![](https://archives1.silumina.lk/sites/default/files/styles/large/public/news/2019/04/05/sil-9.jpg?itok=AO29Iylx)
ඉන්දියාවත් පකිස්තානයත් අතර වූ දරුණුම යුද්ධය ඇවිළෙමින් තිබුණේ 1971 වසරේදීය. එම වසරේ දෙසැම්බර් 08 වැනිදා රාත්‍රියේ ගුජරාට් ප්‍රාන්තයේ භුජ් නගරයට පකිස්තානය දරුණු ගුවන් ප්‍රහාරයක් එල්ල කළේය. බෝම්බ 14ක් යොදා ගනිමින් එල්ල කළ මේ ප්‍රහාරයෙන් ඉන්දීය ගුවන් හමුදා ධාවන පථයක් මුළුමනින් ම විනාශ විය. මේ නිසා පකිස්තානු හමුදාවලට ප්‍රතිප්‍රහාර එල්ල කිරීමට ගුවන්ගත වීමට නොහැකිව ඉන්දීය ගුවන් හමුදා දැඩි අපහසුතාවට ලක්විය. එය ඉන්දීය ගුවන් හමුදාවලට පිරිමැසිය නොහැකි අන්දමේ පාඩුවක් වූයේය.
ගුවන් පථය යථා තත්ත්වයට පත් කරනු සඳහා දේශසීමා ආරක්ෂක හමුදාවට දැනුම් දෙනු ලැබිණි. නමුත් ගුවන් පථය පිළිසකර කිරීම කඩිනමින් කළ යුතුව තිබිණු දෙයකි. දේශ සීමා ආරක්ෂක හමුදා එනතුරු බලා නොසිටි කාන්තා පිරිසක් ධාවන පථය අලුත්වැඩියාවට වහා ඉදිරිපත් වූහ. ඒ භුජ් ප්‍රදේශය අසල පිහිටි මද හා පුර් නගරයේ වාසය කළ කාන්තා පිරිසකි.
සිය නිවෙස්වල එදිනෙදා කටයුතු සියල්ල පසෙකලූ 300 ක් පමණ වූ මෙම ගැහැනු භුජ් ගුවන් පථය ප්‍රතිසංස්කරණය ආරම්භ කළහ.
මෙම කාන්තාවන් පිරිසේ නායකයා වූයේ වල්භායි සෙගාහි ය. ඇය බෝම්බ නිසා සිදුවිය හැකි ජීවිත විනාශය ගැන නොතකා ගමේ කාන්තාවන් සියලු දෙනා ම මෙම කාර්යයට එකතු කර ගත්තාය.
“300 ක් පමණ වූ අපි ගුවන් භටයන්ට පහසුවෙන් තම යානා ගුවන්ගත කිරීමට හැකි වෙන්න ගුවන් හමුදාවට උදව්වක් වෙන්න ඉදිරිපත් වුණේ මරණය ගැන කිසිවක් නොසිතා. මෙවැන්නක් කර මරණයට පත් වුණත් එය ඉතාම ගෞරවාන්විත මරණයක් වනු නොඅනුමානයි.” සෙගානි පැවසුවාය.
විනාශ වී ගිය ගුවන් පථයක් යථා තත්ත්වයට පත් කිරීම ලෙහෙසි පහසු දෙයක් නොවේ. ගුවන් හමුදා නිලධාරින්ගේ මඟ පෙන්වීම යටතේ වැඩ ඇරැඹූ කාන්තාවන්ට තිබූ ප්‍රධානතම තර්ජනය වූයේ පකිස්තාන ගුවන් හමුදා ප්රහාරයන්ය.
පකිස්ථාන අහස් යානා එන කොට සයිරන් නාද වෙනවා. අපි එතකොට වැඩ නවත්වලා අහල පහල තියෙන පඳුරු වලට දුවල හැංගෙනවා. අපි වැඩ කරන කොට ඇඳගෙන හිටියේ අවට පරිසරයට අනුරූපී වන කොළ පැහැති ඇඳුම්. ගුවන් යානා ගියාට පසු අපි යළිත් වැඩ පටන් ගන්නවා.” යැයි මෙම කාන්තා පිරිසේ කෙනෙක් වූ ජදව්භායි හිරානි පැවසුවාය.
ටයිමස් ඔෆ් ඉන්ඩියා පුවත්පත සමඟ පැවති සාකච්ඡාවකදී තවත් වීර කාන්තාවක වන වීරු ලච්ජානි පැවසුවේ “ගුවන් පථය සඟවා තැබීම සඳහා පථය පුරා ගොම ආලේප කරන ලෙස අපට උපදෙස් ලැබී තිබුණා. එමඟින් සතුරු යානාවලට ගුවන් පථය හඳුනා ගැනීමට නොහැකි බව කිව්වා. බෝම්බ දමන විට පඳුරු අතර සැඟවී ඉන්න ගමන් අපට කෑමට ලැබුණේ මිරිස් කරල් පමණයි. සමහර දිනවල බඩගින්නේ ඉන්නත් සිදුවුණා. රට ගැන සිතා ඒ සියල්ලම විඳ දරා ගත්තා.” යනුවෙනි.
“අපට ගතවුණේ දින හතරයි. හතරවැනි දවසේ අප නිම කළ ගුවන් පථයෙන් ඉන්දියානු ගුවන් හමුදාවට අයත් ප්‍රහාරක යානාවක් අහස් ගතවීම අපට මහත් ආඩම්බරයක් වුණා.” යැයි හිරානි කීවාය.
යුද්ධය නිමවී වසර තුනක් ගතවූ පසු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි විසින් මෙම වීර කතුනට ත්‍යාග ලබාදීමට තැත් කළ විට ඒවා ප්‍රතික්ෂේප කළ ඔවුන් පැවසුවේ “අපි මේ සියල්ලම කළේ රට වෙනුවෙන්” යනුවෙනි.
කෙසේ වෙතත් ඉන්දියානු මධ්‍යම රජය විසින් භුජ් ප්‍රදේශයේ මදහපාර් ග්‍රාමයේ සිටි මෙම වීර කාන්තාවන්ට උපහාරයක් ලෙස “විරන් ගන ස්මාරක්” යනුවෙන් හඳුන්වනු ලැබූ විශේෂ ස්මාරකයක් පිහිටුවූ අතර රුපියල් 50,000 මුදල් ත්‍යාගයක් පිරි නැමීය.
මෙම කතාව බොලිවුඩ් තීරයේ චිත්‍රපටයක් බවට පත් කර ඇති අතර “Bhuji The Pride of India” යනුවෙන් හඳුන්වනු ලබන මෙම චිත්‍රපටයේ ජනප්‍රිය හින්දි නළු අජේ දේව්ගන් ප්‍රධාන චරිතය නිරූපණය කරයි.
රෝහණ ආර්යරත්න