
අවුරුදු අනු එකක් යනු කාගේ හෝ රැකවරණය ලබමින් සිටිය යුතු වයසකි. නමුදු මේ මාතාව කිසිවෙකුගේ හවුහරණක් නැතිව එළු පට්ටියක් බලාගෙන ජීවිතය ගැට ගසා ගත්තාය. පසුගිය දා අසරණිය දුකට පත්කරමින් කවුරුන් හෝ එළුපට්ටිය සොරා ගෙන ඇත්තේය. එළු පට්ටිය ඇයට ලැබුණේ ස්වෙච්චා සංවිධානයකිනි. එළුවන් හදාගෙන කිරි විකිණිමෙන් අතට මුදලක් ගත්තාය. මුදලටත් වඩා ඒ එළුවන් ඇයට දරුවන් මෙනි. එළුවෝද ඇගේ හඬ ඇසූ පමණින් ඈ වෙත දිව ආහ. ආදරයෙන් රැක බලාගත් එළු පට්ටිය අහිමි වීමෙන් දැන් ඇය මානසිකව ද පිඩාවට පත්ව සිටින්නීය.
ඇය බොහෝ වියපත්ය. වයස අවුරුදු අනූ එකකි. කලකට පෙර ඈ පුතු අතරුදහන් වුයේය. සිටියේ එකම දියණියකි. ඇයද විවාහ වූ අතර මේ අම්මා තමන් පදිංචිව සිටි නිවෙස දියණියට බාර දී වෙනත් තැනක පදිංචියට ගියාය. වයසක මාතාව දැන් පදිංචිව සිටින්නේ මන්නාරමේ මුරුන්කන් පොලිස් වසමේ වෙල්ලාලකඩ්ඩු ගම්මානයේය. කිසිවෙකුගෙත් හව්හරණක් නැති ඇය ජීවිකාව ලෙස එළුවන් ඇති කරන්නීය. එළු කිරි විකිණීමෙන් ලැබෙන මුදලින් එදා දවස ජීවත් වන මේ ආච්චි අම්මා පසුගියදා පොලිස් නිලධාරින් හමුවේ හඬා වැටුණාය. ඒ සිය එළු පට්ටියම අතුරුදහන් වීම නිසාය.
ගමේ කවුරුත් එළු ආච්චි නමින් හඳුන්වන ඇය සෙල්ලයියා රාසම්මා නම් වන්නීය. මීට කලකට පෙර ඇගේ සැමියා ද මිය ගියේය. දැන් ඇය ජීවත් වන්නේ තනියෙනි. ඇගේ තනි නොතනියට සිටි එකම පිරිස වූයේ ඇය ආදරයෙන් හදා වඩා ගත් එළු පට්ටිය පමණි.
එළු ආච්චිට තිබූ එකම ආදායම් මාර්ගය එළු පට්ටිය පමණි. ඊට අමතරව රජයෙන් ලැබෙන ආධාර මුදලත් පමණි.
“ ආඬවනේ මුරුගා... මට එළුවො විසි හතර දෙනෙක් හිටියා. ඒත් පස්සේ හිටියේ එළුවෝ දහනව දෙනෙක් විතරයි. මම මේ එළුවෝ මගේ දරුවෝ වගෙයි හදා ගත්තේ.
බා බා එළිච්චි කිව්වාම මහ එළිච්චි මා ළඟට එනවා. ඒකිගේ පස්සේ තමයි අනිත් උන් ඔක්කෝම ටික එන්නේ. එළිච්චි වුණත් ඌ මට ගොඩාක් ආදරෙයි. උන් සත්තු වුණත් මගෙ කටහඩ ඇහෙන කොට මගෙ ළගට එන්න පොරකනවා. ඒ පොර කනකොට උන් එකාගේ පිට එකා නගිනවා. මම උන් හැමෝගෙම ඔළුව අත ගාන්න ඕනේ. මම කොළ අතු අතින් අරන් උන්ට දික් කරනකල් සමහර දාට පුංචි එළුවෝ කොළ අතු කන්නේ නෑ. ඒ තරමටම උන් මට ආදරෙයි..හීළැයි.
මම එදත් වෙනදා වගේම එළුවෝ රංචුව වැව්ඉස්මත්තට දක්කගෙන ගියා. උන් හැමදාම යන ලදු කැළේට උන් ටික යවලා මම මොනව හරි උයන්න ඕන කියලා ගෙදර ආවා. හැමදාම එහෙම තමයි කරන්නේ. මම ඇවිත් උයලා කාලා ගෙදර වැඩ ටික කරලා අව්ව බහින කොට තමයි ආයෙත් මේ එළුවෝ ටික ආපහු ගේන්න යන්නේ. ගමේ අය සේරමමගේ එළුවෝ ටික අඳුනනවා. අනිත් එළුවෝ ඉන්න අය මගේ එළුවන්ටත් වැවෙන් වතුර පොවනවා. කොහේ හරිපැටළුණොත් ඒකත් ලිහනවා. එදා හවස මම ගිහින් මගේ ලොකු එළිච්චිට බා..බා...එලිච්චි කියලා කතා කළා. කිසිම සද්දයක්නෑ. මම හැම තැනම ඇවිද්දා කෑ ගහ ගහා. වැවට නාන්න ඇවිල්ලා ඉන්න අයත් මගෙ එළුවෝ හොයන්න උදව් කළා. මහ රෑ වෙන තුරුම අපි එළුවෝ හෙව්වා. ඒත් එළුවෝ ගැන කිසිම තොරතුරක් නෑ. මට හොඳටම විශ්වාසයි මේ ගමේ කිසි කෙනෙක් මගෙ එළුවෝ ටික හොරකම් කරන්නේ නෑ. පිටින් ආව කවුරු හරි තමයි මගේ මේ එළුවෝ ටික අරගෙන යන්න ඇත්තේ.”
එළු ආච්චිගේ නිවසට පැමිණි මුරුක්කන් පොලිසියේ නිලධාරින්ට වඳිමින් හඬා වැටෙමින් ඒ මහලු කත ඉල්ලා සිටියේ කෙසේ හෝ තමන්ගේ එළුවන් ටික සොයා දෙන ලෙසයි. පොලිස් නිලධාරින්ට වරෙක දෑත් එකතු කොට ආයාචනය කරන ඇය ඒ එක්කම ඇගේ ගෙමිදුලේ ඇති කුඩා කෝවිලට දිව යමින් කෝවිල තුළ තබා ඇති දේව රූපඑවලටද කන්නලව් කරන්නීය. පොලිස් නිලධාරීන් පිළිබඳ බොහෝ විට අසන්නට ලැබෙන්නේ හිත්පිත් නැති පිරිසක් ලෙසය. එසේ නමුත් මන්නාරම මුරුන්කන් පොලීසියේ නිලධාරීහු හා ස්ථානාධිපතිවරයා මේ එළු ආච්චිගේ නිවෙසටම ගොස් ඇය වෙනුවෙන් රාජකාරී කිරීමට දැඩි වෙහෙසක් දරණ අතරතුරම ඇයව සනසාලීමටද අමතක නොකළහ. එළුවන් අහිමි වීමෙන් දැඩි දුකට පත්ව සිටින ආච්චිට පොලිස් නිලධාරීන්ගේ වදන් මද සැනසිල්ලක් ගෙන ආවේය.
හොරා ගන්නා ලද එළුවන් දහනව දෙනාගේ දළ වටිනාකම ලක්ෂ තුනකටත් වඩා වැඩිය. ආච්චිගේ එකම ආදායම වුයේ කිරිවලින් හා පට්ටියට අලුතෙන් ලැබෙන එළු පැටව් අලෙවි කිරීමෙන් ලැබෙන ආදායමය.
එළුවන් අහිමි වීමෙන් දැන් ඇය සිටින්නේ දැඩි මානසික පීඩනයෙනි.
මන්නාරමේ එළු ආච්චි නානාට්ටන් ප්රදේශයේ සෑම අයෙකුම පාහේ දන්නා තැනැත්තියකි. පළාතේම ජනතාවගේ ආදරය අනුකම්පාව මෙන්ම විශාල ගෞරවයක් ද දිනා සිටින්නීය. නානාට්ටන් පළාතේ වෙල්ලාලකඩ්ඩු කොට්ඨාශයේ සමෘද්ධි නියාමකවරයෙකු වන නිකලස් කෲස් මේ එළු ආච්චි පත්ව සිටින මානසික කම්පනය පිළිබඳ කතා කළේ ශෝකයකිනි.
“මම ගොඩාක් බයෙන් ඉන්නේ එළු ආච්චිට මොනවහරි විපත්තියක් වෙයි කියලා.
එළුවෝ නැති වුණු වෙලාවේ මට ආරංචි වෙලා ඇගේ නිවෙසට යන විට ඇය මිදුලේ කෝවිල ගාව මහ හයියෙන් අඬමින් හිටියේ. පොලීසිය කොහොම හරි මේ එළුවන් හොරකම් කළ අය අත් අඩංගුවට ගත්තොත් ලොකු දෙයක්. ඒත් ප්රශ්නෙකට තියෙන්නේ හොරු අහු වුණත් එළුවෝ ටික හොඳින් ආපසු ලැබෙයිද කියන එකයි. ඒ ගැන විශ්වාස කරන්න අමාරුයි. සමහර විට එළුවෝ ගෙනිච්ච ගමන් කරන්නේ මස් කඩවලට විකුණන එකයි. පොලීසිය ඒ හැම තැනක්ම චෙක් කරලා තියනවා. ඒත් එහෙම ආරංචියක් නෑ. පිට පළාතකට ගෙනිහින්ද දන්නෙත් නෑ. ආච්චි ඉස්සර හිටියේ මන්නාරමේ මුසලි කියන ගමේ. දරුවෝ දෙන්නෙක් ඉන්නවා. ආච්චි කියන්නේ යුද්ද කාලෙම පුතා ගැන ආරංචියක් නෑ කියලයි. එයා යුද්දෙ කාලේ අතුරුදහන් වුණා කියලා ආච්චි ඒ වෙනුවෙනුත් ලියවිලි බාරදීලා තියෙන්නේ. දුව කසාද බන්දට පස්සේ ආච්චිගේ ගෙදර ඒ දුවට දීලා ආණ්ඩුවෙන් ලැබුණු මේ ඉඩමේ තමයි පොඩි ගෙයක් හදාගෙන දැන් ජීවත් වෙන්නේ. ඉස්සර ආච්චි එළවළු වැව්වා. කොච්චර වයසට ගියත් හොඳට මහන්සි වෙලා වැඩ කරනවා.
මේ ආච්චිට රාජ්‍ය නොවන සංවිධානයකින් අවුරුදු කීපෙකට ඉස්සර වෙලා එළුවන් හතර දෙනෙකුයි එළ දෙනුන් දෙන්නෙකුයි දීලා තිබුණේ. එළවළු වගාව අස්සේ එළදෙනුන් බලන්න අමාරු නිසා ඒ සත්තු වෙන කෙනෙක්ට බගෙට බාගෙ පදනම මත බලා ගන්න දීලා තියනවා දැන් ඒ පට්ටියත් ලොකු නිසා මේ ආච්චිට කිරි ආදායමක් එක්ක පැටව් ආදායමකුත් ලැබෙනවා. මේ සිදුවෙච්ච දේ නිසා දැන් එයා පිස්සියක් වගේ හැසිරෙන්නේ.
හරීම උත්සාහවන්ත ආච්චි කෙනෙක්. ඒ වගේම කරුණාවන්තයි. ආච්චි මෙච්චරකල් කාටවත් අතපාන්න ගිය කෙනෙක් නෙමෙයි.”
සමෘද්ධි නියාමකවරයා පවසන්නේ එළු ආච්චි ගැන අනුකම්පාවෙනි.
රසුල දිල්හාර ගමගේ