කන්න 6­කට පසු අත­මිට සරු වූ රහස හෙළිකරන මී ඔය ගොවියෝ | සිළුමිණ

කන්න 6­කට පසු අත­මිට සරු වූ රහස හෙළිකරන මී ඔය ගොවියෝ

* මෙවර අස්වැන්න දෙගුණ වෙලා
* එක් ගොවි­යෙ­කු­ගෙන් වී කිලෝ 2000ක් මිලට ගනී

නිය­ඟ­යෙන් බැට කෑ මී ඔය ගොවි පවුල් 2500 කට පමණ මෙම කන්නයේ ලද සරු අස්වැන්න නිසා දිවි සරු­කර ගැනී­මට හැකි­යාව ලැබී තිබේ. ගොවීහු කලට වෙලා­වට ලද වර්ෂා උප­යෝගී කර­ගෙන නිසි කලට නිසි පරිදි මේ මාස් කන්නයේ මී ඔය ගොවි ව්‍යාපා­රයේ හැම බිම් අඟ­ල­කම වී වගාව සිදු කළහ. එම බිම් ප්‍රමා­ණය අක්කර 5000කි.

මී ඔය ගොවි ව්‍යාපා­රය 1954 වර්ෂයේ පිහි­ටවු ගොවි ජන­ප­ද­ව­ලින් යුත්තවේ. අබ­කොළ වැව, අත­ර­ගල්ල පාලු­ක­ඩ­වල හා පාලුව ගොවි ජන­ප­ද­වල විශාල වැව් ඉදි­කර තිබේ. අබ­කො­ල­වැව ගොවි­ජ­න­ප­දයේ පවුල් 450ක් අත­ර­ගල්ල පවුල් 620 ක්, පාලු­ක­ඩ­වල පවුල් 1250 ක් හා පාලුව ඇතුළු මී ඔයේ ජල­යෙන් පෝෂ­ණය ලබන පාලුව ඇතුළු ඉතිරි කොටසේ ගොවි පවුල් 350 ක් පමණ ගොවි­තැ­නින් දිවි ගෙවති.

මී ඔය හර­ස්කර අබ­කො­ල­වැව ඉදි­කර තිබෙන අතර එහි ජල ධාරි­තාව අක්කර අඩි 6700කි. අත­ර­ගල්ල වැවේ ජල ධාරි­තා­වය අක්කර අඩි 3688 ක් වන අතර පාලු­ක­ඩ­වල වැවේ ජල­ධා­රි­තා­වය අක්කර අඩි 7688 කි. එප­ම­ණක් නොව මී ඔයේ ජල­යෙන් පිරි ඉතිරි යන පාලුව, දේව­ගි­රි­පුර ඇතුළු තවත් කුඩා වැව් රාශි­යකි.

කන්න පාළු කාලයේ කුඹු­රු­වල ලඳු කැලෑ වැවිලා

වසර තුනක කාල­යක් වර්ෂාව නොලැ­බීම නිසා මී ඔය සිඳී ගොස් තිබිණි. මී ඔයේ ජලය අබ­කො­ල­වැව වැවට ලබා­ගෙන අන­තු­රුව අත­ර­ගල්ල වැවට, පාලු­ක­ඩ­වල වැවට හා පාලුව ඇතුළු තවත් කුඩා වැව් රාශි­ය­කට ලබා දීම සිදු කෙරේ. මී ඔයේ ජලය නොමැති වීමත් වර්ෂාව ‍නොලැබී­මත් නිසා මෙම ගොවි ව්‍යාපා­ර­වල කුඹුරු ඉඩ­ම්වල විශාල ගස් පවා වැවී තිබුණි.

2018 වර්ෂයේ අග­භා­ගයේ වැසි ලැබී­මත් සම­ඟම කන්න හයක් වගා නොමැ­තිව සිටි මී ඔය ගොවි ව්‍යාපා­රයේ ගොවියෝ වැඩ ආරම්භ කළ හ. ඒ වෙන­කක් නිසා නොව රටට බත සප­යන ජාතික කට­යු­ත්ත­කට පිවි­සෙ­න්නට හා එම­ගින් තම දරු මල්ලන් පෝෂ­ණය කිරී­මට තිබූ උව­ම­නාව නිසා­මය.

මේ එම කුඹු­රු­වල අස්වනු නෙළන සම­යයි. වෙනදා අක්ක­ර­ය­කින් වී බුසල් හැට හැත්තෑව ලබා­ගත් ගොවියෝ මෙවර එම අස්වැන්න දෙගුණ කර­මින් අක්ක­ර­ය­කින් වී බුසල් 150,160 ලබා­ග­න්නට සමත්ව සිටිති. මේ වෙද්දී සරු අස්වනු ලද මී ඔය ගොවි­යන්ගේ හිසේ මල් පිපී ඇති බව පෙනේ.

අඹ­කො­ල­වැව ‘ගැමුණු‘ ගොවි සංවි­ධා­නයේ ලේකම් ආර්. ඩී. සෝම­රත්න මහතා ගොවීන් සරු වගා­ව­කට යොමු කර­වන ගොවි නියෝ­ජි­ත­යෙකි.

“අබ­කො­ල­වැව ගොවි ජන­ප­දයේ අක්කර 840 ක් වී වගා කරන කුඹුරු විදි­හට ලේඛන ගත වෙලා තියෙ­නවා. ඊට අම­ත­රව තවත් අක්කර 150 ක් විතර රක්ෂිත විදි­හට හා අම­ත­රව ඇස්වැද්දු කුඹුරු විදි­යට තිබෙ­නවා. මේ මුළු බිම් ප්‍රමා­ණ­යම අවු­රුදු දෙක තුනක් පුරන් වෙලා තිබුණේ කන්න හය­කට පස්සේ කුඹු­රු­ව­ලට යන විට කුඹුරු විශාල ලඳු කැලෑ වෙලා වර්ෂාව ලැබී­මත් සම­ඟම වර්ෂා ජල­යෙන්ම වගා ආරම්භ කිරී­මට අපි ගොවීන් යොමු කළා. දින කීප­ය­කින් මේ කැලෑ එළි­ක­රපු අපේ ගොවියො නියම කාල­යට වගාව ආරම්භ කළා. වාරි­මාර්ග දෙපා­ර්ත­මේ­න්තුවේ පූර්ණ සහ­යෝ­ගය ලැබුණා. අද හොඳ අස්වනු ලබන ගොවියො සතුටු වෙනවා.”

නිසි කලට පොහොර හා කෘෂි උප­දෙස් ලැබුණා

ගොවි­නට අවශ්‍ය කෘෂි උප­දෙස් ලබා­දෙ­මින් නිසි කලට පොහොර ලබා දීමට සක්‍රිය දාය­ක­ත්ව­යක් ලබා දෙන කෘෂි­කර්ම පර්යේ­ෂණ නිෂ්පා­දන සහ­කාර ලක්ප්‍රිය කෝනාර මහතා ද ගොවින් ලබන සරු අස්වැන්න දැක සතු­ටු­වන අයෙකි.

“සම­හර කන්න­වල ගොවින්ට පොහොර ලබා­දීම තර­මක් ප්‍රමාද වුණත් මේ කන්නයේ ගොවියා කුඹු­රට බහි­න­කො­ටම පොහොර ටිකත් අපට දෙන්න හැකි­යාව ලැබුණා. ඒ විත­රක් නොවෙයි. කුඹු­රට ගිහින්ම කෘෂි­කර්ම උප­දේ­ශක මහ­ත්තුරු ගොවි­යාට අවශ්‍ය උප­දෙස් හා ප්‍රායෝ­ගික දැනුම ලබා දුන්නා. අස්වනු නෙලන තෙක්ම අපි ගොවියා සමඟ ඉන්නවා. ඒ තර­මට ගොවි­යගෙ අත මිට සරු­වෙයි කියලා හිතෙ­නවා.”

කෘෂි උප­දෙස් මත නිසි කලට පිළි­වෙ­ළට වී වගාවේ යෙදෙන ආර්. එම්. නව­රත්න තරුණ ගොවි මහ­තෙකි. ආදර්ශ වගා කර­මින් ගොවි­තැ­නෙන් දිවි සරු කර ගැනී­මට වෙහෙස දරන අයෙකි.

“අපේ ප්‍රධාන ජීව­නෝ­පාය මාර්ගය ගොවි­තැ­නයි. කන්න පහක් හයක් ‍ගොවිතැන නැතුව අපේ පවුල් පිටින් අනාථ වුණා. මේ වතාවේ හොඳට වර්ෂාව ලැබුණා. වැව් පිරුණා. පොහොර සහ­නා­දා­රය කලට වෙලා­වට ලැබුණා. බිත්තර වී ටික ලැබුණා. අපි යුහු­සු­ලුව වගාව ඇර­ඹුවා මේ කන්නෙ ලෙඩ රෝගත් අඩුයි. සරු­වට ගොයම වැඩුණා. වෙනදා වී බුසල් අසූව අනූව ගත්ත අක්ක­ර­ය­කින් මේ වාරයේ වී බුසල් 150, 160 ගත්තා. යල මහ පැහෙ­න­වා­නම් ඉතින් අපට වෙන කිසිම රක්ෂා­වක් ඕනෙ නෑ. මේ සැරේ මාස් කන්න වගා කරලා යල කන්න­ටත් වැවේ වතුර ඉතිරි වුණා. ස්ථීර ජල මාර්ග­යක් ලැබෙන තුරු මේ විදි­හ­ට­වත් යල මහ පැහෙ­න­වා­නම් ඉතින් මී ඔය ගොවියා ගොඩ තමයි.”

මී ඔය ව්‍යාපාර ඉංජි­නේරු කෝසල නාරං­ග­ම්මන මහතා නිර­න්ත­ර­යෙන් ගොවීන් වෙනු­වෙන් වෙහෙ­සෙ­න්නෙකි.

“ කන්න ගණ­නා­ව­කින් පසුව තමයි ‍මේ කන්නයේ මී ඔය ගොවි­යාට වගාව කරන්න ලැබුණේ. වර්ෂා ජල­යෙන් ම වගාව ආරම්භ කරන්න අපි උප­දෙස් දුන්නා. එහෙම කළ නිසා වැවේ වතුර ගත්තෙ ගොය­ම­ටයි. ඒ නිසා ඉදිරි යල කන්නෙ­ටත් වතුර වැව්වල ඉතිරි කර ගන්න හැකි වුණා. මේ කන්නයේ ‍අපේ ගොවියො අක්ක­ර­ය­කින් වී බුසල් 150 ටත් වඩා අර ගන්න බව තමයි දැන ගත්තේ නිසි ජල කළ­ම­නා­ක­ර­ණය ද මේ සඳහා දායක වුණා.”

මී ඔය ව්‍යාපාර අධි­කාරි ඩී.එම්.කේ.එච්. දිසා­නායක මහතා මෙසේ කීය.

“මෙවර ගොවියා නියම කලට වගා­වට මෙහෙ­ය­වන්න හැකි­යාව ලැබුණා. අවශ්‍ය උප­දෙස්, පොහොර සහ­නා­ධා­රය නිසි ලෙස ක්‍රියා­ත්මක කළා. මේ සියලු අංශ­වල එක­මුතු බව තුළ ගොවියා මෙවර වාර්තා­ගත අස්වැ­න්නක් ලැබුවා. වී නිෂ්පා­දන ජාතික කට­යු­ත්තට දායක වන ගොවි­යාට අවා­සි­යක් නොවී මේ ජාතික කාර්ය ඉටු කිරී­මට අවශ්‍ය ශක්තිය අපි ලබා­දෙ­නවා.”

යල කන්නෙ­ටත් වතුර ඉති­රියි

ලැබූ සරු අස්වැන්න අලෙවි කිරීම සඳහා ගෙන ඇති පිය­වර සම්බ­න්ධ­යෙන් වී අලෙවි මණ්ඩ­ලයේ කුරු­ණෑ­ගල ප්‍රාදේ­ශීය කළ­ම­න­ා කාර රසික වෙරංග මහතා මෙසේ පැව­සු­වේය.

“මේ කන්නයේ කුරු­ණෑ­ග­ලින් වී මෙට්‍රික් ටොන් 10000 ක් මිලදී ගන්න මධ්‍ය­ස්ථාන 17 ක් විවෘත කර තිබෙ­නවා. ඒ මහව, ගල්ග­මුව, නික­වැ­ර­ටිය, මීග­ලෑව, මා එළිය, ගැට්ටු­වාන ප්‍රදේ­ශ­ව­ලයි. පොහොර සහ­නා­ධාර ලේඛ­න­යට අනුව එක් ගොවි­යෙ­කු­ගෙන් වී කිලෝ 2000ක් දෙදා­හක් මිලදී ගන්නවා. කිසිම භේද­යක් නෑ. නිසි ප්‍රිමි­ති­යට පම­ණයි බලන්නෙ. ක්‍රම­වත් වැඩ­පි­ළි­වෙ­ළක් සකස් කර තිබෙ­නවා. සම්බා කිලෝ එකක් රුපි­යල් 41යි. නාඩු වී කිලෝ එකක් රුපි­යල් 38යි”

වී අලෙවි මණ්ඩ­ලයේ නියෝජ්‍ය සාමා­න්‍යා­ධි­කාරි සමන් පාලිත බණ්ඩාර මහ­තාද ගොවීන් හා සතුටු වන්නෙකි.

මෙවර ගොවී­න්ගෙන් වී මෙට්‍රික් ටොන් 150000 ක් මිල දී ගන්න කට­යුතු සැල­සුම් කළා. මෙවර තමයි අපේ­ක්ෂිත ඉහ­ළම වී අස්වැන්න ලැබෙන්නෙ. වී මිලදී ගැනීම සඳහා රුපි­යල් කෝටි 500 ක මුද­ලක් ලබා දී තිබෙ­නවා. මෙවර වී මෙට්‍රික් ටොන් මිලි­යන 2.85 ක වාර්තා­ගත අස්වැ­න්නක් අපේක්ෂා කරන අතර එය පසු­ගිය කාලය හා සැස­දී­මේදී 24% ක වර්ධ­න­යක්. වී අලෙ­වි­යෙදී ගැටලු ඇති­වු­ව­හොත් වහාම දන්වන්න.


ඡායා­රූප - අඹ­න්පොළ සමූහ

Comments