අවර ගණයේ වාණිජ ප්‍රවාහ හමුවේ බුද්ධි­මය සම්ප්‍ර­දාය රැක­ගත් සිළු­මිණ | Page 2 | සිළුමිණ

අවර ගණයේ වාණිජ ප්‍රවාහ හමුවේ බුද්ධි­මය සම්ප්‍ර­දාය රැක­ගත් සිළු­මිණ

ක්ෂුද්‍ර ප්‍රාණියකු වන මකුළුවා තමන්ට අත පෙවිය හැකි මානයේ දැලක් වියා එය චලනය වනතුරු කල්බලා සිටී. ඒ යම් තැනක ගොදුරක් පැටලුණු බවට ආරංචියක් ලැබෙන තුරුය. web යන ඉංගිරිසි වචනයෙන් හැඳින්වෙන මේ ක්ෂුද්‍ර ප්‍රාණියාගේ නිර්මාණය අද පෘථුලාර්ථගැන්වී විශ්වය සිසාරා බැඳුණු අදෘශ්‍යමාන මහා දැලකින් කෙරෙන පරිගණකගත තොරතුරු සන්නිවේදන ජාලය හැඳින්වීමට භාවිත කෙරේ. කඩදාසි රෝල් යොදන අඛණ්ඩ මුද්‍රණ ක්‍රමයද අද හැඳින්වෙනුයේ web යනුවෙනි.

1930 මාර්තු 30 වැනිදා සිට 2019 මාර්තු 30 වැනිදා දක්වා එදා මෙදා තුර වසර 90ට එළැඹෙන තුරු ශ්‍රී ලංකාවේ සිදුවුණු භාෂා - සාහිත්‍ය කලා පරිණාමය - ආර්ථික පරිණාමය - සංස්කෘතික පරිණාමය සහ දේශපාලන පරිණාමය සියැසින් දුටු සාක්ෂිකරු ‘සිළුමිණ’ එදා පැවැති කුඩා මකුළු දැලට වසර අනූවක චලන සියල්ල මැනවින් දැනිණි.

ලේක්හවුස් නිර්මාතෘ ඩී.ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන් බ්‍රිතාන්‍යයේ ශ්‍රේෂ්ඨ විශ්වවිද්‍යාලයක පුළුල් අධ්‍යාපනයක් ලැබුවේය. ශ්‍රී ලාංකික ශිෂ්‍යයන්ටත් එවන් ශ්‍රේෂ්ඨ අධ්‍යාපනයක් ලබාදීමට ස්වකීය සංස්කෘතික සම්ප්‍රදායන්ට අනුකූල අංග සම්පූර්ණ නූතන විශ්වවිද්‍යාලයක් පිහිටුවීමේ අපේක්ෂාව ඔහු තුළ විය. පේරාදෙණි විශ්වවිද්‍යාලයේ එතුමාගේ ඒ සැබෑවූ සිහිනයයි.

1930 මාර්තු 30 වැනිදා ඔහුගේ සංකල්පය පරිදි බිහිවන සිළුමිණ පත්‍රය බාර දෙනු ලැබුවේ පියසේන නිශ්ශංකයන්ට ය. ඔහු සතු මහ කළු සිංහලයකුගේ ආරෝහ පරිණාහ දේහ විලාසයත් - පරිපූර්ණ බටහිර ඇඳුම් කට්ටලයත් මූර්තිමත් කර දක්වන්නේ සිංහල බෞද්ධ සංස්කෘතිය විසින් අත්කර දුන් ප්‍රබල ආත්මයත්, බටහිර සංස්කෘතියෙන් ලත් විචාරවත් ආභාසයත් ය.

“අනාගතය පිළිබඳ අපගේ දැක්ම හැඩගස්වන්නේ සංස්කෘතියයි. සංස්කෘතිමය මූලයන්ගෙන් තොර සමාජය වියවුලෙන් වියවුලට පත්වෙයි. සංස්කෘතික මුහුණුවරින් තොර කවර හෝ ක්‍රියාවලියක ආත්මය විනාශයට පත්වීම අනිවාර්ය වෙයි.” සංස්කෘතිය පිළිබඳ යුනෙස්කෝ සංවිධානයේ මේ සංකල්පය සිළුමිණ බිහි වූ කාලයේ නිර්මාණය වී තිබුණේ නැත. එහෙත් විස්මය නම් ඩී.ආර්. විජයවර්ධනයන් තුළත් පියසේන නිශ්ශංකයන් තුළත් මේ මාහැඟි දැක්ම පිළිබිඹු වීමයි.

“ජාත්‍යුන්නතිය - ශාස්ත්‍රෝද්දීප්තිය - සදාචාරය - මහජන සේවය - මහජන අර්ථ සංරක්ෂණය යන ආදියට රුකුල් දීමෙන් ජනතාභිවෘද්ධිය සැලසීම අපේ එක්වන් අධිෂ්ඨානය යැයි සිළුමිණ ප්‍රථම කර්තෘ වාක්‍යයෙහි දැක්වෙන ප්‍රතිඥාවයි.

“ජාතික ආගමික සංස්කෘතික ආභාසය විසින් පුවත්පත් කලාවේදියා ජාතික සේවීන්ගේ ගණයට ඇතුළත් වේ” යැයි විජයවර්ධනයන් සඳහන් කළේ තමන්ගේ කර්තෘවරුන් ලෙස සංස්කෘතික විඥානයෙන් පොහොසත් විද්වතුන් සම්බන්ධ කර ගනිමිනි.

එදා සිව්වැනි මිහිඳු රජුගේ ශිලා ලිපි පිළිබඳ සාකච්ඡාවකින් ඇරැඹෙන සිළුමිණ ‘ඓතිහාසීය හා ශාස්ත්‍රීය අතිරේකය’ වූ කලී ‘සිළුමිණ’ ට සම්මානනීය ‘ශත දහයේ විශ්වවිද්‍යාලය’ යන විරුදාවලිය අත් කර දුන් සාරගර්භ අතිරේකයයි. සිළුමිණට ‘ශතදහයේ විශ්වවිද්‍යාලය” යන නාමය අන්වර්ථ වූයේ එහි වූ සාරවත් බව නිසාය. ඉදිරියේ එන ප්‍රථම විශ්වවිද්‍යාලයේ ඡායාවන් සේ මෙරට ජනතාව දැනුවත් කිරීමේ කාර්යය කල්තියා බාර ගත්තේ ඩී.ආර්. විජයවර්ධනයන්ගේ ම ‘සිළුමිණ’ පත්තරයයි.

අද ඉරිදා පත්තරවල ජනප්‍රිය විශේෂාංග අතිරේකයක් බවට පත්ව ඇති ටැබ්ලොයිඩ් පුවත්පතක් ප්‍රධාන පත්‍රයත් සමඟ නොමිලේ දී ඇත්තේ 1930 මාර්තු 30 වැනිදා පළමු ‘සිළුමිණ’ යි.

කුඩා ප්‍රමාණයේ, එනම් ටැබ්ලොයිඩ් ප්‍රමාණයේ පත්‍රයක් වෙනම කපා - නමා ලබාදීමේ පහසුකම් එදා මුද්‍රණ යන්ත්‍රයේ නොතිබිණි. එබැවිනි, කුඩා පත්‍රය සකස්කර ගත යුතු ආකාරය මුල් පිටුවේ සඳහන් කළේ.

“සිළුමිණ පත්‍රයේ 3 වැනි හා 4 වැනි පිටු ශාස්ත්‍රීය අතිරේකයක් වශයෙන් සලකනු ලැබේ. ඒ කොළය පත්‍රයෙන් කඩා ඉවතට ගත් කල්හී, වඩා හොඳ ප්‍රමාණයක පිටු 4ක් සේ ගණන් ගැනේ.

සිළුමිණ පත්‍රයේ ශාස්ත්‍රීය ලිපි සතරම මේ පිටුවල ඇතුළත් වන බැවින් එය පත්‍රයෙන් ගලවා පරෙස්සම් කිරීමෙන් ශාස්ත්‍රීය ග්‍රන්ථයක් වන්නේය.”

සිළුමිණ ‘ශත දහයේ විශ්වවිද්‍යාලය’ විරුදාවලී ලැබුවේ මේ ශාස්ත්‍රීය ලිපි එකතුව නිසාවෙනි.

මහාවංසයේ නූතන යුගයේ (1935 - 1956) ප්‍රථම භාගයේ සිළුමිණ හඳුන්වා තිබෙන්නේ ද ‘ශත දහයේ විශ්වවිද්‍යාලය’ යනුවෙනි.

ලේක්හවුස් ආයතනායත්තෝ

- පත්තෙ සිළුමිණ සඤ්ඤිතෙ

සත්ථ භාගංච ආරද්ධා

- නානා විසය තිස්සිතා

සත්ථංසංච සමාරම්භ

- නානා විසය තිස්සතා

ලේබනානි පතාසෙසුං

- විඤ්ඤුජන පසංසිතා

ගජ්ජ පජ්ජංච කථා ඡායා

- රූපානිච තහිං අහූ

තං විදිංසු ජනාවිස්ස

- විජ්ජාලය සමෝතිච

- 407 වැනි පිටුව

සිළුමිණ පත්‍රය ඇරැඹෙන්නේ අධිරාජ්‍ය ආණ්ඩුව ශ්‍රී ලංකාවේ වයස 21 ට වැඩි සියලු දෙනාට ම සර්ව ජන ඡන්ද බලය ලබාදීමට සූදානම් වන අවදියේදීය. කම්කරු පකෂ නායක ඒ.ඊ. ගුණසිංහ මහතා කළ ඉල්ලීමට ‘සිළුමිණ’ ලොකු ප්‍රචාරයක් ලබා දෙන්නේ ස්වාධීනත්වයේ ගිනිපුපුර දල්වා ලීමේ අරමුණිනි.

ස්වාධීනත්වය ලැබීමත් සමඟ ජනතාව පරගැති මානසිකත්වයෙන් මුදා ගැනීමේ ව්‍යායාමයේ නියැළී සිටි ‘දිනමිණ’ ට වැඩි අනුබලයක් ලබා ගැනීම සිළුමිණේ අරමුණ විය.

සැබෑ මාධ්‍යකරුවකුට පවත්නා සමාජය විසින් කෙරෙන බලපෑමෙන් මුළුමනින් ම නිදහස් විය නොහැකිය. එසේම පවත්නා සමාජ බලපෑමට මුළුමනින් ම ගොදුරු වන්නට ද නුපුළුවන. පූර්ව නිදහස් අවදියේදී නිදහස් අරගලයට ජන මතය සැකැසුමෙන්, නිදහසින් පසු ජාතිය ගොඩනැඟීම උදෙසා අදීන මනස හැඩගැන්වූයේත් සැබෑ මාධ්‍ය නියමුවකු පරිද්දෙනි.

පියසේන නිශ්ශංක එදා සිළුමිණ සැලසුම් කරන අවදියේදී ජගත් ජනමාධ්‍ය පිළිබඳ ශාස්ත්‍ර විධි නියමයන් තබා, එවන් ශාස්ත්‍රයකුදු බිහිව තිබුණේ නැත. එහෙත් විස්මය නම් අද දියුණු ශාස්ත්‍රයක් බවට පත්වී ඇති ජනමාධ්‍ය විද්‍යාවේ සකලවිධ විධි නියමයන්ට හා මූල ධර්මයන්ට පිය‍ෙස්න නිශ්ශංකගේ සිළුමිණ අත්‍යන්තයෙන් ම එකඟ වීමය; ගැළපීමයි. ඉන් පිළිබිඹු වන්නේ අනාගත දැක්මක් තිබූ මාධ්‍යවේදියකුගේ බුද්ධියයි; විචක්ෂණ භාවයයි.

මෙරට සහ පිටරට ආරංචි (9 පිටුව) අද දෙස් විදෙස් පුවත් ය. නීරෝගීභාවය සහ රෝග වැලඳීම (11 පිටුව) අද සෞඛ්‍ය විශේෂාංගය. අපරාධ හා අධිකරණය (11 පිටුව) අද අධිකරණ හෝ උසාවි වාර්තාය පිටින් ලැබෙන ලියුම් (12 පිටුව) අද කර්තෘට ලියුම් ය. ක්‍රීඩා ප්‍රවෘත්ති අද ක්‍රීඩා විශේෂාංගය.

සීයාගේ සිනා කතා (14 පිටුව) අද හාස්‍යෝත්පාදක කතා විවිධ නම්වලින් හැඳින්වේ. මනමේ නිවස (15 පිටුව) සබුද්ධික කාන්තාවන් හා ළමයින් උදෙසා වෙන් වී ඇත. අද කාන්තා හා ළමා පිටු පුවත්පතක අනිවාර්ය අංග බවට පත්ව තිබේ. ‘සූප ව්‍යංජන’ අද නවීන සූපවේදීන්ගේ කෑම වට්ටෝරු හෙවත් ඉවුම් පිහුම් ය. එය ජනප්‍රිය විශේෂාංගයකි. ගුරුවරයා සහා ශිෂ්‍යයා (16 පිටුව) ඉගෙනීම හා ඉගැන්වීමට වෙන්වුනු මේ විශේෂාංගය අද ‘සිසු අත්වැල’ ලෙස බොහෝ ප්‍රකාශනවල හැඳින්වේ. ග්‍රන්ථ විවරණ (16 පිටුව) පොතපත විත්ති - පොත්ගුල - ග්‍රන්ථ විචාර විශේෂාංග බවට පත්ව ඇති බව පෙනේ.

අද ව්‍යාපාරික හා කෘෂිකර්ම අතිරේක ලෙස පළ කෙරෙන පුළුල් විශේෂාංග මුල්ම සිළුමිණේ පළ කෙරෙන්නේ කෘෂිකර්මෝපදේශ සහ වාණිජෝපදේශ ශීර්ෂ පාඨයෙනි. සීබට් ඩයස්ගේ ජුලියස් සීසර් නාට්‍යය පිළිබඳ විස්තරයකින් ඇරැඹෙන නෘත්‍ය මණ්ඩලය (19 පිටුව) නාට්‍ය කලාවට වෙන්වූවකි. ‘ජාතික ශිල්ප’ නම් පොදු ශීර්ෂ පාඨයෙන් ‘සිංහල ගෘහ නිර්මාණ ශිල්පය’ (10 පිටුව) නම් ලිපිය අද පත්තරවලත් - විද්‍යුත් මාධ්‍යයේත් කැදැල්ල - නිවහන - පසන් නිවස වැනි නම්වලින් හඳුන්වනු ලබන ගෘහ නිර්මාණ ශිල්පය පිළිබඳ ජනප්‍රිය විෂයට සමාන වෙයි.

විශේෂිත අවස්ථා පිළිබඳ ප්‍රවෘත්ති - ඡායාරූපමය වාර්තා අද පත්තරවල සුලභ ය. එදා ස්වදේශීය සහ විදේශීය ප්‍රවෘත්ති ප්‍රක‍ාශ වන සිළුමිණ ප්‍රතිරූ (20 පිටුව) යනුවෙන් පළවී ඇත්තේ මේ කැමරා ඇස ගිය තැන්ම නොවේද?

අද ඉතා ජනප්‍රිය තෑගි තරග පවා මුල් පත්‍රයෙන් ම අරඹා තිබේ. ‘සිළුමිණ තෑගි තරගය’ - දිනාගන්නවා නම් මෙන්න රුපියල් 500ක් (18 පිටුව) ඡායාරූපයක කපා අවතැන් කළ කැබලි නිසි පරිදි අලවා පැහැදිලි ඡායාරූපය සකසා යැවීමෙන් පාඨකයාට තෑගි දිනා ගැනීමට අවස්ථාව සලසා ඇත.

‘දිනමිණ’ මඟින් පවත්වන ලද ‘දිනමිණ’ ප්‍රබන්ධ කතා තරගයේ (18 පිටුව) ජයග්‍රහණය නවකයකු විසින් ලියන ලද ඓතිහාසික නවකතාවකට හිමි වූ බව සඳහන් කර, නවකතා කලාවට අතහිතදීම සිළුමිණ අභිලාෂය බව දන්වා සිටී.

මේ හැරුණු කොට කාව්‍ය - සිළුමිණ සුභාශිංසන (7 පිටුව) දේශපාලන කාටුන් චිත්‍ර, ‘ජර්මන්කාරයා ඉංගිරිසිකාරයාට කරන සරදමක්’ (8 පිටුව) කාටුන් චිත්‍රය (11 පිටුව) ප්‍රශ්නෝත්තර විචාරණ සහ විසර්ජන (14 පිටුව) ආදියෙන් සමන්විත පළමු ‘සිළුමිණ’ අද නූතන මාධ්‍ය විශේෂාංග ආකෘතිය අනුව සැලකුවද පරිපූර්ණ ය. මේ විශේෂාංග අද ළමා - ක්‍රීඩා - ව්‍යාපාරික ආදී විෂයබද්ධ වාර ප්‍රකාශන ලෙස ද පුළුල් වි ඇති බව ප්‍රකට කරුණකි.

යටත් විජිත අවදියේ බිහි වූ සිළුමිණ, ජාතියේ අභිමානය මතක් කර දීමත් - ජාතික නිදහස වෙනුවෙන් පෙනී සිටීමත් - රට වැසියන්ට දේශපාලන අවබෝධය ලබා දීමත් - ජාතික සමගයේ වැදගත්කම පෙන්වාදීමත් - ආගම දහම සහ සදාචාරවත්භාවයේ අගය පහදා දීමත් සිය යුග කාරක මෙහෙවර ලෙස සැලකු බව පෙනේ. “මහජන සේවය සහ ජාතික වර්ධනය මගේ පුවත්පත් කලාවේ අරමුණයි” යනුවෙන් ඩී. ආර්. විජයවර්ධනයන් හකුළා දක්වන්නේ මේ සකල විධ පරමාර්ථයෝ වෙති.

සිළුමිණ අරමුණ මුදුන්පත් කර ගැනීමට කහවේ ශ්‍රී සුමංගල රතන සාර - ලුණුපොකුණේ ධම්මානන්ද - යගිරල ශ්‍රී ප්‍රඥානන්ද - පැළෑණේ ශ්‍රී වජිරඤාණ - තෙල්වත්තේ අමරවංස - කරඳන ශ්‍රී ජිනරතන - විදුරුපොළ ශ්‍රී පියතිස්ස - නාරාවිල ධම්මරතන - වැලිවිටියේ ශ්‍රී ‍සෝරත - කොටහේනේ පඤ්ඤාකිත්ති - ‍ෙමත්ත්‍යෙය - මැදඋයන්ගොඩ විමලකිත්ති - කලුකොඳයාවේ ශ්‍රී පඤ්ඤාශෙඛර ආදී පැවිදි මහ පඬිවරු ද, ඇස්.ජේ.ද.ඇස්. වීරසිංහ - ජේ. සයිමන් ද සිල්වා - ඩබ්ලිව්.ඊ. බොතේජු වැනි බහුපඨිත දේවගැතිවරු ද, සර් ඩී.බී. ජයතිලක, සර් ආතර් ද සිල්වා, ඇෆ්.ආර්. සේනානායක - සර් ජේම්ස් පීරිස් - ඩී.ඇස්. සේනානායක - සර් පොන්නම්බලම් රාමනාදන් - සර් පොන්නම්බලම් අරුණාචලම් - ඊ.ඩබ්ලිව් පෙරේරා වැනි දේශමාමකයෝ ද ‘සිළුමිණ’ ට ලිපි ලියූහ. එපමණකුදු නොවේ, ටිබැට් ජාතික ඇස්. මහින්ද හිමි - මීදෙණියේ විමලානන්ද හිමි - ශ්‍රී රූපදේව ආනන්ද රාජකරුණා, ඩී.ඇල්.ඊ. දිසානායක - මුල්ලපිටියේ කේ. එම්. ද සිල්වා විජයශ්‍රීවර්ධන - විල්සන් කහඳ සුමිත්‍ර - පිළිකුත්තුවේ කමලා - දාගොන්නේ සෝමා - උඳු‍‍ගොඩ නවරත්න - සාගර පලන්සූරිය කවි කිවිඳියෝ ද, ටී.ජී.ඩබ්ලිව්. ද සිල්වා, ඔස්වින් ද අල්විස් - ඇලන්සන් පියදාස - මෙනේරිගම නිමල් සමරතුංග - ජී.බී. සේනානායක වැනි කෙටිකතාකරු‍වෝ ද සිළුමිණ අරා, සිළුමිණ පෝෂණය කළහ.

යටත් විජිත සටනේ ඓතිහාසික වූ ද පුරාවිද්‍යාත්මක වූ ද පර්යේෂණ කෘති පළවූයේ ඉංගිරිසියෙනි. මේ මහාර්ඝ දැනුම සිංහල පමණක් දත් බහුතර පිරිස වෙත ගෙන යෑමේ ප්‍රමුඛ වාහකය වූයේ සිළුමිණ පත්තරයයි.

මේජර් තෝමස් ස්කිනර් ගේ ‘ලංකාවේ පනස් වසරක්’ -‍ රොබට් නොක්ස්ගේ ‘ලංකා ගමන් විස්තරය’ - ආර්.එල්. බ්‍රෝහියර් ගේ ‘ලංකාවේ වාරිමාර්ග - එච්.ඩබ්ලිව් කේව්ගේ ලංකාවේ නටබුන් නගර - මහාචාර්ය තෙන්නකෝන් විමලානන්දගේ උඩරට කැරැල්ල පිළිබඳ ලියවිලි ද පොතපත ද සිංහලෙන් කොටස් වශයෙන් පළ කළේ ‘සිළුමිණ’ යි.

එසේම ආචාර්ය ඇන්ඩ්‍රයස් තෙල් - සර් අයිවර් ජෙනිංග්ස් - ඊ ඩබ්ලිව් පෙරේරා - එච්. වින්ටර්නිට්ස්ගේ ඉංගිරිසි ලිපි ද මහාචාර්ය සෙනරත් පරණවිතානගේ ‘සීගිරි කුරුටු ගී’ මුල් වරට සිංහල ජනතාව අතරට ගෙන ගියේ ද ‘සිළුමිණ’ ය.

ශත දහයේ විශ්වවිද්‍යාලයට, මාතර සී. ජස්ටින් විජේවර්ධන වැනි උගතුන් විසින් මහත්මා ගාන්ධි - සුබාස් චන්ද්‍රබෝස් - කමලාදේවී චට්ටෝපාධ්‍යාය වැනි භාරතීය ප්‍රධානීන් නිදහස අරබයා ලියන ලද වේගවත් ලිපි ද රවීන්ද්‍රනාත් තාගෝර් - ඛලීල් ජිබ්රාන් ආදීන්ගේ නිර්මාණ ද පාඨකයන් හමුවට පත් කෙරිණි.

පියසේන නිශ්ශංකයන්ගෙන් පසු සිළුමිණ කර්තෘ පදවිය බාරගත් මාර්ටින් වික්‍රමසිංහ ‘සිළුමිණ’ බැබළවූවේය. භාෂා සාහිත්‍යය - විචාරය - සංස්කෘතිය - පුරාවිද්‍යාව - ජගත් සාහිත්‍ය මෙන් ම නූතන ලෝක දැනුම මෙරට පොදු පාඨක ජනතාව වෙත සන්නිවේදනය වූයේ මේ යුගයේ දී ය.

පිය‍‍සේන නිශ්ශංක - මාර්ටින් වික්‍රමසිංහ - හික්කඩුවේ ශ්‍රී ලාල් ලියනගේ - ඩෙන්සිල් පීරිස් - මීමන ප්‍රේමතිලක - ඇස්. සුබසිංහ - විමලසිරි පෙරේරා - ධර්මපාල වෙත්තසිංහ - එඩ්මන්ඩ් රණසිංහ - ඩී.එෆ්. කාරියකරවන - වැ.බ. මෙත්තානන්ද - බන්දුල ශ්‍රී සරත්චන්ද්‍ර - ඩී.සී. කරුණාරත්න - කවුඩානේ පියදාස පෙරේරා - තිලකරත්න කුරුවිට බණ්ඩාර - නිමල් හොරණ - සුජීව දිසානායක - වජිර පැල්පිට - කරුණාරත්න අමරතුංග - කරුණාදාස සූරියආරච්චි - සුන්දර නිහතමානි ද මැල් - ලක්ෂ්මන් පියසේන - චාමර ලක්ෂාන් කුමාර- සුනිල් ජයසේකර වත්මන් කර්තෘ චාමින්ද වාරියගොඩ ආදි සිළුමිණ කර්තෘවරු තම තමන්ගේ යුගවලට ගළපා ‘සිළුමිණ’ යාවත්කාලීන කරමින් එය පෝෂණය කළහ.

පියසේන නිශ්ශංක සිංහල ඉංගිරිසි පාලි සංස්කෘත දැනුමින් අපේ සංස්කෘතික සම්ප්‍රදායයේ සාරාර්ථ රැක ගනිමින් අභීත ලෙස හැරමිටි ඉවත දමමින් යුගයට ඔබින පත්‍රයක් නිර්මාණය කළේය. මාර්ටින් වික්‍රමසිංහ සිළුමණ සාහිත්‍ය ධාරිතාව පුළුල් කරමින් පරිණාමවාදය - මානව විද්‍යාව - සමාජ විද්‍යාව ඔස්සේ වඩාත් නූතනවාදී ප්‍රවේශයක් ගත්තේය.

එහෙත් සාම්ප්‍රදායික කවියට තොටිල්ලක් වූ ‘සිළුමිණ’ ඔස්සේ ම සාම්ප්‍රදායික කවි මඟ වෙනත් දිසාවකට හරවන නව මතවාද එළිදරව් කෙරිණි. වොල්ට් විට්මන් නම් අමෙරිකානු කවියකු වෘත්තයෙන් විනිර්මුක්ත කවි ලියූ බව කියැවෙන අමෙරිකානු සාහිත්‍ය ඉතිහාසය පිළිබඳ ලිපියක් සිළුමිණෙන් කියවා ජී.බී. සේනානායක නිදහස් කවි ලියූ බව 1980 මාර්තු 30 වැනිදා සිළුමිණ පනස් වසර වෙනුවෙන් පළ කළ ලිපියකින් හෙළිදරව් කර ඇත. කවියේ නව ගමන් මඟ හෙළි කළේ ද ‘සිළුමිණ’ බව ඉන් සනාථ වේ.

ලංකා ගුවන් විදුලියේ ශාස්ත්‍රීය සංග්‍රහය එදිරිවීර සරච්චන්ද්‍ර විසින් ආරම්භ කරන ලද්දේ ‘සිළුමිණ ශාස්ත්‍රීය සංග්‍රහය’ පූර්වාදර්ශයට ගෙන බව එදිරිවීර සරච්චන්ද්‍ර සඳහන් කර ඇත. මීමන ප්‍රේමතිලක අවධියත් කවුඩානේ පියදාස පෙරේරා අවදියත් - දෙල්තොට චන්ද්‍රපාල අවදියත් කොළඹ කවියට මුල් තැනක් ලැබිණි. ඇස් සුබසිංහ අවධියේදී පර්සි ජයමාන්න හා එක්ව ‘සිළුමිණ ඥාන කෝෂය’ නිර්මාණය විය.

සිළුමිණ සෑම කර්තෘවරයෙක් ම ‘සිළුමිණ’ බුද්ධි සම්ප්‍රදායේ පත්‍රයක් ලෙස පෝෂණය කළහ. ඒ ඒ කර්තෘවරුන්ගේ විඥානයේ අනන්‍යතා ලක්ෂණ ඒ ඒ අවධීන්හි පුවත්පත්වල කැපී පෙනේ. කුසලානේ ලූ මිදි යුෂ කුසලානේ හැඩය ගත්තාක් මෙනි.

වැලිවිට අසරණ සරණ සරණංකර මාහිමියන්ගෙන් ආරම්භ වූ භාෂා ශාස්ත්‍ර ප්‍රබෝධය පහන් වැටක් සේ දැල්වුණේ ලංකා නිධානයේ - ලංකාලෝකයේ සිටි ප්‍රකාශිත සාරගර්භ සඟරා පුවත්පත් ඔස්සේ ය. එදා මෙදා තුර ප්‍රකාශිත සියලු සඟරා පුවත්පත් ශාස්ත්‍ර ප්‍රබෝධයේ අනිවාර්ය කොටස්කරුවෝ වෙති. එහෙත් සිරි සරණංකර මාහිමියන්ගේ බුද්ධි සම්ප්‍රදායයේ නොනිවෙන ප්‍රදීපය බවට පත් වූයේ ‘ශත දහයේ විශ්ව විද්‍යාලය’ විරුදාවලිය ලත් ‘සිළුමිණ’ බවට වාදයක් ඇතැයි නොසිතමි.

අවර ගණයේ වාණිජමය ප්‍රවාහ හමුවේ බුද්ධිමය සම්ප්‍රදායය රැක ගනිමින් නූතනවාදී පිවිසුමකට එළඹ සිටින ‘සිළුමිණ’ ට තවත් සියවසකට ආයුබෝ වේවා! යි ප්‍රාර්ථනා කරමි.

Comments