‘ඇඩ්‍රස් නැති’ අස­ර­ණ­ය­කුට ජීවිතේ දුන් මිනිස්සු | සිළුමිණ

‘ඇඩ්‍රස් නැති’ අස­ර­ණ­ය­කුට ජීවිතේ දුන් මිනිස්සු

* වයස සොයා ගත්තේ දත් බලලා
* උපත කොහේ­වත් ලියැ­විලා නෑ
* නෑයෙක් සහෝ­ද­ර­යෙක් නෑ

මෙය නව­ක­තා­වක්, කෙටි­ක­තා­වක් එහෙ­මත් නැත්නම් චිත්‍ර­පට කතා­වක් නොවේ. අප එසේ කියන්නේ කෙනෙ­කුට මෙය ඇසූ විට ප්‍රබ­න්ධ­යක් යැයි සිතෙ­න්නට පුළු­වන් බැවිනි. පසු­ගිය දිනෙක අප නාවි­න්නට ගියේ අපේ කතාවේ කතා­නා­ය­කයා හමු වීම­ටය.

“අපි එයා හමු­වෙ­ලාම කතාව අහමු ද ?”

“මේ ඉන්නේ රොෂාන්... මෙයා­ගෙන් ඕනැම දෙයක් අහ­ගන්න” රොෂාන් අපට හඳුන්වා දෙමින් සුදත් සර් කීවේය.

රොෂාන් පෙනු­මින් අවු­රුදු හත­ළිස් පහක් හෝ ඊට වඩා වැඩි­යැයි කිව හැකි අයෙකි. ඔහු අහිං­කව අප දෙස බලා සිටි­යේය.

“ඉතිං රොෂාන් කොහො­මද ජීවිතේ? මේ වෙන දේවල් ගැන මොකද හිතෙන්නේ?”

අප අතර ඇසි­පිය හෙළන තර­ම්වත් වේලා­වක් ගත­ නො­විණි. රොෂාන්ගේ දෙනෙ­තින් කඳුළු කැට වැටෙ­න්නට විය. වළකා ගන්නට දැඟලූ ඉකි­යක් පිට වුයේ උගු­රෙනි. දැන් කාගෙත් ඇස්වල කඳු­ළුය. තත්පර විනාඩි ගණන් ගතව ගියේය . සිය­ල්ලෝම නිහ­ඬය.

“මාව පුංචි කාලේ හදා ගන්න මගෙ අම්මා වෙන කෙනෙක්ට දීලා. මම හැදුණේ මාව හදා­ගත්ත අම්මා තාත්තා එක්ක. මම ඉගෙන ගත්තේ නුග­වෙල කනිෂ්ඨ විද්‍යා­ලයේ. ඒත් මගෙ ඇත්ත අම්මා මාව බලන්න ආවාම මම අම්මා එක්ක ගියා. මගෙ අම්මා හිටියේ තේ වත්තක. අම්මා වත්තේ වැඩ කළා. මගේ ඉස්කෝලෙ ගමන නතර වුණා. අවු­රදු දාස­යක් විතර කාලෙදි මම කොළඹ ආවා. තැන් තැන්වල වැඩ කළා. තැන් තැන්වල වැඩ කරලා සල්ලි ලැබු­ණම මම මාස­ය­කට වතා­වක් ගමේ ගිහිල්ලා අම්මාව බලලා එනවා. මට අවු­රුදු විසි­හ­තක් විතර කාලෙදි තමයි අම්මා මැරුණේ. මම වත්තට ගියා. අම්මගෙ මර­ණයෙ වැඩ කරන්න වත්තෙන් සල්ලි දුන්නා. අම්මාගේ මර­ණ­යෙන් පස්සේ මම මාව හදා­ගත්ත අම්ම­ලාගේ ගෙදර ගියා. අක්කලා අයි­යලා කිව්වා එහෙ ඉන්න කියලා. ඒත් මම ආයෙත් කොළඹ ආවා. තැන් තැන්වල බෝඩිං වෙලා ඉද­ගෙන තමයි මම මේසන් වැඩ, වඩු වැඩ කළේ. මට ජීවිතේ ගැන අර­මු­ණක් තිබුණේ නැති කාලෙක තමයි සුදත් සර් හමු­වුණේ.”

රොෂාන්ගේ දෑස යළිත් කඳුළින් පිරුණි. නිවැ­රැදි මඟ පෙන්වී­මක් අම්මා තාත්තා සහෝ­දර සහෝ­ද­රියෝ නැති­ක­මින් ඔහුට ද හරි හමන් ජීවි­ත­යක් නොති­බිණි. ගමෙන් කොළ­ඹට ආ රොෂාන්ට උප්පැ­න්න­යක් නැත. ඒ නිසා හැඳු­නු­ම්ප­තක් ද නැත. ඉන්නට හිටි­න්නට ගෙයක් දොරක් නැත. සහෝ­ද­ර­යෙක් නැත. කොටින්ම කිව්වොත් රොෂාන්ට‘ ඇඩ්රස්‘ නැත. ඇඩ්රස් නැතිව සිටි රොෂාන්ගේ ජීවිත කතාව වෙනස්ම මඟක් ගත්තේ ‘සුදත් සර්‘ හමු වීමත් සම­ඟය.

සුදත් සර් යනු වසර විසි හත­රක් කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ ගුරු­ව­ර­යකු ලෙස කට­යුතු කළ සුදත් ලිය­න­ගු­ණ­ව­ර්ධ­නය. රොෂාන් ගැන මුල මැද අග සියල්ල දන්නේ ඔහුය.

“අපේ මේ ආය­ත­නයේ දාන­මය පිංක­මක් තිබුණා. මගෙන් ඉගෙන ගත්ත චමින්ද හෙට්ටි­ආ­රච්චි කියලා දරු­වෙක් උද­ව්වට කියලා රොෂාන්ව ගෙනැත් දුන්නා. රොෂාන් මෙතැන බොහෝම පිළි­වෙ­ළට වැඩ කළා. මම ඔහුගේ වැඩ ගැන පැහැ­දුණා. මම චමි­න්දට කිව්වා රොෂාන්ව මට දෙන්න කියලා. ටික දව­සක් ගියා. රොෂාන් මා ගාවට ආවා. රොෂාන් කියන්නේ පුදුම දක්ෂයෙක්. ඔහුට ටයිල් අල්ලන්න, මේසන් වැඩ, වැඩ ආදි සෑම දෙයක්ම පුළු­වන් ඔහු අපේ ආය­ත­නයේ ඉගෙ­නුම ලබන දරු­වන්ට අවශ්‍ය ඩෙස් බංකු ආදිය බොහෝම පිළි­වෙ­ළට ලස්ස­නට හද­නවා. ඒවා ඔහු වැඩ පන්ති­ව­ලට ගිහිල්ලා ඉගෙන ගත්ත දේවල් නෙමෙයි. ඔහුට වාහන පද­වන්න පුළු­වන්. වාහන හදන්න පුළු­වන්. නමුත් රොෂාන්ට හැඳු­නු­ම්පත නැහැ. ඔහුට තියෙන්නේ ග්‍රාම­නි­ල­ධාරි මහතා දුන් ලිය­වි­ල්ලක් විත­රයි. මම රොෂාන් කියන තොර­තුරු අහ­ගෙන ඔහු හදා­ගත් දෙම­වු­පි­යන් හොයා­ගෙන මහ­නු­වර කටු­ග­ස්තොට හාරි­ස්ප­තු­වට ගියා. ඒත් ඒ ගෙද­රින් රොෂාන්ගේ උප්පැන්න සොයා ගන්න තිබුණේ නැහැ. ඉන්පස්සෙ මං තිත්ත­ප­ජ්ජල ග්‍රාමීය රෝහ­ලට ගියා. රොෂාන් උප­දින්න ඇති කියල අනු­මාන කරන අවු­රුද්දේ උපත් ලියා­ප­දිංචි කරන පොත් ගණ­නා­වක් බැලුවා. අව­සා­නයේ මම කොළඹ ආවේ උපත ලියා­ප­දිංචි කර නැත කියන සහ­ති­කය අර­ගෙන සුදත් මහතා පව­සන්නේ තවත් කෙනෙ­කුට මේ රටේ පුර­වැ­සි­භා­වය හිමි­කර දීමට වෙහෙස වූ අයුරු පව­ස­මිනි.

අව­සා­න­යේදී රොෂාන් යොමු කරන්නේ අධි­ක­රණ වෛද්‍ය අජිත් තෙන්න­කෝන් මහතා වෙතය.

“කෙනෙ­කුගේ පෙනුම. ඔහුගේ බුද්ධි මට්ටම, ඔහු හැසි­රෙන විදිහ අනුව බලලා ඔහුගේ වයස තීර­ණය කරන්න පුළු­වන්. ඒ වගේම එම පුද්ග­ල­යාගේ දත්වල වැඩීම, ඒ දත්වල ගෙවීම ආදිය පිළි­බඳ පරී­ක්ෂණ කරලා වෝහා­රික දත්ත වෛද්‍ය­ව­ර­ය­කුට පෙන්වලා වයස අනු­මාන කර­න්නට පුළු­වන්. ඒ වගේම තමයි අස්ථි වර්ධ­නය, ඒ අස්ථි­වල ක්ෂය­වීම, ආදිය පරී­ක්ෂ­ණය කරලා ඔහුගේ වයස පිළි­බඳ නිග­ම­න­ය­කට එන්න පුළුවන්. රොෂාන්ගේ වයස පිළිබඳ නිගමනයට ආවේ ඔහුගේ දත් පරික්ෂා කරලා.” වෛද්‍ය අජිත් තෙන්න­කෝන් මහතා රොෂාන්ගේ උපන් අවු­රුද්ද තීර­ණය කළ අන්දම පැව­සීය.

සියල්ල මේ අයු­රින් විස­ඳන අතර රොෂාන්ගේ තනි­කඩ ජීවි­ත­යට සහ­කා­රි­යක්ව සොයා දෙන්නට ආර­ක්ෂක නිල­ධාරි රුද්‍රිගු වෙහෙ­සු­ණේය. ඒ අනුව ඔහු නිතර දෙවේලේ සිළු­මිණ පුව­ත්පතේ මංගල යෝජනා තීරය බැලු­වේය. අව­සා­නයේ ඔහු පුව­ත්පතේ මනා­ලි­යන්ගේ තීරුවේ තිබූ දැන්වී­මක දුර­ක­ථන අංක­යක් රොෂාන්ට ලබා දුන්නේය.

“මං කතා කළා ඒ නොම්ම­රේට එත­කොට එයා තමයි කතා කළේ. මං මා ගැන ඇත්තම කිව්වා. එයාගේ අයියා මා ගැන සොයා තිබුණා. සර්ලා සමඟ මම මනා­ලිය බලන්න ගියා. ශිරා­නිගේ අම්මා තාත්තා නැහැ. ඉන්නේ අයි­යලා අක්කලා විත­රයි. අපි මන­මාලි බලලා ආවා. ශිරා­නි­ලාගේ ගෙද­රින් අපේ විවා­හ­යට කැමති වුණා. ජන­වාරි මාසේ විසි­පස් වෙනිදා තමයි මංගල උත්ස­වය තිබුණේ. හැම දෙයක්ම උපාලි සර් සුදත් සර් ලස්ස­නට කරලා දුන්නා මෙහෙ ඉන්න අනිත් අයත් මට උදව් කළා.

රොෂාන් පව­සන්නේ තම විවාහ උත්ස­වයේ පිළි­වෙළ අලං­කා­රය සහ අගනා බිරි­යක තමන්ට හිමි වීමේ කතා­වයි. ඔහු එසේ පැව­සු­වද රොෂාන්ගේ විවා­හයේ අව­සන් මොහොත වන­තු­රුම ඔහුට ජාතික හැඳු­නු­ම්පත ලැබී තිබුණේ නැත.

“අධි­ක­රණ වෛද්‍ය සහ­ති­කය ගත්තට පස්සේ මම ග්‍රාම­නි­ධාරී මහ­ත්මිය හමු වුණා. ඇය අපට බොහෝ උදව් කළා. මඟුල් දිනට පෙර දින තමයි අපට රොෂාන්ගේ හැඳු­නු­ම්පත ලැබුණේ. මෙහිදී අපට පුද්ග­ල­යින් ලියා­ප­දිංචි කිරීමේ දෙපා­ර්ත­මේ­න්තුවේ කොම­සා­රිස් හර්ෂ ඉලුක්පිටිය මහතා කඩි­න­මින් ඒ කට­යුත්ත කර දීමට උදව් කළා. සුදත් මහතා පව­ස­න්නේය. උප්පැ­න්න­යක් නැති රොෂාන්ට පම­ණක් නොව මේ රටේ එවැනි ඕනෑම කෙනෙ­කුට හැඳු­නු­ම්ප­තක් සාදා ගන්නට පුළු­වන් බව හර්ෂ ඉලු­ක්පි­ටිය මහතා අප හා පැවැ­සුවේය.

උප්පැන්න සහ­ති­ක­යක් නැති අයෙ­කුට තම උප­න්දි­නය, ස්ත්‍රී පුරු­ෂභා­වය, ලිපි­නය ආදි මොන­යම් හෝ ලේඛ­න­යක් තිබේ නම් හැඳු­නුම්පත හද­න්න පුළු­වන්. දරු­වන්ගේ උප්පැන්නේ මවගේ පියාගේ විස්තර ඇතු­ළත් වෙනවා. උප්පැ­න්න­යක් නැති එවැනි මවු පියන්ට දරු­වන්ගේ උප්පැන්න සහ­ති­කය ඉදි­රි­පත් කරලා හැඳු­නු­ම්පත හදා­ගන්න පුළු­වන්. එහෙ­මත් නැත්නම් විවාහ සහ­ති­කය, රිය­දුරු බල­ප­ත්‍රය, පැන්ෂන් කාඩ්පත ආදි තොර­තුරු ඉදි­රි­පත් කරන්න පුළු­වන්.

ඡන්ද­හිමි නාම ලේඛ­නයේ හැඳු­නු­ම්පත් අංකය හිස් තැනක් තිබේ නම්, හැඳු­නු­ම්පත් නැති අයට චක්‍ර­ලේ­ඛ­න­යක් හදලා තියෙ­නවා. තමන් පදිංචි වෙලා ඉන්න ගම් පළා‍තේ තමන් ගැන දන්නා 3 දෙනෙකු විස්තර සහ දිවු­රුම් පෙත්සම් ඉදි­රි­පත් කර හැඳු­නු­ම්පත හදා­ගන්න පුළු­වන්. තවත් ක්‍රම­වේ­ද­යක් තියෙ­නවා මොන­යම්ම හෝ ලේඛ­න­යක් නැත්නම් ඔහු දැනට භාවිත කරන තම තොර­තුරු ඇතු­ළත් ග්‍රාම නිල­ධාරි සහ­ති­කය, රෝහලේ අධි­ක­රණ වෛද්‍ය නිල­ධා­රි­තු­මාගේ ජීව විද්‍යා­ත්මක කරුණු මත දෙන සහ­ති­කය පද­නම් කර­ගෙන ඒ ලිය­කි­ය­විලි ලබාදී හැඳු­නු­ම්පත ලබා­ගන්න පුළු­වන්. මෙහිදී අප රොෂාන්ට හැඳු­නු­ම්පත ලබා දුන්නේ අන්න ඒ ක්‍රම­වේ­දය යටතේ. කෙනෙකු හැඳු­නු­ම්ප­තක් නැතිව සිටීම නීති විරෝධී ක්‍රියා­වක්.”

හර්ෂ ඉලු­ක්පි­ටිය මහතා රොෂාන් ඇසුරු කර­ගෙන රට­ටම පණි­වි­ඩ­යක් ලබා දුන්නේ එලෙ­සිනි‍. අවු­රුදු හත­ළිස් පහක්ම අන­න්‍ය­තා­ව නැතිව සිටි රොෂාන් මන­තුංග ශ්‍රී ලාංකික පුර­වැසි අයි­තිය ලද්දේ එලෙ­සිනි. ගිය වසරේ සැප්තැ­ම්බර් විසි එක්වැ­නිදා ඔහු ජීවි­තයේ පළමු වතා­වට සිය උපන් දිනය සැම­රු­වේය. සුදත් සර් ඇතුළු පිරිස පුංචි උත්ස­ව­යක් සංවි­ධා­නය කර රොෂාන් එතැ­නට කැඳ­වන තුරු ඔහු ඒ ගැන හාංක­වි­සි­ය­ක්වත් දැන සිටියේ නැත. රොෂාන්ගේ ජීවි­තය පෙළ ගැසුණේ එලෙ­සිනි. රොෂාන්ගේ බිරිය ශිරාණි මල්ලි­කාය.

“මගේ අම්මා තාත්තා නැහැ. මගේ පවුලේ ඔක්කෝම හය දෙනයි. මම පස්වැ­නියා.‍ කලක් මම විදේශගත ­වෙලා හිටියා. පස්සේ අයියා තමයි මා ගැන මංගල යෝජ­නා­වක් සිළු­මිණ පත්තරේ දැම්මේ. විවිධ රැකියා කරන අය­ගෙන් යෝජනා ගණ­නා­වක් ම ලැබුණා. ලියුම් ගණ­නා­වක් ආවා. දුර­ක­ථන ඇම­තුම් ආවා. ඒත් මගේ හිත ගියේ රොෂාන් ගැන‍‍‍‍‍. ඔහු මට ඇත්තම කිව්වා. මට රොෂාන් ගැන පැහැ­දී­මක් ඇති වුණා. මට මහන්න පුළු­වන්. විවා­හ­යෙන් පස්සේ මම පොලි­මන් ජාත්‍ය­න්තර පාසලේ සේවය කර­නවා. රොෂාන් සේවය කර­න්නේත් එත­න­මයි. අපට පදිංචි වීම සඳහා පාසල ළඟින් ම නිවෙ­සක් ලබා දුන්නෙත් මේ ආය­ත­න­ය­මයි. මට අපේ ජීවි­තය ගැන සතු­ටුයි.”

ශිරාණි පව­සන්නේ අවි­හිං­සක ලෙස හිනැ­හෙ­මිනි. හැම ගැහැ­නි­ය­ක­ටම මෙවැනි තීරණ ගැනී­මට හැකිද? නමුදු ශිරාණි තම ජීවි­තය ගැන තීර­ණා­ත්මක තීර­ණ­යක් ගත්තා ය.

දැන් රොෂාන් යනු පිළි­වෙ­ළක් ඇතිව ජීවි­තය ගත කර­න්නෙකි.‍ අප එහි යන විට රොෂාන් සිටියේ ඩෙස් බංකු තන­මිනි. ඔහු සියුම් අත්වැ­ඩට මෙන් ම වෙහෙස වී වැඩ කරන්ට රුසි­යෙකි. බොහෝ හැකි­යා­වන් ඇති රොෂා­න්ගෙන් ගෙවුණ කාලයේ පල ප්‍රයෝ­ජන ගත්තේ වෙනත් අයයි. නමුදු දැන් ඒ කාලය නිමාවී ඇත. පිළි­වෙ­ළක් නොතිබූ ජීවි­තය දැන් කල­එ­ළිය වී ඇත.

පාසල් දරු­වන්ට පම­ණක් නොව වැඩුණු මිනි­සුන්ට ද ජීවි­තය ගැන කියා­දී­මට ජීවි­ත­යට ආද­රය කර­න්නට ඉගැ­න්වී­මම උතුම් ගුරු­ක­මට අගනා ආද­ර්ශ­යකි. “සුදත් සර් තමයි මේ සියල්ල කළේ. මම ඔහු කරන්නේ නිවැ­රැදි දෙයක් නිසා ඔහුට හැම සහා­යක් ම දුන්නා. මගේ තිස් එක් වස­රක ගුරු සේවයේ මෙවැනි අත්දැ­කී­මක් ලැබූ පළමු අව­ස්ථාව මෙයයි.

කොළඹ රාජ­කීය විද්‍යා­ලයේ හා ඉසි­ප­තන විද්‍යා­ලයේ හිටපු විදු­හ­ල්පති උපාලි ගුණ­සේ­කර මහතා රොෂාන්ගේ කතාව ගැන පැව­සුවේ එලෙ­සිනි.

සියල්ල මුදල මත තීර­ණය කරන සමා­ජ­යක ‘මනු­ස්ස­ක­මට’ කළ නොහැ­ක්කක් නැති බව ඔවුහු පෙන්වා දුන්හ. රොෂාන්ලා තවත් මේ රටේ සිටි­න්නට පුළු­වන. ඒ රොෂාන්ලාට ද ජීවි­තය ගෙන එන්නට කාට හෝ මෙය ආදර්ශ කතා­වක් විය හැකි ය.

ඡායා­රූප - රුවන් ද සිල්වා

Comments