
සංවිධායකවරු ශාලාව ඉදිරිපිට නැවතී අලුත් නිවේදකයා දකින තුරු නොඉවසිල්ලෙන් බලා සිටියහ. ඔවුන්ගේ දෑස් එළිය කරමින් අමුතු නිවේදකයා කුමාර ලීලාවෙන් පැමිණියේ සුපුරුදු දුම්වැටිය දෙතොලෙහි රඳවාගෙන ය. මේ තරම් ඉක්මනින් ඔහු අලුත් ජාතික ඇඳුමකින් සැරසුණේ කෙසේදැයි සංවිධායකවරුන්ට හිතාගැනීමට වත් බැරි විය.
දවස උදා විය.
ඒ මහා ගී තරගයේ අවසන් පූර්ව වටය යෙදී තිබුණේ එදින රාත්‍රියට ය.
සංවිධායකවරු මැරීගෙන වැඩ කළහ.
තරගයට විනාඩි හතළිස්පහක් පමණ තිබිය දී මොරටු බෞද්ධ මන්දිරයේ අසුන් ප්රේක්ෂකයන්ගෙන් පිරෙමින් පැවතිණ.
සංවිධානයේ උප ලේකම්වරයා සිය පරණ පා පැදියේ නැගී ආවේ ලොකු කලබලයකිනි. ශාලාව ඉදිරියේ ඉන් බට ඔහුගේ මුහුණේ වූයේ බැරෑරුම් පෙනුමකි. ඒ දුටු ප්‍රධාන සංවිධායකවරයාගේ හිත අවුල් විය.
‘ඇයි මොකක්ද ප්‍රශ්නෙ?“ප්‍රධාන සංවිධායක වහ වහා උපලේකම් ඉදිරියට ගියේ ය. පාපැදිය බිත්තියට හේත්තු වන පරිදි තල්ලු කර දැමූ ඔහු ප්‍රධාන සංවිධායක වෙත හැරුණේ ‘හරි වැඩේනෙ වුණේ“ කියමිනි.
‘ඇයි මොකද?‘
‘අපේ නිවේදකය ඇක්සිඩන්ට් වෙලා! එයා ඉස්පිරිතාලෙ! මේ දැන් තමයි දැන ගත්තෙ. අපි දැං මොකද කරන්නෙ? කාවද හොයා ගන්නෙ?‘
‘...ට වත් කියමුද?
‘එයා කොහෙ කරන්ඩද? මේක අවසන් තරග වටයක් කියන එක අමතකද?
මේ නරක ආරංචියත් සමඟ සංවිධායක මිතුරෝ අසරණ වූහ.
‘මොනව කරන්ඩත් පැය බාගයයි තියෙන්නෙ. හොඳ නිවේදකයෙක් නැති උණොත් අපි ඔක්කොම ඉවරයි‘
දෙදෙනා මුහුණට මුහුණු බලාගෙන මොහොතක් සිටියහ. උප ලේකම්ට හදිසියේ ම යමක් කල්පනාවට ආවේ ය.
‘හරි. කෙනෙක් ඉන්නව මේ ළඟ. යමුද බලන්ඩ?‘
‘යං‘
‘වැඩිවෙලාවක් නෑ පාගමු!‘ උප ලේකම්ට කෑගැසිණ. ප්‍රධාන සංවිධායක දාඩිය පෙරාගෙන පැද්දේ ය.
උපරිම වේගයෙන් ගිය පාපැදිය මොරටු හන්දියේ තේ කඩයක් ළඟ නැවතිණ.
‘ඇයි නැවතුණේ?‘
‘මේ තමයි තැන!‘
‘කවුද? අයිතිකාරයද?‘
‘නෑ. තේ හදන එකා‘
‘වැඩේ අවුල් වෙයිද?‘
වහා කඩේ තුළට වැදුණු උප ලේකම් දුම්වැටි කොටයක් උරමින් සිටි ජවසම්පන්න තරුණයකු සමඟ පිටතට ආවේ ය.
හදිසි අවශ්‍යතාව ගැන වහ වහා සාකච්ඡා කැරිණ. නිවේදක ගාස්තුව ද තීරණය විය.
‘එහෙනං හරිනෙ‘
‘හරි‘
‘ඔයා මේ දැම්මම එන්ඩ‘
‘හරි, මට විනාඩි පහක් දෙන්ඩ‘
ආපසු පාපැදියට නැඟුණු සංවිධායක සහ උප ලේකම් ඉස්පාසුව මුසු කුකුසකින් ශාලාව කරා ගියහ.
තරගය ඇරඹීමට වැඩි වේලාවක් නොවී ය. ශාලාවේ ඇතුළත ද පිටත ද බැබළෙමින් තිබිණ.
සංවිධායකවරු ශාලාව ඉදිරිපිට නැවතී අලුත් නිවේදකයා දකින තුරු නොඉවසිල්ලෙන් බලා සිටියහ. ඔවුන්ගේ දෑස් එළිය කරමින් අමුතු නිවේදකයා කුමාර ලීලාවෙන් පැමිණියේ සුපුරුදු දුම්වැටිය දෙතොලෙහි රඳවාගෙන ය. මේ තරම් ඉක්මනින් ඔහු අලුත් ජාතික ඇඳුමකින් සැරසුණේ කෙසේදැයි සංවිධායකවරුන්ට හිතාගැනීමට වත් බැරි විය.
ශාලාව දොරකඩ දීම ගායනා තරගය ගැන ඔහුට කෙටි හැඳින්වීමක් කළ සංවිධායකවරුන් අදාළ විස්තර අඩංගු ලේඛනය ද ඔහුට දී හැකි ඉක්මනින් ඔහු වේදිකාවට තල්ලු කර දැමුවේ තරගය පටන් ගැනීමේ වේලාව අත ළඟට ම පැමිණ තිබූ හෙයිනි.
‘සුබ සන්ධ්‍යාවක් වේවා දයාබර ප්‍රේක්ෂක හිතවතුනි,...‘
අලුත් නිවේදකයා සිය කාර්යය ඇරඹුවේ පළපුරුදු අයකු සේ ය. මුල් ම ආමත්රණයෙන් ම ප්‍රේක්ෂක ජනයා ඔහුට ආකර්ෂණය වූ අයුරු විස්මය ජනක ය.
එතැන් පටන් මුළු ශාලාව ම මියුරු සංගීතයෙනුත්, මධුර ගී ගැයුම්වලිනුත්, නිවේදක මුවින් නික්මුණු ළයාන්විත වදන් වැල්වලිනුත් රසවත් විය.
පැය කිහිපයකට පසු ගායනා තරගය සාර්ථකව නිම විය. අත්පොළසන් දුන් ප්‍රේක්ෂකයෝ සතුටින් විසිර ගියහ. නිවේදකයා ද තමාගේ ගාස්තුව සාක්කුවේ දාගෙන යන්නට ගියේ ය.
ඒ අතර ප්‍රේක්ෂක ප්‍රතිචාර ලැබෙමින් තිබිණ.
‘කෝ අපේ නිවේදකය? එයාගෙ කටට පුදුම වචන රැල්ලක්නෙ ගලාගෙන එන්නෙ. හරියට සූකිරි කන්දකින් මී පැණි ගලාගෙන එනව වගේ. අහගෙන ඉන්ඩත් ආසයි‘
ඒ ප්‍රශංසා අහන්නට නිවේදකයා එතැන නොසිටියේ ය. ඒ ඔහු ඒ වන විටත් තේ හදන්නට ගොස් සිටි බැවිනි.
මේ ප්රශංසාත්මක ලිපිය කියවන්නට ද ඔහුට නොහැකි ය. ඒ අද ඔහු දිවි රඟමඬලින් නික්ම ගොස් ඇති බැවිනි.
මොරටුවේ, විල්ලෝරා වත්තේ, සුනිල් සිරිමල් පීරිස් මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.