ඉන්දු-පාකිස්තානු අර්බුදය පාමුල | Page 6 | සිළුමිණ

ඉන්දු-පාකිස්තානු අර්බුදය පාමුල

අසල්වැසියන් අතර ඇති වන ආරවුල්වලින් පීඩාවට පත් වන්නේ ඒ අසල්වැසි දෙපාර්ශ්වය පමණක් නො‍වේ. අහල-පහළ සිටින අයටද එය විවිධාකාර පීඩාවන්ට මුලපුරති. අප ජීවත් වන පරිසරයේ පවතින යථ‍ාර්ථය අද දකුණු ආසියානු කලාපයේද තුෂ්නීම්භූත භාවයට පත් වී ඇත්තේ ඉන්දියාව සහ පාකිස්තානය අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයයි. මේ රටවල් ද්විත්වයම ශ්‍රි ලංකාවට දේශපාලනික වශයෙන් මෙන්ම සාමාජාර්ථිකමය වශයෙන්ද අතිශය සමීපත්වයක් දක්වන බැවින් මේ රටවල් ද්විත්වයේ ඇති වන සුළු කම්පනයක් පවා අපට ලොකුවට බලපාන තත්ත්වයක් ඇත. මේ වන විටත් වසා ඇති පාකිස්තාන ගුවන් කලාපය අපේ රටේ ගුවන් මෙහෙයුම්වලට බාධා පමුණුවා ඇත. මේ රටවල් දෙක අප සමඟ පවත්වන විවිධ ආකාර වූ ද්වීපාර්ශ්වික ගනුදෙනුවලදී මේ ගැටුම්කාරී තත්ත්වය විවිධ අහිතකර බලපෑම් අති කරනු නිසැකය. අනෙක් අතට න්‍යෂ්ටික බලයෙන් සන්නද්ධ මේ රාජ්‍ය දෙක යුද ප්‍රකාශ කරගැනීමෙන් විසිවෙන සුන්බුන් ශ්‍රී ලංකාවට පමණක් නොව, සමස්ත කලාපයටම බරපතළ තර්ජනයකි.

පාකිස්තානය සහ ඉන්දියාව කලක් එකම බිමකි. බ්‍රිතාන්‍ය යටත්විජිතකරණයෙන් පසුව මේ එකම බිම රටවල් දෙකක් බවට පත් වන්නේ 1947දීය. ඒ ඉන්දියාව සහ පාකිස්තානය රටවල් දෙකක් ලෙස බ්‍රිතාන්‍ය කිරීටයෙන් මිදෙද්දීය. එතැන් සිට මේ දක්වා හය වතාවක් ඉන්දියාව සහ පාකිස්තානය යුදමය වශ‍යෙන් ගැටී ඇත. 1947 සිට 49 දක්වා ත්, 1965දී සහ 1971දී ඔවුහු යුද්ධයට ගියහ. එයින් පසුව සිව්වැනි වතාවට දෙරට යුද ගැටුම් ඇති කරගන්නේ 1989දී සහ 1999දීය. පසුගියදා යළිත් ඔවුන් ගැටෙන්නට කලින් 2001 වසරේදීද යම් සිදුවීමක් දෙකක් සිදු විය. මේ සියලු ගැටුම් සඳහා පදනම් වන්නේ කඳුකර ප්‍ර‍දේශයක් වන කාශ්මීරයයි. එහි පවතින භූගෝලීය පරිසරයත් එහි ජීවත් වන ජන වර්ගත් මේ ගැටුමට පදනම් වී ඇති බව පෙනුණද මේ වන විට ලෝකයේ බල තුලනයන්හිදීද මේ අළු යට පවතින ගිනිපුපුරු අවුස්සන විදෙස් සුළං හමා එන බව රහසක් නොවේ.වෙසෙසින්ම අද ගෝලීය දේශපාලනයේ බල කඳවුරු ගණනාවක් නිර්මාණය වී ඇත. මේවායේ පවතින බලය සහ ආර්ථිකය කේන්ද්‍ර කරගත් අබිලාශයෙන් මෙම ගිනි පුලිිඟු ඇවිස්සීමේ ක්‍රියාවලියේ නිරතුරුව නියැළෙති. කෙසේ වෙතත් එම කලාපය තුළ පසුගියදා නිර්මාණය වූ අවාසනාවන්ත සිදුවීම අපට කිසිසේත් සුළු කොට තැකිය නොහැකිය. මේ වන විටත් දෙරටේම විද්වතුන්, ජනප්‍රිය තාරකාවන් ක්‍රිකට් ලෝකයේ පිළිගත් චරිත ආදි බොහෝ පිරිසක් දේශපාලන අධිකාරියට මේ අනපෙක්ෂිත අවසානාවන්ත ගැටුම්කාරි තත්ත්වයෙන් ඈත් වන ලෙස ආයාචනය කර ඇත. හුදෙක් දේශානුරාගය යුද උන්මාදය වැනි තේමා වෙනුවට මේ විෂයය මත්තෙහි ට්විටර් වැනි සමාජ ජාලා මඟින් වැඩි ප්‍රමුඛතාවක් ලැබී ඇත්තේ වැඩි ප්‍රතිචාරයක් ලැබී ඇත්තේත් මෙවැනි සාමකාමි පියවරට මඟ පෙන්වන ප්‍රකාශවලට වීම විශේෂත්වයකි. මේ රටවල් දෙක දේශපාලනික වශයෙන් විවිධ බල කඳවුරු සමඟ ඇඟෑලුම්කම් තිබුණද ලෝකයේ බොහෝ රටවල ජනහදවත්වලට සමීප වූ රාජ්‍යයකි. විශේෂයෙන් වර්තමානයේ මේ රටවල් දෙක හසුරුවන නරේන්ද්‍ර මෝදි සහ ඉම්රාන් ඛාන් රාජ්‍ය තාන්ත්‍රික බවින් ඔබබ්ට ගිය ලෝකයේ සාමාන්‍ය ජනතාව අතර පවා ආකර්ෂණය හිමි කරගන්නට සමත් වූ නායක දෙපළකි. අනෙක් අතට චිත්‍රපට කර්මාන්තය, සංගීතය, මෙන්ම ක්‍රිකට් ක්‍රීඩාවද මේ රටවල් දෙකම නිබඳවම ලෝකයට සමීප කරන ක්ෂේත්‍රයන්ය. ඒ අතින් ගත් කල මේ රටවල් ගැටුමකට ඈඳීම දේශපාලන බලකඳවුරුවල අභිලාශයන් මත සිදු වුවද ලොක්යේ සාමාන්‍ය ජනතාව සිහිනෙන් වත් බලාපොරොත්තු නොවන තත්ත්වයකි.

ඔවුන්ගේ මේ බෙදීමටද බලපාන්නේ ඔවුන් අතර කාලාන්තරයක් තිස්සේ පැසවුණු බ්‍රිතාන්‍ය යටත්විජිවාදයෙන් තවදුරටත් පැසවන ලද අර්බුදයකි. ඔවුන්ගේ මේ පෑරුණු හදවත්වලට සුවතාවක් දක්වන්නට දෙරටේම කිසිදු දේශපාලන පක්ෂයක් ප්‍රගතිශීලි පියවරක් නොගැනීම පිළිබඳව මේ දියුණු ලෝකයේදීත් අප පුදුම විය යුතු නොවන්නේ, පටු දේශපාලනයේ අක්මුල් දේශපාලන පොතේ ඇති නියාමයන් අතික්‍රමණය කරමින් වැඩෙන නිසාය. එහි අරමුණ ඡන්ද පදනම තහවුරු කරගැනීමේ සටකපට ක්‍රමෝපාය ලෙස යොදාගැනීමය. මේ පටු පරමාර්ථ වෙනුවෙන් මුවහත් ගැන්වෙන තියුණුම ආයුධය වන්නේ ත්‍රස්තවාදයයි. අන්තවාදි ආගමික මූලධර්ම, දේශානුරාගය හෝ ස්වයං නිර්ණය ආදී සියුම් වේශයෙන් වෙස් ගෙන ඉදිරියට එන මේ ත්‍රස්තවාදය අද ලෝකයේම පොදු සතුරකු බවට පත් වී ඇත. මේ ගැටුමටද මුලට එන්නේ මෙවැනි ත්‍රස්තවාදි ක්‍රියාවකි. කෙසේ වුවද ගැටු­‍ෙමන් පසුව මේ වන තෙක් රටවල් දෙක හැසිරී ඇති ස්වභාවය පැසසිය යුතුය. ඉන්දීය යානාවලට එල්ල වූ ප්‍රහාරය හමුවේ ඉන්දියාවට තවත් ප්‍රතිචාරයක් දක්වන්නට හොඳටම ඉඩ තිබිණි. අනෙක් අතට පාකිස්තාන නව අගමැතිවරයා යළි-යළිත් යුද්ධයක් ගැන නොව, එකට එක්ව හිඳ කතා කරන තැනක හිඳී. ඔහු සාමයේ ඔලිව් අත්ත දිගු කරන්නේ ගුවන් ප්‍රහාරවලදී පාකිස්තානය ග්‍රහණයට ගත් ගුවන් හමුදා නියමුවා නිදහස් කරන බවට ප්‍රකාශ කිරීමෙනි. මේ සියලු දේ වෙනුවෙන් රටවල් ද්විත්වයේම සමාජ ජාලා අඩවි මඟින් හඬ අවදි කරන සාමාන්‍ය ජනතාව අවධාරණය කරන්නේ රටවල් දෙකම සාමයේ මාවතේ ගමන් කළ යුතු බවයි. ඔවුහු යුදවාදය එකහෙළා ප්‍රතික්ෂේප කිරීම මේ සිදුවීමේදී දුටු වෙසෙස් ප්‍රවණතාවකි. බටහිරට සාපේක්ෂව දේශපාලනික වශයෙන් නොදියුණු චින්තනයක සිටින්නේ යැයි කියන දකුණු ආසියාවේ නූතන පරපුර අද මේ අගතිගාමි දේශපාලනය අබිබවමින් මෙවැනි මතවාදයක සිටීම සැබැවින්ම සතුටට කාරණයකි. එය ඇත්තටම මේ කලාපය අත්විඳින ස්වර්ණමය හැකියාවකි. එබැවින් දකුණු ආසියාවේ ස්වර්ණමය අවස්ථා හිමි මේ රාජ්‍ය දෙකත් එහි නායකත්වයත් මේ ‍මොහොතේ ජනතාවට වඩා එහාට ගිය දැක්මකින් යුතුව මේ දෙරටේ අනාගත මාවතට පලස එළිය යුතුය. ඒ සඳහා අවශ්‍ය සෑම සහායක්ම ලබා දීමට ශ්‍රී ලංකාව ඇතුළු දකුණු ආසියානු කලාපීය සෑම රටකම රාජ්‍යතාන්ත්‍රික වගකීම වන්නේය.

Comments