විශ්වාසයේ බර | සිළුමිණ

විශ්වාසයේ බර

රන්සුනු සොයමින් ඉන්දියාවේ කරක්ගසමින් සිටි අපි ගිනි තියන, ගිනි නිවන උදවිය ගැන මෙන්ම ඒ ගිනි, සීතලට මිහිරි යැයි කියා වැලඳගත් වුන් ගැන ද අපගේ අවධානය යොමු කළෙමු. මේ සියලු සාදු මෙන් ම දුශ්චරිත ද, ඒ චරිතවල ස්වභාවය ද අප වටහා ගත යුතු වන්නේ් නිර්මාණකරණයේදී මේ සියල්ල ම අපට වැදගත් වන නිසා ය; ඒ සියලු චරිත නිර්මාණ ඇතුළේ ජීවත් වන නිසා ය.

ද්‍රෝහීකම්, පාවාදීම් ලොව කොතැනකත්, කොයි කාලයේත් සිදු වන්නේ සමාජයේ ස්වභාවය ඒ වැනි වන බැවිනි. විශ්ව සාහිත්‍යයේ නාට්‍ය කලාව තරම් මේ මනුලොව ස්වභාව සූක්ෂ්ම ලෙස විවරණය කළ වෙනත් මාධ්‍යයක් නැති තරම් ය. එයිනුත් අපගේ ජීවිත ඉසියුම් ව කියවා ගත් නාට්‍යකරුවකු නම් කරන්නට යැයි කිවහොත් එහි මුලට ම කියවෙන්නේ විලියම් ශේක්ස්පියර් නාමය ය. ආචාර්ය ජී. බී. හැරිසන්, ශේක්ස්පියර් කියවා ගන්නට අපට අපූරු පාලමක් තනා දෙන්නේ් ඒ නිසා ය. ජූලියස් සීසර් වෙත යන්නට පෙර ඒ පාලමෙන් එගොඩ වුව මැන.

'උසස් සාහිත්‍ය කෘතියක් කාලයකට හෝ දේශයකට සීමා නොවේ. සාහිත්‍ය නිර්මාණයක අමරණීයත්වය රඳා පවතින්නේ මේ විශ්ව සාධාරණ ගුණය මත මිස, අනෙක් පරිබාහිර අංග මත නොවේ. ශේක්ස්පියර් විසින් ලියන ලද නාට්‍ය මෙන්ම සෙසු කාව්‍ය ද අකාලික ගුණයෙන් පෝෂිත වූයේ වේ. එහෙත් නොයෙක් නෘත්‍ය සමාගම් සඳහා නාට්‍ය ලියා දී යන්තම් තම දිවි පෙවෙත සොයා ගත් මේ ශ්‍රේෂ්ඨ කවියාගේ කෘතීන්හි අගය ලෝකයාට වැටහෙන්නට පටන් ගන්නේ, ඔහුගේ මරණයෙන් පසුවය.

ජීවත් ව සිටියදී පවා මැරුණේ හා සමාන අය බහුතරයක් අැති ස‍මයෙක මරණින් මතු පවා ජීවත් වන්නට නම්; මේ වැනි දෑ ලෝකයට ඉතිරි කර යා යුතු වන්නේය.

ශේක්ස්පියර් නිර්මාණ භාවිතය විග්‍රහ කරන්නකුට ඔහු වස්තුබීජ තෝරා බේරා ගන්නා ක්‍රමවේද දෙකක් හසු වනු ඇත. ඔහු බොහෝ දුරට ඓතිහාසික වෘත්තාන්තයන්ගෙන් ආභාසය ලබයි; ඊට අමතර ව පවතින සමාජය විසින් පෙළනු ලබන සමාජ සංසිද්ධියක් තෝරා ගෙන එය ප්‍රතිනිර්මාණය කරනු ලබයි. ඒ කුමන ක්‍රමයට කුමක් තෝරා ගත්තත් ඊට අනූපමේය මානුෂීය චින්තාවක් කාවද්දන්නට ඔහු සමත් ය. ඒ සජීවි බව විසින් ඔහු අමරණීය බවට පත් කරන්නේය.

ජූලියස් සීසර් බිහිවන්නේ් ඒ ඔහුගේ ක්‍රමවේදය පාදම කර ගනිමින් ය. ජූලියස් සීසර් නාට්‍යයේදී ක්‍රි.පූ. 44 සිට ක්‍රි.පූ. 42 දක්වා වර්ෂවල ඓතිහාසික සිදුවීම් මාලාවක් සිය වස්තුබීජය කර ගන්නා ශේක්ස්පියර් ඒ වසර දෙකක කාල පරිච්ඡේදයෙනුත් දින 6ක සිදුවීම් පමණක් තම නිර්මාණයට පාදක කර ගන්නේ ය. ජූලියස් සීසර්, බෲටස්, හා මාර්ක් ඇන්තනී ඓතිහාසික කතා දාමයේ වීර චරිත ආශ්‍රිත ග්‍රන්ථ හ‍ා ජනප්‍රවාද ඔහුට මූලාශ්‍රය වී තිබිණි. නාට්‍යයේ රසය, තීව්‍රභාවය වැඩි කරනු වස් ඔහු එක් කළ, වෙනස් කළ ක්‍රියා ගැන පැහැදිලි අදහසක් ගන්නට නම් ඒ ඉතිහාසයේ කිමිදිය යුතු ම ය.

නාට්‍ය කලාවේදී රසයට මුල් තැනක් හිමි වේ. ශේක්ස්පියර් නාට්‍ය විමසද්දී මේ පිළිබඳ පූර්ණ අවබෝධය ඉතා වැදගත් ය. දුක්ඛාන්ත, සුඛාන්ත ලෙස වර්ග කරන නාට්‍ය කලාවෙහි ඒ දෙක ම සම්මිශ්‍රණය කර ජීවිතය හා සේම වියමන් කරන්නා ශේක්ස්පියර් ය. වැඩිදුර යා යුතු නැත; 'හැම්ලට්' වැනි නාට්‍යයක් දෙස බැලීම පමණක් ම ඒ සඳහා ප්‍රමාණවත් ය. ඔහු දුඛාන්ත හා සුඛාන්ත එක් කරයි; දුඛාන්ත වෙනමත්, සුඛාන්ත වෙනමත් ගෙන නාට්‍ය කරයි. අදාළ වස්තුබීජය ඔහු අත සුමට මැටි පිඬක් සේ තැනට අවැසි පරිදි ඇනෙයි. රසය හැම දෙනාට ම හඳුනාගත හැක්කක් නොවෙයි. එය විඳිනට හැක්කේ සහෘදයනයට පමණී. එනම් සමාන හදවත් අැත්තන්ට පමණී. රසය දැනෙන්නකි; එය ස්වකීය ආලෝකයෙන් ම බැබළෙන්නකි. චමත්කාරය පැනෙන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ශේක්ස්පියර් හැමවිට ම මේ ගැන සවිඥානික ය. ඔහු අප ඉදිරියේ අපගේ ම හදවත පළා දෙයි. ඒ මතින් වෑහෙන රතු රුධිර බිඳු අපගේ ආත්මය දවාලයි.

සීසර් මහා පාවා දීමක අවසන මැරී වැටෙන්නේ පිහි පහරේ වන ශක්තියෙන් හෝ තියුණු බවෙන් නොවේ යැයි ශේක්ස්පියර් ප්‍රේක්ෂක අපට අඟවන්නේ සදාතනික බරක් පපුවේ හිර කරමින් ය. ඒ බර විශ්වාසයේ බර ය; මැරෙන්නේ විශ්වාසයේ බර දරා ගත නොහැකි ව ය. ඔබට මට මේ දහම සනාතන වූවකි. අප බොහෝ දෙනා නොමැරී මැරෙන්නේ විශ්වාසය විසින් පෙරළා පහර දෙනු ලබන විට ය. එහි උග්‍රතම අවස්ථාවට මුහුණ දෙන්නේ සීසර් ය. තම ප්‍රාණ සම මිත්‍රයා විසින් එල්ල කරනු ලබන කිණිසි පහරේ වේදනාවට වඩා ඔහුගේ පපුව රිදෙන්නේ මිතුරාගේ පාවාදීම ගැන ය. ලොව කොතැනත් අඩුවැඩි වශයෙන් මෙය සිදු වන්නේ ය.

සීසර් ගේ ගෙලට මුලින් ම පිහියෙන් ඇන්නේ කැස්කා ය; ඉන් අනතුරුව කිහිප දෙනෙක් ම ඔහුට පිහියෙන් අනිති. අන්තිමට සීසර්ට පිහියෙන් අනින්නේ බෲටස් ය. පිහි පහර කිහිපයක් වැදී සිටි සීසර්ගේ මුවෙන් පිටවෙන මේ වදන කිණිසි පහර සියයකට වඩා බලවත් ය. එය ලොව සියලු මිතුරු සබඳතා එක් මිටට ගෙන කීතු කීතු කර ඉරා දමන්නේය.

මොනවා ඔබත් බෲටස් එහෙනම් සීසර් වැටුණාවේ...

මේ වැනි බෲටස්ලා මෙන් ම මාර්ක් ඇන්තනීලා ද සමාජයේ ඉදහිට හෝ වෙති‍. අතිශය දුර්ලභ ගතිලක්ෂණ හෙබියකු වන අැන්තනී, සීසර්ට අවංකව ආදරය කළ මිත්‍රයෙකි. ඔහුට දුර්ලභ ගතිගුණ ඇතැයි කීවේ නිකම් ම නොව සහේතුක ව ය. ඔහු සීසර්ට ආදරය කළේ සීසර්ගෙන් මුකුත් ම බලාපොරොත්තු විය නොහැකි තරම් දේශපාලනික වශයෙන් සීසර් අැද වැටී අවදියේ ය. අද මෙන් ම එදා ද එවැන්නෝ දුර්ලභ වූහ. ඒ මිතුරා විසින් සීසර්ගේ අන්තිම කැමති පත්‍රය ලෙසින් කියවන ලියැවිල්ල නිසා සීසර් මිනිසුන් අතර මරණයෙන් මතු ආදරය දිනා ගනී. සිදුවීම් වන්නේ එහෙම ය. ඉතිහාසය ලියන්න‍ාගේ හා නිර්මාණකරුවාගේ ආත්මයේ වන භාෂාව විසින් හැඩ වන්නේ ය. එයින් ගැලවෙන්නට කිසිදු ඉතිහාසයක් සමත් වූයේ නැත; හෙට ද සමත් වන්නේ නැත.

බෲටස්ට ද තම දෛවයෙන් ගැලවෙන්න ලැබෙන්නේ නැත. සීසර් පාවා දුන් බෲටස් ඔක්ටේවියස් සමයේ සිය දිවි හානි කර ගනියි. මේ සංසාර චක්‍රය ඇතුළේ පැවැත්ම ගැන ශේක්ස්පියර් අපට කියන්නේ එසේය. මේ ලොව වඩාත් ම වේදනාකාරී වන්නේ මරණය නොව පාවා දීම ය. මිනිස් ඉතිහාසය පුරා එදා ද අද ද 'ජූලියස් සීසර්' අමරණීය නාට්‍යයක් වන්නේ් මේ සදාතනික සත්‍යය අප ඉදිරියේ දිග හළ නිසා ය. නිර්මාණකරණයේ රන්සුනු සොයා යන අප ස්පර්ශ කළ යුතු වන්නේ එවැනි සදාතනික අගයකින් යුතු මානව හැඟීම් බව ඔබට වැටහෙනු නොඅනුමාන ය.

[email protected]

Comments