
කාර්ය බහුල මිනිසාට අද ගොන් කරත්තයේ ජවය හා වේගය ප්‍රමාණවත් නොවේ. මේ නිසාම අතීත ජන සමාජයේ ජනප්‍රිය වාහන අංගයක් වූ ගොන් කරත්තය ඉවත ලා මිනිසා නවීන වාහනවලට හුරු වී සිටිති. අද ඉඳහිට හෝ ගොන් කරත්තයක සේයාවක් ලෙස හෝ දක්නට ලැබෙන්නේ කරත්තයක රෝදයක් දෙකක් ඇතැම් ස්ථානයන්හි අලංකාරයට සවි කොට තිබෙන අන්දම පමණි. ඇතැම් තැන්වල මෝස්තරයට මෙන් ගොනුන් නොමැති ගොන් කරත්ත නවතා තිබෙනු දැකිය හැකිය.
මෙලෙස අපේ සමාජයෙන් ක්‍රමයෙන් දුරස්ව යන ගොන් කරත්තය තවදුරටත් ආරක්ෂා කිරීම පිණිස කිළිනොච්චියේ අක්කරායන්කුලම ගොවීන්ගේ සංගමය පසුගියදා උත්සාහයක් දරා තිබුණි. මුළු උතුරේම ගොන් කරත්ත අයිතිකරුවන් කැඳවා ගොන් කරත්ත තරගයක් පැවැත්වීමය. මේ තරගාවලියට උතුරෙන් ගොන් කරත්ත හැත්තෑ අටක් ඉදිරිපත් කොට තිබුණි.
තම පළාතේ ගොන් කරත්ත ඉතා අඩු සංඛ්‍යාවක් ඇති නිසා මුළු උතුරේම ගොන් කරත්ත හිමියන්ට මේ තරගාවලිය සදහා ආරාධනා කළ බව එහිදී කිළිනොච්චිය අක්කරායන්කුලම ගොවීන්ගේ සංගමයේ සභාපති එස්. අරුලානන්දකුමාර් පැවසීය.
“අපි පුංචි කාලේ ඉස්කෝලේ ගියෙත් මේ ගොන් කරත්තවල. ගෙදරදොර ගමේ සේරම දෙවල් කෙරුණේ කරත්තෙන්. දෙමළ සංස්කෘතියත් ඔවුන්ගේ ජීවන රටාවත් එක්ක මේකරත්තයට තියෙන්නේ පුදුම සම්බන්ධකමක් කියලා අලුත් පරපුරේ අය දන්නේ නැහැ. කොහොම හරි ගොන් කරත්ත තරගය අපේ සාම්ප්‍රදායික තරගයක් හින්දා අපි මේ තරගය සූදානම් කළා. අලුත් පරම්පරාවට ගොන් කරත්තවලින් කරන්න පුළුවන් දේවල් දැක ගැනීමට ලැබීමත් අපට ලොකු සතුටක්. ඒ අරමුණු කීපය මත තමයි මේ තරගාවලිය සංවිධානය කළේ”
ඇතැම් පිරිස් තරගාවලිය සඳහා දුරබැහැර සිට ගොනුන් රැගෙනවිත් තිබුණේ ලොරිවල පටවාගෙනය. ලොරියද දැන් කන්ටේනර් විසින් ආක්‍රමණය කරනු ලැබීම නිසා ක්‍රමයෙන් ඉවත් වෙමින් යෑමේ තර්ජනයට ලක්ව තිබේ.
කිළිනොච්චීයේ අක්කරායන්කුලම පළාතේ සංවිධානය වූ මේ ගොන් කරත්ත තරගය නරඹමින් වැඩියෙන්ම සතුටු වූයේ ළමයින්ය. ඔවුන් සිය ජීවිතයේ දුටු හොඳම තරගාවලිය මේ බව ඔවුන්වෙතින් පෙනිණ. මෙවන් තරගාවලියක අරමුණ නොදන්නා නමුත් මුළු තරගාවලිය පුරාම ඒ දරුවන් පසුවූයේ සතුටෙනි. උද්දාමයෙනි.
කිළිනොච්චිය අක්කරායන්කුලම ක්‍රීඩාංගණයේදී ගොන් කරත්ත තරගාවලිය ආරම්භ වූයේ කරත්ත හැත්තෑ අටක බඳින ලද ගවයින් 156 දෙවියන්ට බාර කරමින් කළ දේව පූජාවෙන් පසුවය. ගොනුන් පමණක් නොව කරත්ත කරුවන්ද දෙවියන්ට බාර කෙරුණි.
ගවයන් බාර කෙරුණේ ගවයන්ට අධිපති දෙවියා යැයි පැවසෙන ගොපලු දෙවියාටය. කරත්ත දක්කන මිනිසුන් බාර වූයේ විෂ්ණු දෙවියන්ටත් පළාත බාර දෙවියන් වූ ගම්බාර (පුල්ලයාර්) දෙවියන්ටත්ය.
ගොන් කරත්ත තරග විනෝදයටම කරන ක්‍රීඩාවක් නොවන බව අක්කරායන්කුලම ශ්‍රී විග්නේස්වරා කෝවිලේ බාලසුබ්රමනියම් ප්‍රධාන කුරුක්කල්තුමා පැවසුවේ ගවයාගේ වැදගත්කම පහදමිනි.
“ගවයා හින්දුන්ගේ පූජනීය සතෙක්. ඒ නිසා ගවයින්ට දෙවියන් ලෙස සැලකිය යුතු බව පොත්පත්වල සඳහන් වනවා.
කෘෂිකාර්මික කටයුතු සඳහා ගවයා ඉතාම වැදගත් සතෙක් නිසා සෑම අවුරුද්දකම ජනවාරී මාසයේ තෛපොංගල් දිනයට පසු දවසේ ගවයන්ට ගරු සත්කාර කරන ‘මාඩු පොංගල්’දිනය පවත්වනවා. එදාට ගවයන් සුවඳ පැනින් නහවා මල්මාලා දමා සරසා කැවුම් කිරිබත් හදලා කන්න දෙනවා. එදාට කිසිම කෙනෙක් ගවයන්ගෙන් වැඩ ගන්නේ නැහැ.
කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගන්නා ගවයින්ට හොඳට ශක්තිය ඕනෑ. විශේෂයෙන්ම සී සෑමේ දී හොඳ ශක්තියක් අවශ්‍යයයි. මේ හන්දා තමයි මහ කන්නයේ කුඹුරු වගා කිරීමට පෙර මේ ගොන් කරත්ත තරග පවත්වන්න අපේ ජනතාව සම්ප්‍රදායානුකූලව පුරුදු වෙලා ඉන්නේ. එතැනදී කාරණා දෙකක් ඉෂ්ට වෙනවා. එකක් තමයි ගවයින් දෙවියන්ට බාර කිරීම හා දේවාශිර්වාදය ලබා දීම. අර කලින් කිව්ව ‘මාඩු පොංගල්’දවසට පස්සේ ගවයන්ට දෙවියන් ඉදිරියේ ආශිර්වාද ලැබෙන්නේ මේ ගොන් කරත්ත තරග තියන දවසටයි. ඊළග කාරණය තමයි ගවයාගේ ශක්තිය මැන බලන්නට පුළුවන් වෙන එක. තරගවලට පෙර ගවයින් ඒ සඳහා පුරුදු පුහුණු කරනවා. එතකොට ඒ ගවයන්ට යම්කිසි ලෙඩක් තියනවද කියන එක දැන ගන්න පුලුවන් වෙනවා. සෝමාරී කම්මැලි ගවයින් කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගන්නේ නැහැ.
ගොන් කරත්ත තරගවලටත් ඒ වගේ ගවයෝ සුදුසු නැහැ. ඉතිං ගොවියට තමන්ගේ කෘෂිකාර්මික කටයුතුවලට හොඳම ගවයන් තෝරා ගැනීම සඳහා මේ ගොන් කරත්ත තරග වැදගත් වෙනවා.
පුරුදු පුහුණු කරණ කාලෙදිත් ගොන් කරත්ත තරග පවත්වන කාලෙදිත් ලෙඩ වෙන ගවයින් ඉවත් කරනවා. බෙල්ලේ මොනව හරි එල්ලලා ඒ ගවයා ගව ගාලෙන් නිදහස් කරනවා. සිංහල අයත් මේක කරනවා මම දැකලා තියනවා. ඒ අය මේ ගවයන්ට කියන්නේ පින් හරකා කියලයි. ඒ කියන්නේ පිනට ඇරලා තියෙන්නේ.
කෘෂිකාර්මික කටයුතුවලට යොදා ගන්න ගවයන් නොමැති ගොවීන් ගොන් කරත්ත තරග බලන්න කොහොම හරි එනවා. ඒ තරගයෙන් දිනන ගවයන්ට පුදුම ඉල්ලුමක් තියෙන්නේ. එදාම තමන්ගේ කුඹුරේ වැඩ මේ ගවයන්ගෙන් කරලා දෙන්න කියලා ගොවියන් ගව හිමියන්ගෙන් ඉල්ලනවා.
ජයග්‍රහණය කළ ගවයන් කුඹුරු වැඩට දෙන්නම් කියලා ගව හිමියා පොරොන්දු වෙනවත් එක්කම ඒ ගොවියා ගවයින්ව ආරක්ෂා කරලා දෙන්න කියලා දෙවියන්ට පඬුරු බඳිනවා. ඒ වගේම දිනපු ඒ ගවයන්ට කන්න කෙසෙල් ගෙඩි ඇවරියක් හරි අරන් දෙනවා.
මෙහෙම බලනකොට මේ ගොන් කරත්ත තරගත් එක්ක බැදුණු තවත් චාරිත්‍ර වාරිත්‍ර ගණනාවක්ම හින්දු ජනතාව තුළ පවතිනවා.
තරගයට ඉදිරිපත් වෙලා දිනපු ගවයන්ට මල්මාලා දානවා. ගව හිමියෝ ඒ ගවයන්ව පිළිගන්නේ ළමයෙක් ඉඹිනවා වගේ ඉඹලයි. ඊට පස්සේ කන්න බොන්න දෙනවා. විවේකයෙන් ඉන්න දෙනවා. තරගයෙන් පස්සේ තරගෙට ඉදිරිපත් වුණු සේරම ගවයන්ට නැවතත් ආශිර්වාද කරනවා. කරත්ත දැක්කුව පිරිසටත් එහෙමයි. ඒකෙන් පස්සේ තමයි තෑගි බෝග අරගෙන සියලුම දෙනා විසිර යන්නේ.”
එදින කරත්තකරුවන් ද සිටියෙ සතුටිනි. තම ගවයා ජයග්‍රහණය කළත් නොකළත් තරගයට ගවයා සහභාගි කරවීමෙන් ඉහළ සතුටක් ලබන බව ඔව්හු පවසති.
“මේ රේස් හැමදාම නෑනේ. ඉඳ හිට තමයි තියෙන්නේ. අපේ තාත්තලාගේ කාලේ මේ රේස් පැවැත්වුණේ හැම අවුරුද්දෙම ගොයම් කැපීමත් එක්කයි. ඒ රේස්වලට නීති ගොඩාක් තිබුණා.
පලවෙනි නීතිය තමයි ගම්මානයේ උදවියට විතරයි ඒ තරගයට සහභාගි වෙන්න පුළුවන්. පිට අයට සහභාගී වෙන්න වෙනම තරගයක් තිබුණා. ඒකට ඒ අය මුදල් ගෙවලා ඇතුළු වෙන්න ඕනේ. 1970 වගේ ඒ එක කරත්තයකින් රුපියල් දහයක් තමයි ඇතුළුවීමේ ගාස්තුව විදිහට ගත්තේ. ඉතින් එයාලා තරගෙන් දිනුවත් තෑගි විදිහට ලැබෙන්නේ රුපියල් විසිපහක විතර දේවල්. දිනුවත් පැරදුනත් කරත්තේ දක්කපු කෙනාට කෑම බීම ලැබෙනවා. ගොන් දෙන්නට වෙනම කෑම ලැබෙනවා.
දෙවනි නීතිය වෙන්නේ තමන්ගේ කුඹුර ගොවිතැන් නොකළොත් ඒ අයටත් මේ තරගයට සහභාගි වෙන්න බැහැ. මේ නිසා හැමෝම කුඹුරු කොහොම හරි කළා. මේක හොඳ වැඩක්. ඒ කාලේ ගොන් කරත්තයක් තියන කෙනෙක් තරගෙකට ඉදිරිපත් වෙන්නේ නෑ කිව්වම මදිකමක් වගේ. ඒක නිසා තරගෙට ඉදිරිපත් වෙන්න ඕනේ නිසා කොහොම හරි කුඹුරත් කරනවා.
ඉතින් මේ ගොන් කරත්තය රේස් එකට දාලා කරත්තේ හයියෙන් දක්කලා දිනන කෙනාට ගෑනු ළමයි හරීම ආදරෙයි. ඒත් අපේ දෙමළ සංස්කෘතියත් එක්ක ආදරේ කරන්න අමාරුයිනේ. වංශවත් දෙමළ අය කරත්ත දක්කන අය හෑල්ලුවට ලක් කරනවා කරත්තකාරයෝ කියලා.
අනිත් අය දෑවැද්ද ගැන හොයනවා. ඒක නිසා කරත්ත රේස් එක දිනුවත් හිතේ තමයි ආදරේ හැංගිලා තියෙන්නේ. ඒත් හරීම සුන්දරයි”
කිළිනොච්චියේ අක්කරායන්කුලම පළාතේ මෙවර තරගය පැවැත්වුණේ 53වැනි වරටය. එහෙත් මේ තරගවලටද දැන් සත්වවේදීන්ගේ සංගම් හා සත්ත්ව අවිහිංසාවාදී සංගම් හරස්වන බව සංවිධායකයෝ පවසති. මේ තරගවලට එරෙහිව පොලීසිවලට හා අධිකරණවලට පැමිණිලි එයි. කරුණු දැක්වීමට පොලීසිවලට හා අධිකරණවලට යාමට සිදුවන නිසා බොහෝ දෙනෙකු ගොන් කරත්ත තරග සංවිධානය කිරීමට පසුබට වෙති.
ගොන් කරත්ත තරගයකදී ගවයා වධ හිංසාවකට ලක් නොවන බව ඔවුන්ගේ මතයයි. ගවයින්ට වධ හිංසා හා පීඩා සිදුවන්නේ ගවයින් යොදාගෙන කරනු ලබන ‘ජල්ලි කට්ටු’ක්‍රීඩාවේදී පමණක් නිසා ඒ ක්‍රීඩාව තහනම් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ද එකඟ බව සංවිධායකයෝ කියති.
රසුල දිල්හාර ගමගේ