ලංකා­වට ඇලුම් කළ භාරත ජන­පති දාර්ශ­නි­කයා | සිළුමිණ

ලංකා­වට ඇලුම් කළ භාරත ජන­පති දාර්ශ­නි­කයා

සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් 1988 සැප්තැම්බර් 05 වැනිදා භාරතයේ තිරුකානි නම් ප්‍රදේශයේ උපත ලැබූ අතර ඔහු මදුරාසියේ ක්‍රිස්තියානි විද්‍යාලය, තරුපති, වෙල්ලොර් විද්‍යාලවලින් අධ්‍යාපන ලබා මහාචාර්යවරයකු ලෙස මයිසූර් විශ්වවිද්‍යාලයේ ද උපකුලපතිවරයකු ලෙස ආන්ද්‍රා විශ්ව විද්‍යාලයේද කටයුතු කළ පාණ්ඩිත්වයෙන් සපිරි දාර්ශනිකයෙකි.

ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න කුරුවිට බණ්ඩාරයන් ලියූ ලිපියක සඳහන් කර තිබුණු පරිදි ආගම දහම පිළිබඳ ‘නොබෙල් ත්‍යාගය’ ව‍ු ‘ටෙම්පල්ටන් ත්‍යාගය’ එංගලන්තයේ බකිංහැම් මාලිගාවේදී පැවැත්වුණේ රාධක්‍රිෂ්ණන් ගිලන් වී සිටි අවස්ථාවකය. 1921 දී කල්කටා විශ්වවිද්‍යායේ දර්ශනය පිළිබඳව පස්වැනි ජෝර්ජ් අනුස්මරණ මහාචාර්ය ධූරයත්, එංගලන්තයේ මැන්චෙස්ටර් විද්‍යාලයේ සමයාන්තර දර්ශනය පිළිබඳ කථිකාචාර්ය ධූරයටත්, 1926 දී චිකාගෝ විශ්වවිද්‍යාලයයේ කථිකාචාර්ය ධූරයෙන් පිදුම් ලැබූ බවය. මැන්චෙස්ටර් විද්‍යාලයේ ද කථිකාචාර්ය ධ‍ූරය ද දැරූ ඔහු1952 සිට 1962 තෙක් ඉන්දියාවේ උප ජනාධිපති ධූරය ද හැටේ දශකයේ ඉන්දියාවේ ජනාධිපතිවරයා ද විය. එතුමා 1975 අප්‍රේල් 16 ‍වැනිදා අසූ අට වසරක් ආයු වළඳා ජීවිතයෙන් සමුගත්තේ ය.

දාර්ශනිකයකු, චින්තකයකු වූ ඉන්දියාවේ උප ජනාධිපති ආචාර්ය සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් 1958 ලංකාවට පැමිණ පැවැත්වූ කතා වසර 61 කට පමණ පෙර පැවැත්වූ කතා අදටත් සර්වකාලීන අගයක් දක්වයි. 1958 පෙබරවාරි 04 වැනි ලංකාවේ දස වැනි සංවත්සරය නිමිත්තෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ පවත්වන ලද මහජන රැස්වීම අමතා ආචාර්ය රාධ ක්‍රිෂ්ණන් කතා කරමින් කියා සිටියේ ලංකාව සතුව ඇත්තේ මැණිකක් බඳු රටක් බඳුය කියායි. ඔහු මෙසේ ද කියා ඇත.

“ඔබගේ රටට දීර්ඝ ඉතිහාසයක් ඇත‍. මෙගතීස්, ක්ලෝඩියස් හා ටොලමි ඔබගේ රට ගැන දැන සිටියහ. මහින්ද, පරාක්‍රමබාහු වැනි ඔබගේ ශ්‍රේෂ්ඨ නර නාථයෝ සියලු යස ඉසුරෙන් පිරි අලංකාර නගර ගොඩ නැඟූහ. සකල සෞන්දර්යයෙන් හෙබි සුවිසල් ගොඩනැගිලි ඉඳි කළහ. ඔවුහු එසේ කළෝ, ඔවුන් සතුව විශාල ධන සම්භාරයක් හෝ අසීමිත බල පරාක්‍රමයක් හෝ තිබුණු නිසාවත් අසංවර චින්තන ශක්තියක් පැවති නිසාවත් නොව නියම ‍ශ්‍රේෂ්ඨත්වය - ප්‍රාසාංගික කරුණු අභිභවා නැඟී සිටිමින් විපාක ගැන ද නො සලකා නැඟී සිටිමින් විපාක ගැන ද නො සලකා යුක්තිය ඉටු කරන නියම ශ්‍රේෂ්ඨත්වය - පිළිබඳ හරි දැකීමක් ඔවුන් තුළ පැවැති බැවිනි. ඔබගේ ජනතාව සතුව එකල මහත් ක්‍රියාශීලී භාවයක් හා උදාර පරමාර්ථයක් තිබිණ. මේ හේතු කොටගෙන, විශාල ජයග්‍රහණයන් ලබා ගැනීමට හැකි වූයේ.”

ආචාර්ය රාධක්‍රිෂ්ණන් පවසා ඇත්තේ රටක් මැනෙන්නේ එහි බිම් ප්‍රමාණයෙන් නොව එහි ආත්මයෙන් හෙවත් ජනතාවගේ ආධ්‍යාත්මික ජීවිතයෙන් බවය. අපගේ දියුණුවට සම්බාධක පමුණුවන, මරු කැඳවන, අතීතයේ මාරග්‍රහනයෙන් හා ජාති භේදයෙන් හා ආගම් භේදයෙන් අපි විමුක්තිය ලබාගත යුතු බව ය. අනාගතය වසා පැතිරී ඇති වලා පටලයන් හා අපගේ ජනතාවගෙන් වැඩි දෙනකු පෙළන දුෂ්කරතාවන් ඉවත් කිරීම පිණිස අප තුළ පවත්නා අධිෂ්ඨානය අප තව තවත් දියුණු කළ යුතු බව ය. දැඩි කරගත යුතු බව ය. අපි ජාතික සමඟියත් සමෘද්ධියත් සඳහා වැඩ කළ යුතු බව ය. ලෞකික සමෘද්ධිය හෝ දේශපාලන බලය හෝ සදාචාරාත්මක පදනමක් නැතිව ඇති විය නොහැකි බව ය. ලෝකය දරාගෙන සිටින්නෝ අවංක පුද්ගලයෝ බවත් ආත්ම පරිත්‍යාගයෙහි යෙන්නෝ බවවත් ය.

ආචාර්ය රාධක්‍රිෂ්ණන් 1958 පෙබරවාරි 03 වැනිදා ලංකා පාර්ලිමේන්තුවේ උභය මන්ත්‍රී මණ්ඩලය විසින් පැවැත්වුණු භෝජන සංග්‍රහය අවසානයේ පැවැත්වූ කථාව එදා සිටි උගතුන්, බුද්ධිමතුන්, අගය කළ වෙනත් කතාව නැති තරම් ය. මේ කතාව එතුමා පවත්වන ලද්දේ දස වැනි නිදහස් දිනට පෙර දින අගමැතිතුමා, විපක්ෂ නායක, සෙනට් සභාපතිතුමා, කථානායකතුමා ප්‍රමුඛ මන්ත්‍රීන් උදෙසා ය.

“ඔබතුමා (අගමැති ඇස්. ඩබ්ලිව්.ආර්.ඩී. බණ්ඩාරනායක මහතා) දැන් ප්‍රජාතන්ත්‍රික උරුමයන් හා චිරත්තන සම්ප්‍රදායයන් සම්බන්ධයෙන් කථා කෙළෙහි ය. ප්‍රජාතන්ත්‍රවාදී සමාජය නම්, විවිධ මිනිසුන් වෙසෙන මුත්, සමානාත්මතාවය පවත්නා වූත්, සෑම දෙන ම සාමයෙන් වෙසෙන්නා වූත් සමාජයකි. එම සමාජයේ වෙසෙන මිනිසුන් විවිධ රැකී රක්ෂාවන්හි යෙදී සිටිනු විය හැකි ය. විවිධ ජාතීන්ට හා ගෝත්‍රයනට අයත් විය හැකි ය; එසේ වුව, ඔවුන් සම තත්ත්වයෙහි ලා සලකනු ලැබේ. එයයි ප්‍රජාතන්ත්‍රවාදයේ හරය. කිසිම රටක් හෝ කිසිම පුද්ගලයකු හෝ නො වටිනා නො වැදගත් රටක් හෝ ලෙස අපට සැලකිය නො හැක්කේ ය. එක් ඉංගිරිසි ජාතික කවියෙක් මෙසේ කීවේ ය. “ගල් ගොඩැලිවලින් ලස්සන මල් පිපේ. කාරුණික ක්‍රියා නපුරු ඇත්තන් ගෙන් සිදු වේ. සමහර විට නරකම තුරඟුන් තරගයෙන් දිනනු පෙනේ.” වෙනත් වචනවලින් කියතොත්, මිනිසුන් සතු සහජ දස්කම් දියුණු කර ගැනීමට ඔවුනට අවස්ථාවක් දෙන තුරු ඔවුන්ගේ ඒ නිසඟ දස්කම් හෝ ප්‍රතිභා ශක්තීන් ගැන දැන ගැනීමට ක්‍රමයක් නැත.

ආචාර්ය රාධක්‍රිෂ්ණන්ගේ කතාවට ප්‍රථම නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ විරුද්ධ පක්ෂයේ නායක ආචාර්ය ඇන්.ඇම්. පෙරේරාගේ කතාව ගැන ද සඳහනක් කිරීමට අමතක කොට නැත.

“මේ දැන් ටිකකට කලින් කථා කළ ඔ‍බගේ විරුද්ධ පක්ෂයේ නායකයාට (ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා) සලකන ආකාරය හෝ ඔබ රටේ වෙසෙන සුළු ජාතීන්ට සලකන ආකාරය වූ කලි නියම ප්‍රජාතන්ත්‍රවාදී රටක් පිළිබඳ පරීක්ෂණයකි. ඔබ රටේ පවත්නේ නියම ප්‍රජාතන්ත්‍රවාදයක් ද යන්න ඉන් උරගා බැලිය හැක්කේ ය. සාකච්ඡාවෙන්, අදහස් හුවමාරුවෙන්, ගිවිසුමෙන් හා දෙපක්ෂයට හිතකර තීරණවලට බැසීම ආදියෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී සම්ප්‍රදාය අන්තර්ජාතික ප්‍රශ්න බොහොමයක් ම විසඳීමට උපකාරවත් වන බව හැඟී යන්නේ ය.”

1958 පෙබරවාරි 03 වැනිදා ම ආචාර්ය රාධක්‍රිෂ්ණන් හොරණ ශ්‍රීපාලි විද්‍යාලයයේ දී පවත්වන ලද කතාවෙන් තමා 1933 ඔක්තෝබර් මාසයේ දෝන අල්පිනා රත්නායක භාරකාර මණ්ඩලයේ මෙහෙයවීමෙන් කථා පන්තියක් කිරීමට ලැබූ ආරාධනය ගෞරවයෙන් සිහිපත් කර ඇත. එහිදී භාරකාර මණ්ඩලය ඉතා වැදගත් පරමාර්ථයක් වූ ජාති, පන්ති, කුල - ගෝත්‍ර, ආගමික හා දේශපාලනමය සම්බාධකයන්ගෙන් අවහිර නොවුණු, විමුක්තිය ලැබූ මනසක් ඇති පුද්ගලයන් රැසක් බිහි කිරීමෙන් මනුෂ්‍ය වර්ගයා අතර සමගිය සංවර්ධනය කරනු පිණිස සේවය කිරීම පිළිබඳ පරමාර්ථය තමා ඉතා අගය කරන බව පවසා ඇත.

රෝග, රෝග හේතු, ආරෝග්‍යය හා භෛෂජ්‍ය හෙවත් රෝගවලට බෙහෙත් කිරීම ගැන වෛද්‍ය ශාස්ත්‍රය සම්බන්ධයෙන් යෝග සූත්‍රයෙහි සඳහන් කර ඇති බව යයි පවසන ආචාර්ය රාධක්‍රිෂ්ණන් චතුරාර්ය සත්‍ය ගැන සඳහන් කරන බුදුරජාණන් වහන්සේ ද ඊට සමාන රීතියක් අනුගමනය කළ බව සඳහන් කරයි. අප කෙරෙහි විශ්වාස සමූහයක් ඇති විය යුතු යැයි චතුරාර්යය සත්‍යයෙන් බල නොකරන එයින් සත්‍යයෙන් බල කෙරෙනුයේ ලෝකය දෙස බලා යථාර්ථය ප්‍රත්‍යක්ෂ කර ගැනීම බව ද සඳහන් කර ඇත. තවදුරටත් එතුමා මෙසේ ද පවසයි.

“මේ ලෝකයෙහි කිසිවක් සදාතනික ව නො පවතී. අතිශය බල පරාක්‍රමයෙන් යුත් මහා ශිෂ්ඨාචාරවලට ශ්‍රේෂ්ඨ සාහිත්‍ය හා කලාත්මක කෘතීන්ට ද අවසානයක් ඇත්තේ ය. සකල ජීවයක් ම, මුළුමහත් භවය ම, කාලයාගේ ස්වභාවය කොට ඇති බව, එක් සිද්ධියකට අනතුරුව තවත් දර්ශනවාදියකු වන හෛඩිගර් (Heidegger) පෙන්වා දෙයි. මරණයෙන් බේරීමට හෝ කර්මයෙන් ගැලවීමට හෝ කිසිවකුට නොහැකි ය. භීතියෙන් තැතිගත් මොහොතේදී අභ්‍යවකාශය හා කාලය පිළිබඳ ලෝකයකට විසි කරනු ලැබීම පිළිබඳ අනුභාවාත්මක හැඟීම ඇති වූ කල්හී තමා සිටින්නේ අතිරහස්‍ය ශුන්‍ය භාවය පිළිබඳ පරිසමාප්ත හැඟීම ඇති වූ කල අපි අසහනයකින් හා අනාරක්ෂාව පිළිබඳ පරිසමාප්ත හැඟීම ඇති වූ කල අපි අසහනයකින් හා අනාරක්ෂාව පිළිබඳ හැඟීමකින් දුක් විඳින්නෙමු. මිනිසා ශුන්‍යභාවය විද්වංශනය කොට එයින් ඔබ්බට යයි ද එසේ නැති නම් ශුන්‍ය භාවය විසින් ඔහු ගිල ගනී ද යන හැඟීම හා භීතිය පිළිබඳ හැඟීම් බැඳ‍ී ඇත. ජීවනයෙන් විමුක්තිය ලැබීමට නම් පුද්ගලයා තුළ නිරුද්ධිය පිළිබඳ දුක්ඛදායක අනුභවයක්, ප්‍රත්‍යක්ෂමූලක මේ මුළු ජීවනය පිළිබඳ ශුන්‍යභාවය සම්බන්ධිත හැඟීමක්, අනිත්‍යය හා මරණය පිළිබඳ නීතියට යටත් වූ ජීවනය පිළිබඳ හැඟීමක් ඇති විය යුතු ය. සංවේගය හා සංතාපය මනුෂ්‍ය ජීවිතය පිළිබඳ නිත්‍ය ස්වභාවය නම් කාලයෙන්, මරණයෙන්, ‘කාලෝස්මි ලොකක්ෂයකෘත්’ (මම ලොකයක්ෂය කරන කාලය වෙමි) නම් න්‍යායයෙන් ගැලවීමක් නැත‍. මෙය ලෝකය නිරර්ථක, නිෂ්ඵල දෙයක්, ප්‍රතිෂේධාත්මක ශුන්‍ය දෙයක් කරන්නේ ය. අප පිළිබඳව අග හා මුල අප පිළිබඳ සියල්ල ම, මේ ජීවනය නම්, සියල්ලම මේ සංසාරය නම් භීතියෙන් හා සංතාපයෙන් ගැලවීමක් නැත්තේ ය. මරණයෙන්, කාලයෙන් සියල්ල අවසන් නොවන බව හින්දු හා බෞද්ධ චින්තකයෝ තරයේ කියා සිටිති. උපත හා මරණය පිළිබඳ චක්‍රයෙන් අපට ගැලවිය හැක්කේ ය.

අප අගාධය තෙක් ගිලුණු විට, ශෝකයෙන් පරිපීඩිතවූ විට අපේ හෘදය සාක්ෂ්‍යයට අපට දොස් නඟන විට, අපි මෙසේ අසන්නෙමු. මෙයින් ගැලවීමක් නැද්ද? ශාන්ත පාවුලු ගේ වචනවලින් කියනවා නම් “මා මේ මරණය පිළිබඳ භාවනාව යැයි ප්ලේටෝගේ කල්පනාව විය. ක්‍රිස්තියානි ධර්මයේ හැටියට කුරුසියෙන් හෙවත් දුක් විඳීමෙන් ගැලවීම ලැබෙන්නේය. අපේ බලපුළුවන්කමේ අවසානයට අප පැමිණි විට නෛරන්තර්යයේ හෙවත් නිත්‍යත්වයේ ආසන්නයට අපි පිවිසෙන්නෙමු.”

ආචාර්ය සර්වපල්ලි රාධක්‍රිෂ්ණන් 1958 දී ලංකාවේ දස වැනි සංවත්සරයට සහභාගි වීමට ප්‍රථම තවත් දේශන පවත්වා ඇත. එයින් 1958 පෙබරවාරි 02 වැනිදා රාමක්‍රිෂ්ණ මීසමේ හා විවේකානන්ද සංගමයේ මෙහෙයවීමෙන් කොළඹ නගර සභා ශාලාවේ පවත්වා ඇත. අනික් දේශනය පවත්වා ඇත්තේ 1958 පෙබරවාරි 06 වැනිදා එතුමා ලංකාවේ නිදහස් දිනයට සහභාගි වීමට පෙර යාපනයේදී ය. මෙම අවස්ථාවට ලංකාවේ ඉන්දියානු මහා කොමසාරිස් ශ්‍රී වයි.ඩී. ‍ගන්ඩේවියා හා උතුරැ පළාතේ ආණ්ඩුවේ ඒජන්ත (දිසාපති) ශ්‍රී කාන්තා යන මහතුන් සහභාගි වී ඇත.

එහිදී ආචාර්ය රාධක්‍රිෂ්ණන් කියා ඇත්තේ ආගම් ගැන කථා කරන විට, එය මනුෂ්‍යයන් හට ම බුද්ධියක් ඇත්තවුන් හට ම විශේෂ වූවකු හැටියට තේරුම් ගත යුතුව ඇති බවය. එතුමා එය පැහැදිලි කර ඇත්තේ මෙසේය.

“තිරිසන්නු පල්ලි, පන්සල් නො සදති. උන් සම්බන්ධයෙන් යම් යම් දේ සිදුවන්නේ ඇයි දැයි අප මෙන්, උහු නො අසති. උන් රෝගාතුර වී මහලු වී මිය යනු ඇත. එහෙත්, “ලෙඩ ‍රෝග වැලඳී අප මිය යන්නේ ඇයි? යන ප්‍රශ්නය උහු නො අසති. ඒ වනාහි කිසි ම තිරිසනකු විසින් අසනු ලබන ප්‍රශ්නයක් නො වේ. උනට කිසියම් ආකාරයක මනසක් තිබෙනු විය හැකි ය. යම් යම් දේ උනට වැටහෙනු විය හැකි ය. ඉව නිසා උන් යම් යම් දේ කරනු විය හැකි ය. ඒ හැර උන්ගේ ජීවිතය, ඉපදීම, ජීවත්වීම හා මිය යෑම පිළිබඳ වූ නිකම් ම චක්‍රයකි. එසේ ද වුව මිනිසුන් ගැන සැලකීමේ දී නම්, මේ දෑ අපට සිදුවන්නේ ඇයි යන ප්‍රශ්නය නගනු ලැබේ. මේ ලෝකයේ දුක පවතින්නේ ඇයි යන ප්‍රශ්නය බුදුරජාණන් වහන්සේ ඇසූ බව දන්නා කරුණකි. මුළුමහත් ලෝක ධාතුව ශෝකයෙන් පිරී පවත්නා බව පෙනී යන්නේ ය. එය එසේ වෙන්නේ ඇයි? මීට කිසියම් පිළියමක් ඇද්ද? ඒ වූ කලී මනුෂ්‍ය බුද්ධිය විසින් නඟනු ලබන ප්‍රශ්නයකි.

අප ‍රෝග ග්‍රස්ත වන බව, අප මහලු වී ජරා ජීර්ණ වන බව, අවසානයේ දී අප මැරෙන බව අපි දනිමු. ඉඳින් අපි මේ ප්‍රශ්නය අසන්නෙමු‍. මේවා සිදුවන්නේ ඇයි? ශාන්ත පවුළුගේ වැලපිල්ල ඔබ දන්නෙහි ය; “මේ මරණය පිළිබඳ කයෙන් කවරෙක් මා බේරා ගනිද්ද? නො නවතින, නිත්‍ය පෙරහරක් බඳු මනුෂ්‍ය ජීවිතයේ ස්වභාවය පිළිබඳ ඒ ප්‍රශ්නය මනුෂ්‍යයා විසින් නඟනු ලබන්නකි. ඔහුට එක් දෙයක් කරන්නට වුවමනා ය. එහෙත් ඔහු කරන්නේ ‍ ‘වෙනකකි. ‘මහා භාරතය’ අපට මෙසේ කිය යි. “හරි දෙය කුමක් දැයි මම දනිමි. එහෙත් එයින් මට වළකින්නට නොහැකි ය.” වෙනත් වචනවලින්, වෙනත් බසකින් ශාන්ත පාවුලු ද මේ අදහස ම පළ ‍ෙකළේ ය. “මා කළ යුතු හොඳ මම නො කරන්නෙමි. මා නො කළ යුතු අත්හල යුතු අයහපත, පාපය මම කරමි.” එය එසේ වන්නේ ඇයි? මේ ප්‍රශ්නය තිරිසන් මනසේ හට නො ගනී. එය මිනිස් මනසේ හට ගනී. හරි දෙය, යුක්තිය, යහපත කුමක්දැයි හෙතෙම දනී. එහෙත් එයින් ලෙහෙසියෙන් ඔහුට වැලකිය නො හැක්කේය.

මෙවැනි විෂමතාවනට අපි ගොදුරු වී සිටින්නමෝ කවර හෙයින් ද? මේවා මනුෂ්‍ය බුද්ධිය විසින් අසනු ලබන ප්‍රශ්නය.

ආචාර්ය රාධක්‍රිෂ්ණන් පවසන්නේ ලොව පවත්නා සියලුම ආගම් පාහේ මිනිසාගේ අභ්‍යන්තරයෙහි දෙවියන් වැඩ සිටිනා බවට දෙස් දෙන බව ය. අඥාන වෙනුවට ඥානය ඇති කරගන්නැ” යි උපනිෂද් අපට කියනවා මෙන් ම බුදුරජාණන් වහන්සේ ‘අවිද්‍යාව නැති කොට බෝධිය ඇති කර ගන්නැයි කියා ද, “මිනිසා නැවත ඉපදීම නො ලැබුවහොත් දෙවියන් වහන්සේ ගේ රාජ්‍යයට ඔහුට පිවිසිය නො හැකි යැ” යි ජේසුස් වහන්සේ දේශනා කළ බව ය. එසේ ම අපගේ ගෙලෙහි ඇති ශිරාවටත් වඩා දෙවියන් වහන්සේ අපට ආසනයෙන් වෙසෙන්නේ යැයි ද, අප ජීවත් විය යුත්තේ උන්වහන්සේ අප ළඟින් ම වෙසෙන්නේ යැයි යන හැඟීමෙන් යුතුව හා උන්වහන්සේ අපගේ ආශ්වාසයට ම සමාන යැයි යන හැඟීමෙන් යුතුව යැයි ද මහමත් තුමා කී බව ද දක්වා ඇත.

ආචාර්ය රාධක්‍රිෂ්ණන්ගේ මේ දේශන කොළඹ ඉන්දියානු තානාපති කාර්යාලය ප්‍රවෘත්ති සේවය විසින් 1958 වසරේ ‘ලංකා කථා’ නමින් පළ කර තිබිණි.

Comments