
ඕපල්ගල ගම්මු විමසති
ලෝක උරුම නකල්ස් රක්ෂිතය යනු ලොව වැසි වලාකුළු සහිත වනාන්තර ගනයට අයත්වන අධි සංවේදි රක්ෂිත වනාන්තර අතරින් එකකි. මහනුවර දිස්ත්‍රික්කයටත් අනෙක් පසින් මාතලේ දිස්ත්‍රික්කයටත් මායිම් වන මේ සුන්දර වන ලැහැබ අතීතයේ රජ දරුවන් විසින් ද දිවි හිමියෙන් ආරක්ෂා කරන ලද වන භූමියක් බවට ඉතිහාසය අපට පසක් කරයි. බටදඬු මානා කඳුවැටිය, දුම්බර කඳුවැටිය හා රිවස්ටන් ආදී නම්වලින් හැඳින්වෙන මේ මනරම් ප්‍රදේශය දේශිය වශයෙන් අපට වඩාත් වැදගත් වන්නේ නිරිත දිග හා ඊශාන දිග මෝසම් සුළං ඇතිවන සමයේ දි සුළං බාධකයක් ලෙස පවතින නකල්ස් කඳු පංතිය හරහා නිර්මාණය වන නොඉඳුල් ජල දහරා මගින් පහළ නිම්නය පෝෂණය කරන නිසාවෙනි.
ජීවයේ හදවත බඳු මෙම කඳු පංතියට යාබදව පිහිටි නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ඕපල්ගල රක්ෂිත වනාන්තරය යනු වත්මනේ ඉදිවු මෙරට විශ්මිත වාරි ව්‍යාපෘතිය වන මොරගහකන්ද - කළුගඟ ජලාශවලට දියවර සපයන පෝෂක කලාපයයි.
ආනමලේ වත්ත ලෙස එවකට වඩාත් ප්‍රසිද්ධියක් උසුලන ලද භූමිය කාලානුරූපීව මෙරට පුද්ගලයෙකු සතුවන අතර ඔහු විසින් මෙම වත්ත ඇපයට තබා බැංකුවකින් ලබාගත් ණය මුදලක් ගෙවීමට නොහැකිව ඉඩම බැංකුවට සින්නව ඇතැයි වාර්තා වේ. පසුකාලිනව බැංකුව මගින් මෙම ඉඩම වෙන්දේසි කිරිමේ ප්‍රතිඑලයක් ලෙස කොළඹ ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු විසින් ඉඩම මිලට ගනු ලැබ ඇත. ඒ අක්කර 96 ක භුමී භාගයකි.
අයිති අක්කර 96ලු. 500ක් අල්ලාගෙන
මෙම ඉඩමේ මායිම් සලකුණු කරදීම සදහා අදාළ බැංකුව විෂය භාර දෙපාර්තමේන්තු වෙත දන්වා ඇතත් පසුකාලීනව ඉඩම් හිමියා විසින් පෞද්ගලිකව බලය ලත් මිනින්දෝරුවකු මාර්ගයෙන් මැනීම් සිදුකර ඇති බව අනාවරණය වී තිබේ. ඉහත කී ඉඩම් හිමියා විසින් අක්කර 96 සීමාව ඉක්මවා අක්කර 500ක පමණ ප්‍රදේශයක් අත්පත් කරගනිමින් වනාන්තරය එළි පෙහෙළි කිරීම හා කම්බි කණු සිටුවීම කර ඇති බවට ඕපල්ගල ඇතුළු ගම්මාන රැසක ජනතාව ප්‍රබල ලෙස චෝදනා කරති.
මෙම ගැටලුකාරි තත්ත්වය හේතුවෙන්ම නිවැරදි මැනීම් සිදුකර ඉඩම් හිමියාට භුක්තිය ලබාදෙන තෙක් ඉඩමේ කිසිදු සංවර්ධන කටයුත්තක් සිදු නොකරන ලෙස නාඋල ප්‍රාදේශිය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය නියෝග කර තිබේ.
මෙවන් පසුබිමකදී නාඋල ප්‍රාදේශීය ලේකම්වරිය, නාඋල පොලිසිය, මිනින්දෝරු දෙපාර්තමේන්තු සහ වනජීවී දෙපාර්තමේන්තු නිලධාරීහු මෙන්ම නාඋල ප්‍රාදේශිය සභා සභාපති සනත් දසනායක, එහි විපක්ෂ නායක කමල් හේරත් ඇතුළු රාජ්‍ය නිලධාරිහු රැසක් ඉකුත්දා ප්‍රශ්නගත ඉඩම නිරීක්ෂණය කිරීමේ චාරිකාවක නිරත වූහ. ආඳාවල විද්‍යාලය හා ඕපල්ගල විද්‍යාලය ඇතුළු ප්‍රදේශයේ පාසල් රැසක විදුහල්පතිවරු ගුරුභවත්තු ද මේ ගමනට එක්ව සිටියහ.අතිශය දුෂ්කර මාර්ග ඔස්සේ පැය ගණනාවක් තිස්සේ කිලෝමීටර් 10 ක් පමණ ඝෘජු මෙන්ම දළ බෑවුම් ඔස්සේ එම නිරීක්ෂණ චාරිකාව සිදුවිය.
බැලු බැලූ අතින් සොභාදහමේ අපූර්වත්වය පෙන්නුම් කරන තුරුලතාවන්ගෙන් අනූන වු මේ සුන්දර වනපෙතටම පමණක් උරුමකම් කියන අතිශය දුර්ලභ වෘක්ෂලතා රැසක් මෙහි පිය නඟන්නෙකුට දැකගත හැකිය.
අති පැරැණි මායිම් ගල් වෙනුවට අලුත් මායිම් ගල්
මෙම චාරිකාවට එක්වූ මාතලේ පරිසර මිතුරන් සංවිධානයේ උප සභාපති ජයන්ත අත්තනායක අවධාරණය කළේ මෙහි ඇති ඇතැම් පැළෑටි මෙන්ම සත්ත්ව විශේෂ ඕපල්ගල කඳු පංතියට පමණක් අවේණික බවයි. එළිපෙහෙළි කළ මාර්ගයේ ස්ථාන රැසකින්ම දක්නට ලැබුණේ වැටක් ඉදිකිරීම සඳහා කම්බි කණු සිටුවා ඇති ආකාරයයි. ඒ සඳහා බාධකයක් වී තිබූ අති දුර්ලභ වෘක්ෂලතාවෝ ගණනාවක් නිසොල්මනේ බිම වැතිර සිටිති. ඒ දුටු සැමගේ සිත්සතන්හි ඇතිවූයේ දැඩි සංවේගයකි. ඇතැම් ශාක බොහොමයක් කර්කශ පොළොවේ මිහිදන්වී හමාරය. තවත් ශාක කිහිපයක් කැපී ගිය අතු රිකිලි අතරින් දලු දැමීමට අසාර්ථක උත්සාහයක යෙදෙනු අපට දැක ගත හැකි විය. නකල්ස් රක්ෂිතය යනු වසර දහස් ගණනක් ගිය ද වඩාත් උස්ව නොවැඩෙන වෘක්ෂලතාවන්ගෙන් ගහන වනපෙතකි. ඊට හේතුවී ඇත්තේ දැඩි සුළං ධාරා හේතුවෙන් මෙම වෘක්ෂලතා වඩාත් උස්ව නොවැඩීමයි.
සාමාන්‍ය පරිසරයේ වැවෙන බෙහෙත් නෙල්ලි හා නම් පවා නොදන්නා තවත් බොහෝ ශාකවල මේ වනාන්තරයේදී උපරිම උස වී ඇත්තේ අඩි 5 ත් 6 ත් අතර ප්රමාණයකි. එවැනි උස මට්ටමේ ශාක බොහොමයක් හිත්පිත් නැතිව බිම පෙරළා දමා ඇතැයි නාඋල ප්‍රාදේශිය ලේකම්තුමිය අප හා ප්‍රකාශ කළාය. වසර සිය ගණනක් පැරණි වැල් විශේෂ මෙන්ම විවිධ ඖෂධ ශාක රැසක් මෙම හෙළි පෙහෙළි කිරිමේදී කපා දමා තිබෙනු දැකිය හැකිවිය. මෙම භූමියේ දී හමුවන මායිම් ගල් ඇතැම් ඒවා ඉතාමත් පැරණි ඒවා බවට ගමනට එක්වූ මිනින්දෝරු දෙපාර්තමේන්තු නිලධාරිහු සාක්ෂි දරති. කෙසේ වෙතත් මෑතක දී සිටුවා ඇතැයි සැක කළ හැකි මායිම් ගල්ද මෙහිදි හමුවු බව ඔවුහු පැවසූහ.
නිත්‍යනුකූලව ලබාගත් ඉඩම සම්බන්ධයෙන් කිසි විටෙකත් විරෝධයක් නොපාන ඕපල්ගල වැසියෝ එම ඉඩමට මුවා වී ඉඩම් හිමියා විසින් සීමාවෙන් ඔබ්බට ඇතැම් භූමි ප්‍රදේශ ඩැහැගෙන තිබීම සම්බන්ධයෙන් සිය විරෝධය පළ කරති.
ඕපල්ගල විහාරස්ථානයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත තිත්තපජ්ජල නන්ද ස්වාමීන්වහන්සේ ද මෙම චාරිකාවට එක්වුහ.
“කෝටු කෑල්ලක් කැලෙන් කපාගත් පුද්ගලයෙක් හිරේ දාන රටක මෙවැනි වන සංහාරයක් සිදුකළ පුද්ගලයින්ට නීතිය ක්‍රියාත්මක නොවන්නේ ඇයි? නකල්ස් වන පෙත රැක ගන්න නම් මේ වන පෙතට නෑකම් කියන සියලු වන භූමී රක්ෂිත බවට පත්කළ යුතුයි.” උන්වහන්සේ පවසති.
දොළපාර හරස් කර කම්බි කණු
මෙම දුෂ්කර මාර්ගයේ අවසන් වන්නේ සුන්දර කඳු මුදුනකිනි. පසෙකින් සමස්ත නකල්ස් කඳු පංතිය ද අනෙක් පසින් මොරගහකන්ද - කළුගග ජලාශය ද දිස්වන මේ කඳු ගැටය මුදුනේ හෝටලයක් ඉදිකිරීමට උත්සාහයක් පවතින බව ඕපල්ගල ප්‍රදේශවාසීහු කියති. ඕපල්ගල රක්ෂිතයේ මිනිස් පයකට නොපෑගුණු බොහෝ ස්ථාන මේ වන විට විනාශවී හමාරය. තැනින් තැන කැපූ මාර්ග මෙන්ම අක්‍රමවත් වගා රක්ෂිතයේ වනගහනය වනසා ඇත්තේය. මේ සිදුවීම දෙස මධ්‍යස්ථ දෑසින් බලන්නෙකුට වැටහෙන කාරණා රැසකි. මේ රටේ කාටත් නිත්‍යනුකූලව ඉඩමක් මිලදී ගැනීමේ සාධාරණ අයිතියක් ඇත්තේය. එය සංවර්ධනය කිරිම මෙන්ම වඩාත් ප්‍රිය ජනක අන්දමින් පවත්වාගෙන යෑම ද ඒ අතර වෙයි.
බොහෝ විට මෙම ඉඩම හිමිකරුට ලබා දීමේ දී එහි සීමා මායිම් නිර්වද්‍ය ලෙස පෙන්නා දීම රජයේ නිලධාරින්ගේ ද වගකීමක් වන්නේය. පවතින සීමා මායිම්වලට අමතරව වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ සීමා මායිම් හදුනාගැනීම හෝ මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ නිසි අධ්‍යයනයක් මෙම ඉඩම සම්බන්ධයෙන් සිදු නොවීම බරපතළ ගැටලුවකි.
කෙසේ වෙතත් පෞද්ගලික මැනුම සිදුකර ඇති ආකාරය හා ඊට සම්බන්ධවූවන් සම්බන්ධයෙන් මේ වනවිට පරීක්ෂණ ආරම්භ වී තිබේ. ඒ බව සනාථ කරමින් වන විනාශය සම්බන්ධයෙන් අවශ්‍ය නීතිමය පියවර ගැනීම කඩිනමින් සිදුකරන බව නාඋල ප්‍රාදේශීය ලේකම් ආත්මා ඩිලුක්ෂි ජයරත්න මහත්මිය එම වන භූමියේදීම ප්‍රකාශ කළාය.
මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමාගේ යෝජනාවක් වූ මොරගහකන්ද ජලාශය මේ වන විට ඉදිකර හමාරය. එහෙත් එහි වාරි වික්‍රමය ඉන් අවසන් වන්නේ නැත. රජරටට පමණක් නොව සමස්ත යාපනය දිස්ත්‍රික්කය තෙක්ම ජලය රැගෙන යෑමට සැලසුම් කරන මේ විස්මිත නිර්මාණයට ඉහළින් ඇති රක්ෂිත වනාන්තර හෙළි කිරීම දිගින්දිගටම සිදුවුවහොත් ජනාධිපතිතුමාගේ ප්රයත්නය අනුව යමින් ජනතාවට සෙත සැලසීමේ උදාර කර්තව්‍යය ලත්තැනම ලොප් වනු ඇතැයි ඕපල්ගල ගැමියෝ බිය පළ කරති.
ගසකින් ගසකට වඳුරකු පැන්නත් ගංගාවල ජලය වැඩිවනවා යැයි ලග්ගල ගැමියන් අතර කියමනක් වේ. නකල්ස් රක්ෂිතයේ පවතින ශාක නිරන්තයෙන් ජලය බේරෙමින් පවතී. කලින් කලට නකල්ස් කඳු පංතියට සිදුවන මානව ක්‍රියාකාරකම් හි අඩුවක් පසුගිය සමයේ දක්නට ලැබුණේ කළුපහනේ එනසාල් වගා සහිත භූමි රක්ෂිත වනාන්තර බවට පත්කිරීමෙනි.
අදිසි දේශපාලන හස්ත
කෘෂිකාර්මික ජීවන රටාවකට උරුමකම් කියන ඕපල්ගල හා මොරගොල්ල ප්‍රදේශවාසීන් සිය ගවයින් මේ ඕපල්ගල රක්ෂිතයට මුදාහරිනු ලබන්නේ කන්නකට වතාවකි. ඒ තමන්ගේ කුඹුරු වැඩකටයුතු අවසන් කර ඕපල්ගල රක්ෂිතයේ වූ පතන් භුමිවලට ගවයින් ඇතිපදම් ආහාර පැවතීම නිසාය. ඒ හැරුණුකොට වනපෙතේ නීති විරෝධි ක්‍රියා කරන්නට ඔවුන් නොපෙලෙඹෙන්නේ අන් කිසිවක් නිසා නොව සොබාදහම හා බැඳුණු සරල දිවිපෙවෙතක් ගතකිරීම හේතුවෙනි.
ඕපල්ගල රක්ෂිතයට සිදුව ඇති හානිය යළි නිවැරදි කළ හැකිය. ගසක් කපන මිනිසාට එම ගස කපන තෙක් සෙවණ සැලසීම ගසේ ස්වභාවයි. හරිහැටි කරුණු අවබෝධ කර නොගත් පිරිසක් විසින් සිදුකරන ලද මේ විනාශය සම්බන්ධයෙන් රජයේ අවධානය වහා යොමුවිය යුතුය. ඇතැම් දේශපාලනඥයන්ද මේ පසුපස සිටින බවට ගම්මු චෝදනා කරති. එහෙයින් මේ පිළිබඳ අදාළ බලධාරීන්ගේ අවධානය වහා යොමුවී මේ මහා වන විනාශය වැළැක්වීමට වහා කටයුතු නොයොදන්නේ නම් අරාබියේ කාන්තාර මේ පුංචි ලංකාවේ බිහිවීම වැඩි ඈතක නොවනු ඇත.
සංවර්ධනය රටට අවශ්‍යය. නව කර්මාන්ත හි නව ජනපද මෙන්ම නව මංමාවත්ද බිහිවිය යුතුය. එහෙත් සංවර්ධනයේ මුවාවෙන් මෙවන් ජාතික අපරාධ සිදුකිරීම කිසිවෙක්වත් නොඉවසති. අයිතිය ඉල්ලා සටන් වදින බොහෝ පිරිස් අප අතර සිටිති. එහෙත් අයිතියක මුවාවෙන් මහා දිය කඳක් උපද්දවන වනපෙතද ආරක්ෂා කරමින් සිය අභිප්රායන් ඉටුකර ගන්නේ නම් කෙතරම් අගනේද?
ඕපල්ගල රක්ෂිතයේ ඇතැම් තැන්වල සුන්දරව ගලා බසින දිය කඩිති ආසන්නයේ කම්බි කණු සිටුවා එය තමන්ගේ කර ගැනීමට උත්සහා දැරීම කෙතරම් යුක්තිසහගතද?
ඉන්දික අරුණ කුමාර