ඔය වචන හර­ඹයි අපට වද­දෙන එකයි වහාම නව­ත්වන්න අමා! | සිළුමිණ

ඔය වචන හර­ඹයි අපට වද­දෙන එකයි වහාම නව­ත්වන්න අමා!

ගම­නා­න්තය තෙක් අමාලි ඉවසා සිටියේ වැර වෑය­මෙනි. අස­න්නට දහ­ස­කුත් ප්‍රශ්න තිබිණි. එහෙත් යතුරුපැදියේ වේග­යත්, හිස් ආව­ර­ණ­යත් පිළි­ස­ඳ­ර­කට ඉඩ­කඩ අහු­රයි. යතු­රු­පැ­දියේ තිරිංග තද කළ සැණින් ඇය එයින් බැස ළදරු පාසල ඇතු­ළට ගමන් කළේ එකදු ප්‍රශ්න­යක් හෝ අස­න්නට කාලය නාස්ති නොකො­ට­මය. මිතුරා තමා මෙහි කැටිව ආවේ මක් නි­සා­දැයි වැට­හු­ණෙන් ඇගේ හද ගැහෙ­න්නට විය.

කුඩා මිදුලේ වැඩි ඉඩ­ක­ඩක් උදුරා ගත් මෝටර් රියට නැංගේ වෙහෙ­ස­කර හා රෝගී ස්වභා­ව­ය­කින් අසෝ­බන වූ මිනි­සෙකි. සිය සොහො­යු­රාගේ කන­ස්සල්ල සුන­න්දා­ටද බෝවී ඇති­වාක් වැන්න. අලුත් දව­සක් ගෙනා පැරණි හිරුට නෝක්කඩු කිය­න්නාක් මෙන් ඇය හකුළා ගත් දෑසින් හා අස­හ­න­යෙන් විකෘ­තව ගිය මුවින් ආපසු හැරු­ණාය.

පියාගේ සිත රිද­වන දිය­ණි­යට දෝෂා­රෝ­ප­ණය කරන අද­හ­සින් කාම­ර­යට කඩා වැදුණු ගැහැ­නිය තිගැ­ස්සු­ණාය. ඇඳ­ මත වැතිර ගත් කෙල්ලක වෙනු­වට ඇය දුටුවේ ඇඳ මධ්‍ය­යෙහි ඔළු­වෙන් හිට ගත්ති­යකි.

“අමා...” යි සුනන්දා මහ හඬින් කෑගැ­සු­වාය.

“හෙමින් කතා කරන්න අනේ. පේන්නෙ නැද්ද මම ලොකු වැඩක්...”

අමාලි අප­හ­සුව නොතකා ඉල්ලා සිටි­යාය. ඇගේ කෙස් කල­ඹින් කොට්ටයේ මල් කිනිත්ත වැසී ගොසිනි.

“මොකද ඔය වෙලා තියෙන්නෙ?”

සුනන්දා ඇස‍ුවේ ඉව­සුම් නොදෙන කෝප­යෙනි.

“පොඩි නැන්දත් එන්නකෝ චුට්ටක් ඔළු­වෙන් හිට­ගන්න.”

“ඔව්.. ඔව්.. ඔළු­වෙන් හිට­ගෙන තමා දැන් අපට ඉන්න වෙන්නෙ... ඇත්ත­ටම අමා ඔයාට මොන­වද වෙලා තියෙන්නෙ? අයි­යත් ඉන්නෙ දුකෙං...”

යුව­තිය දෙපා පහත හෙළුවේ ඉතා සන්සුන් විලා­ස­යෙනි. ඇය සිය නැන්ද­ණිය දෙස හෙළු­වේද උපේක්ෂා සහ­ගත බැල්මකි.

“ප්‍රින්සි­පල්ලා ඉන්නෙ දුකෙන් නෙමේ පොඩි නැන්දේ කේන්ති­යෙන්... කොයි වෙලා­වෙත් පුපු­ර­නවා...”

“මං කතා කරන්නෙ ප්‍රින්සි­පල් කෙනෙක් ගැන නෙමේ අමා... මං කතා කරන්නෙ ඔයාගෙ තාත්තා ගැන.”

අමාලි දෙපා හකුළා ගනි­මින් හරි බරි ගැසු­ණාය.

“එයා නැති තැන එයා ගැන කතා කරන හොඳ මදි නේද පොඩි නැන්දේ...?”

සුනන්දා කිලිටි රෙදි බහාලු කූඩය දෑතින් ගත්තේ කෝප­යෙන් අඳු­රුව ගිය මුහු­ණෙනි.

“ඔය වචන හරඹ නව­ත්තන්න අමා... ඔයා ඔය විදි­යට අපට වද දෙන එකත් වහාම නව­ත්ත­ගන්න... මං මේ කියන්නෙ අන්තිම සැරේට...” ඇගේ හඬ වියළි ය. රළු ය.

“මම වද දෙනවා...? හානේ මේ පොඩි නැන්දා කියන කතා... හරි නර­කයි... මම කොච්චර හොඳ ළම­යෙක්ද... බ්‍රය­නුත් කීවා මම හරි හොඳයි කියලා..”

ඒ අරු­මෝ­සම් ඉල­න්දා­රියා සිහි­පත් කළ සැණින් සුන­න්දාගේ මුහුණේ අඳුර දැඩි විය.

“හරි ෂෝක්... කොණ්ඩෙ පාට කර­ගෙන කනත් විදලා කරා­බුත් දාගෙන සරු­වාංගේ පුරා පච්ච කොටා­ගෙන ඉන්න එකාද හොඳයි කීවේ?”

අමාලි දෙබැම ඉහළ නංවා විම­තිය පළ කළාය. ඒ ව්‍යාජ විම­තිය සුන­න්දාට හුරු­පු­රු­දුය.

“ඔයා කොහො­මද පොඩි නැන්දෙ දන්නෙ එයා සරු­වාංගෙ පුරාම පච්ච කොටා­ගෙන ඉන්නවා කියලා...? කවද්ද කොයි වෙලා­වෙද එයා හෙලුවෙන් හිටියෙ...?”

රෙදි කූඩය ගිලිහී වැටිණ. සුනන්දා විලි­යෙන්ද කෝප­යෙන්ද මිරි­කු­ණාය. දැවු­ණාය.

“මොන­වද මේ කියන කතා? දෙයි හාමු­දු­රු­වනේ දරු­වෙක් අම්මෙ­කුට කියන කතාද මේවා...?”

ඇගේ කැල­ඹීම බිඳ­කුදු නොතැකූ යුව­තිය දිදු­ලන දෙනෙ­තින් බලා සිටි­යාය.

“ඔයා මගේ අම්මා නෙමේනෙ...”

“අම්මා නෙමෙයි තමා... අනේ ඉතිං මම අම්මෙක් වගේ නෙමේද අමා උඹව බලා ගන්නෙ? මීට වඩා හොඳයි මාව මැරුව නම්” යි කී සුනන්දා ඇ‍ඳේ අයි­නක හිඳ ගත්තාය. අන­තු­රුව අත­කින් දෙඇස වසා ගනි­මින් හඬ­න්නට වූවාය.

“ආ...? මේ මොකද මේ? හෙලුවෙන් කියන වච­නෙ­ටත් ඔයාලා මාර බය­යිනෙ... ඔහො­මත් ෂොක් වෙන­වද අනේ?”

අමා­ලිගේ මුවග මඳ­හස දුටුවේ නම් සුනන්දා හැඬුම නවතා පහර දෙන්න­ටද ඉඩ තිබිණ.

“උප­න්නෙත් රෙදි නැතුව... ඒ ටික මතක නෑනේ අප්පා මේ මිනි­ස්සුන්ට...”

සුනන්දා රැලි සායෙන් කඳුළු පිසදා ගත්තාය.

“උඹේ ඔය අමුතු බණ මට කියන්න එපා අමාලි... අම්මා මොකද නැන්දා මොකද... කතා කරන කැත.. කිසිම චාර­යක් නෑ.. ගෑනු ළමි­ස්සි­යෙක් වෙලත්.”

නැන්ද­ණිය තමාට “උඹ” යි ආම­න්ත්‍ර­ණ­ය­ක­රන්නේ ඉව­සුම් නොදෙන කෝප­යෙන් බව වට­හා­ගත් අමාලි දෙවුර හැකි­ළු­වාය.

“ගෑනු ළමි­ස්සි­යන්ට විත­රද චාර­යක් තියෙන්න ඕන? ඒක යකාගෙ කතා­වක්නෙ...”

“යකාගෙ කතා කියන්නෙ උඹද? මමද?”

තැති ගන්නවා වෙනු­වට අමාලි හඬ නඟා හිනැ­හු­ණාය.

“අම්මෝ... මෙයාගෙ සැර... මොකද අනේ ඔච්චර සැර...?” යි අස­මින් ඇය නැන්ද­ණිය වෙත නැඹුරු වූවාය.

“එපා... එපා මාව අල්ලන්න.”

සුනන්දා ඒ සියු­මැලි ස්පර්ශය නොඉ­ව­ස­මින් කෑගෑ­වාය.

“ආ... මට බැරිද මගේ නැන්දව අල්ලන්න...? ඒක හරි කතා­වක්නෙ...”

අමාලි විරෝ­ධය නොතකා ඇය වැලඳ ගත්තාය.

“අතා­රින්න... අතා­රින්න මාව.”

සුනන්දා කෑගෑවේ කුඩා දැරි­යක මෙනි. ඇගේ ඇට්ටර ලේලි­ය නොහි­ක්මුණු කොලු­වෙකු ‍ෙමන් ඇගේ මුහුණ සිඹි­න්නට වූවාය.

“අමා... අනේ ඇයි අමා ඔච්චර හිතු­ව­ක්කාර...?”

සුනන්දා කෝප­යෙන් නොව ශෝක­යෙන් ප්‍රශ්න කළාය.

“මම කොච්චර හොඳද පොඩි නැන්දෙ... ඔයා­ලනෙ හිතු­ව­ක්කාර...”

“අපි? ඒ කියන්නෙ මේ මායි තාත්තයි...?”

ඒ ප්‍රශ්න­යට පිළි­තු­රක් දෙන්නට විවර කළ මුවින් නැගුණේ “බ්‍රයන්?” යන විස්මිත ආම­න්ත්‍ර­ණ­යයි.

“කී සැර­යක් කතා කළාද...? බැරිම තැන ඉතිං මම කඩා­ගෙන බිඳ­ගෙන ඇතු­ළ­ටම ආවා ඔන්න...”

‍දොරකඩ රැඳණු තරු­ණයා සමාව අය­දින බැල්මක් හෙළු­වේය. සුනන්දා නැඟී සිටියේ කෝප­යෙන් අඳු­රුව ගිය මුහු­ණිනි.

“සො... සොරි ආන්ටි.”

ඇගේ දෙනෙත නොම­නා­පය වහා වට­හා­ගත් බ්‍රයන් ආප­ස්සට යමින් සමාව අයැ­ද්දේය.

“ඇයි බ්‍රයන්?”

ආග­න්තු­ක­යෙකු කාම­ර­යට එබීම පිළි­බඳ බිඳ­කුදු නොත­කන යුව­තිය කෙරෙ­හිද සුනන්දා කිපු­ණාය.

“කෝල් එකක් හරි දෙන්න තිබු­ණනේ... ඔහො­මත් කඩා පනි­න­වද ගෙව­ල්ව­ලට...?”

ඇය නොම­නා­පය වැගි­රෙන හඬින් ඇසු­වාය.

“හරි හරි... කඩා­ගෙන බිඳ­ගෙන ආවෙ මොක­ටද කියලා කිය­න්නකෝ.”

අමා­ලිගේ කුහුල ද බ්‍රයන් පෑ ඉඟි­බිඟිද සුනන්දා වික්ෂිප්ත කර­වයි. ඇය වරි­න්වර ඒ තුරුණු මුහුණු මත නෙත් රැඳ­වූ­වාය.

“මං ටක් ගාලා එන්නම් පොඩි නැන්දා...” යි කී යුව­තිය ඔහු පසු­පස දිව යන්නට තැත් කළාය.

“අයියා ඇවිල්ලා අහ­න­කොට මං මොන­වද කියන්නෙ අමා?”

සුනන්දා මහත් සන්තා­ප­යෙන් ඇසු­වාය.

“ඇත්ත ම කියන්න...”

“මොකක්ද ඇත්ත? මාත් දන්නෙ නෑනේ ඔයා මොන තූත්තු­කු­ඩියෙ යන­වාද කියලා...”

“කියන්න ඉතිං කොල්ලෙක් එක්ක පැනලා ගියා කියලා...”

“අමා...”

සුනන්දා කොත­රම් උස් හඬින් කෑගෑ­වද පලක් නොවීය. යතු­රු­පැ­දියේ කටුක හඬ ඒ උච්ච ස්වරය ගිල ගත්තේය.

ගම­නා­න්තය තෙක් අමාලි ඉවසා සිටියේ වෙර වෑය­මෙනි. අස­න්නට දහ­ස­කුත් ප්‍රශ්න තිබිණි. එහෙත් යතුරුපැදියේ වේග­යත්, හිස් ආව­ර­ණ­යත් පිළි­ස­ඳ­ර­කට ඉඩ­කඩ අහු­රයි.

යතු­රු­පැ­දියේ තිරිංග තද කළ සැණින් ඇය එයින් බැස ළදරු පාසල ඇතු­ළට ගමන් කළේ එකදු ප්‍රශ්න­යක් හෝ අස­න්නට කාලය නාස්ති නොකො­ට­මය. මිතුරා තමා මෙහි කැටිව ආවේ මක් නි­සා­දැයි වැට­හු­ණෙන් ඇගේ හද ගැහෙ­න්නට විය.

සෙල්ලම් මිදුල සෙල්ල­මෙහි නිරත දරු දැරි­ය­න්ගෙන් පිරී තිබිණ. යුව­තිය විම­සි­ල්ලෙන් බැලුවේ ළම­යින් බාරව සිටින ගුරු­ව­රි­යන් දෙදෙනා දෙසය. එහෙත් ඇගේ දෑස දකි­න්නට අපේක්ෂා කළ රුව ඒ අතර නොවීය.

ආක­ර්ශ­ණීය පෙනු­ම­කින් යුක්ත ගොඩ­නැ­ඟිල්ල තුළට ඇය පිවි­සුණේ සැලෙන දෙප­යිනි. එ’තුළ ද ගුරු­ව­රි­යෝ දෙදෙ­නෙක් කිසි­යම් කාරි­යක නිර­තව සිටි­යෝය.

“ඇයි?” යි එකි­යක හිස නඟා බැලුවේ කාරු­ණික හස­රැ­ල්ලක් ද මුව’ග නංවා ගනි­මිනි. දරු­වෙ­කුගේ මවක යැයි සිත­න්නට තුඩු දෙන යමක් සොයා ඇගේ කුහු­ල්බර නුවන් අමා­ලිගේ හිස් මුහ‍ුණේ පටන් දෙපයේ ඇඟිලි තුඩු දක්වා සක්මන් කළේය.

“අ.... අනේ මට සමා­වෙන්න ඕන.”

තමා මෙප­රි­ද්දෙන් අන­ව­ස­ර­යෙන් කඩා පාත්වීම නොමැ­න­වැයි හැඟී ගියෙන් යුව­තිය මඳක් තැත­නු­වාය.

“බබා කව්ද?”

ළදරු පාසලේ පාලි­කාව යැයි සිතිය හැකි කාන්තාව මහත් වුව­ම­නා­වෙන් ඇසු­වාය.

“මොකක් හරි හදි­සි­යක්ද?”

“න්... නෑ.. බබෙක් නෙමේ... මට දැන­ගන්න පුළු­වන්ද චම්පා සිරි­මාන්න කියලා කෙනෙක් මෙතන වැඩ කර­න­වද කියලා...”

ගතව ගිය නිමේ­ෂය කල්ප­යක් ම විය. ගැහෙන හද­ව­තින්ද අප­මණ අපේ­ක්ෂා­වෙන් ද අමාලි ඉදි­රි­යට නැමු­ණාය.

“නෑ... එහෙම කෙනෙක් නම් නෑ.. ඇයි මොකක්ද ප්‍රශ‍්නෙ?”

බලා­පො­රොත්තු කඩ­වීමේ වේද­නාව යෞවන මුහුණ අඳුරු කළේය.

“කවුරු හරි ටීචර් කෙනෙක් අද ඇවිල්ලා නැද්ද...?”

“ඔව්. එක්කෙ­නෙක් ආවෙ නෑ...”

මියැ­දුණු බලා­පො­රොත්තු නැව­තත් පණ ගස­න්නට පටන් ගත්තේය.

“එයාගෙ නම චම්පා සිරි­මා­න්නද?”

“ඉස්සෙ­ල්ලම කියන්න‍කෝ ඔයා කවුද... මොක­දට එයාව හොයන්නෙ කියලා...”

අමාලි උත්තර දුන්නේ මහත් වෑය­මෙනි. ඇගේ දෙතොල වියළී ගියේය.

“මම අමාලි සිරි­මාන්න. ඒ මගේ අම්මා... අනේ මට කියන්න එයා කොහෙද ඉන්නෙ කියලා...”

පාලි­කාව දයා­න්විත සිනා­වක් පෑවාය.

“අද එක්කෙ­නෙක් නිවාඩු තමා. හැබැයි එයාගේ නම චම්පා නෙමේ..”

“එහෙ­නම් මොකක්ද...?”

පාලි­කාව මඳක් කල්පනා කළාය.

“ඔයා ඔය කියන්නෙ ඇත්ත­මද කියලා අපි විශ්වාස කරන්නෙ කොහො­මද..? කරු­ණා­ක­රලා හෙට එන්න...”

මව දැක ගැනීමේ බලා­පො­රො­ත්තු­වෙන් සැලෙ­මින් සිටි යුව­තිය සපුරා වෙනස් එකි­යක බවට පත් කර­න්නට ඒ කියුම සෑහිණ.

“මම මොක­ටද බොරු කියන්නෙ? ඒ මගේ අම්මා. මගේ අම්මා නැති­වෙලා අවු­රුදු දෙකක් වෙනවා. මම හොයන්නෙ මගේ අම්මව. ඇයි මාව විශ්වාස කරන්න බැරි?”

සෙල්ලම් මිදු­ලට නොගිය දැරි­යක ඒ උස් හඬින් තිගැ­ස්සු­ණාය. ඇය අයා­ගත් දෙනෙ­තින් ‍ෙම් අමු­ත්තිය දෙස බලා සිටි­යාය.

“මෙතන හයි­යෙන් කෑකෝ නොගහ ඔයාගෙ අයි ඩී එක දෙන්න... ඕන කෙනෙ­කුට ඕන බොරු­වක් කියන්න පුළු­වන්නෙ. අපි කොහො­මද දන්නෙ ඇත්තද බොරුද කියලා...?”

තමා අත්බෑ­ගය නොගෙනා බව අමා­ලිට සිහි­පත් විය. හැඳු­නු­ම්පත එ’තුළ පසු­ම්බි­යේය.

“අම්මා වගේ කෙනෙක් මෙතන ඉන්නවා කියලා ආරංචි වුණාම අයි ඩී හොය හොයා ඉඳීද අවු­රුදු දෙකක් තිස්සේ අම්මව හොය හොයා ඉන්න දුවෙක්?”

ඇගේ හඬ පෙරට වඩා උස් හා රළු වූයෙන් නිය වික­මින් සිටි ළමයා හඬ­න්නට පටන් ගත්තේය.

“බලන්න... අර පොඩි දරු­වත් බය­වෙලා... අනේ මේ කරු­ණා­ක­රලා ඔයා යන­වද මෙත­නින්...”

ප්‍රමා­දය මක්නි­සා­දැයි විප­රම් කර­න්නට පැමි­ණෙ­මින් හුන් තරු­ණයා තිගැ­ස්සු­ණේය. ළදරු පාසලේ ගුරු­ව­රි­යන් විසින් පිටමං කර­න්නට තැත් කරන මිතු­රිය බාර ගන්නට ඔහුට සිදු­විය.

“ගිය තැන වලි. මොකක්ද ඕයි තමු­සෙට වෙලා තියෙන්නෙ?” යි ප්‍රශ්න කර­න්නට තරම් ඔහු කිපු­ණේය. කෝප­යෙන් දැවෙ­මින් අමාලි ළදරු පාසල් ගුරු­ව­රි­යන්ට ශාප කළා මිස පිළි­තු­රක් නොදු­න්නාය.

ලබන සතියට‍...

Comments