
ඇය බ්‍රයන් සමඟ කලහ කර ගන්නේ නිළිය වික්ෂිප්ත කරවමිනි. ඉනික්බිති ඇයට සිදු වන්නේ තමාට වඩා සිය දහස් ගුණයකින් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන ආධුනික නළු නිළි යුවළ දෙස කට ඇරගෙන බලා ඉන්නටය. ඒ මතකය අමාලිගේ මුවග සිනාවක් නංවයි. වේවැල අබියස සිනාසෙන යුවතිය සිරිමාන්නගේ නොරිස්සුමට කෝපය මුසු කරයි.
වේවැල් පහරක සැර ද රසය ද ඇය ඕනතරම් විඳ තිබේ. විදුහල්පතිවරයාගේ දියණිය ලෙස මේ කුඩා පාසලේදී ලත් වරප්‍රසාද සියල්ල නගරයේ පාසලේදී අහිමි වූ බැවින් අමාලි දිනපතාම පාහේ දඬුවම් ලැබුවාය. මව හෝ පියා කැටිව එන්නැයි අණ කළ විට ඇය පිහිට පතන්නේ බ්‍රයන් වෙතිනි. ඇයට මවක සොයා දීමට ඔහුට වැඩි වෙහෙසක්ද වැඩි මුදලක්ද දරන්නට සිදු නොවෙයි. ඔහු සපයා දුන් මවගේ ජේත්තුකාර විලාසය දුටු අමාලි පුදුමයට පත්වූවාය. තමාගේ සැබෑ මවගේ අහිංසකත්වය හා චාම් සරල බව සිහි කළාය. බොහෝවිට සිදු වූයේ පැයකට දෙකකට ඇගේ මවගේ භූමිකාව රඟදක්වන්නිය ඇගේ මිතුරා සමඟ බහින්බස් වීමය.
“තව කීයක් හරි දෙන්න පුංචි මහත්තයා...” යි ඇය පින්සෙණ්ඩු වන කල බ්‍රයන් කෝපයට පත්වෙයි.
“ඔය ඇති.. ඔය ඇති... අයියෝ ඔයා ඇණයක්නෙ ආන්ටි...”
“දැං ඔහොම කතා කරන්න එපා පුංචි මහත්තයා... ඊයෙ කොහොමද කතා කෙරුවෙ... මට වැන්දෙ නැති ටික විතරයි. ඉල්ලන ඕන ගාණක් දෙන්නම් කීවා නේද?”
අමාලි මේ වාදයට මැදිහත් වන්නේ මිතුරාට ඉඟි කිරීමෙන් අනතුරුවය.
“ඒක තමයි පොරොන්දුවක් වුණා නං බෙල්ල කඩාගෙන හරි ඉෂ්ට කරන්න එපායැ... ඔයා මහ බොරුකාරයෙක්නෙ.”
“මොකක්ද බොරුව...? මං කිව්ව බොරුවක් නෑ...”
ඇය බ්‍රයන් සමඟ කලහ කර ගන්නේ නිළිය වික්ෂිප්ත කරවමිනි. ඉනික්බිති ඇයට සිදුවන්නේ තමාට වඩා සිය දහස් ගුණයකින් විශිෂ්ට රංගනයක් ඉදිරිපත් කරන ආධුනික නළු නිළි යුවළ දෙස කට ඇරගෙන බලා ඉන්නටය.
ඒ මතකය අමාලිගේ මුවඟ සිනාවක් නංවයි. වේවැල අබියස සිනාසෙන යුවතිය සිරිමාන්නගේ නොරිස්සුමට කෝපය මුසු කරයි.
“එක වැරැද්දකට දඬුවමක් දෙන්නෙ නෑ කියන්නෙ තව වැරදි දහයක් කරන්න උල්පන්දම් දෙනවා කියන එකයි...”
“දැං මොකක්ද මං කරපු වැරැද්ද...?”
ඇය බියෙන් තොරව කෝපයෙන් ප්‍රශ්න කළාය.
“ඉස්සෙල්ලා අල්ලනවා අත”
ඔහු විදුහල්පතිවරයාගේ භූමිකාව මැනවින් රඟ දක්වයි.
“මං දඬුවම් විදින්නෙ මොන වරදටද කියන එක දැන ගන්න ඕන මට. ඒක මගේ අයිතියක්..”
ඔහු වේවැල අමෝරා ගත්තේය. ඇය නොසැලී නොබියව හිටි වනම හිටගෙන සිටියාය. ඒ දැඩි හා ඍජු බැල්ම ඔහු පමණක් නොව ඔහු අතැති වේවැල ද දුර්මුඛ කරවන සෙයකි.
“මම යන්නද අමා... ඔයාට තාත්තා එක්ක එන්න පුළුවන්නෙ...”
අනවසරයෙන් කඩා වැදුණු තරුණයා දෙස සිරිමාන්න හෙළුවේ රුදුරු බැල්මකි. ඒ දෙඇසේ කෝපාග්නිය පැහැදිලිව දුටු බැවින් බ්‍රයන් සිනාවක් නඟා ගන්නට වෙහෙසුණේය.
“ප්‍රශ්නයක් නෑනේ... මං එහෙනං යන්නං...”
“ප්‍රශ්නයක් තියෙනවා...”
විදුහල්පතිවරයකුගේ ස්වරයද අධිපති ස්වභාවයද තරුණයා තුළ බියමුසු හැඟීම් දනවයි. උගුලකට හසු වූ සතෙකු මෙන් ඔහු අසරණ විය. ඔහුගේ ව්‍යාකූල බැල්මෙන් අමාලි නොකැලඹුණාය.
“ඔයා යන්න බ්‍රයන්... මෙතන මේ ප්‍රශ්නවලට උත්තර දිදී ඉන්න ඔයාට වෙලාවක් නෑනේ... මමීට අසනීපයි කීවා නේද...?”
තමාගේ මවට ඉහෙන් බහින රෝගයක් නැති බව දත් බැවින් බ්‍රයන් විපිළිසර විය. ඇය ඉඟි කළේ “මොන මෝඩයෙක්ද මංදා” යි අප්‍රසාදයෙන් කොඳුරමිනි.
“ආ... ඔ... ඔව්... මමීට හොඳටම අසනීපයි තමා... මං මේ ආවෙ අංකල් ගෙදර ආවෙ නෑ කියලා අමා අඬන්න ගත්ත හිංදා...”
සිරිමාන්න වහා සිය දියණිය දෙස බැලුවේය. ඔහුගේ බැල්ම කොතෙක් තියුණු වී දැයි කිවහොත් ඇය අපහසුතාවයට පත් වූවාය.
“බොරු කීමත් බරපතළ වරදක් ඉලංදාරියා..” යි ඔහු තරවටු කළේ වහා පිටව යාමේ බලවත් වුවමනාවෙන් පෙළෙන තරුණයාටය.
“ඒ... ඒ කිව්වෙ අංකල්?”
“මං නෑ කියලා අඬන ළමයෙක්ද මෙයා..?”
අමාලිට ඒවා හුදු වචන පමණක් නොවේ. ඇගේ දෑස හැකිළී ගියේය. ශෝකයද කෝපයද මැඬගන්නට ඇය වෑයම් නොකළාය.
“ප්‍රින්සිපල් කෙනෙක් නැති වුණා කියලා අඬන්නෙ නෑ තමා ළමයෙක්. ඉස්සෙල්ලම තාත්තෙක් වෙන්න තාත්තේ... හැම තිස්සෙම අනිත් කෙනාගේ අඩුපාඩුයි වැරදියි විතරක් දකින්න එපා... පුංචිම පුංචි හොඳක් හරි ඇතිනෙ ඕනැම කෙනෙක්ගේ. ඒ හොඳත් දකින්න පුරුදු වෙන්න නරක දකිනවා වගේ ම...”
සිරිමාන්න අත වූ වේවැල ඉහළට එසවෙනු ඇතැයි බ්‍රයන් බලාපොරොත්තු විය. එහෙත් වේවැල මිරිකාගත් අත පහත වැටිණ.
අමාලි පිටව ගියේ කිසිවෙකු දෙස නොබලාමය. ඇය පසුපස යාමට වුවමනා වුවද බ්‍රයන් පියෙකුගේ ශෝකය නැරඹුවා විනා පයක් නොඑසෙව්වේය. ඒ මොහොතේ ඒ තදබදයෙන් පත් කාමරය තුළ ඔහු අබියස වේදනාවෙන් ඇඹරුණේ පියෙකු විනා විදුහල්පතිවරයෙකු නොවේ.
යතුරුපැදිය පණ ගන්වන හඬින් සිහි එළවාගත් බ්‍රයන් වහා මිදුලට දිව්වේය.
“අමා...” යි ඔහු බෙරිහන් දුන්නද ඇය යතුරුපැදියේ වේගය වැඩි කළා පමණි. ඔහු යතුරු පැදිය පසුපස මඳක් දුර දිව ගියේ “ඉන්න... ඔහොම ඉන්න...” යි ඉල්ලා සිටිමිනි.
“ෂික්...” යි අපමණ නොරිස්සුමින් ගේට්ටුව අබියස නැවතී හතිලන තරුණයා මත රැඳුණු දෙනයන දයානුකම්පාවෙන් හැකිළී ගියේය.
“අමා... තමුසෙව අල්ලගත්තොත් මං ගහන එක ගහනවා හොම්බ කට සමතලා වෙලා යන්ඩ...”
කුරුමානම වැරදුණු සිවුපාවෙකු මෙන් ඔහු ගෙරෙව්වේය. ගේට්ටුවට පා පහරක් එල්ල කිරීමෙන් පවා ඔහුගේ කෝපය තුනී නොවීය.
“ඔය ගේට්ටුව කඩන්නෙ නැතුව නඟිනවා...”
“ඉතා සෙමින් හා සීරුවට ළඟා වූ මෝටර් රිය දෙස නොබලා සිටින්නට වෑයම් කළ බ්‍රයන් අතකින් හිසකේ අවුල් කළේය. ඒ වර්ණ ගැන්වූ හිසද සිරිමාන්නගේ කෝපය හා අප්‍රසාදය අවුළුවාලයි.
“නඟිනවා... නඟිනවා...”
ඔහු රළු හඬින් අණ කළේය. බ්‍රයන් වහා අවනත විය.
“යාළුවා ගියා නේද දාලා...?”
තරුණයා නිහඬවම පසුවිය. සාමාන්‍යයෙන් මුඛරි එකෙකු වන ඔහු මේ කුඩා මෝටර් රිය තුළදී ගොළුව ගිය ගානය.
“මොකටද ඒ මෝඩිට යතුර දුන්නෙ...?”
“දු... දුන්නෙ නෑ අංකල්... උදුර ගත්තා...”
සිරිමාන්න හඬ නඟා හිනැහුණේය. ඔහු වාහනයේ තිරිංග තද කළේ සිනාසීම උදෙසා නොවේ.
“ගේට් එක වහල එනවා...”
තමා කුඩා දරුවෙකු සේ සලකා අණ කිරීම පිළිබඳ නොමනාපයෙන් වුවද තරුණයා කිසිවක් නොපැවසුවේය.
ගේට්ටුව වසා දමන්න වැඩි වේලාවක් මිඩංගු නොකළ බ්‍රයන් නැවත වාහනයට නැංගේය. ඔහුගේ මුහුණ එල්ලා වැටෙන බව දුටු සිරිමාන්න සිනාව මැඬ ගත්තේය.
“අතක් පයක් කඩාගෙන ඉස්පිරිතාලෙ ලගින්න වෙයි කියලයි මට බය...” යි ඔහු සිය දියණියගේ රැකවරණය පිළිබඳව කනස්සල්ලට පත්විය.
“ඒකිගෙ අතපය කඩනකං මටත් ඉවසිල්ලක් නෑ...” යි නොකියා සිටින්නට බ්‍රයන් වගබලා ගත්තේය.
ලබන සතියට...