![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/04/05/sil-11.jpg?itok=9duvwHY3)
* කඩ සාප්පුවල වෙළෙඳාමක් නෑ
* ජනතාව නගරයට එන්නේ නෑ
* මන්නාරමටත් එහා ගිය මේ දැඩි රශ්නය ගැන සොයා බලන්න
මේ දිනවල දහවල් දොළහ පසු වෙත්ම මුලතිව් නගරය ජනශුන්‍ය නගරයක් බවට පත්වෙයි. හරියටම මහා යුද සමයේදී මරණයට බියෙන් මිනිසුන් එහෙ මෙහෙ යාමෙන් වැළකී සිටියා මෙන් මේ දිනවලද පාරක තොටක කිසිවෙක් හෝ පෙනෙන්නට නැත. එදා යුද්ධය නිසා මුලතිව් නගරය ජනශුන්‍ය වූවත් මේ දිනවල නගරය මිනිසුන් නොමැතිව පාළුවන්නේ අධික අව් රශ්මිය නිසාය. අව් රශ්මිය දරාගත නොහැකි මිනිස්සු නගරයට පැමිණීමෙන් වැළකී සිටිති. මේ දිනවල නගරයේ සිටින්නේ නගරයට නොපැමිණබැරි වුවමනාවකට පැමිණෙන්නන් පමණකි.
දැඩි අව්රශ්මිය කෙතෙක්ද යත් මේ දිනවල නගරයේ දකින්නට ඇත්තේ එහා මෙහා ඇවිදින මිනිසුන් කීප දෙනෙකු පමණකි. බස් රථ ධාවනය වන්නේද ඉඳහිටය. බස් නැවතුම් පොළේ වුවද මේ කණිසමට සෙනඟ නොමැත. ගාල් කොට ඇති බස් සංඛ්‍යාවද අතේ ඇඟිලි ගණනට සීමා වෙයි.
දහවල් එක දෙක වන විට මේ තත්ත්වය තවත් දරුණු වෙයි. මුලතිව් නගරය යළි ජනයාගෙන් පිරෙන්නට පටන් ගන්නේ පස්වරු හතර පමණ වන විටදීය.
මේ උදාවී ඇත්තේ අලුත් අවුරුදු සමයයි. උත්සව සමයට අවශ්‍ය දෑ මිලට ගැනීම සදහා පෙර වසරවල දී මේ කාලයට මුලතිව් නගරය ජනයාගෙන් පිරී පවතී. නමුත් මේ දිනවල එවැන්නක් නොමැත. මේ නිසා නගරයේ වෙළෙඳසල් ද ජනශුන්‍යය.
වෙළෙන්දෝ මැසිවිලි නඟමින් දෙවියන් යදිති. පාසල් ප්‍රධානීන් පවසන්නේ මේ දිනවල වාර විභාග පැවැත්වෙද්දී වුව පාසල්වලට පැමිණියේ ඉතාම අඩු සිසුන් සංඛ්‍යාවක් බවයි.
හදිසියේම ඇති වූ තත්ත්වය ගැන තවත් තොරතුරු විස්තර දැනගැනීමට අප කතා කළේ මුලතිව් දිසාපතිනී රූපවතී කේතීස්වරන් මහත්මියටයි. මුලතිව් ප්‍රදේශය වටාම අලංකාර මුහුදක් පිහිටා තිබෙන නමුත් පළාතේ රශ්මිය ඉතා ඉහළ ගොස් ඇති බව ඇය පවසයි.
“සාමාන්‍යයෙන් මාර්තු මාසය අප්‍රේල් මාසය කියන්නේ මේ පළාත්වලට තරමක් ඌෂ්ණත්වය අධික කාලයක්. නමුත් මේ ඌෂ්ණත්වය අංශක 36 ක වගේ මට්ටමකින් එහාට ඉහළ යන්නේ නෑ. ඒත් මේ සැරේ මේ දවස්වල හැමදාම අංශක 37 ක් ඉක්මවන ඌෂ්ණත්වයක් තමයි මුලතිව් පළාතට ලැබෙන්නේ.
මේ ඌෂ්ණත්වය දරා ගැනීමට අමාරුයි. මේ හේතුව නිසා තමයි දවල් කාලයට මිනිස්ස්සු නගරයට එන්නේ නැත්තේ. මුලතිව් නගරයේ ගස් සංඛ්‍යාව අඩුයි.මේ නිසා රශ්මිය තවත් වැඩි වශයෙන් දැනෙන බවක් පෙනෙන්නට තිබෙනවා. මුලතිව් දිස්ත්‍රික්කයේ ගම්මානවලට වන්නට මේ රශ්මිය මදක් අඩුයි.
කාලයකින් හොද වර්ෂාවක් ලැබුණේ නැහැ. මේ නිසා ඌෂ්ණත්වය ඉහළ ගියා විය හැකියි. පළාතේ දැනට දැඩි වියළි ස්වභාවයක් පවතින නිසා ජල උල්පත් සිදී ගොස් තිබෙනවා. ජනතාවට පානීය ජලය සපයා ගැනීමට අසීරු බවක් සමහර පළාත්වලින් වාර්තා වෙනවා. තව දුරටත් මේ තත්ත්වය පැවතියහොත් ඔවුන්ට බව්සර් මගින් පානීය ජලය සපයා දීමට වැඩ පිළිවෙළක් සකස් කොට තිබෙනවා ”
දවල් එකට පමණ මුලතිව් නගරයට පැමිණෙන වැසියෝ කටින් ෂූ.... ෂූ.. ගා තමන්ටම පිඹ ගන්නේ නයින් පිඹින්නාක් මෙන්ය. හැමෝම කතා බහ වෙන්නේ මේ රශ්නය ගැනය. සියල්ලන්ම උඩ බලන්නේ කොයි මොහොතක වැසි බින්දුවක් මහ පොළොවට පාත්වේද යන මහා බලාපොරොත්තුවකිනි. එහෙත් අඩුම තරමින් අහස ගුගුරන්නේවත් නැත.
උත්සව සමයක් වූවත් මුලතිව් නගරයට මිනිසුන් ඇදී නො ඒම නිසා කනස්සල්ලට පත්ව සිටින්නෝ වෙළෙන්දෝය. වෙළෙන්දාට අවුරුදු සමය ඉතාම ජය ලැබෙන ලාබ ලැබෙන කාලයකි. නගරයේ වෙළෙදසල් ඇඳුමින් පැලඳුමින් හ පාවහන් ඇතුළු වෙළෙඳ බඩුවලින් පිරී ඇති නමුත් ජනයා නගරයට නොපැමිණීම නිසා අලෙවි නොවෙයි.
සවස පහෙන් හයෙන් පසුව නගරයට පැමිණෙන පිරිස් ඉතාම අවශ්‍ය දෙයක් මිලට ගෙන යන්නට යති. රටේම සිදුවන විදුලිය කපා දැමීම මුලතිව් පළාතටත් පොදු නිසා තැනින් තැන රැඳී සිටීමටත් ඉඩක් නොමැත.
රශ්මිය නොමැති කාල වේලාවේදී ජනතාව භාණ්ඩ මිලට ගැනීමට පැමිණෙන විට විදුලිය නොමැත. එවිට ගනුදෙනුකරුද වෙළෙන්දාද යන දෙදෙනාම අසීරුවට පත්වෙති. මෙනිසා මුලතිව් නගරයේ වෙළඳාම සම්පූර්ණයෙන්ම අඩාල වී ඇතැයි වෙළෙන්දෝ මැසිවිලි නඟති.
“දැන් අවුරුදු මාසේ පටන් අරන් දවස් කීපයක්ම ගතවුණා. දවල්ට බඩුවක් ගන්න කවුරුවත්ම එන්නේ නෑ. දවල් එකෙන් පස්සෙනම් හදිසිම දෙයක් අරන් යන්න එන කෙනෙක් මිසක් අවුරුද්දට ඕනේ දේවල් ගන්න ඕනේ කියලා කිසි කෙනෙක් එන්නේ නෑ. සාමාන්‍යයෙන් මිනිස්සු මොනවා නැති වුණත් අරක්කු ටිකක් බොනවනේ. මේ පළාතේ වැඩියෙන්ම ඉන්නේ ධීවර රස්සාවයි කෘෂිකර්මාන්තෙයි කරන උදවිය. ඉතින් හවසට ඇඟේ අමාරුව යන්න කියලා හරි ඒ අය ටිකක් බොනවා. අඩුම ගානේ ඒ අයවත් මේ දවස්වල නගරෙට එන්නේ නෑ. ඇහුවම කියන්නේ තියන රස්නෙත් එක්ක අරක්කු බිව්වම ඉන්නම බෑ කියලයි.
මේක මහා පුදුම රස්නයක් වෙලා තියෙන්නේ. ටී.වී.එකේ එහෙම කිව්වේ අවුරුදු පහු වෙනකල් මෙහෙම තියනවා කියලයි. එහෙම වුණොත් නම් මොනවත් ඉතුරු වෙන්නේ නෑ.
අවුරුදු කාලේට තමයි අපි කීයක් හරි හොයා ගන්නේ. ඒත් ඒක මේ සැරේ හොඳටම පහළ බැහැලා. මිනිස්සු නැතුව කාට බිස්නස් කරන්නද? ”වෙළෙඳසල් හිමියෙක් පැවසීය.
මුලතිව් නගරය වටේටම මුහුදක් දක්නට ලැබුණත් නගරය වෙනදාටත් දිස් වන්නේ කාන්තාරයක් ලෙසිනි. එහි ගොඩනැගිලි මිස ගහ කොළ දක්නට නොමැත. මුලතිව් නගරය ආශ්‍රිතව ඇති බිමේ පසද පුත්තලමට නෑකම් කියන පසකි. ඉතාම කර්කෂ බවක් උෂ්ණය නොමැති කාලවලටද මුලතිව් නගරයෙන් දැකිය හැකිය.
මුලතිව් නගරයෙන් ඈත පිහිටි ගම්මානවල පරිසරයේ හස්කොළං ඇති නිසා යම් සිසිලක් දැනෙන බව පැවසුණත් එහි සත්‍යතාවක් නැතැයි පවසන්නේ මුලතිව් නගරයට ඈතින් පිහිටි මුල්ලියාවලෙයි ගම්මානයේ පාසලේ විදුහල්පතිවරයායි.
පාසල් වාරඅවසාන විභාග පවා පවත්වා ගත්තේ අසීරුවෙන් බව විදුහල්පතිවරයා පැවසීයි.
“විභාගය ඉවර කළා ළමයින්ගේ පැමිණීම ඉතාම අඩුයි. පිරිමි ළමයි ටික එනවා. ඒ අය එන්නේ සෙල්ලලම් කරන්න ඕනේ නිසයි. ඒත් අව්ව දරා ගන්න බෑ .ළමයින්ට කොච්චර කිව්වත් වැඩක් නෑ. එයාලා අව්වට පැනලා සෙල්ලම් කරනවා. මේ නිසා ළමයින්ට එන්න එපා කිව්වා. නිවාඩු දෙන දවසට උදේම රැස්වීම තියලා රිපෝර් කාඩ් ටික දීලා ළමයින්ව යවනවා.
මගේ පාසලේ ළමයින් ලැබෙන්න ආසන්නයේ ගුරුවරියන් දෙන්නෙක් ඉන්නවා. ඒ අයට තමයි ලොකුම ප්‍රශ්නය. පාසලට නිවාඩු ලැබෙන නිසා ප්‍රශ්නයක් නෑ. එහෙම නොවුනනම් ඒ අයටත් ගෙදර ඉන්න කියල තමයි කියන්න වෙන්නේ.”
මුලතිව් දිස්ත්‍රික්කයේ භූගෝලීය වශයෙන් වෙනස්කම් රැසක්ම පසුගිය වසර පුරාවටම සිදුවිය. ඉන් විශාලම හා තවමත් තේරුම් ගත නොහැකි ප්‍රශ්නය වී ඇත්තේ මුලතිව් මුහුදේ ජලය අඩි පහකින් පමණ ඉහළ යාමයි.
මේ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට යාපනය විශ්වවිද්‍යාලයේ භූගෝල අංශයෙන් හා කොළඹ සිටද විශේෂඥයෝ පැමිණියහ. එහෙත් ඔවුන් සිදු කළ පරීක්ෂණ වාර්තා මෙතෙක් ලැබී නැත. නමුත් ඉතාම කෙටි පිළිතුර වූයේ ‘මේ සම්බන්ධයෙන් බිය වියයුතු නැති බවයි.’
එසේම මුලතිව් වැසියෝ පසුගිය වසරේ අවස්ථා කිපයක්ම සුනාමී උවදුරක් පැමිණෙතැයි කියමින් බියට පත්ව මුහුදු තීරය අසල ජීවත් වන්නෝ එම පළාත්වලින් ඉවත් වූහ. දිනක් මුලතිව් නගරයම වසා දමා වෙළෙන්දන් පවා ඈත ගම්මානවලට පලා ගියේ මුලතිව් මුහුදේ සිදු වූ තදබල වෙනස්කම් නිසාය.
මුලතිව් වැසියන් ජීවිතයේ කිසිම දිනක දැක නොමැති යෝධ පක්ෂීන් මුලතිව් මුහුදේ ජලයට මදක් ඉහළින් පියාසර කරමින් සිටියේද පසුගිය වසරේය. මේ සියලු දේ මැද කිසිදාක නොමැති මහා ගංවතුරකින්ද මුලතිව් පළාත යටවී ගියේය.
පසුගිය වසරේ සිදු වූ මේ සිද්ධීන් දාමය සමඟ මේ දිනවල දැඩි අව් රශ්මියද මුලතිව් වැසියන්ට ප්රශ්නයකි. මුළු රටපුරාම උෂ්ණ කාලගුණයක් තිබුණද මුලතිව්වලට එය වැඩි වශයෙන් දැනී තිබේ. එය සොයා බලා අධ්‍යයනය කළ යුතු තත්ත්වයකි. මන්ද? ඊට නුදුරින් යාබදව පිහිටි කරවල වේලෙන මන්නාරමේ අව් රශ්මිය මේ දිනවල මුලතිව් තරම් දරුණු නොමැති වීමය.
රසුල දිල්හාර ගමගේ