
ඔබට අපූරු අවස්ථාවක් සෞදි අරාබියෙන් ලැබේ. ඒ ඉස්ලාම් ධර්මය හැදෑරීමේ ශිෂ්‍යත්වයකි. ‘මේ 1998 දී එක්තරා දැන්වීමක තිබූ සටහනකි. සෞදි අරාබිය ඉස්ලාම් ධර්මය හැදෑරීමට ශිෂ්‍යත්ව ක්‍රමයක් ආරම්භ කළේය. ලංකාවේ තරුණයන්ට ද එහි අවස්ථාව ලැබුණි. ඔවුන් සෞදි උපාධි අරගෙන ලංකාවට ආවේ 'අමුතු' මිනිස්සු වෙලා ය. සාම්ප්‍රදායික ඉස්ලාම් ඉගැන්වීමට එරෙහි ව ඔවුන් අමුතු පන්නයේ ආගමක් ඉදිරිපත් කළෝ ය. තමන් රැඩිකල් ප්‍රතිසංස්කරණවාදීන් බවත් රැඩිකල් වහාබ්වාදයේ නිර්මාතෲන් බවත් පැවසූහ. තව්හිද් ජමාත්ලා බිහි වූයේ ඒ අනුව ය. සාම්ප්‍රදායික සාමකාමී මුස්ලිම් ජීවන රටාව ඔසවා පොළවේ ගසා වහාබ්වාදය පොම්ප කරන මෙහෙයුම ඔවුහූ පටන් ගත්හ. සෞදි අරාබිය ගෝඩ් ෆාදර් ලෙස පෙනී සිටි තව්හීද් ජමාත්ලා ඉරාණය වීසි කොට දැමීය. ඒ වෙනුවට ඔවුහූ 'ඩීල්' මත ගොඩනැඟෙන කල්ලිවාදයක් සැකසූහ.
තව්හීද් ජමාත් ලා 'අමෙරිකන් බළල් අත්' ලෙස සමහරු සලකන්නේ ඇයි?. ඊශ්‍රායලය සමඟ ඔවුන්ට තිබෙන සැඟවුණු න්‍යාය පත්‍රය කුමක්ද? මේවා බරපතළ ප්රශ්නය. පසුගියදා මෙරට බිහිසුණු ප්‍රහාරය දියත් කරන්නේ අයි එස් ආශිර්වාදය සහිත තව්හීද් ජමාල්ලා ය. කිසිවෙක් අපේක්ෂා නොකළ මොහොතක මෙරට ප්‍රහාරය එල්ල විය. කලින් දැනගෙනත් ජනතාව දැනුම්වත් නොකළ බවට බොහෝ දෙනකුට චෝදනා තිබේ. ආණ්ඩුවට චෝදනා කරන සමහරු විපක්ෂය කියන කතා අමතක කරයි. 'මට මගේ ආරක්ෂකයෝ කීවා' අනෙක් සියලු දෙනාට වරද පටවා හිටපු ජනාදිපතිත් අත් සෝදා ගන්නට යයි. වැරදි ය..!මීට සති දෙකකට පෙර තීරණාත්මක කටයුතු කිහිපයක් සිදු විය. එකක් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව අමෙරිකන් උසාවියක නඩුවක් දැමීම ය. එය ඔහුගේ දේශපාලන අනාගතයට එල්ල වූ මුෂ්ඨි ප්‍රහාරයක් විය. යුවතියකගේ නඩුව ඔහු සසළ කරන්නට සමත් විය. දැන් ඒ සියල්ලට වඩා තීරණාත්මක කනිසමක් පැමිණ තිබේ. දැන්නම් නඩුවක් ගැන මතකයක් හෝ නැත. ඒ වෙනුවට තිරිස්චීන ප්‍රහාරය ගැන කතා තිබේ.
‘මුහුදේ තියෙන අයිස් කුට්ටියක් පිටට පේන්නේ පොඩිවට. හැබැයි ඒක ඇතුළේ අක්කර ගාණක් විශාලයි.‘කියා කතාවක් තිබේ. කාගේ කාගේ ඩීල් තිබුණා ද කියා ඉදිරියට හෙළිදරව් කිය යුතුය. කෙසේ වෙතත් තීරණාත්මක කතා බහ ‘ත්‍රස්ත ප්‍රහාරයකින්‘ සිදු වූ විනාශය ය. ‘වරද ආණ්ඩුවේ..කරුණාකරලා ගෙදර යනු ‘විමල් විරවංශ කෑමුර දෙයි. ඒ විමල්ගේ හැටි ය.‘එක සැකකරුවෙක් ජවිපේ‘ විමල් කියයි. හැබැයි මරාගෙන මැරුණු ත්‍රස්තයා මහින්ද ආණ්ඩුව කාලේ මහින්දත් හමුවී තිබේ. 2013 අප්‍රේල් 15 අමෙරිකාවේ බොස්ටන් නුවරට ලක්ෂ ගණනක් ජනතාව පැමිණියහ. ඒ එරට පැරණිතම මැරතන් තරඟය දැක බලා ගන්නට ය.
විසිදහසක් ඉක්මවන ක්‍රීඩකයන් පිරිසක් මේ තරඟයට සහභාගී වෙති. පෙරවරු 9. 30ට තරඟය ආරම්භ විය. ඔල්වරසන් සහ ජය ඝෝෂාවන්ගෙන් බොස්ටන් නුවර උද්දාමයට පත් විය. මිනිසුන්ගේ අව්‍යාජ සිනහව තරම් සුන්දර දෙයක් තවත් නැත. හෝරා නික්ම ගොස් දහවල් 2. 29 සටහන් විය. ඔල්වරසන් හඬ පරයාලමින් මහා දෝංකාරයක් මතු විය. ලෝක ඉතිහාසය ම සසල කරමින් 'බොස්ටන් බෝම්බය' පුපුරා ගියේ ය. ඒ දෝංකාරය ට භීතියට පත්ව ඈත අහසට වැදුණු පක්ෂීන් ට ආපසු හැරෙන්නටවත් ඉඩ නොතබා ඊළඟ බෝම්බයත් පුපුරා ගියේ ය; අමෙරිකාව සසල විය. තුන්දහසකට මරු කැඳ වූ 2001 සැප්තැම්බර් ප්‍රහාරයෙන් හරියට ම වසර 13ට පසුව බොස්ටන් ප්‍රහාරය සිදු විය. අමෙරිකානු ආරක්ෂක අංශ මෙහෙයුම පටන් ගත්හ. අන්තවාදී ත්‍රස්ත ක්රියාවේ අක් මුල් සොයා යෑම ආරම්භ කළහ. බොස්ටන් නඟරය සහමුලින් ම සීල් තබන පොලිසිය මෙහෙයුම පටන් ගත්හ. තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන බවට බලධාරීන් ශපත වූහ.
ශිෂ්ටත්වයේ ක්‍රීඩා උළෙලට අශිෂ්ටත්වයේ මාරයා රැගෙන ආ නරුමයන් සොයා පොලිසිය, නඟරය පීරන්නට වූහ. පොලිසිය එක් සැකකරුවෙක් අල්ලා ගත් අතර ඔහු 19 වැනි වියේ පසු වූවෙකි. එක් අයෙක් අමෙරිකන් පොලිස් ප්‍රහාරයෙන් මිය ගොස් සිටියේය. ඒ අල්ලාගත් සැකකරුගේ අයියා ය. මේ ප්‍රහාරය සැලසුම්කොට තිබුණේ ඔවුන් දෙදෙනා ය. ඔවුන් පිටුපස සංවිධානගත ජාලයක් තිබී ඇත. 2011 වසරේදී මෙවන් ප්‍රහාරයක් ගැන පිළිබඳ ව රුසියානු ආරක්ෂක අංශ ඇමරිකානු ආරක්ෂක අංශ වෙත අනතුරු අඟවා ඇතත් එෆ්. බී. අයි නිලධාරීහු ඒ ගැන තැකීමක් කර නැත. එෆ්. බී. අයි. නිලධාරීන් පවසා ඇත්තේ මොහුගෙන් ත්‍රස්ත තර්ජනයක් එල්ල විය හැකි බවට කිසිදු සැකයක් නැති බව ය. කෙසේ වෙතත් සහෝදරයන් දෙදෙනෙක් ප්‍රහාරය එල්ල කළහ. පසුගියදා, හරියට ම බොස්ටන් ප්‍රහාරයට වසර හයකට පසු අප්‍රේල් මාසයේ ම මෙරටදී සිදු වූ ප්‍රහාරය ද පැති කිහිපයකින් බොස්ටන් ප්‍රහාරයට සමාන ය. මෙරට ප්‍රහාරය සිදුවූයේ දේවස්ථාන කිහිපයක් ඉලක්ක කරගෙන ය; ඉලක්කය බැතිමතුන් ය.
බොස්ටන් ඉලක්කය ක්‍රීඩාලෝලීන් ය. මෙරට සීසීටීවී කැමරාවල පටිගත වීම් අනුව ෂැන්ග්‍රිලා හෝටලයේ පිපිරීම් දෙකක් සිදු ව ඇති අතර දෙක ම සිදු කර ඇත්තේ මරාගෙන මැරෙන බෝම්බ කරුවන් දෙදෙනකු විසිනි. රෙස්ටොරන්ට් එක තුළ පිපිරවීම කර ගත් පුද්ගලයා බෝම්බය තිබූ බෑගය පිටේ එල්ලාගෙනම හිඳ ඇත. අනෙක් පුද්ගලයා පහත මාලයේ දී සිය පුපුරුවා ගැනීම සිදු කර තිබේ. කොච්චිකඩේ පල්ලිය තුළ බෝම්බ පිපිරවීම සිදු කරන ලද පුද්ගලයා අමාරුවෙන් බෑගයක් රැගෙන පූජාව අවසන් වීමට කිට්ටුව පැමිණ මැද බංකුවක අසුන් ගන්නවා ඇසින් දුටු, පිපිරවීමෙන් දිවි බේරා ගත් අයකු පවසයි. මෙරට ප්‍රහාරය සිදු කළේ සහෝදරයන් දෙදෙනෙකි. බෝම්බ රැගෙන විත් තිබුණේ පිටේ බෑගයක් සේ එල්ලා ගෙන ය; බොස්ටන් ප්‍රහාරකයන් ආවේ ද එහෙම ය.
බෝස්ටන් ප්‍රහාරයේ සොයුරන් බෝම්බ රැගෙන ආවේ තම බෑග්වල දමාගෙන ය. කැප්තොප්පි පැළඳ මේ දෙදෙනා මැරතන් තරග බිමට පැමිණෙන අයුරු කැමරාවල මෙන්ම එහිදී ගත් ඡායාරූපවල ද ඉතා හොඳින් සටහන් වීය. 19 හැවිරිදි ප්‍රහාරක ශෝකාර් පස්වරු 2.45 ට මෙම බෝම්බය පිපිරුණු ස්ථානයට පැමිණ ඇත.
සිය බෝම්බ බෑගය දෙපා මුල තබාගෙන ජංගම දුරකථනයෙන් මේ බෑගයේ ඡායාරූපයක් ද ගනී. පළමු පිපිරීමට තත්පර 30 කට පෙර සිය දුරකථනයෙන් තත්පර 18 ක ඇමතුමක් ගනී. පළමු බෝම්බය පුපුරා යන්නේ පස්වරු 2.49 ට ය. ප්‍රහාරකයා සිය බෑගය දමා වේගයෙන් ඉවත් ව යයි. දෙවැනි බෝම්බය පුපුරා යන්නේ පළමු පිපිරීමෙන් තත්පර 10 කට පසු ව ය. බොස්ටන් ප්‍රහාරයේ ප්‍රධානියා වන 19 වැනිදා ටමෙර්ලාන් ඝාතනය වන අතර පොලිසිය සැකකරුවන්ගේ නිවස වටලයි. එහි තිබී බෝම්බ ඇතුළු ආයුධ සොයා ගනී. අනෙක් සැකකරු අල්ලා ගත්තද උගුර හරහා එල්ල වූ ප්‍රහාරයකින් ඔහු සදාකාලික ගොළුවෙන් බවට පත් විය.
සිදුවීම බොහෝ විට එකින් එක ගැළපේ. සමහර විටෙක එකී ගැළපීම් අහඹු විය හැකිය. තවත් විටෙක අතීත සිදුවීම් පූර්වාදර්ශ ලෙස ගෙන වර්තමාන ක්‍රියාකාරකම් සිදු කරනවා විය හැකිය. ලෝකය පුරා සාහසික ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් අපමණ සිදු ව තිබේ. ලෝක පොලිස්කාරයාගේ පෙන්ටගනය සුණු විසුණු කරන්නට වතාවක් ත්රස්තයකුට හැකි විය. 2001 වසරේ සැප්තැම්බර් 11 වන අඟහරුවාදා උදෑසන අල්-කයිඩා ත්රස්තවාදීන් විසින් ඇමරිකා එක්සත් ජනපදයට එල්ල කරන ලද ත්‍රස්ත ප්‍රහාර මාලාව තවමත් ලෝකය භීතියෙන් සිහිපත් කරයි. එදින උදෑසන අල්-කයිඩා ත්රස්තවාදීන් 19 දෙනකු විසින් ඇමරිකා එක්සත් ජනපදයේ පිහිටි ජාත්‍යන්තර ගුවන්තොටුපළ 3කින් පිටත් වූ වාණිජ ගුවන්සේවා දෙකකට අයත් මගීන් සහිත වාණිජ ගුවන්යානා හතරක් අතරමඟදී පැහැර ගන්නා ලදී. ඉන්පසු මේවායෙන් දෙකක් නිව්යෝර්ක් නුවර ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ උතුරු සහ දකුණු නිවුන් කුලුනු වල ගැටීමට සලස්වන ලදී. තවත් එක් ගුවන්යානයක් වොෂින්ටන් නුවර පෙන්ටගනයට කඩාවැදීමට සලස්වන ලදී. ඉතිරි අනෙක් ගුවන්යානය ද තවත් මෙවැනි ම ප්‍රහාරයක් සඳහා වොෂින්ටන් දෙසට පැමිණෙමින් තිබියදී, මගීන්ගේ කලහකාරී හැසිරීම නිසා පාලනය කරගත නොහැකි ව, අතරමගදී පෙන්සිල්වේනියා ජනපදයේ ගොවිපලකට කඩා වැටිණි. මේ සමස්ත ප්‍රහාර මාලාවෙන් ම 3000කට ආසන්න පිරිසක් ජීවිතක්ෂයට පත් විය. මෙය ඇමරිකා එක්සත් ජනපදයට එල්ල වූ දරුණු ම ත්‍රස්ත ප්‍රහාරය වේ. මීට තෙවසරකට පෙර රාමසාන් සමයේ අවසන් දින කිහිපය ගෙවී යමින් තිබියදී මරාගෙන මැරෙන ත්‍රස්තවාදී ප්‍රහාරයක් මදීනාවේ සිදු විය. බෝම්බකරු යාච්ඤාවේ යෙදී සිටි බැතිමතුන් ආසන්නයට ම ළඟාවී ගොදුරු උදුරා ගත්තේ ය.
මුස්ලිම් ලෝකයේ හදවත බඳු තැනක සිදු කළ ත්‍රස්තවාදී ප්‍රහාරය ඉස්ලාම් භක්තිකයන් කම්පනයට පත් කරනු ලැබීය . රාමසාන් සමයේදී පැය 24ක් තුළ සවුදි අරාබියේ මරාගෙන මැරෙන ප්‍රහාර 3ක් ම සිදු විය. පළමු ප්‍රහාර 2 අසාර්ථක වූ අතර තුන්වැන්න මදීනා ප්‍රහාරයයි.
බැග්ඩෑඩ් නුවර ප්‍රහාරයකින් සිය දරු පවුල්, අසල්වාසීන් සමඟ එක් ව රාමසාන් සැමරීමට සූදානම් වූ අහිංසක මිනිසුන්ගේ සිහින සුන් කොට දමා දෙසිය ගණනක් ගොදුරු කරගත්හ.
සමහරු මිත්‍යාවක ගැලී සිටින්නේ මේ ප්‍රහාර ජන වර්ගයක් වෙතට බැර කරමිනි. ඒ තරම් වරදක් තවත් නැත. අමෙරිකාවේ ජාතික ප්‍රති ත්‍රස්ත මධ්‍යස්ථානය 2011 වර්ෂයේදී නිකුත් කළ වාර්තාවකට අනුව ගතවූ වසර 5ක කාල සීමාව තුළ ත්රස්තවාදයට සම්බන්ධ ක්‍රියාකාරකම් හේතුවෙන් 82 – 97% තරම් ප්‍රතිශතයකින් මුස්ලිම්වරු පීඩාවට පත් ව සිටිති. 1998 – 2000 කාලසීමාව තුළ ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් හේතුවෙන් ලොව පුරා මියගිය සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් 2014 දී පමණක් ඉරාකයේ ත්‍රස්තවාදී ප්‍රහාර හේතුවෙන් ජීවිතක්ෂයට පත් ව තිබේ. ඒ නිසා ත්රස්තවාදියාට ජාතියක් හෝ ජන්මයක් නැත; තිබෙන්නේ තිරස්චීන අරමුණක් පමණි. රකුසන් හා යුද වදින්නන්, ඒ නිසාම රකුසන් බවට පත් නොවීමට වග බලාගත යුතුය යනුවෙන් කතාවක් තිබේ. ඔබ , ඊයේ ඔබ සමඟ බත්පත බෙදාගත් හිතෛශීවන්ත අන්‍ය ආගමික සොයුරා දෙස අද බලන්නේ 'සැකයෙන් නම්' ඔබ කිට්ටු වී සිටින්නේ ගෝත්‍රිකත්වයේ කූඩාරම වෙතට ය. ආදරය තිබෙන්නේ ඊට මෙපිටින් ය.
නිපදවූ සෑම තුවක්කුවක්මත්, දියත් කළ සෑම යුද නැවක්මත්, පත්තු කළ සෑම රොකට් වෙඩිල්ලක්මත්, එක්තරා ආකාරයකට සයින් පෙලෙන්නාවූත් ද ආහාර නොදුන්නාවූත් ද, සීතලයෙන් පීඩා විඳින්නාත් වූද වස්ත්‍රයක් නොදුන්නාත් වූද, සමූහයාගෙන් කෙරෙන්නාවූ සොරකමකි. සන්නද්ධ වූ මේ ලෝකය වියදම් කරන්නේ මුදල් නොවේ. ඒ වියදම් කරන්නේ කම්කරුවන්ගේ දහදියයි, විද්‍යාඥයන්ගේ ඥානයයි, දරුවන්ගේ බලාපොරොත්තුවයි. මේ වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ජීවන ක්‍රමයක් නොවේ. යුද්ධයේ වළාකුල පසුපස යකඩ කුරුසිය මත ඇණගැසී ඇත්තේ මනුෂ්‍යත්වයයි. කියා කියන්නේ ඩ්වයිට් ඩී. අයිසන්හවර් ය. එහෙම බැළුවම මේ ප්‍රහාරය සෙල්ලම් නැත. 'එල් ටී. ටී. ඊ පරද්දපු අපිට මේක මොකක්ද? 'කියා සමහරු පුරාජේරු දොඩවති. හැබැයි ඒකට ටක්කෙට ම උත්තර දුන්නේ ෆිල්ඩ් මාෂර් සරත් ෆොන්සේකා ය. ඔහු මෙහෙම කීවේය. "රටවල් ගණනාවක විවිධ විධියට පැතිරිච්ච සංවිධානයක් ISIS. දැනට රටවල් 80 කට කිට්ටු ප්‍රමාණයක් මේකට එරෙහිව සටන් වදින්න එකතු වෙලා තියෙනවා. (අප්‍රේල් 21 වෙනිදා ලංකාව මේ සටනට බලෙන් ම ඇදලා ගත්තා. ලංකාව මේ සටනට එකතු වෙන්න තිබ්බෙ ඊට බොහෝ කලකට පෙරයි. නමුත් ඉතින් අපේ "ආරක්ෂක විශේෂඥයෝ" අපිට වඩා දන්නව නෙ). මේක මේ එක රටක සංවිධානයක් නොවේ. මේ තර්ජනය එල්.ටී.ටී.ඊ. තර්ජනයට වඩා හාත්පසින් ම වෙනස්. මෝඩ දූපත් මානසිකත්වයෙන් මේක පරද්දන්න බැහැ. ලෝකෙන් ම අතුගා දාන්න ඕන සංවිධානයක් මේක. ලංකාව පීරලා හොයලා පරාද කළා කිව්වත් පරදින්නේ නැහැ."
කතාව එතැනින් හමාර නැත. මේ වෙලාවේ සමහර බලල් අත් තිබෙන්නේ නොපෙනේනට ය. ඒවා තිරෙන් එපිට ‘කූඹියෝ‘ වගේ ය. සරත් ෆොන්සේකා කළ කතාව සමහරක්ට ලොකු ආතල් එකක් ගෙනාවාට හරියට ඒ කතාව ඇහුවා නම් කට උත්තර නැත.‘ මේක අද ඊයේ පටන් ගත්ත එකක් නොවේ..මේක අවුරුදු හත අටක වැඩක්..“එහෙමනම් කිරි දුන්න අය හොයා ගැනීමත් නොවලහා කළ යුතුය. ඇත්ත හෙළි වන විට කාගේ කාගේත් සලුපිළි ලිහෙනු ඇත.
මානාභරණ