සිළු­මිණේ ‘සීයා’ මෙත්ත්‍යෙය හිමි වූ හැටි | Page 4 | සිළුමිණ

සිළු­මිණේ ‘සීයා’ මෙත්ත්‍යෙය හිමි වූ හැටි

 “සිළුමිණ” පුවත්පතට මීට වසර 89 කට ප්‍රථම “සීයා” නම් අන්වර්ථ නාමයකින් ලිපි සැපයූ තරුණ පත්‍ර කලාවේදියා, “දිනමිණ වෙසක් කලාපයේ” සංස්කාරකවරයා වූ ප්‍රසිද්ධි නොතැකූ චාල්ස් අභයගුණරත්න මහතා හුදු ශ්‍රධාවෙන් පැවිදි බිමට ඇතුළත් වූයේ පඹුරන පඤ්ඤා මෙත්ත්‍යෙය හිමි නමිනි. “සිළුමිණ” කර්තෘ මණ්ඩලය හැර පියා කාටවත් නොදන්වා බුරුමයටත්, එතැනින් බුද්ධගයාවටත්, සාරනාතයටත්, ලුම්බිණියටත්, කුසිනාරාවටත් වැඩම කොට එතැනින් බම්බලපිටියේ වජිරාරාමයට පැමිණ පැළෑණේ ශ්‍රී වජ්‍රඥාන නායක මාහිමියන්ගේ පා සෙවණේ වැඩුණේය.

කුඩා වියේ සිට ට නිවුණු ගති පැවතුම්, අහිංසා වාදි, සරල, අල්පේච්ඡ ජීවිතයක් ගත කළ චාල්ස් අභයගුණරත්න මහතා මාතර පඹුරන උපත ලබා පඹුරන වාලුකාරාමයෙනුත් මාතර ශාන්ත ‍තෝමස් විද්‍යාලයෙනුත් අධ්‍යාපනය ලැබ ඩෙන්හැම් රචනා තරගයෙන් මුල් තැන දිනා ශිෂ්‍යත්වය (Denham Scholarship) ලබා ගත්තේය. මාතර සාන්ත තෝමස් විද්‍යාලයට ඔහු ගෙන දුන් ගෞරවය සලකා විදුහල්පති ජේ. ඩබ්ලිව්. බුල්ජන්ස් මහතා ශිෂ්‍යයන්ට දවසක නිවාඩුවක් ද විශේෂ සංග්‍රමයක් ද පැවැත්වීය. 1910 මැයි 13 වැනිදා මාතර පඹුරන උපත ලැබූ චාල්ස්ගේ දෙමාපියන් වූයේ පියදෝරිස් අභයගුණරත්න වෛද්‍යචාර්යවරයා හා ඩාර්ලිනා ජයසේකර මෑණියන් ය.

කුඩා කල චාල්ස් කඹුරුගමුවේ රතන ජෝති මා හිමියන් වෙතින් බුද්ධාගම, පාලි හා සංස්කෘත භාෂාව හදාරා, පාසලින් ඉංග්‍රීසි, ග්‍රීක්, ලතින් භාෂා ප්‍රවීණත්වයක් ලබා කේම්බ්‍රිජ් - සීනියර් විභාගයෙන් උසස් ලෙස සමත් වූ චාල්ස් පුවත්පත් කලාවට යොමු විය. ඔහු ලේක්හවුස් අධිපති ඩී.ආර්. විජේවර්ධන මහතා හමුවට ගියේ වයස අවුරුදු 21 පිරෙන විට ය. චාල්ස් ගේ හැකියාවන් හැඳින විජයවර්ධන මහතා ඔහුව “දිනමිණ” කර්තෘ මණ්ඩලයට අනුයුක්ත ‍කළේය. මුලින් ම විජයවර්ධන මහතා විසින් යොමු කළේ ලංකාවට පැමිණි ශ්‍රී ජවහර්ලාල් නේරු තුමා ගැන සම්මුඛ සාකච්ඡාවක් කිරීමට ය. මේ තරුණ පත්‍ර කලාවේදියා ගැන පැහැදුණ නේරුතුමා ප්‍රසංසා හිමි කර දීමට නිහතමානී විය.

චාල්ස් අභයගුණරත්න “ඩේලි නිව්ස්” පත්‍රයේ කර්තෘ වාක්‍යය ලිවීමට විජයවර්ධන මහතා අවස්ථාව ලබා දුන්නේය. “සිළුමිණ” විශේෂාංග කතුවරයා වූ චාල්ස්ට “දිනමිණ වෙසක් කලාපය” සංස්කරණය කිරීමට බාර විය. “සීයා” නමින් සිළුමිණට ලියූ චාල්ස්ගේ ලිපි කියවීමට පාඨකයෝ සැදී පැහැදී සිටියෝය. ඒ අතර පාසල් ශිෂ්‍යයෝ ද බහුල වූහ.

“ගිහි ඇඳුමෙන් සැරසුණු බෞද්ධ භික්ෂුව” නමින් චාල්ස්ගේ සමකාලීන මිතුරන් ඇමතුවේ ගෞරවයක් වශයෙනි.

1934 වසරේ “දිනමිණ වෙසක් කලාපය” සංස්කරණය කළ චාල්ස් අභය ගුණරත්නයෝ “සීයා” නමින් ලියූ ලිපියක ඡේදයකි මේ. එහි මාතෘකාව “සොම්නස්වා!” ය.

“මේ අරුණෝදයයි. අඳුර පහ විය. ආලෝකය පහළ විය. කාන්තාරයෙන් එ‍ෙතර වන්නෙමු. ක්ෂේම භූමිය අර පෙනේ. අභයපුර අර පෙනේ.

බුදුරජාණන් වහන්සේ අමෘතද්වාර විවෘත කළ සේක.

මේ මොහොත අපගේය. මේ මොහොතේ රහතුන් සේ ජීවත්වම් හ. මීළඟ මො‍ෙහාතත් අ‍ෙප් ය. අද ඒ මොහොත ද රහතුන් සේ ජීවත්වම්හ. අද අපගේ ය. අද රහතුන්සේ ජීවත්වම් හ. අද අපගේ නම් හෙවත් අපගේ ය. හෙටත් රහතුන්ගේ ජීවත්වහම් හ

යමෙක් අටසිල් රක්නේද? හේ රහතුන්සේ ජීවත් වන්නේ ය. යමෙක් දස සිල් රක්නේද? හේ රහතුන් සේ ජීවත් වන්නේ ය. අද සිල් රක්නා සත් පුරුෂයෝ වනාහි රහතුන්සේ වැඳුම් පිදුම් ලැබිය යුත්තෝ ය.

අද අපගේ ය. හෙට අපගේ ය. මීළඟ භවය අපේ ය. නිවන් දක්නාතෙක් හැම භවයක් ම අපේ ය.

පින්වත් දරුවෝ, තමන්ගේ භාග්‍යය ගැන සිතත්වා! මනුෂ්‍යත්වය ලත්හ. බුධොත්පාදය ලත් හ. සද්ධර්මය ලත් හ. ඇස්, කන් නාසලත්ත. ඇසත්, කනත්, නාසයත්, සිතත්, කයත්, උතුම් කටයුත්තෙහි ම යොදවත්වා.”

චාල්ස් අභය ගුණරත්න මහතා “සීයා” නමින් ලියූවේ අමතක කළ නොහැකි, රන් රුවන් මුතු මැණික් ආදියට වඩා අගනා ලිපි පෙළක් බවත්, බොහෝ දරුවන් මෙන් ම වැඩිමහල්ලන් ද, පැවිද්දන් ද ඉරිදා උදෑසන ඒ පුවත්පත දිග හැරියේ “සිළුමිණ සීයා” ගේ ලිපි කියවීමට බව වජිරාරාම වාසී පියදස්සී හිමියන් (1982 ජනවාරි 7 වැනිදා) විසින් “සිළුමිණ” පුවත්පතට ලියා තිබුණි.

“මේ ලිපිවල මහා ගැඹුරු ධර්මයක් නොවීය. වැඩි දෙනා දන්නා කරුණු ය, බණය එහි ඇතුළු වූයේ. එහෙත් මේ ලේඛකයාගේ අතුල්‍ය ලේඛන කලාව නිසා ධර්ම රසය නිසා උගතුන් මෙන් ම, වැඩි උගත්කම් නැති වූවන් ද, බෞද්ධයන් මෙන් ම අබෞද්ධයන් ද ඒ ලිපි කියැවූයේ මහත් අභිරුචියකිනි. ඒ ලිපි එතරම් ම සිත් කාවදින සුලු ය, සැදැහැ දනවන සුලු ය, පින් සිත්, පහන් සිත් පහළ කරවන සුලු ය. “සීයා” යොදා ගත් බස අනුකරණය කළ නොහැකි තරමට අමුතු ය; මට සිලුටු ය; කමනීය ය.” මේ පියදස්සී හිමිගේ වදන් ය.

“සිළුමිණ” පත්‍රයේ වැඩ නිම වූ පසු ලද හැම විවේකයකදී ම බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ පැළෑණේ වජිරඤාණ නා හිමියන් වහන්සේ හා නාරද හිමියන්ගේ ද ආශ්‍රයට වැටී ධර්ම ශාස්ත්‍රීය සාකච්ඡාවක යෙදුණ චාල්ස් මහතා ගැන හොඳම රෙකමදාරුවක් ඩී.ආර්. විජයවර්ධන මහතාට දී ඇත්තේ එවකට සිටි සෞඛ්‍යාමාත්‍ය ඩබ්ලිව්. ඒ. ද සිල්වා මහතා බව ටී.ඇස්. ධර්මබන්ධු විසින් ලියන ලද “සිංහල වීරයෝ” කෘතියේ ආනන්ද විජයවීරයන්ගේ ලිපියක් දක්වයි. මේ ඔහුගේ වචනය.

“1934 වර්ෂයෙහි අතිශය චමත්කාර ජනක චිත්‍රයෙන් හා සාර්ගර්භ ලියුම්වලින් ද සරසා “දිනමිණ වෙසක් කලාපය නිකුත් කිරීමෙන් බෞද්ධයන්ගේ බුද්ධාලම්බන ප්‍රීතිය දියුණු කළේය. ඒ කලාපය දුටු සෞඛ්‍යාමාත්‍ය වරයාණෝ “ඔබ තෝරාගත් පුද්ගලයා නම් මේ සඳහා සුදුසු ම තැනැත්තා ය” යි ලේක්හවුස් අයිතිකාර මහත්මාට ලියා යැවූහ.”

දොන් බාරොන් ජයතිලක සිරිමතාණන් වැනි උසස් ජනයන් අභයගුණරත්නයන් පැසැස ලූ අතර සඳදස් කෝපරහේවා විසින් ලියන ලද “මෙතේ හිමි සමරුව” නම් ගතෙහි කවියකින් එය සනාථ කර ඇත.

දැනැමිති කම් ඔබෙන් ලද මහ දැනැමිත්තෝ

දැනැ - ගෙනැ හරි තරම හොඳට මැ බැති ගත්තෝ

දැනැ - හැඳුනුම් කැමැත්තෝ ඔබ සිත දත්තෝ

දැනැවූ හරසර මැ ඔබ ඇසුරට පත්තෝ

මෙසේ “සිළුමිණ” පත්‍රයේ කටයුතු කර ගෙන ආ අභයගුණරත්න මහතා 1934 ජූලි මස 1 වැනි ඉරිදා සිළුමිණේ පළ වූ සීයාගේ ලිපියෙන් පසු අතුරුදන් වූ බවත්, එසේ ලියන ලද අවසාන සීයාගේ ලිපියේ මෙසේ සඳහන් ව ඇති බවත් ආනන්ද විජයවීරයන් පවසා තිබුණි.

ක්ෂණයෙන් ක්ෂණය, තත්පරයෙන් තත්පරය, විනාඩියෙන් විනාඩිය, පැයෙන් පැය, දවසින් දවස, සතියෙන් සතිය, මසින් මස, අවුරුද්දෙන් අවුරුද්ද ජීවිතයෙන් ජීවිතය පාරමී පුරන දරුවනි, යම් තැනක දානයට බාධා ඇත් ද? ශීලයට බාධා ඇත් ද? එතැනින් වහා නික්මයෙත්වා”

“මා යම් සේ සැපතකට කැමැති ද? මාගේ සහෝදරයාත් සැපතට කැමැති ය. මා යම් සේ දුකින් මිදීමට කැමැති ද? මාගේ සහෝදරයාත් දුකින් මිදෙන්නට කැමැති ය. මා අපමණ ආත්ම භාවයන්හි මාගේ සහෝදරයාටත් වඩා දුස්සීලව සිටින්නට ඇත. අහෝ! මම සිල්වත්මි. මාගේ සහෝදරයාත් සිල්වත් වේවා. මම යම් යම් උතුම් මඟකට බටුයෙම් ද? මාගේ සහෝදරයාටත් ඊට බසීවා. කිසිවකුට නො මඟ යන්නට ඉඩ නොයෙවා.”

මේ ලිපියෙන් පසු සිය මෑණියන්දැටත්, පැළෑණේ මහා නායක හිමියන්ට හා ඩී.ආර්. විජයවර්ධන මහතාටත් ලියුම් තුනක් ලියා තබා නිසොල්මනේම මෙතුමා දඹදිව බලා පිටත් වූ බවත්, තමා අත තිබුණ දුනු පිහියෙන් හැකි පමණ කෙස් කප්පා ගෙන අසල සිටි ද්‍රවිඩ පින්වතකු ලවා ඉතිරි කෙස් ටිකත් කප්පවා ගෙන ගුරු රෙද්දක් පොරවා ගෙන තවුස් වෙස් ගෙන උතුරු දිව බලා පා ගමන නික්ම පිටත් වූ බව පැවසේ.

‍ටී.ඇස්. ධර්මබන්ධුගේ කෘතියේ එන පරිදි අභයගුණරත්න මහතා තම මෑණියන්ට ලියූ ලිපිය මෙසේ ය.

මහ පිනැති මෑණියන් වහන්ස,

මාගේ පැවිදිවීම නෑදෑ මිතුරන්ගේ ද, අසල්වැසියන්ගේ ද හිත වැඩ පිණිස වන්නේ ය. පැවිද්ද නොවන්නේ නම් ඒකාන්ත මරණය වන්නේ ය.

මෙත්තෙය්‍ය හිමියන් ගැන ප්‍රකට හින්දි ලේඛකයකු වූ ආනන්ද කෞශල්‍යා යන හිමිත් අපූරු සටහනක් කර තිබුණි.

“ටික කලක් උන්වහන්සේ ඇගේ දාන ශාලාවෙහි දානය වැළඳූ හ. උන්වහන්සේ දිනපතා ම තම පාත්‍රය රැගෙන දාන ශාලාව ඉදිරියෙහි වැඩ සිටින්නේ ය. පාත්‍රයට ලැබුණු යමක් රැගෙන ගොස් විවේක ස්ථානයක හිද වළඳා පාත්‍රය සෝදා තබන්නේ ය. ඇතැම් දිනවල උන්වහන්සේට මාර්ගයෙහි සිඟන්නියක හමුවන්නී ය. උන්වහන්සේ තම පාත්‍රයට ලැබුණු භික්ෂාව සම්පූර්ණයෙන් ම ඒ අන්ධ සිඟන්නියට දී පාත්‍රය සෝදා තබා ශාන්තව වැඩ හිඳ ගන්නේ ය. මෙසේ දන්දුන් බව කිසිවකු දුටුහොත් නැවත පාත්‍රය ගෙන උන්වහන්සේට දානය දෙන්නේ ය. එසේ නූණොත් දෙවැනි දින තෙක් නිරහාරව ඉන්නේ ය.”

මෙත්ත්‍යෙය හිමි පැවිදි ජීවිතය ගත කළ කාලය තුළ “සෙත් සිලිලාල” , “අමාතුර”, “ශ්‍රාවක ධාතු චරිතය” හා කුඩා දහම් පොත් රැසක් ද “අසෝක” “ලයිට් ඔෆ් ද යුනිවර්ස්” යන ඉංග්‍රීසි ග්‍රන්ථ ද ලියා ඇත.

වජිරාරාමවාසී මෙත්ත්‍යෙය හිමියන් “සිළුමිණ” පුවත්පතට 1947 නොවැම්බර් 15 ‍වැනිදා ලියූ ලිපියක් මට කියවීමට ලැබුණි. ලංකාවට නිදහස ලැබීමට මාස තුනකට ප්‍රථම ලියූ එහි මැය වූයේ “සිංහල කොඩිය” යන්නය. එහි ඡේදයකි මේ.

“අනැඟි පුරාණ වස්තුවක් වන සිංහල කොඩිය වෙනස් කරන්න යෝජනාවක් තිබෙන බවත් අසන්නට ලැබුණා. මේ කොඩිය වෙනස් කිරීම ශුද්ධ වස්තු කෙලෙසීමක් වශයෙන් ශිෂ්ට ලෝකයා පිළිගන්නවා ඇත. පාට තුනක් යෙදීම නැති භේද ඇති කිරීමක් වශයෙන් සමගියට කැමති සියලු සත් පුරුෂයන් තේරුම් ගන්නවා ඇත. මේ අනැඟි කොඩිය වෙනස් කොට පාට තුනක් යෙදීම ලෝකයේ සෙසු පඬිවරයන්ගේ ද සංවේගයට හේතු වෙනවා ඇත.

එංගලන්තයේ රාමනාදන් තුමා ඉගෙනීම ලැබූ විද්‍යාලයේ සඟරාවට එතුමාගේ මරණය ගැන ලියූ පින්වත් ඉංගිරිසි ජාතිකයා රාමනාදන් තුමා “සිංහල දෙමලෙකැ’යි ලීවේ ය. ඒ ඉංගිරිසි පින්වතා ලියූ ලෙස සිංහල ද්විපයේ උපන් රාමනාදන් තුමාට සිංහල නාමයත් සිංහල කොඩියත් අයිතිමැය. ලංකාවේ මුස්ලිම්වරු “සිංහල මුස්ලිම්වරු” යයි මුළු ලෝකයේ ම මුස්ලිම්වරුන්ගේ නායකයා වන පින්වත් අගා ඛාන් කුමාරයා ලංකාවට ආ කාලයේ කීවේය. රාමනාදන් තුමාට මෙන් ම සිංහලද්වීපයේ උපන් සියලු මුස්ලිම් පින්වතුන්ට සිංහල නාමයත්, සිංහල කොඩියත් අයිතිමැයි.”

සඳ දස් කෝපරහේවායන් මෙත්ත්‍යෙය හිමිපාණන් ගැන ලියූ “මෙතේ හිමි සමරුව”පොතට. ඇගැයුමක් ලියූ පණ්ඩිත ගුණපාල සේනාධීරයෝ දිනෙක ඒ හිමියන් සොයා බම්බලපිටියේ වජිරාරාමයට ගිය ගමනක් විස්තර කර ඇත.

“ඒ මෙත්ත්‍යෙය හිමියන් දැඩි ගිලන් බැවින් පසු වූ අවදිය යි. අපි එවකට (1948) අශෝක රජු පිළිබඳ තොරතුරු දත හැකි හැම මඟක් ම සොයමින් සිටි අවදියෙක පසු වූමු. එහෙත් හිමියන්ගේ දැඩි ගිලන් බව අපේ ආසාවට සරස් වැ සිටියේය. පෙරළා යන්නට සැරසුණ ද අප පැමිණි කරුණ ගැන විමැසූ හිමි නමක්, “කමෙක් නෑ. ඔබවැනියන් සමඟ කැරෙන පිළිසඳර එහිමියන්ගේ සිතට සැනැසුමෙකි. ඒ සැනැසුම ලෙඩට ද පිළියමෙකි. ගොස් හමුවන්නැයි’ යි කී බසින් දිරිමත් වූ අපි අරුමේ ඈත පිහිටි කිළියෙක ආලින්දය වෙතට පැමිණියෙමු.

වේවැලින් කළ ඇ‍ඳෙක දුඹුරු ගුරු පැහැති සිවුරු දරා, සදසුන් (සඳදස් කෝපර‍හේවා) කියන්නා සේ උඩුබැලියාවෙන් පසු වූ සඟ නමකි. අපි එහි කැඳවා ගෙන ගිය හිමියෝ මෙතේ හිමියන්ට අප හඳුන්වා දී එතැනින් බැහැර වූහ. අප ඉදිරියෙහි වූයේ අප කොතෙකුත් අසා පුරුදු ‍මෙතේ හිමියන් බව අප දත්තේ එවිට ය. අප පැමිණි කරුණ අප සමඟ පැමිණි හිමියන් ගිලන් හිමියනට දැන්වූ බැවින් වෙනත් පැහැදිලි කිරීමෙක් ඇවැසි නො වී ය. මෙතේ හිමියන් සියලු වේදනා නොමතක කොට කෙළින් ම මැයට පිවිසිය හ.

“අන්න මහත්තයා, අර.... කියන මහත්තයා ලියපු ............... යන නම ඇති පොතේ.............. මට හිතෙන්නේ.............. වන පිටුව වෙන්න ඇති. එතන ඔය කියන කරුණ ගැන හොඳ විස්තරයක් ඇති කියවල බලන්න.”

හිමියෝ එ තැනින් නො නවතීනි. මගේ මැයට අදාළ ලෝ පසිඳු විදෙසි ගත් කරුවන්, ඉතිහාසඥයන්, දාර්ශනිකයන් ලියූ හැම සඳහනක් ම පිටු නම්වර ද සහිත වැ හිමියන් අතින් කියැවෙන විට අප ඒ නම්වර වහා සටහන් කැර ගත්තේ අදහා ගත නොහැකි විස්මයෙකිනි. සියල්ලට ගියේ පැයකට නොවැඩි කාලයෙකි. එහෙත් අඩු තරමින් පොත් තිහකට වැඩි ගණෙනක පිටු නම්වර ද සහිත වැ තොරතුරු සැපයීමට එ හිමියෝ සමත් වූහ. මේ සියල්ල එ හිමියන් මුවින් පැවැසුණේ එක ම උඩුබැලියා ඉරියව්වෙන් පසු වමින්, කරුණු පැහැදිලි කොට දීම සඳහා විටින් විට දෙ අතේ ඇඟිලි පමණ් මෙහෙයැ වූ මහා වියතකුගේ ස්වරූපයෙනි.”

ඩේවිඩ් කරුණාරත්න සූරීන් විසින් ලියූ “ශ්‍රී වජ්‍රඥාන චරිතය” (1955) කෘතියේ “බෝසත් මෙත්තෙය්ය” නමින් පරිච්ඡේදයක් එයි. එහි මෙත්තෙය්ය හිමියන් ගැන මෙසේ සඳහන් වෙයි.

“පැළෑණේ නායක මාහිමියන්ගේ ගෝලයින් අතුරෙහි සුශීල භාවයෙන් හා තපෝ ගුණයෙන් බෝසත් කෙනෙකු වූ එක් උත්තමයාණ කෙනෙක් වූහ. එහෙත් සංසාරය කොට කර ගැනීමේ පරම අවංක වූ අධ්‍යාශයෙන් සර්වඥ ධවජධාරි වූ උන්වහන්සේ ගේ මෙලොව ජීවිතය ද කොට විය.”

“මේ යතිතුමා තරම් හුදු ශ්‍රද්ධාවෙන් සසුනට බැස ගත් උතුම් පුරුෂයෙකු විසිවන සියවසේ ලක්දිව නූපන්නේය. මෙත්ත්‍යෙය යති තුමාගේ චරිතය කියවන විට හැ‍ඟෙනුයේ සිරිසඟබෝ රජුගෙන් පසුව එතුමා පමණ බෝසත් ගුණැතියකු සිංහල ජාතියේ නූපන් බවකි.”

පණ්ඩිත මැද උයන්ගොඩ විමලකිත්ති ස්ථවිර පාදයන් වහන්සේ විසින් ලියූ “මාතර සාහිත්‍ය යුගය” කෘතියේ මෙත්ත්‍යෙය හිමියන් ගැන සඳහන් වේ.

මෙත්ත්‍යෙය හිමියන් වජිරාරාමයෙන් නිකුත් වූ “බෞද්ධ ළමයා” සඟරාවේත් එහිම ඉංග්‍රීසි “බෝසත්” සඟරාවේත් සංස්කරණ කටයුතු වලදී පැළණේ නායක මාහිමියන්ගේත් නාරද හිමියන්ගේත් දකුණතව සිටි බව පැවසේ.

“මෙතේ හිමි සමරුව” ලියූ සඳ දස් කෝපරහේවා (මහාචාර්ය සඳගෝමි කෝපරහේවාගේ පියා) පවසා ඇත්තේ 1932 වැන්නේ දී රුවන් වැලි මහා සෑයේ ධාතු නිදානෝත්සවය පිළිබඳ වාර්තා සැපයීමේ දී සෑය මතැ තුන් දිනක් මැ නිරාහාර වැ සිටිමින්, පැන් විතෙකින් පමණක් පිපාසය සන්සිඳුවා- ගෙනැ, ඔවුන් විසිතුරු තොරතුරු සැපැයූ සැටි බැතිමතුන් ගේ ද විමතියට හේතු වී. එදා රුවන්මැලි මහා සෑය මතැ සුන් - බතින් සිටි පුරුද්ද අනු වැ රෑ කෑමෙන් තොර වැ සිටීම ඔහු ගේ පුරුද්දක් වී. කෙමෙන් උවසු වෙස් ගත් මේ කලාවේදියාගේ ඇවැතුම් - පැවැතුම් - අගය කළ ඇතැම් හු ඔවුන් හඳුන්වන්නට පටන් ගැනුණේ “කලිසම අඳින මහණ නම” යනුවෙනි.

1949 දි දැඩි ලෙස ගිලන් වී කොළඹ මහ රෝහලේ ප්‍රතිකාර ලැබූ මෙත්ත්‍යෙ හිමියන් 1949 කොළඹ පැවැත්වූ සැරියුත් මුගලන් දෑ සව්වන්ගේ ධාතු ප්‍රදර්ශනය සඳහා කොළඹ මහා බෝධි සමාගමේ ඉල්ලීම පරිදි Synosure of sanchi නමැති ඉංගිරිසි ඉතිහාස ග්‍රන්ථය “දැග සව් පෙරහර” යනුවෙන් පැදි පෙළක් හෙළ බසින් ලිවීම භාර ගත් බව කෝපරහේවායන් සඳහන් කර තිබුණි.

මෙසේ ඉමහත් කටුක ජීවිතයක් ගත කළ මුන්වහන්සේ රෝගී වූ විටත් “දිවි ගියත් විකාල භෝජනාදී ශික්ෂා නොබිඳි මැ” යි අචල අධිෂ්ඨානයකින් යුක්තව වජිරාරාමයට වැඩම කළහ. ආනන්ද විජයවීරයන් සඳහන් කර ඇත්තේ වෛද්‍යවරුන් ‍කොතෙක් නියම කළ ද අකැප දේ ගැනීම හෝ අවේලාවේ ආහාර ගැනීම හෝ නොකළ මුන්වහන්සේ 1950 පෙබරවාරි මස 07 වැනිදා අපවත් වී වදාළ බව ය.

මෙත්ත්‍යෙය යති තුමන් ගේ අභාවය ගැන පැළෑණේ නා හිමියන් ම දුක් වූ වාර අනන්ත ය. එක් දවසක්, එවකට “සිංහල බෞද්ධයා” පත්‍රයේ කර්තෘ පදවිය දැරූ ඩේවිඩ් කරුණාරත්න “බුදු රැස් විහිදේවා” යන මැයෙන් වෙසක් කතු වැකියක් ලියා ගෙන ගොස් පැළෑණේ නායක මා හිමියන් වහන්සේ ඉදිරියෙහි කියැවූ වේලේ,

“මෙත්ත්‍යෙයගෙන් පසු බුදු ගුණයක් ඇසුවා යැ” යි මහා නායක මාහිමියන් වහන්සේ කඳුළු බර වූ දෙනෙතින් මා‍ දෙස බැලූ බැල්මෙන්, ස්වකීය අතවැසි මෙත්ත්‍යෙය යතිදාණන් පිළිබඳව උන්වහන්සේගේ හදවත ඇතුළත රඟදුන් හැඟුම් නිරායාසයෙන් ම අවබෝධ විය. එබඳු ගෝලයකු තැනූ එකම පින, පැළෑණේ නායක මාහිමියන් වහන්සේට සගමොක් සුව සඳහා ප්‍රමාණවත් යැයි සිතමු.” 

Comments