
“ජනතාව වෙනුවෙන් යහපත් සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙළක් ඕනෑ. මිනිහෙක් කිලිටි ඇඳගෙන ඉන්නවා. ඒ මිනිහව නාවලා, මිනිහගේ කුණු ඉවත් කරලා, පිරිසුදු ඇඳුම් අන්දවල ගන්ඩ ඕනෑ. එතකොට ඔහු පිටතින් දැකුම්කලු මිනිසකු බවට පත්වෙනවා. එහෙත් ඒ මිනිසාගේ අභ්‍යන්තරය පිරිසිදු කරන්නේ කොහොමද? ඒක තමයි ප්‍රශ්නය?”
“මිනිසාගේ ආසාවන් අසීමිතයි. ඒ වගේම මිනිසා සතු ශක්තිය කිසිදාක සිඳී යන්නෙ නැහැ. ඒ වුණත් ලෝකය ආධ්‍යාත්මික වශයෙන් වෙනස් වෙන්නේ බොහොම සෙමෙන්. ඊට හේතුව මිනිසා නිදහස් ව ජීවත්වනු පිණිස ඥානය ගොඩගසා ගැනීම වෙනුවට හැකි තරම් මුදල් ගොඩගසා ගැනීමයි. මිනිසා මේ කෑදරකමෙන් මිදුණු දිනක... බලයෙන් ශ්‍රමය සූරාකෑම නැවැත්වූ දිනක..”
ලෝකයේ සතර දිග්භාගයේ ම ජනතාවගේ සම්මානයට පාත්‍රවූ මැක්සිම් ගෝර්කි නමැති රුසියානු ලේඛකයාගේ ලේඛන කාර්යයේ සැබෑ අරමුණ වූයේ කුමක්ද යන්න පිළිබඳව මඳ හෝ අවබෝධයක් ලබා ගැනීමට ඔහුගේ ප්‍රකට නවකථාවක එන ඒ කියමන් දෙක පමණක් ප්‍රමාණවත් වන්නේ ය. ජීවිතය නමැති විශ්වවිද්‍යාලයෙන් ලද සමාජ විඥානය හා පන්ති විඥානය ඔහු ලොව අනෙකුත් ලේඛකයන් අතරින් විශිෂ්ටත්වයට පත්වීමට හේතු විය. ඔහු රුසියාවේ පමණක් නොව චීනය, ඉන්දියාව, ඇමෙරිකාව, එංගලන්තය, ප්‍රංසය, ජර්මනිය වැනි රටවල ද අප්‍රිකානු හා ලතින් ඇමෙරිකානු රටවල ද චිචාරකයන්ගේ හා පොදු පාඨකයාගේ ගෞරවයට හා ආදරයට පාත්‍රවූ ලේඛකයෙක් විය.
මැක්සිම් ගොර්කි මියගියේ 1936 ජූනි මාසයේ 14 වැනිදා ය. ඒ අවුරුද්දේ ම ජූනි මාසයේ ලන්ඩන් නුවරදී මැක්සිම් ගොර්කි වෙනුවෙන් අනුස්මරණ දේශනයක් පැවැත්වුණ අතර සුප්‍රකට ඉංග්‍රිසි විචාරකයෙකු වූ රැල්ෆ් ෆොක්ස්, ගෝර්කි වෙනුවෙන් කළ උපහාර දේශනය අතිශයින් වැදගත් වන්නේය.
“පසුගිය මාස කිහිපයේදී අපේ ලේඛකයෝ තුන් හතර දෙනෙක් මෙලොව හැර ගියෝය. ඔවුන්ගෙන් එක් කෙනකු හෝ දෙන්නකු ඉංග්‍රිසි සාහිත්‍යයේ මහා ලේඛකයන් ලෙස පිළිගැනුණ ද විදේශිකයකු වූ ගෝර්කි වෙනුවෙන් සංවිධානය කරනු ලැබූ මෙවැනි දේශනයක් ඔවුන් වෙනුවෙන් ගෞරව දැක්වීම පිණිස කිසිවිටකත් පවත්වා තිබුණේ නැත. ගෝර්කි මෙසේ රටට පිටතින් පවා ගෞරවයට පාත්‍රවන්නේ හුදෙක් ම ඔහු වෙතින් ලොව පුරා වෙසෙන් දුක් විඳින ජනතාවගේ වේදනා හා බලාපොරොත්තු අවංකවම සිතුවම් කෙරුණ නිසාත් මිනිස් ශිෂ්ටාචාරයේ වෙනසක් ඇති කළ ලේඛකයකු වූ නිසාත් ය.
“මැක්සිම් ගෝර්කි යනු කවුරුද? ඔහු වනාහී අපේ කාලයේ බිහිවූ ශ්‍රේෂ්ඨතම නිර්මාණශීලී ලේඛකයකු ලෙසින් හැඳින්වීම ගැන අප සියලුදෙනාම එකඟ විය යුතුය. ඔහුගේ වියෝව මුළු ලෝකයට ම අමිහිරි අත්දැකීමක් වන්නේ ය. මැක්සිම් ගෝර්කි ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාව අතර ජනප්‍රියතාවට හා ආදර ගෞරවයට පත්වූයේ හුදෙක් ම ඔහුගේ නිහතමානිකම, නිර්භීතකම හා අවංක භාවය නිසාම පමණක් නොවේ. ඔහු ලොව පුරා සිටින අනෙකුත් මිනිස් වර්ගයා වෙනුවෙන් පෑන මෙහෙයවූ පුරෝගාමී සාහිත්‍යකරුවකු වූ නිසා ය. ලොව පුරා දුකට පාත්‍රවූ අහිංසක ජනතාව වෙනුවෙන් හදවතට එකඟ ව තම අදහස් ප්‍රකාශ කළ නිසා ය. මිනිස් අසාධාරණකම්වලට එරෙහිව නිර්භීතව මෙන්ම අධිෂ්ඨාන පූර්වකව සටන් කළ පිරිස් ලොව තවත් දක්නට ලැබෙන මුත් මේ සටන් සඳහා මුලධර්ම හා ප්‍රතිඵත්ති සොයාගත යුත්තේ මිනිස් ශිෂ්ටාචාරය තුළින් ම බව පසක් කරගත් ලේඛකයන් සිටින්නේ බොහොම අතළොස්සකි.
අද වන විට එංගලන්තයේ බොහෝ ලේඛකයෝ නව බලාපොරොත්තු හා නව ජිවයෙන් පිරුණු ජාතියක් ගොඩනැඟිම පිණිස ජාතික උරුම නඟා සිටුවීම පිණිස ගෝර්කි ගත් මඟ කෙරෙහි මහත් විශ්වාසයක් තබති. අපේ රටේද වැඩකරන පන්තියෙන් බිහිවූ ලේඛකයෝ සිටිති. එච්. ජි වේල්ස්, මිඩ්ල්ටන් මරේ සහ ඩී. එච්. ලෝරන්ස් එවැන්නෝ ය. මේ තිදෙනාම අද අනෙකුත් ලේඛකයන් කරන්නාක් මෙන් සමාජයට පෑහීම පිණිස උත්සාහ ගනිති. වරප්‍රසාද ලත් පන්තිය හා සංස්කෘතිය මෙහෙයවන ධනවත් පාලක පන්තිය සමඟ සහජීවනයෙන් යුතුව ජිවත් වෙති. මේ තිදෙනාගේ ජීවන චරිත කියවා ඇත්නම් ඔවුන් කොතරම් අගහිඟකම්වලින් හා ආර්ථික පීඩනයකින් යුතුව, බොරු අහංකාරකම්වලට හා පවත්නා සමාජ ක්‍රමයට එරෙහිව සටන් කර ඇත්ද යන්න දැක ගත හැකිය. නමුත් අවසානයේ ඔවුන් එම සමාජ වටිනාකම් වැලඳ ගනිමින් සම්ප්‍රදායික බුද්ධිමතුන්ගේ සමාජයට ආදේශ වීම අපට දැක ගත හැකිය. එහෙත් අද සිටින තරුණ ලේඛකයන් මේ මඟ නොගන්නා බව මට විශ්වාස ය.”
සිය දීර්ඝ දේශනය අවසන් කරමින් ඔහු, බර්නාඩ් ෂෝ විසින් ගෝර්කිගේ මරණයෙන් කම්පාවට පත්ව සෝවියට් දේශය වෙත යවන ලද සංවේදී පණිවිඩය දක්වමින් අපට තවත් පැත්තක් පෙන්වා දෙයි. “ගොර්කිගේ අභාවය පිළිබඳ ව මා ලද අත්දැකීම් පුදුම සහගත ය. ලන්ඩනයේදී මට හමුවුණ කර්මාන්ත ශාලාවක වැඩකරන කම්කරු තරුණියක් එදින පුවත්පත්වල පළවූ ගෝර්කිගේ අවසන් කටයුතු පිළිබඳ විස්තර කියවා මෙසේ පැවසුවාය. “ලොව පුරා සිටින විශාල ජනතාවකට ආදරය කළ මේ ලේඛකයාගේ වියෝගය මට කෙසේවත් දරාගත නොහැකිය.” (කියවන්න The Novel and The People කෘතියේ පරිශිෂ්ටය)
මැක්සිම් ගෝර්කි උපන්නේ 1868 මාර්තු සස 28 වැනිදා ය. රුසියාවේ නිෂ්නි නොව් ගොරොද්හි සාමාන්‍ය පන්තියේ පවුලක උපත ලද ඔහුගේ සැබෑ නම වූයේ ඇලෙක්සයි මැක්සිමෝවිච් පෙෂ්කොව් ය. ඔහුගේ පියා දිළිඳු වඩුවෙකි. ගෝර්කිගේ වයස යන්තම් අවුරුදු හතර පිරෙන විට පියා කොලරා රෝගයෙන් මිය ගියේය. ඔහුට අවුරුදු දහය වන විට මවද මියගියා ය. කුඩා ගෝර්කි ඇතිදැඩි වූයේ තම සීයා ළඟ ය; සීයා නපුරු පුද්ගලයෙකි. ඔහු ගෝර්කි සම්බන්ධයෙන් දරදඩු ප්‍රතිපත්තියක් දැක්වූවේය. එහෙත් ඔහුගේ මිත්තණිය එසේ නොවූවා ය. ඈ කාරුණික තැනැත්තියක් වූ අතර නිතර සුරංගනා කතා කියා දෙමින් දරුවා සතුටු කළා ය. ටික කලකින් සීයාගේ වෙළෙඳාම් කටයුතු පරිහානියට පත්වූයෙන් ගෝර්කිට ඉගෙන ගැනීමේ කටයුතු අවසන් කරන්නට සිදු විය. ඔහු පාසල් ගියේ තුන් වැනි කැලෑසිය දක්වා පමණි. ඉන් පසුව ඉගෙන ගත්තේ ජීවිතයෙනි. ජීවත්වීම උදෙසා ඔහු සුළු සුළු රැකියා කිහිපයක ම නිරත විය. සපත්තු වෙළෙඳ සලක ආවතේවකරුවකු ලෙසත්, නැවත පිඟන් සෝදන්නකු ලෙසත්, පාන් බේකරියක පාන් පුලුස්සන්නකු ලෙසත්, නෑ ගෙදරක වැඩකාර කොලුවකු ලෙසත්, විවිධ රැකියාවල නිරත වුණ ඔහුට රුසියාවේ ජීවත් වන විවිධ තරාතිරමේ මිනිසුන් මුණ ගැසීමේ අවස්ථාව ලැබිණි. ඔහුගේ කෙටිකතාවල හා නවකතාවල චරිත නිර්මාණවලට ඉවහල් වූයේ ඔහු ඇසුරු කළ සමාජයේ දක්නට ලැබුණ ඒ සැබෑ මිනිසුන් ය.
තමා හාත්පස සමාජයෙන් සාහිත්‍ය නිර්මාණය සඳහා පුළුල් අත්දැකීම් පදාසයක් එක්කර ගත්තාක් මෙන්ම ඔහු ඇසුරු කළ යම් යම් පුද්ගලයන් වෙතින් ද සිය දැනුම හා ඥානය පෝෂණය කර ගත්තේ ය. කොටස් තුනකින් යුතුව සිය ජීවන චරිතය ලියන ගෝර්කි එහිදී තම බාප්පා කෙනකු ගැන මෙසේ කියයි:
“මට බාප්පා සමඟ පොත් ගැන කතා කිරීමට වුවමනා විය. එහෙත් ඔහු පොත්වලට ඇලුම් නොකළා විය යුතුය. ඔහු නිතරම පාහේ මට උපදෙස් දුන්නේය.
“නුඹ පොත්වලට තදින් ඇලුම් කරන්ඩ එපා. ඒවගේ ජීවිතය අලංකාර කර දක්වා තිබෙනවා. තවත් පැත්තකින් විකෘති කර දක්වා තිබෙනවා. පොත් ලියන අයගෙන් වැඩි දෙනා අපේ හාම්පුතුන් වගේ උදවිය. පුංචි මිනිස්සු. ”
මෙවැනි නිගමන නිර්භය ලෙසින් මට හැඟී ගිය හෙයින් මගේ සිත ඔහු වෙත ඇදී ගියේය. වරක් ඔහු මෙසේ පැවසුවේය.
“පොදුවේ බලන විට රුසියාවේ ඉතාම බුද්ධිමත් ලේඛකයා හැටියට දැක්විය හැක්කේ ගොංචරොව් ය. ඔහුගේ ඔබ්ලමෝව් කියවන්න. ඔහු ලියාපු පොත්වලින් වැඩිපුරම ඇත්ත තියෙන නිර්භය කෘතිය එයයි.”
බාප්පා චාල්ස් ඩිකන්ස් ගැන මෙසේ කීවේය.
“ඒවා වල්පල්. ඒ බව මම ඔබට සහතික කරල කියන්නම්. ඔන්න නොවොයෙ විරේමියා සඟරාවේ වැදගත් අතිරේකයක් පළවෙලා තියෙනවා. ‘ශූද්ධ වූ අන්තෝනිගේ පරීක්ෂාවන්’ කියලා. එය කියවල බලන්න. ඔබ පල්ලියටත් පල්ලියේ දේවලටත් කැමැති නොවැ. ඔබට ඒ පොත් පත් වැදගත් වෙයි.”
එහෙත් ගෝර්කි බාප්පාගේ අදහස්වලට එකඟ වූයේ නැත. ඔහු ඩිකන්ස් ගැන මෙසේ සඳහන් කර ඇත්තේය. “මම ඩිකන්ස් ඉදිරියේ හිස නමා ගෞරවයෙන් යුතුව ආචාර කළෙමි. මිනිසුන්ට ආදරේ කිරීම නමැති ඉතාම අසීරු කලාව ඉතාම අසිරිමත් ලෙසින් දැනගත් කෙනෙකි චාල්ස් ඩිකන්ස්.”
මා මුලින් සඳහන් කළාක් මෙන් ඔහු එදිනෙදා ජිවිතයෙන් ලබාගත් අත්දැකීම් ඔස්සේ මානව දයාවෙන් පිරුණ සාහිත්‍ය නිර්මාණ රැසක් පාඨකයන්ට ඉදිරිපත් කර ඇත්තේ ය. රුසියාවේ පමණක් නොව බටහිර රසිකයන් අතර පවා ජනප්‍රියත්වයට පත්වූ ‘මිනිසුන් විසි හය දෙනා සහ තරුණිය’ නමැති කෙටිකතාව ඔස්සේ තමන් බේකරි රස්සාවේදී දුටු පාන් පුච්චන මිනිසුන්ගේ සිත් දිනාගත් එක්තරා තරුණියක ගැනත් ඒ තරුණිය සොල්දාදුවකු වෙතින් දූෂණයට පත්වීමෙන් ලද කම්පනය ගැනත් මානව භක්තියෙන් පිරුණ නිර්මාණයක් ඉදිරිපත් කරයි. ‘නිල් ඇස් ඇති කාන්තාව’ නමැති කෙටිකතාවෙන් තම දරුවන්ගේ අධ්‍යාපන කටයුතු කරගෙන යෑම පිණිස මුදල් සොයා ගැනීම සඳහා පොලිස් මුලෑදෑනියකුගෙන් බලපත්‍රයක් ඉල්ලන හද සසල කරවන අත්දැකිමක් ඉදිරිපත් කරයි. ඔහුගේ පළමු නවකතාව, 1889 ලියු ‘පොමා ගොඩියර්’ සමකාලින රුසියාවේ වෙළෙඳ පැලැන්තියේ ස්වභාවය හා විකාශනය විදහා දැක්වෙන වැදගත් නිර්මාණයකි. 1897 ලියූ ‘ඔර්ලොව්ස්’ නවකතාව මඟින් සපත්තු මහන්නකු හා ඔහුගේ බිරිය කොළරා වසංගත සමයේ සමාජය සමඟ සම්බන්ධතා ගොඩනඟා ගැනීමට ගන්නා උත්සාහය නිරූපණය කෙරෙන තවත් උසස් නිර්මාණයකි. ‘ද ත්‍රී’ නවකතාවෙන්ද නිරූපණය කෙරෙන්නේ ඔහුගේ බාල කාලය බව සමහරු දක්වති.
ඔහුගෙන් ලියැවුණ කෘතියක එන මා සිත් ගත් එක් සටහනක් ඔබ ඉදිරියේ තැබීමට කැමැත්තෙමි. ඒ අනුව ඔහු එකැස් අන්ධ, තට්ට හිසක් සහිත බොඩ්රියජින් නම්වූ, මිනීවළවල් හාරණ මිනිසා හමුවෙයි. බොහෝ කලක් තිස්සේ කොන්සර්ටිනා නමැති සංගිත භාණ්ඩය කෙරෙහි ආදරය දක්වන ඔහු වැඩ කරන මොහොතේ පවා ලැබෙන මඳ විවේකයෙන් එය වාදනය කරමින් විනෝදයක් ලබයි. මැක්සිම් ගෝර්කි දුටු විට මිනිසා “ඔහ්හ්..හෝ... යනුවෙන් හැඟීම්බර හඬක් පිටකොට සුසුමක් හෙළයි.
“කොහොම නමුත් මැක්සිම් මම ඔබේ මරණ කටයුතු නම් හොඳ පරිස්සමෙන් සිදුකරන බව හිතේ තියාගන්න ඕනෑ.” යනුවෙන් පවසයි.
වළවල් හෑරීමෙන් වෙහෙසට පත් වන ඔහු කොන්සර්ටිනා භාණ්ඩයට ආදරයෙන් අමතමින් එය වාදනය කරන්නට පටන් ගනියි.
දිනක් ආගමික පූජකවරයා දේව මෙහෙය පවත්වමින් සිටින අතරතුර ඔහු තම භාණ්ඩය වාදනය කරන්නට වන්නේය. පූජකවරයා ඔහු කැඳවා දොස් පැවරුවේය.
“තමුන්ගේ ඔය නොහොබිනා පුරුද්ද මළගිය අයටත් කරන නිගාවක්!” පූජකවරයා චෝදනා කළේය.
බොඩ්රියජින් මා වෙත පැමිණ මෙසේ පැවසුවේය.
“හොඳයි. මම ඒකෙ වැරැද්ද පිළිගන්නව. ඒත් පූජකතුමා දන්නේ කොහොමද ඒක මළ ගිය අයට කෙරෙන නිගාවක් බව!”
ඉක්බිතිව ඔහු දිවුරා පැවසුවේ අපාය යනුවෙන් කිසිවක් නැති බව ය. ඔහුට අනුව යහපත් අය මියගිය පසු ඔවුන්ගේ ආත්ම ශුද්ධ පරාදීසය වෙත යන්නේ ය. පව් කළ තැනැත්තන්ගේ ආත්ම මළ සිරුරු සමඟ වළෙහි රැඳෙන අතර පණුවන්ට ගොදුරු වන්නේ ය. ඔහු දක්වන අන්දමට ඉන් පසුව මහ පොළොව ඔවුන්ගේ ආත්ම සුළඟට එකතු කරන්නේ ය. සුළඟ එය සී සී කඩ යවමින් අප්‍රමාණ දූවිලි බවට පත්කරන්නේ ය.
මා ඉතා ආදරය කළ සය වයස් නිකොලිනා දැරියගේ ආදාහන කටයුතු අවසන් වූ පසු ඥාතීහු කනත්තෙන් පිටව ගියෝය. බොඩ්රියජින් මිනීවළ මත වූ පස්ගොඩ කදිමට සකසමින් මා සිත සනසන්ට උත්සාහ කළේය. “දුක්වෙන්ඩ එපා මිත්‍රයා... සමහර විට ඊළඟ ලෝකෙදි අපට වඩා බොහොම ප්‍රීතිමත් භාෂාවකින් ඔවුන් කතා කර කර ඉඳියි. හරියට වචන නැතිව වයලීනයෙන් පිටවෙනව වගේ මිහිරි හඬකින්.”
ගෝර්කි කිසි විටකත් පහළ පන්තියේ ජනයාගේ අව්‍යාජ සිතුම් පැතුම් අලංකාර කරන්නට ගියේ නැත. එසේම පණ්ඩිතයකු ලෙසින් ඒවා හෙළා දුටුවේ හෝ බැහැර කළේ ද නැත. ඔහු අවංකව ඒවා සැබෑ රූපයෙන් පින්තාරු කළ සැටි අපට දිනපොතේ දැක්වෙන එවැනි සටහන් වලින් පවා දැක ගත හැකිය.
ඇත්ත වශයෙන්ම ගෝර්කි පැරණි හා නවීන රුසියාවේ පරිවර්තන සමය පිළිබඳ සංකේතයක් වශයෙන් හැඳින්විය හැකිය. කිසියම් අස්වැසිල්ලක් සොයමින් නන්නත්තාරව සිටි ඒ යුගයේ ජනතාව වෙනුවෙන් ඔහු විප්ලවය පිළිබඳ ව රොමාන්තික උත්පේරණයක් මෙන්ම සමාජවාදී යථාර්ථය නමැති දෘෂ්ටිවාදය ඔස්සේ බලපෑමක් සිදු කිරීමට ද සමත් වූවේය. විප්ලවය සිදුවූ පසු ඔහු ඒ දෘෂ්ටිවාදය ඔස්සේ උතුම් වූ මානව දයාව ඔප් නංවමින් විප්ලවය නිසා මානව හිතවාදී ගුණධර්ම පිරිහා යා නොදී රැක ගැනීම පිණිස සාහිත්‍ය මෙහෙයවීමට උත්සාහ ගත්තේ ය. ඔහු පෞද්ගලිකව ද, තම සාහිත්‍ය නිර්මාණ ඔස්සේ ද පැරණි රුසියානු බුද්ධිමත් සංස්කෘතිය හා නැඟී එන පොදු ජන සංස්කෘතිය අතර පාලමක් බවට පත්වෙමින් නව ලෝකයක් උදෙසා සාර ධර්ම සහිත, සංවේදී ජනතාවක් බිහිවීම වෙනුවෙන් අවශ්‍ය සහය ලබා දුන්නේය.
වැඩවසම් සමාජ ලක්ෂණවලින් හා ධනවාදයේ ප්‍රාථමික ලක්ෂණවලින් හෙම්බත්ව මිය යෑමට ඔන්න මෙන්න ව තිබුණු රුසියානු සමාජයේ ඛේදජනක යථාර්ථය ඔහු සාහිත්‍යයෙන් නිරුපණය කළේය. සමාජ බේදවාචකය මැද අභීත ව නැඟී සිටින රුසියානු පොදු ජනතාවගේ උත්තම සාරධර්ම ඔහු සෑම නිර්මාණයකින් ම විශද කිරීමට තැත් කළේ ය. වරක් පවුස්තොවුස්කි නමැති ලේඛකයා හා විචාරකයා ගෝර්කි ගැන මෙසේ පැවසුවේය.
“අප එකිනෙකා කෙරෙහි ගෝර්කි විසින් කරන ලද බලපෑම අන් කවර ලේඛකයකුගේ බලපෑමකටත් වඩා වැඩි යැයි කිව හැකිය. සෑම විට ම ඔහු අප අතර සිටින්නාක් වැන්න. සැම විටම ඔහුගේ නාමය අප මුවඟ ය. මට ගෝර්කි යනු රුසියාව ම ය. වොල්ගා නදියෙන් තොර රුසියාවක් ගැන සිතිය නොහැකියවාක් මෙන්, ගෝර්කිගෙන් තොර රුසියාවක් ගැන අපට සිතිය නොහැක්කේ ම ය.”
ගෝර්කි අවතක්සේරුවකට පත් කරන්නට උත්සාහ කරන සමහරුන් පවසන්නේ ඔහුගේ නවකතාවල එන දේශපාලන දැක්ම නිසා ඒ නවකතා බොහෝ දෙනාට අමතක ව ගොස් ඇති බව ය. මෙය බටහිර පැත්තෙන් ද නැඟෙන තර්කයකි. එහෙත් ගෝර්කිගේ ‘අම්මා’ කෘතිය ගැන නොදන්නෝ කවරහුද? එය ලෝක සාහිත්‍ය ධාරාව නව මඟකට යොමු කළ කෘතියක් බව නොදන්නෝ කවරහුද? ලෝක සාහිත්‍ය පිළිබඳ ඔහුගේ විචාර ඥානය On Literature, Literary Portraits වැනි කෘතිවලින් ද ඔහුගේ චරිත කතාවෙන් ද මනාව වටහා ගත හැකි වන්නේ ය. නොබෙල් සම්මානය මැක්සිම් ගෝර්කිට ලබාදෙන ලෙසින් බටහිර ලේඛකයන් වෙතින් විශේෂයෙන් ඉයුජින් ඕනීල් නමැති නොබෙල් සම්මානලාභී ඇමෙරිකානු නාට්‍යකරුවා වෙතින් ද උද්ඝෝෂණ දියත් වූ මුත් ගෝර්කිට එවැන්නක් ලැබුණේ නැත.
ඊට හේතුව වූයේ ඔහු ජෝසප් ස්ටාලින් සමීපව ආශ්‍රය කළ නිසා බව කියැවෙයි. එහෙත් එතරම් ප්‍රසිද්ධියක් නොතිබුණ රුසියානු ලේඛකයකු වූ ඉවාන් බුනින් වෙත නොබෙල් සම්මානය ලබාදීමට නොබෙල් සම්මාන විනිශ්චයකරුවෝ තීරණය කළෝය.