විපක්ෂ දේශපාලකයන් වැල්ලේ සඟවන්නට හදන කුඩාවැල්ලේ අපරාධය | Page 2 | සිළුමිණ

විපක්ෂ දේශපාලකයන් වැල්ලේ සඟවන්නට හදන කුඩාවැල්ලේ අපරාධය

පසුගිය නත්තල උදා වන්නේ කුඩාවැල්ල ධීවර වරායම මිනිස් ලේවලින් රත් පැහැ කළ කොන්ත්‍රාත් මිනීමරුවන්ගේ වෙඩි වරුසාවකිනි. එහි ඉලක්කය ධීවර ව්‍යාපාරයෙන් ඉහළට පැමිණි මහින්ද නැමැති ව්‍යාපාරිකයෙකුගේ පුතුන් දෙදෙනාය. අද කුඩාවැල්ල ධීවර වරායේ ප්‍රධානතම ධීවර ව්‍යාපාරිකයා මහින්දය. එය ඔහු විසින් වසර විසිපහක් - තිහක් තිස්සේ සිය ව්‍යාපාරය වෙනුවෙන් කළ අප්‍රමාණ කැපකිරීමක ප්‍රතිඵලයකි. මහින්ද මේ වන විට ට්‍රෝලර් යාත්‍රා ගණනාවක හිමිකරුවෙකි.

“කලණ” නම් වූ ඔහුගේ ධීවර ව්‍යාපාරය ඉහළට එන්නේ ඔහුගේ වැඩිමහල් පුතු බින්දුගේ කැපවීම හා අනෙක් බාල පුතුන් දෙදෙනාගේ සහාය නිසාය.

“කලණ” ධීවර ව්‍යාපාරය විශාල පිරිසකට රැකියා සැපයුවේය. පන්සියයකට වඩා පිරිසක් ඉන් යැපුණාහ. සුනාමි ව්‍යසනයෙන් පසුව කුඩාවැල්ල වරායේ ධීවර ව්‍යාපාරය ඉහළට ගෙන යන්නට මහින්ද ගේ පවුලේ අය සේම ඔහු සමඟ බැඳුණු ධීවර ප්‍රජාව මහත් උත්සාහයක් ගත්තේය. මහින්දගේ මූලිකත්වයෙන් ඇරඹුණු ධීවර සමිතිය ඉතා ශක්තිමත් විය. මේ ශක්තිමත්භාවය නිසා පිටින් පැමිණෙන ජාවාරම්කාරයන්ට කුඩාවැල්ලේ ඉඩක් නොවීය. එයින් කුඩාවැල්ලේ ධීවරයන්ගේ අනාගතය සරිවිය.

සුනාමියෙන් පසු කුඩාවැල්ල ධීවර වරාය අංග සම්පූර්ණ ධීවර වරායක් බවට පත් වන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පාලන සමයේ චීන රජයේ ආධාර මත නවීකරණය කිරීමෙන් පසුවය. චීන රජයේ ආධාර මත වරාය නවීකරණය කිරීමට පැමිණි චීන සමාගමේ ප්‍රධානියාව සිටි යං මහත්‍රා මහින්ද රාපක්ෂ මහතාගේ ආධාරකරුවකු වූ ඩි.වි. උපුල් නැමැති ව්‍යාපාරිකයාට හඳුන්වා දී වරාය නවීකරණය කිරීමේ ව්‍යාපෘතියේ සම්බන්ධිකාරක ලෙස ඔහුව පත් කළේය.

වරාය ගොඩනැඟීමත් සමඟම එහි බලය සඳහා දේශපාලන හයිකාරකම් මත පදනම්වූ ආරවුලක් නිර්මාණය වෙමින් තිබිණි. ඒ අතර කුඩාවැල්ල වරායේ ප්‍රධානතම ධීවර ව්‍යාපාරිකයා වූ මහින්ද ප්‍රදේශයේ ධීවර ජනතාවට පිටත්සර ආක්‍රමණ නොඑන්නට වග බලාගත්තේය. ඔවුන් ඇරඹූ ධීවර සමිතිය නිසා දේශපාලනයට වරායේ බලය පැතිරවීමට නොහැකි විය

අළුයට ගිනි පුපුරු

මේ බල අරගලය සිදුවෙද්දී නොසිතූ මොහොතක පසුගිය දෙසැම්බරයේ දී මහින්දගේ පුත්තු කොන්ත්‍රාත් තුවක්කුකරුවන්ට ගොදුරු වූහ. ඔහුගේ වැඩිමහල් පුතු රණා එතැනම මැරී වැටුණේය. මේ මිනීමැරුම සිදු වන අවස්ථාව වන විට සිය මාළු ව්‍යාපාරයෙන්ද, මාළු ලොරිවලට දවසේ පොලියට මුදල් ලබාදීමෙන්ද මහින්දලා දිනකට රුපියල් ලක්ෂ ගණනක් ලාභ ලබමින් සිටියහ.

ඒ මිනීමැරුමට පෙර අවස්ථාවක වරෙක මේ බල අරගලයට එක්ව සිටින එක්තරා දේශපාලකයෙකු මහින්දගේ වැඩිමල් පුතු කේරළ ගංජා ව්‍යාපාරයක් කරගෙන යන බවට අසත්‍ය චෝදනාවක් පටලවා සී.අයි.ඩි. ය වෙත යැවීමට උත්සාහ ගෙන තිබිණි. එහෙත් එම චෝදනාකරුවන්ගේ කුමන්ත්‍රණය හෙළි වී ඔවුන්ගේ උත්සාහය ව්‍යාර්ථ විය. පොලිසියට ලැබෙන තොරතුරු අනුව මහින්දගේ පුතු ධීවර වරාය තුළම ඝාතනය කිරීම මේ කුමන්ත්‍රණයේ අවසන් දිගුවය.

ඝාතකයෝ

කුඩාවැල්ල නාකුළුගමුව මහින්දලාගේ ගමය. ඝාතකයන්ගේ ඉලක්කය මහින්දගේ පවුලේ සියලු දෙනා එකවර එකට ඝාතනය කිරීමය. ඝාතනයට යොදාගන්නේ නාකළුගමුවේම පදිංචි රෝහිත හා සුපුන් නැමැති මිනීමරුවෝය. සුපුන් අවි පුහුණුව නොලත් මංකොල්ලකරුවකි. දකුණේ රාජපක්ෂවරුන්ගේ සහායෙන් රජයේ රියැදුරු රස්සාවක් ලද්දෙකි. රෝහිත යුද හමුදා විශේෂ බළකායේ දක්ෂ වෙඩික්කරුවකි.

යතුරු පැදියකින් පැමිණ කලින් දින ඔත්තු බැලූ රෝහිත හා සුපුන් නත්තල් දා උදෑසනම ටී 56 ක් හා පිස්තෝලයක් අතැතිව වරායට කඩා වැදුණේය. සුපුන් ටී 56 අවියෙන් දිගට හරහට වෙඩි තැබුවේය. මහින්දගේ පුත් රණා වෙඩි වැදී බිමට ඇද වැටුණේය. දෙටු පුත් බිංදු, බාල පුත් පොඩී හා මහින්ද ඇතුළු අය හතර අතේ දුව ගොස් දිවි ගලවා ගත්හ. වෙඩි වැදී බිම වැටුණු රණාට ළඟටම පැමිණි රෝහිත ඔහුගේ හිසට වෙඩි වරුසාවක් තබා පලා ගියේය.

එම ප්‍රහාරයෙන් මහින්දගේ බාල පුත් රණා හෙවත් උදය කුමාර, ලසිත් තිවංක, ජේ. එම්. සමීර, සඳුන් චානක යන සිවු දෙනා මරණයට පත් වූහ. විසි හය දෙනෙක් තුවාල ලදහ. ඝාතන සම්බන්ධව මහින්දලාගේ ගෝලයන් සමඟ ගැටුමක් පැවති නරිබටු පොඩ්ඩලා, අලගඩු රුවන්ලා, කුඩු රමේෂ්ලා හා උපුල්ලාගේ කණ්ඩායම් ගැන මුලින්ම පොලිසිය සැක පහළ කළේය. මේ අතර ඝාතකයන් දෙදෙනාගෙන් කෙනෙකු වූ රෝහිත තංගල්ල පොලිසියට කොටු විය. රෝහිතගේ තොරතුරු මත ඝාතනයට සම්බන්ධ පිරිස් ගැන හෙළිවන්නට විය. තංගල්ල ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ලක්සිරි ගීතාල්ගේ නියෝග මත තංගල්ල පොලිසියට අමතරව තංගල්ල කොට්ඨාස අපරාධ ඒකකය මෙහි විමර්ශන සිදු කළහ.

එම තොරතුරු මත ඝාතන කොන්ත්‍රාත්තු පිළිබඳ දත්බව කියූ කසුන් නැමැත්තෙක් තංගල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එම මිනීමැරුම සිදු වන්නේ ලක්ෂ පනහක කොන්ත්‍රාත්තුවකට බව ඔහු හෙළි කළේය. මේ අතර ප්‍රශ්න කිරීම් සඳහා අල්ලාගෙන සිටි කසුන් පොලිස් අත්අඩංගුවෙන් පලා ගියේය. ඒ දකුණේ විපක්ෂයේ දේශපාලනඥයෙකුගේ සහායෙනි.

විමර්ශනවලදී හෙළි වන්නේ එම ඝාතන කොන්ත්‍රාත්තුව ධීවර වරායේ මහින්දලා සතු බලය අල්ලන්නට තැත් කරන පුද්ගලයෙකු විසින් ලබාදුන්නක් බවය. එය සොයා යද්දී පොහොට්ටු දේශපාලනයේ බලපෑම් පොලිසියට එල්ල විය. ඒ දකුණේ ප්‍රබලතම දේශපාලන පවුලක පුතුන්ගෙනි. ඝාතන කොන්ත්‍රාත්තුවේ විමර්ශනවලදී ඒකාබද්ධ විපක්ෂයේ දේශපාලනය හා එම ඝාතන අතර ඇති සම්බන්ධතා හෙළි වන්නට වූයේය. විපක්ෂය යළි බලයට පැමිණි විට අත්විය හැකි නරක ප්‍රතිඵල ගැන මේ දේශපාලකයෝ පොලිසියට අනතුරු ඇඟවූහ. නමුත් පොලිස් අධිකාරි ලක්සිරි ගීතාල් දේශපාලන හස්තයන්වලට නවන්නට නොහැකි විය.

හොරාට කලින් කෙසෙල්කැන වැට පැනීම

මේ අතර කසුන් හෙවත් මෝඩ පුතා නැමැත්තෙක් මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූයේය. ඔහු කීවේ කුඩාවැල්ල ඝාතනයට ඩී.වී. උපුල්ලාගේ හා ඩී.වී. චානකලා නිකරුණේ ගාවන්නට උත්සාහයක් ගන්නා බවය. ඩී.වී.චානක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා මාධ්‍යයට කීවේ කුඩාවැල්ලේ ඝාතනයට තම පවුලේ අය නිකරුණේ පටලවන්නට පොලිසිය වළිකන බවය.

පොලිසියෙන් පැනගත් කසුන් මේ මිනිමැරුම් කොන්ත්‍රාත්තුව ලබා දුන් පුද්ගලයන්ගේ වාහනයකින් නවගමුව පොලිස් වසමේ සැරිසරන බවට තොරතුරු මත තංගල්ල පොලිස් අධිකාරි ලක්සිරි ගිතාල්ගේ නියෝග මත විශේෂ පොලිස් කණ්ඩායමක් එම ප්‍රදේශයටද ආවේය. එහෙත් කසුන් යළි එළියට එන්නේ වයඹ පළාතේ පොහොට්ටුවේ බලවත් දේශපාලකයකුගේ ද ආවරණය සහිතය. අපරාධයක සැකකරුවෙකු අදාළ අපරාධය වූ ප්‍රදේශයේ පොලිස් ස්ථානය වෙත භාර කිරීම සම්ප්‍රදාය ය. එහෙත් කුරුණෑගල නියෝජනය කළ හිටපු ප්‍රබල ඇමතිවරයෙකුගේ සහායෙන් කසුන්ව භාර කළේ කෑගල්ල පොලිසියටය.

කෙසේ වුවද කෑගල්ල පොලිසිය ඔහු උසාවි දමා රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේය. නමුත් කුඩාවැල්ලේ ඝාතන සිද්ධිය සම්බන්ධ වාර්තාවක් නිසි ලෙස ඉදිරිපත් වී තිබුණේ නැත.

මෙහි ප්‍රධාන සැකකරුවෙකු වන ප්‍රධාන වෙඩික්කරු සුපුන් යන අය දේශපාලන හස්තයක් මඟින් මන්නාරමින් ඉන්දියාව බලා පිටත් කොට යවා ඇති බවට තොරතුරු දැනගැනීමට ලැබී ඇත. තවද, කසුන් නම් සැකකරු වෙනුවෙන් රාජපක්ෂවාදී සත්‍ය ගවේෂකයෝ නම් සංවිධානයක් නීති සහාය ලබාදීමට ඉදිරිපත්ව ඇත.මේ අතර කසුන් යන අයගේ මව යනුවෙන් පැවසෙන කාන්තාවක් ස්විට්සර්ලන්තයේ සිට පටිගත කරන ලද දුරකතන ඇමතුමක හඬ පටයක් මාධ්‍යයට ඉදිරිපත් කර ප්‍රකාශ කර තිබුණේ තමන්ගේ පුතු නිකරුණේ අපරාධයකට පැටලවීමට උත්සාහ දරන බවය. ඇය චෝදනා කරන්නේ පොලිසියටය.

දැනට වින්දිත පාර්ශ්වය වන කුඩාවැල්ල කලණ ව්‍යාපාරයේ හිමිකරු වන මහින්ද මහතාගේ නිවස වෙත පොලිස් ආරක්ෂාව ලබා දී ඇත. එහෙත් ඔවුන්ගේ දරුවන් හට නිරතුරුවම මරණ තර්ජන ලැබෙමින් පවතී. තවද, ඔවුන්ගේ යාත්‍රාවලට මත් කුඩු හෝ නීති නිරෝධි යම් දෙයක් දැමීමේ කුමන්ත්‍රණයක් ද ක්‍රියාත්මක වන බව විශ්වාසවන්ත ආරංචි මාර්ග තහවුරු කරයි.

එම නිසා ඔවුන් තමන්ගේ ආරක්ෂාව පිණිස ගිනි අවියක් ලබා ගැනීමට ලිපියක් ජනාධිපතිතුමා වෙත යොමු කර තිබේ. අපරාධකරුවන්ගේ අරමුණ වූයේ එම මිනිස් ඝාතන මධුෂ්ගේ ගිණුමට බැර කිරීමය. එහෙත් එය සිදු නොවූයේ වින්දිත පාර්ශ්වයේ පෙර පිනකටය.

 

Comments