
ප්‍රවීණ මාධ්‍යවේදියකු සහ ලේඛකයකු වන කුමාර සිරිවර්ධනගේ අලුත් ම පරිවර්තන කෘතිය “හඬ නිහඬ” මෑතකදී ප්‍රකාශයට පත් විය. ඔහු විසින් පරිවර්තනය කළ “ජො ආනා” 2009 දී හොඳ ම පරිවර්තන නවකතාව ලෙස රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් ද “කොන් කළ දෝණි” 2013 දී හොඳ ම පරිවර්තන නවකතාව ලෙස ගොඩගේ සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබූ අතර “සසංකාර” 2015 දී බෞද්ධ සාහිත්‍ය සම්මානයෙන් ද පිදුම් ලැබීය. ඊට අමතර ව ඔහුගේ කෘති සම්මාන සඳහා නිර්දේශ වී තිබේ. මේ ඔහුගේ නවතම පරිවර්තන නවකතාව සහ සාහිත්‍යය සම්බන්ධයෙන් කළ සංලාපයෙකි.
අැලෙක්ස් මයිකලිඩීස්ගේ “ද සයිලන්ට් පේෂන්ට්” නවකතාව පරිවර්තනය සඳහා තෝරා ගැනීමට ඔබට විශේෂ හේතුවක් තිබෙනවාද?
මේ පොත ප්‍රකාශයට පත් කළ මියුසස් පබ්ලිකේෂන් හවුස් ආයතනයෙන් දවසක් මට කතා කරලා ඇහුවා; ඔරියන්ට් සමාගමෙන් “ද සයිලන්ට් පේෂන්ට්” නමින් නවකතාවක් පළ කරනවා, එය පළ කරන දිනයට සමගාමී ව රටවල් කීපයක ම පරිවර්තන නවකතා එළිදක්වනවා, එහි සිංහල පරිවර්තනය මට කරන්න පුළුවනි ද කියලා. ඒ වන විට මම ඉංග්‍රීසි නවකතාව කියවලා තිබුණේ නැති නිසා මට එකපාරට ම බාර ගන්න බැහැනේ; ඒ නිසා මම කිව්වා පොත කියවන්න ඉඩ සලස්වා දෙන්න, පොත කියවලා බලලා වැඩේ කරනවාද නැති ද කියලා මම කියන්නම් කියලා. ඔරියන්ට් සමාගමෙන් “ද සයිලන්ට් පේෂන්ට්” නවකතාවේ පිටපතක් මට ඊ -මේල් කර එවා තිබුණා. එය කියවන විට අපූරු කතාවක් කියන හැඟීම මට දැනුණා. ඒ නිසා මම එය පරිවර්තනය කිරීමට කැමති වුණා.
ඔබ පරිවර්තන සාහිත්‍යයේ නිරත සම්මානනීය ලේඛකයෙක්. මනෝ විද්‍යාත්මක ත්‍රාසජනක ශානරයට අයත් “ද සයිලන්ට් පේෂන්ට්” පොත පරිවර්තනය කිරීමේ අත්දැකීම කොහොමද?
මනෝ විද්‍යාත්මක ත්‍රාසජනක ශානරයට අයත් පොතක් මම පරිවර්තනය කළේ ප්‍රථම වතාවට. ඒ නිසා මනෝ විද්‍යාත්මක වචන ගැන වගේම මනෝ විද්‍යාව ගැනත් මට යම් තාක් දුරකට හදාරන්න සිද්ධ වුණා. ඒත් මෙය අලුත් අත්දැකීමක් වගේම රසවත් අත්දැකීමක් වුණා. මම ඒ පොත කියවලා රස විඳපු කෙනෙක්. ඒ නිසා කොහොමටත් මට එය වෙහෙසකර කටයුත්තක් වුණේ නැහැ. මනෝ විද්‍යාත්මක ත්‍රාසජනක ශානරයට අයත් නවකතා ලංකාවේ ප්‍රචලිත නොවුණත් ලෝකයේ නව සාහිත්‍යය ප්‍රවණතාවක්. ඒ නිසා ලෝක සාහිත්‍යයේ නව ප්‍රවණතා එක්ක කටයුතු කරන්න ලැබීම ගැන මට සතුටුයි.
“ද සයිලන්ට් පේෂන්ට්” ඇලෙක්ස් මයිකලිඩීස්ගේ කුළුදුල් නවකතාව, ලේඛකයකුගේ කුලුඳුල් නවකතාව පරිවර්තනය සඳහා තෝරා ගැනීමේදී ඔහුගේ ආධුනික බව කෙරෙහි ඔබ අවධානය යොමු කළේ නැති ද?
ඇලෙක්ස් මයිකලිඩීස් සිනමා තිර රචකයකු හැටියට අසා තිබුණට නවකතාකරුවකු හැටියට ප්‍රසිද්ධ කෙනෙක් නෙමෙයි. ඔහුගේ කුලුඳුල් නවකතාව පරිවර්තනය කිරීමට ලැබුණාම මට ඔහුගේ ආධුනික බව, කුලුඳුල් නවකතාකරුවකු වීම ගැන යම් චකිතයක් තිබුණා. ඒ නිසා තමයි මම ඒ පොතේ පිටපතක් ඉල්ලුවේ. ඒත් පොත කියවා අවසන් වූ විට ඒ චකිතය පහ වී ගියා. ඔහු ග්‍රීක මූලයක් තිබෙන වෘත්තියෙන් මනෝ වෛද්‍යවරයකු නිසා මෙය ඔහුගේ සැබෑ අත්දැකීමක් ද කියලා මට හිතුණා. මොකද එය ග්‍රීක නාට්‍ය කලාව සහ මනෝවිද්‍යාව සමඟ ගළපලා ඒ තරමට ම රසවත් ව, සාර්ථක ව ගොනු කර තිබුණු නිසා.
ඔබ විදෙස් කෘතියක් සිංහලට පරිවර්තනය කිරීමේදී සැලකිලිමත් වන කරුණු මොනවාද ?
අවසරය ලබා ගැනීමේ නෛතික කටයුතු ප්‍රකාශන සමාගම් අතර සිද්ධ වෙන නිසා මම ඒ ගැන වෙහෙසෙන්නේ නැහැ. ඒත් මම අපේ රටේ සංස්කෘතිය, සදාචාරය සහ සිංහල භාෂාව ගැන පුදුම විදිහට සැලකිලිමත් වෙනවා. සමහර විදේශීය පොත්වල අසභ්‍ය වචන යොදා තිබෙනවා. ඒත් මම ඒ වචන අමු අමුවෙ දමන්නේ නැතිව සභ්‍ය වචනයෙන් ලියනවා. සමහර කතාවල ලිංගිකත්වය වැනි දේවල් දීර්ඝ වශයෙන් විස්තර වෙනවා. ඒත් මම ඒවා සංක්ෂිප්ත ව අදහසට හානි නොවන ආකාරයට අපේ රටේ සංස්කෘතියට ගැළපෙන විදිහට සැර බාල කරලා ලියනවා.
මම විදේශීය පොත ගෙඩි පිටින් ගන්නේ නැහැ. අපේ සිංහල භාෂාව හොඳ පොහොසත් භාෂාවක්. පොත් පරිවර්තනය කිරීමේදී සංයමය ඉතා වැදගත්. මම රැඩිකල් විදිහට අමු අමුවට නොලියා සංයමයෙන් අපට ගැළපෙන විදිහට ලියනවා වගේම “සිංග්ලිෂ්” වචන නොදා ලියන්න හැකිතාක් පරිස්සම් වෙනවා. මම සිංහල භාෂාවට ආදරෙයි. අපේ ගනුදෙනුව සිද්ධ වෙන්නේ භාෂාව එක්ක. සමහර වචනවලට පාරිභාෂික සිංහල වචන හොයා ගන්න නැහැ. ඒත් අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුවත් සිංහල භාෂා දෙපාර්තමේන්තුවත් සකස් කර තිබෙන පාරිභාෂික ශබ්ද මාලාව ප්‍රයෝජනයට අරන් මම සිංහල වචන ම යොදා ගන්නවා. සමහර වෙලාවට මම සිංහල වචන හඳුන්වා දෙනවා. සමහර වචනවලට පාඨකයාගේ පහසුව සඳහා මම පාදක සටහන් යොදනවා.
ඔබ දකින ආකාරයට අද පරිවර්තන සාහිත්‍ය රැල්ලක් ඇති වී තිබෙන‍්නේ ඇයි?
කාලයෙන් කාලයට විවිධ රැලි එනවා. දැන් බලන්න ගීත ක්ෂේත්‍රය ගත්තාම මල් ගැන, පෙම්වතියන්ට කරන යාදිනි ගැන විවිධ රැලි ආවා. චිත්‍රපට ගත්තාම ඉතිහාසය කතා චිත්‍රපට රැල්ලක් ආවා. සාහිත්‍යය ගත්තාමත් ඒ වගේ තමයි. දැන් සාහිත්‍යයේ තියෙන්නේ පරිවර්තන රැල්ලක්. සමහරු සාහිත්‍යයේ තිබෙන පරිවර්තන රැල්ල ගැන ප්‍රශ්න කරනවා. හොඳ පරිවර්තන ඉතිරි වේවී. ගුණාත්මක බවින් තොර පරිවර්තන ගසාගෙන යයි. දැන් ඔය හැම රැල්ලකම සිද්ධ වුණේ ඒ දේනේ. එය පරිවර්තන රැල්ලෙදීත් සිද්ධ වේවී.
පරිවර්තන සාහිත්‍යය රැල්ල නිසා ම බොහෝ දෙනෙක් ඉවක් බවක් නැතිව පරිවර්තන කාර්යයට පෙලඹෙනවා. එය සාහිත්‍යයේ හොඳ ප්‍රවණතාවක් නොවෙයි නේද?
ඔව්. එය සාහිත්‍යයට හොඳ දෙයක් නොවෙයි. සමහරු රැල්ල නිසා ම උඩින් පල්ලෙන් අතගාලා පරිවර්තනය කරලා කීයක් හෝ හොයා ගන්න පෙලඹුණු අවස්ථා තියෙනවා. ඒ ගැන ප්‍රකාශකයන්ටත් වගකීමක් තිබෙනවා කියලයි මම හිතන්නේ. වැඩකට නැති පරිවර්තන නොකර ඉන්න ප්‍රකාශකයන් දැනගන්න ඕනෑ. ගුණාත්මක බවින් හීන පොත් පළ කිරීමෙන් ප්‍රකාශකයන්ට හානියක් සිද්ධ වෙනවා. ඒ බව ප්‍රකාශකයන් තේරුම් ගත යුතුයි. සමහර ප්‍රකාශකයන්ට වැරදුණු තැන් තිබෙනවා. ඒත් ඔවුන් ම ඒවා යළි නිවැරදි කර ගන්නා ආකාරයත් පෙනෙනවා. ඉස්සර නම් පොතක් පළ වුණාම ටික කාලයකින් පත්තරවල විචාර පළ වෙනවා. ඒත් දැන් පොතක් ගැන පැය 24 ක් වැනි කෙටි කාලයක් ඇතුළත ෆේස් බුක් හරහා ප්‍රතිචාර ලැබෙනවා. ඒ කාරණාවත් පරිවර්තන රැලි ඇති වීමට වගේම සාහිත්‍යයේ ප්‍රවණතා ඇති වීමටත් බලපානවා.
ඇතැම් අවස්ථාවලදී මුල් කෘතිය රසවත් ව කියවීමෙන් අනතුරුව, පරිවර්තන කෘතිය කියවන විට පාඨකයාට ඉතා නීරස ස්වාභාවයක් දැනෙනවා. ඒ පිළිබඳ ව ඔබේ අදහස කුමක්ද?
එහෙම වෙන්නේ පදාර්ථ පරිවර්තනය කරන නිසා. පරිවර්තනය කරන විට වචනයෙන් වචනය පරිවර්තනය නොකර අර්ථය අරන් මුල් කෘතියේ ආකෘතිය සහ ශෛලිය රැකගෙන කරන්න පුළුවන්. මෙහිදි පරිවර්තකයාගේ භාෂා දැනුම, භාෂාව හැසිරවීම ඉතා වැදගත් වෙනවා.
ඔබ ස්වතන්ත්‍ර නිර්මාණවලට වඩා පරිවර්තන සාහිත්‍යය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන්නේ ඇයි?
ස්වතන්ත්‍ර පොත් රචනා කරන්න මම කැමතියි. මම අන්තිමට ස්වතන්ත්‍ර නවකතාවක් පළ කළේ 2014 දී. ස්වතන්ත්‍ර නිර්මාණයක් කරන විට කතාවක් මගේ සිතේ නිර්මාණය විය යුතුයි. ඊට පසුව එය යම් ආකෘතියකට පෙළ ගැස්විය යුතුයි.
කොහොමටත් ස්වතන්ත්‍ර නිර්මාණයකදී සංස්කරණය කරමින් අඩුම වශයෙන් තුන් වරක්වත් රචනා කළ යුතුයි. ඒ සඳහා සෑහෙන කාලයක් ගත වෙනවා. ඒත් පරිවර්තනයක් කරන විට එහෙම වෙන්නේ නැහැ. එය කෙටි කාලයකින් කරන්න පුළුවන්. අනික පාඨකයන්ගේ ඉල්ලුම තියෙන්නේ පරිවර්තනවලට. ප්‍රකාශන සමාගම්වල ඉල්ලුම තියෙන්නෙත් පරිවර්තනවලට. ඒ නිසා මගේ ස්වතන්ත්‍ර නිර්මාණ යටපත් වෙලා පරිවර්තන මතු වෙනවා.
ඔබ පාඨකයන් අතරට පැමිණියේ පුවත්පත් කලාවේදීයකු ලෙස. අද ඒ පුවත්පත් කලාවේදියාට මොකද වුණේ?
මම 1980 සිට 2017 වන තුරු පත්තරවල වැඩ කළා. මේ වෙලාව මගේ සංක්‍රාන්තික යුගයක් හෝ විවේක කාලයක් විය හැකියි. මේ දිනවල මම පරිවර්තන ලේඛකයකු හා තිර පිටපත් රචකයකු ලෙස වැඩ කරගෙන යනවා. මම ජන විඥානය හඳුනා ගත්තේත් භාෂා භාවිතය ප්‍රගුණ කළෙත් පත්තර කලාවෙන්. මට ලේඛකයකු වීමට පත්තර අත්දැකීම් ඉතා ප්‍රයෝජනවත් වුණා. ඒ නිසා මම අදටත් හිස නමා ආචාර කරන්නේ පත්තර කලාවට.
ඔබේ ලේඛන දිවියේ ඉදිරි කටයුතු කොහොමද?
මේ දිනවල වික්ටර් හියුගෝ්ගේ Notre – Dame De Paris කෘතියේ අසංක්ෂිප්ත පරිවර්තනය කර අවසන්. එය පිටු 450 කට වැඩියි. එය ළඟදීම පාඨකයාගේ අතට පත් කෙරෙනවා.
සේයාරුව-මාලන් කරුණාරත්න