සහ රූපවාහිනි මාධ්‍යයෙන් ප්‍රචාරය කෙරිණි.
එක්තරා කාන්තාවක් තමන් දරුවන් සේ රැක බලාගත් සුනඛයන් පස් දෙනකු ශ්‍රී ලංකා යුද හමුදවේ ඉංජිනේරු බළකාය වෙත බාර දෙන ආකාරය මෙහිදී මාධ්‍යයෙන් ප්‍රචාරය කෙරුණු අතර එහිදී ඇය හඬමින් යම් ප්‍රාර්ථනයක් ද කළා ය.
දැනට ශ්‍රී ලංකාව පුරා කරමින් පවතින සෝදිසි මෙහෙයුම් සඳහා නොයෙක් වර්ග වලට අයත් සුනඛයන් යොදා ගන්නා අතර මීට පෙර ද බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීම සඳහා ආරක්ෂක අංශ බල්ලන්ගේ සහය ලබා ගන්නා ආකාරය අපි දැක ඇත්තෙමු. ‘ජර්මන් ෂෙෆඩ්’ වර්ගයට අයත් සුනඛයන් පස්දෙනකු මේ කාන්තාව විසින් මෙලෙස යුද හමුදාවට ලබාදී ඇත්තේ බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා සිදු කරන මෙහෙයුම්වලට ඒ සුනඛයන්ගේ ද සහය ලබාදීමට බව අප කළ සොයා බැලීමේදී අපට දැන ගැනීමට හැකි විය.
කොළඹ බම්බලපිටියේ පිහිටි හින්දු විද්‍යාලය අසල ලෝරන්ස් මාවතේ අංක 80A නිවසේ පදිංචි මේ සංවේදී කාන්තාව සොයා ඉකුත් 2019.05.02 අපි එහි ගියෙමු.
අදාළ ලිපිනයේ සඳහන් නිවස වෙත ගොස් අප එහි ගේට්ටුවට තට්ටු කර විනාඩියකට පමණ පසු ඒ ගේට්ටුව විවෘත කෙරිණි. මඳ සිනහවක් එක් කරමින් වයස අවුරුදු 15 16 අතර වන පිරිමි දරුවකු ‘අංකල්’ එන්න ඇතුළට අම්මා ටෙලිෆෝන් කෝල් එකක යැයි අපට පැවසුවේ ඉතාමත් ම සංග්‍රහශීලිත්වයෙනි.
මේ සුවිසල් නිවසේ කුඩා මිදුලේ ඒ මේ අත දුවන හොඳින් වැඩුණු සුනඛයකු අප දෙසට දිව ආ අතර; අපට ගේට්ටුව විවෘත කළ දරුවාගේ එක නියෝගයකින් ඒ සුනඛයා නතර වූයේ හමුදා නිලධාරියකු ඉදිරිපිටදී සාමාන්‍ය සෙබළකු ආචාර කරන පරිද්දෙනි.
අපි නිවසට ඇතුව වුණෙමු. නිවස තුළ ඒ වන විටත් කවි බණ පදයක් නිවසේ සාලය පුරා ඇසුණේ ය.
ඒ සමඟ ම සිනහවක් පාමින් පැමිණි කාන්තාවක් සමාවෙන්න මම දුරකථන ඇමතුමක සිටියේ යැයි අප සමඟ පැවසුවා ය. ඇය නමින් රත්නායක මුදියන්සේලාගේ ශිරු වත්සලා රත්නායක විජේමාන්න ය. දැනට මැදිවියේ පසුවන ඇය ආචාර්ය උපාධියක් (P.H.D.) ද සතු බව නිවසේ වූ ඡායාරූප කිහිපයකින් අපට අවබෝධ විය.
අශීනි, කිෂාරදී යන දියණියන් ද චානුක, දිනුර, විහාස් යන පුතුන් තිදෙනකුගේ ද මව වන විජේමාන්න මහත්මියගේ ස්වාමි පුරුෂයා ශ්‍රී ලංකා රේගුවේ රේගු අධිකාරිවරයකු වශයෙන් දැනට සේවය කරන එන්.පි.පි. රත්නායක මහතාය. ඇගේ ළමුන්ගෙ වයස අවුරුදු 32 සිට 14 දක්වා වයස්වලට අයත් අතර ඉන් තිදෙනකු ම මේ වන විට ඕස්ට්‍රේලියාවේ උසස් අධ්‍යාපනය හදාරමින් සිටිති.
ඇගේ මව කෑගල්ල ප්‍රදේශයේ වන අතර පියා නුවර ප්‍රදේශයේ බව විජේමාන්න මහත්මිය සඳහන් කළා ය.
රූපලාවණ්‍ය ක්ෂේත්‍රයේ නමක් දිනා සිටින ඇය කථිකාචාර්යවරියක් ලෙස ද සේවය කරන අතර ව්‍යාපාර කිහිපයක් ම පවත්වාගෙන යයි. අවුරුදු ගණනාවක් තිස්සේ සුරතලුන් ඇති දැඩි කර ඇති ඇය මේ වන විට තුවාල සිදුවූ මෙන් ම රැකවරණයක් නැති පූසන්, බල්ලන්ට රැකවරණයක් ලබාදීම සඳහා මහඟු සේවයක් කරමින් සිටින්නීය.
තුවාල සිදු වූ මෙන් ම නොයෙක් අකරතැබ්බවලට ලක් වූ පූසන් 15 දෙනකු පමණ අප ඒ නිවෙසට යන මොහොතෙත් එහි රැකවරණය ලබමින් සිටියේ සත්ව කරුණාව පිළිබඳ අපගේ සිතට ද හැඟීමක් එක් කරමින් ය.
ෆෙලන්, එලා, කොකො යන මාස හයක් පමණ වයසැති ජර්මන් ෂෙෆඩ් වර්ගයට අයත් බලු පැටව් තිදෙනාත් ඒ බලුපැටව් තිදෙනාගේ මව සහ පියා වන තියරා සහ ස්කයි මෙලෙස යුද හමුදාව වෙත බාර දී ඇති අතර මේ නිවසේදී ද ඒ සතුන්ට යම් පුහුණුවක් ලබා දීමට විජයමාන්න මහත්මිය කටයුතු කර තිබුණා.
ඇගේ අණ දීමට අනුව ආහාර පාන ලබා ගැනීම හිඳ ගැනීම නිවෙසට ඇතුළු වීම පිට වීම වැනි ක්‍රියා මේ සුනඛයන්ට පුහුණු කර තිබුණි.
බෝම්බ හඳුනා ගැනීමට, ගිනි අවි හඳුනා ගැනීමට මෙන් ම පුපුරණ ද්‍රව්‍ය සඟවා ඇති ස්ථාන වලින් සොයා ගැනීමට මේ සුනඛයන් වර්ගයට විශේෂ හැකියාවක් ඇති බව යුද හමුදා උසස් නිලධාරියෙක් පැවසීය.
වෙළඳ වටිනාකමක් ඇති මේ සුනඛයන් ආරක්ෂක අංශ විසින් දීර්ඝ කාලයක් නොයෙක් පුහුණු කිරීම් ලබා දීමෙන් පසු බෝම්බ ඇතුළු පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමේ මෙහෙයුම් වලට යොදා ගන්නා බවද ඒ නිලධාරියා අවධාරණය කළේය. පොලිස් විශේෂ කාර්ය බළකාය, පොලිසිය මෙන් ම ත්‍රිවිධ හමුදාව මෙලෙස මේ සුනඛයන් දැනට නොයෙක් මෙහෙයුම් සඳහා යොදා ගනිති.
විජයමාන්න මහත්මිය සමඟ කොටපොල අමරකිත්ති හිමියන් ඇතුළු පිරිසක් එක්ව මේ වන විට සතුන් රැක ගැනීම සඳහා ස්වේඡා වැඩසටහන් ද ක්‍රියාත්මක කරමින් සිටිති.
තවද ඇය විසින් මේ වන විට ගවයන් 35කට වැඩි ප්‍රමාණයකගේ ජීවිත බේරා ගෙන ඇති අතර ඒ ගවයන් මස් සඳහා ඝාතනයට අලෙවි කර තිබූ ගවයන් වීම විශේෂත්වයකි. ඇගේ පෞද්ගලික මුදලින් මෙලෙස මේ සතුන්ට අභය දානය ලබා දුන් බව ඇය ඉතා සතුටින් ප්‍රකාශ කළා ය. ඇය සිදු කරගෙන යන කර්තව්‍ය පිළිබඳ ව ඈ මෙසේ අදහස් ප්‍රකාශ කළා ය.
“වීදි සතුන් කියන්නේ කිසිම හවුහරණක් නැති සතුන්. ඒ සතුන් බලා කියාගන්න එක මම කුඩා කාලයේ සිට ම සිදු කළා.
මම මට හැකි සැම අවස්ථාවක ම සතුන්ට පිහිට වෙන්නට වග බලා ගන්නවා. මගේ මහත්තයා දරුවන් මේ සඳහා ලොකු සහයෝගයක් ලබා දෙනවා. ඒ වගේ ම දැන් දැන් සතුන් වැඩිපුර ලැබීමත් සමඟ මගේ හිතවතුන් ද මේ සඳහා මට ඔවුන්ගේ ද උපකාර ලබා දෙනවා.
මීට අමතරව ඈත පළාත්වල දුප්පත් පවුල්වලට හැකි අයුරින් උදව් උපකාර කිරීමට ද අපේ පවුල කටයුතු කරනවා. එය අපගේ පෞද්ගලික ධන පරිත්‍යාගයෙන් තමයි සිදු කරන්නේ.
යම් කෙනෙක් හොඳ හිතින් සතුන් බලා ගන්න ඉදිරිපත් වනවා නම් ඒ පුද්ගලයන්ට වටිනා බල්ලන් ලබා දීමට අපට හැකියාව තිබෙනවා. එලෙසම අසරණ වූ රැකවරණයක් නොමැති සුරතල් සතුන් හදා වඩා ගැනීමට අප ඕනෑම අවස්ථාවක ඉදිරිපත් වෙනවා.
මේ වෙනුවෙන් මුහුණු පොතේ “The Save movement Ceylon Foundation” නමින් තොරතුරු ලබා ගත හැකියි. කිසිඳු රාජ්‍ය නොවන සංවිධානයකින් අප මුදල් ලබා ගන්නේ නෑ. මෙය රාජ්‍ය නොවන සංවිධානයක් බවද මම ජනතාවට ප්‍රකාශ කරන්න කැමතියි. ඕනෑම කෙනකුට යහපත් සිතින් අප සමඟ මේ සඳහා එක්විය හැකියි.
“[email protected] විද්්‍යුත් තැපෑලට ලියන්නට, ඕනෑම කෙනකුට අවස්ථාව තිබෙනවා.
කොළඹ නගරය ආශ්‍රිතව රුක් රෝපණය කිරීමේ වැඩසටහනක් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපගේ සංවිධානය සැලසුම් කරලා තිබෙන්නේ. “Garbage tree Sri Lankan, යන නමින් එය නම් කර තිබෙනවා. කොළඹ නගර සභාව සමඟ මේ සම්බන්ධව සාකච්ඡා කර තිබෙනවා. ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා මේ සඳහා සහයෝගය ලබාදීමට කැමැත්ත ප්‍රකාශ කළා. මේ සඳහා ජනතා සහයෝගය ද මා බලාපොරොත්තු වෙනවා.
මීට පෙර අප ළඟ සිටි සුනඛයන්ට පිහිට වූයේ අපිට; ඒත් දැන් යුද හමුදාවට ලබා දුන් මගේ දරුවෝ වගේ බලාගත්ත බල්ලන් පස්දෙනා බෝම්බ සොයා ගනිමින් ජනතාවට සේවයක් කරාවි. ඒ සතුන්ට ලබන ආත්මයේ මිනිස් ආත්ම ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා.”
ඡායාරූප - විමල් කරුණාතිලක