පොප්ලර් ගස් දෙකක් ආදර කතාවක් කියයි | සිළුමිණ

පොප්ලර් ගස් දෙකක් ආදර කතාවක් කියයි

අරුන්දතී රෝයිලා, මුල්ක් රාජ් ආනන්ද්ලා, කමලා දාස්ලා කියවා ගනිමින් ගිනි මත්තෙන් ශේක්ස්පියර් වෙත පැමිණි අපි ඉසියුම් ම වේදනාවට මුහුණ දුන් සීසර්ගේ හදවත ද කියවා ගතිමු. නිර්මාණකරණයේ රන්සුනු කෙතරම් දුර්ලභ ද; ඒ රන්සුනු සොයා ගැනීම කොතරම් ආයාසකර ක්‍රියාවක් ද යන්න දැන් ඔබ දනී. ආයාසකර බොහෝ දෑ අවසන සිතට එක්කරන නිවීම ගැන ඔබට, මට අත්දැකීම් ඇත්තේය.

හදවතේ ගැඹුරු ම තැන් ස්පර්ශ කරනා ක්‍රමවේද දෙකක් තිබේ. ඉන් එකක් වන්නේ හදවතේ බුර බුරා නැ‍ෙඟෙන වේදනාව සමාජ සත්තාව මත තබා එකී වේදනාවෙන් ම ජීවන සත්‍යය පසක් කරලීම ය. අරුන්දතීලා, කමලාදාස්ලා මෙන්ම ශේක්ස්පියර්ලා ද කරන්නේ එය ම ය. එහිදී අප අතර පවතින දෑම; අප අතරින් ම උපහාසයට නංවා කටුක යථාර්ථය ඉදිරියේ අප නිරුවත් කරන්නේ ය. ඒ කොනිති ගසන ප්‍රවේශය හා සේම හදවත පිරිමදිමින්, ආදරයෙන් මත් කරමින් ජීවන යථාර්ථය පසක් කරන නිර්මාණ ක්‍රමවේදයක් ද තිබේ. එය ජීවිතය නැමැති වීණාවේ සියුම් ම තත් ඉසියුම් ලෙස පිරිමදිමින් යථාර්ථය පසක් කරයි. මේ ක්‍රමවේද දෙක ම ඒ ඒ නිර්මාණකරුවා ස්වීය දැක්ම හා ආඛ්‍යාන රටාව ඔස්සේ පාඨකයා, රසිකයා වෙත ප්‍රධානය කරයි‍. පාඨකයන්, රසිකයන් අතර ද මේ ක්‍රමවේද දෙක ම තම තමන්ගේ රුචිකත්වය ඔස්සේ ග්‍රහණය කර ගන්නා පිරිස් සිටිති.

ඕනෑ ම නිර්මාණකරුවකුට පාදක වන්නේ අත්දැකීම් ය. ඒවා ස්වකීය හෝ වෙනත් අයකුගේ අත්දැකීම් විය හැකිය. කිසියම්ම හෝ නිර්මාණකරුවකු අන්‍ය අත්දැකීමක් ලියන්නේ හෝ නිර්මාණය කරන‍්නේ වුව ද ඊට තම අත්දැකීම් හා අනුභූතිය එක්වන බව මම තරයේ අදහමි. බොහෝ නිර්මාණකරුවන් කියන්නේ මේවායේ එන දේවල් මගේ කියා විවේචනය කරන්නට හෝ මා කියවා ගන්න‍ට හෝ උත්සාහ කිරීමට යොදා නොගන්නා මෙන් ය. එය සත්‍යයකි. අත්දැකීම් කවරාකාර වුව ද ඒ අත්දැකීම් සියල්ල ම නිර්මාණකරුවාගේ යැයි කියා ඔහු වෙත පැටවීම හෝ ඔහු කියවා ගැනීමට භාවිත කිරීම අනවශ්‍ය ක්‍රියාවකි. ඒ අත්දැකීම් නිර්මාණකරුවාගේ හෝ අන් අයගේ හෝ වෙනවා මෙන් ම ඔබේ ද මගේ ද වන්නේ ය. ඒවා මතින් වෙන අය කියවා ගන්නට කරන උත්සාහය තමන් කියවා ගැනීමට යොදා ගන්නේ නම් කලාවේ අරමුණ ඉෂ්ට වන්නේ ය.

අප කතා කරමින් සිටියේ අත්දැකීම් ගැන ය. මුළු මහත් ජීවිතය ම අත්දැකීමකි. ජීවිතයේ සෑම කාල පරිච්ඡේදයක්මත්, සෑම චලනයක්මත් අත්දැකීමක් ය. ජීවිතයේ සමහර කාලපරිච්ඡේද වෛවර්ණිත ය; සමහර කාල අඳුරු ය; සමහර කාල අහස වැනි ය, නිරන්තර වෙනස් වන සුලු ය. මේ ඕනෑම වර්ණයකින් ගොඩනැඟෙන්නේ අත්දැකීමක් ය.

අත්දැකීම් ග්‍රහණය වන්නේ විවිධ අයුරිනි. ඔබට, මට අත්දැකීම් ලැබුණ ද ඒවා යොදා ගන්නේ හෝ ඒවායෙන් පැනෙන නව අර්ථ ග්‍රහණය කර ගන්නේ කෙසේදැයි නොතේරෙන්නට ඉඩ තිබේ. එහෙත් කවියෝත්, දාර්ශනිකයෝත්, නවකතාකරුවෝත් අපට වඩා බෙහෙවින් වෙනස් ය. ඔවුහු සෑම අත්දැකීමක් ම පිට නොපිට පෙරළා ඒවායෙහි සියුම් තැන් ග්‍රහණය කර ගැනීමේ ලා සමත් ය. අත්දැකීම පිටුපස හෝ අත්දැකීම ඉක්මවා පවතින යමක් ආවරණය කිරීමේ ලා ඔවුහු සමත්කම් පාති. දාර්ශනිකයන්, කවියන් අතර මේවා සැමවිට ම විවිධ හැඩතල ගන්නේ ය.

අත්දැකීම තීව්‍ර කිරීම හෝ මොට කිරීම නිර්මාණකරුවාගේ ප්‍රතිභාව මත රඳා පවතින්නකි. කුරිරු, අඳුරු අත්දැකීමකින් අර්ථවත්, සජීවී අර්ථකථනයක් මතු වීමේ ප්‍රතිභාව කලාකරුවාගේ නිපුණතාව මත තීරණය වේ. කලාව කියන්නේ ම ඒකට ය. ජීවිතය එහි කොන්දේසි සමඟ ම තේරුම් ගෙන, ඒවා රසවත් සහ උත්කෘෂ්ට සංරචන බවට පෙරළීමට දෙනු ලබන නාමය කලාව යැයි මා යෝජනා කරන්න‍ේ ඒ නිසා ය. මේවා අඩුවැඩි වශයෙන් නිර්මාණකරුවන් භාවිත කරන්නේ ඒ සත්‍යය ගැන ඔවුන්ට වෙන දැනීම හේතුවෙනි. කලාව, ආදරය හා සම්බන්ධ වන්නේ මේ වැනි තැන්හිදී ය. අාදරය සියලු අඩුලුහුඬුකම් අඳුනන බවත්; ඒ අඩුලුහුඬුකම් සියල්ලත් සමඟින් ආදරය කරනා බවත් කොලරා කාලේ ආලේ ලියමින් කියන්නේ ගබ්රියෙල් ගාර්සියා මාර්කේස් ය. ආදරය, කලාව එක්තැන් වන්නේ මේ වැනි තැන්වලදී ය.

කලාකරුවන් කලාවේ නිමග්න වෙන පළමු ක්‍රමවේදය සහ එහි ස්වභාවය ගැන අපි බෙහෙවින් කතා කළෙමු. ඒ සියල්ලට පාදක වෙන අත්දැකීම් එකක් බවත්; ඒ අත්දැකීම් සංවේදනය වන ආකාරය පමණක් වෙනස් බවත් ඔබ දැන් දනී. කුලීන කුලහීන බව, ස්පර්ශිත අස්පර්ශිත බව, පාවාදීම මේ සියල්ල ම ඔබත්, මමත් අත්දකින දෑ ය. ඒ සියල්ල ම හදවත වේදනාවට පත් කරමින්, කොනිති ගසමින්, කීතු කීතු කර ඉරා දමමින් කියූවෝ අරුන්දතීලා, කමලා දාස්ලා, ශේක්ස්පියර්ලා වැන්නෝ ය. මේ අත්දැකීම් ම සියුම් ආදරයෙන් පොඟවා පිරිමදිමින් කියා දෙන අනෙක් ක්‍රමවේදයේ නියුතු වන්නන් අතර අයිත්මාතව්, කොයියෝ ඉදිරියෙන් ම සිටිති. මේ කරුණ කියනු වස් මම ඔබට, ඔබ බෙහෙවින් ආදරය කරන කෘතියක් උපහැරණ කර ගන්නෙමි. ගුරු ගීතය හෙවත් පළමු ගුරුවරයාහි එන මේ වදන් කියවා බලනු මැනවි:'සටන්වලින් පිරි ඒ අසීරු ජීවිතයත්, විවිධ ඉරණම් වලට කැපවූ මිනිස් හැඟීම් සහ බලාපොරොත්තුත් තෙලිතුඬින් හා සායම්වලින් පිළිබිඹු කළ හැකිදැයි මම නොදනිමි. සියල්ල කැටිකොට දැක්වීමට තරම් ශක්තියක් මට තිබේද? මා ආසා කරන්නේ් මගේ අදහස් ඔබට කියා පෑමට පමණක් නොවේ. ඔබ, මා සමඟ එක්වී නිර්මාණාත්මක කලාවේ කොටස්කරුවකු විය යුතුය. මට ඒ දර්ශනය නොඇඳ සිටිය නොහැකිය. ඒ ගැන සිතන විට පවා කොතරම් අදහස් හා සිතිවිලි මා වෙත ගලා එතිද? එවිට මම මෙසේ සිතමි. ඉරණම මා සිත්තරකු කළේ ඇයි? එය දුකින් බර ජීවිතයකි. එවිට මම මෙසේ සිතමි. බලපන් ඉගෙන ගනින්, දුයිෂෙන්, අල්තීනායි සහ පොප්ලර් ගස් දෙකේ දර්ශනය ඇඳපන්...' පොප්ලර් ගස් දෙකක් මුළු කතාව වටා ‍එතෙමින්, සිය අතු, ඉති, කුඩා පත්‍ර සොලවමින් ආදරයේ වන සෞම්‍ය බව සෑම මොහොතක් පාසාම මුළු සොබාදහමට ම මුමුනයි. ඒවා ස්ටෙප්ස් තණ බිම් පුරා නින්නාද වෙයි.

නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අප මේ ක්‍රමවේද සියල්ල ම අපගේ අවධානයට ගත යුතු ම ය. අදහස් හෝ වෙන යම් ඕනෑ ම දෙයක් ප්‍රකාශ කිරීමට ඔබට, මට ආවේණික ක්‍රමවේදයක් තිබෙන්නා හා සේම නිර්මාණකරුවාට ද ඒවා පාඨකයනට, රසිකයනට ඉදිරිපත් කිරීමේ තමන්ට ම ආවේණික ක්‍රමවේදයක් තිබේ. තමාට වැඩියෙන් ම පාඨක හදවත් සනසන්නට, හඬවන්නට, පිරිමදින්නට හැකි ක්‍රමවේදය කුමක්දැයි තේරුම් ගැනීම නිර්මාණකරුවකු සාර්ථක විය හැකි අවශ්‍ය ම හඳුනා ගැනීම යැයි කියන්නට මැළි නොවෙමි.

Comments