![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/04/05/sil-13.jpg?itok=k8NXTuvH)
“දොයි දොයි දොයිය බබා
බයි බයි බයි බයිය බබා
ඇගේ අම්මා කොතැන ගියා
සිරිපාදේ වඳිනු ගියා...
හඬන ඇගේ කුස පුරවා
වෙන අම්මෙක් කිරි පෙව්වා...”
රාත්රිය සීතලය. විශේෂයෙන්ම සමනොළ ගිරිහිස, සීත ගඟුල පිස එන සුළඟ ඒ සීතල වඩාත් දැඩි කරයි. නුහුරු නුපුරුදු පරිසරය තුළ මවගේ උණුහුම නැතිව සීතල දරාගැනීමට බිලිඳියට පුළුවන් කමක් නැත. ඈ සිටියේ මිත්තණියගේ තුරුලේය. විනාඩි පැය ගණන් ගෙවී යද්දි බිලිඳිය කුස ගින්නේ හඬන්නට වූවාය.
කුමක් කරන්නද ? කාට කියන්නද? කිසිවක් සිතා ගැන්මට බැරි වූ මිත්තණිය බිලිඳිය තව තවත් තුරුල් කරගනිමින් නළවාගන්නට දැඩි වෙහෙසක් දැරුවාය. අටමස් වියැති සිඟිත්තිය හඬාවැටෙමින් හෙම්බත්ව නින්දට වැටුණාය. ඒ නින්ද බොහෝ කෙටිය. අවදි වූ සැණින් යළිත් හඬන්නට වන්නීය. තවමත් කිරිවලට පමණක් හුරු වී සිටින සිඟිත්තියගේ කුස පුරවන්නේ කෙසේදැයි යන්න කාටත් ප්රශ්නයකි.
සමනොළ ගිර පාමුල දුෂ්කර රාත්රියක් ගෙවා දැමූ මිත්තණිය හතර වටින් ඉරඑළිය වැටෙන විට සතුටු කඳුළු සැලුවාය. ඒ සිරිපා වඳින්න ගිය බිලිඳියගේ මව දැන් දැන් එනවා ඇතැයි සිතමිනි. නමුදු හෝරා කිහිපයක්ම ගෙවිණි. බිලිඳියගේ මව නොආවාය. කළ යුත්තේ කුමක්දැයි සිතා ගන්නට බැරි වූ මිත්තනිය අවසානයේ හඬන බිලිඳිය ද කරපින්නාගෙන නල්ලතන්නි පොලිසීයට ගියාය.
“වේලාව උදේ අටට අටහාමාරට විතර ඇති. මට ඇහුණා ශබ්ද විකාශන යන්ත්රයෙන් කියනවා බබෙක් බඩගින්නේ ,අම්මා කෙනෙක් ඇවිත් කිරි දෙන්න කියලා. ඒ වේලාවෙ මම හිටියේ කඩේ ඇතුළේ. මට පුදුම දුකක් හිතුණා. මම අප්පච්චි යනවා කියලා කියාගෙන කඩෙන් එළියට බැස්සා. එතකොටම මගෙ මහත්තයත් ඉස්සරහට ආවා. අන්න දරුවෙක් බඩගින්නෙලු. කිරි ටිකක් දුන්නා නම්; කියලා කිව්වා. මම නල්ලතන්නි පොලිසියට ගියා. පොලිසියෙන් කිව්වා එනවුන්ස් කරන තැනට යන්න කියලා. මම ඊට පස්සේ එතැනට ගියා. එතැන අය මට කිව්වා බස්එකට යන්න කියලා. මම එතැනට ගියා.
අවුරුදු හැට පහක විතර අම්මා කෙනෙක් බබාව වඩාගෙන ආවා. බබා අඬලා අඬලා හෙම්බත් වෙලා හිටියේ. මම බබාව අතට අරගෙන කිරි දුන්නා. අඬමින් හිටපු නිසා බබා මුලින් මුලින් කිරි බිව්වේ හරිම හෙමින්. බබා මගේ මුහුණ බල බලා හරි අමාරුවෙන් වගේ තමයි කිරි බිව්වේ. ටිකක් වෙලා ගියාට පස්සේ බබා හොදට කිරි බිව්වා. ඊට ටිකකට පස්සේ බබාගේ අම්මා ආවා. මම ඒ අම්මගේ පැත්තට මුහුණ හරවලා බබාව අම්මගේ අතට දුන්නා. ”
සිරිපා හිමේ කුසගින්නේ හැඬූ අටමස් වියැති සිඟිත්තිය ගැන සුනීතා පවසන්නට වූයේ හැඬුම්බරවය.
නල්ලතන්නියේ කාලයක් තිස්සේ කඩයක් කරගෙන යන සුනිතා ද දරුවන් තිදෙනෙකුගේ මවකි. ඇගේ බාලම දරුවාගේ වයස මාස හයකි. දරුවන් තිදෙනෙකුගේ මවක වන ඇය කොයි දරුවාගෙත් කුස ගින්නේ දිග පළල හොදින් හඳුනන්නීය. සිඟිත්තියගේ කුසගින්න ඇසූ මොහොතේ ඇගේ පපුව දැවෙන්නට ගත්තේ එනිසාය. කොහොම වුණත් බිලිඳියට කිරි දුන් සුනීතා හැරුණ විට තවත් අම්මාවරු නව දෙනෙකු බිලිඳියට කිරි දෙන්නට ඇය සොයා පැමිණියහ. ඒ පොලිස් නිවේදනය කනවැකීමත් සමඟය.
අගක් මුලක් නොදන්නා මේ කතාවේ අගමුල දැන ගන්නට අපට උදව් කළේ නල්ලතන්නි පොලිසියයි. නල්ලතන්නි පොලිසීයේ ස්ථානාධිපති ලක්සිරි ප්රනාන්දු මහතා සිද්ධිය විස්තර කළේ මෙසේය.
“ඉකුත් විසිහතර වැනි දා මතුගම ප්රදේශයේ ඉඳලා වන්දනා නඩයක් ඇවිත් තියෙනවා සිරිපා කරුණා කරන්නට. මේ නඩයේ මාස අටක දරුවකු සමඟ පැමිණි මවක් ද ඉඳ තිබෙනවා. වන්දනා නඩය සමඟ ඇයත් සිරිපා කරුණා කරන්නට පටන් අරන් තියෙනවා . නමුත් සිරිපාදය නඟිද්දි ඇයට තේරිලා තියෙනවා දරුවාට සීතල වැඩියි කියලා. ඒ නිසා ඇය දරුවාව මිත්තනියට දීලා තියෙනවා නැවත වාහනයට යන්න කියලා . මිත්තනිය දරුවත් තවත් ඥාති කාන්තාවකත් සමඟ පහළට ඇවිල්ලා.
සමහර විට අර අම්මා දන්නේ නැතිව ඇති සිරිපා මළුවේ විශාල සෙනඟක් සිටින බව. සමහර නිවාඩු දවස්වලට සිරිපා කරුණා කරන්නට ලක්ෂයකට වැඩි ජනතාවක් එනවා. කොහොම නමුත් මේ අම්මා ගිහින් තියෙන්නේ තවත් දරුවකු සමඟ. ඒ අම්මා කියන විදිහට සිරිපා වැන්දට පස්සේ මේ අම්මාට පහළට එන පාර වැරදිලා. හැටන් පැත්තෙන් මළුවට නැඟලා සිරිපාදය වැන්ද අම්මා පහට බැහැලා තියෙන්නේ රත්නපුර පාරෙන්. ටිකක් දුර යද්දි පාර වැරදුණු බව දැනගත් අම්මාට හරි පාර හොයාගන්න ටිකක් වෙලා ගිහිල්ලා. රාත්රියේ සිරිපා නැග්ග මව උදෑසන තමයි පහළට ආවේ. සිඟිත්තා කිරි නැතිව බඩගින්නේ අඬන නිසා තමයි අපි කිරි දෙන්න අම්මා කෙනෙක් ඕන කියලා නිවේදනය කළේ. ඒ නිවේදනයට කිරි අම්මාවරුන් නව දෙනෙක්ම ආවා. සිරිපා වඳින්න එන හැමට ආරක්ෂා සැලසීම පොලිසීය සතුයි.” ලක්සිරි මහතා පවසයි.
සිරිපාදය වඳින්නට එන කාගෙත් දුකට පිහිට වන්නේ දුක් අඳෝනා අසන්නේ එහි සේවයේ යෙදී සිටින පොලිසියයි.
අම්මා සිරිපා වඳින්න ගිය අතරේ කුසගින්නේ හැඬූ සිඟිත්තියගේ දසුන දුටු වැඩිහිටියෝ බොහෝ විස්සොප වූහ.
“මේ වගේ සිද්ධියක් මීට පෙර නම් වුණා කියලා මතකයක් නැහැ. දැන් ඉන්නේ මොඩ් අම්මලානේ. දරුවෝ ගැන මීට වඩා හිතන්න ඕන. කුස ගින්නේ අඬලා හෙම්බත් වෙලා හිටිය දරුවා අම්මා කවුද කියලා හෙව්වේ නැහැ. නාඳුනන අම්මා කෙනෙකුගෙන් කිරි ටික බිව්වා. ඒ අම්මාට පින් සිද්ධවෙනවා මේ දරු පැටියගේ බඩගින්න නිව්වට. වැඩිහිටි කාන්තාවක පවසන්නේ දැනුමුත්තියක ලෙසිනි.
අවුරුදු දහයක් තිස්සේ දොදොල් කඩයක් කරගෙන යන සුනීතා චන්ද්රපාල බිලිදියට කිරි පොදක් පොවන්නට ලැබීම ගැන තුටු වන්නීය.
“ මට මගේ දරුවා විතරක් නෙමෙයි. කොයි දරුවත් එකයි. මගේ දරුවගේ වගේම අනෙක් දරුවන්ගෙත් බඩගින්න මට හොඳින් දැනෙනවා.“සුනිතා පවසන්නේ සතුටු කඳුළු හෙළමිනි.
කුමක් කළත් කොතැන ගියත් තම දරුවන් ගැන අම්මලා වඩාත් සැලකිලිමත් විය යුතුය. දරුවන් කුස ගින්නේ හඬද්දි දෙව්ලොව සැප ලැබුණත් කුමකට දැයි කියා සිතෙන්නේද, එවන් කතා අසන දකින විටය.
ඉසවි