
අපි සහනාධාර බලාගෙන හිටියේ නෑ. නියඟයට ගංවතුරට සැලුණේ නෑ. ගව පට්ටිවලින් ගෙනා ගොමයි වැවේ රොන්මඩයි ගෙනැවිත් දමා මං මට ලැබුණු රළු ඉඩම උත්සාහයෙන් හා කැප වීමෙන් සරු කරගත්තා. අද අපේ ගෙවත්ත අංග සම්පූර්ණයි
උත්සාහයයි උනන්දුවයි ඇත්නම් කළ නොහැක්කක් නොමැත. සියල්ලම කවුරුන් හෝ සර්ව සම්පූර්ණ කර දෙන තුරු නොසිට ස්ව උත්සාහයෙන් මුඩු බිමක් ඇස්වැද්දු ඔහු මිරිස් කරලේ සිට සියලු භෝග තම ගොවි බිමේ වැව්වේය. ඔහුගේ උත්සාහය මල්ඵල ගන්වමින් ඔහු මහවැලි කලාප දහයේම අතුරින් හොඳම මහවැලි ගොවියා ලෙසින් ඉකුත් දා කිරුළු පැලැඳුවේය.
“සහනාධාරයක් බලාපොරොත්තුවෙන් කිසි දා අපි රජයට බැණ බැණ හිටියේ නැහැ. නියඟය, ගංවතුර හෝ වල් අලි තර්ජන කියන එක කරදරයකටවත් මම සැලුණේ නැහැ. උත්සාහයෙන් හා කැප වීමෙන් මගේ ගෙවත්ත සශ්‍රික වගාබිමක් බවට පත් කරගත්තා. අද අපේ ගෙවත්ත අංග සම්පූර්ණයි.”
මෙවර මහවැලියේ මහ ගොවියා ලෙස මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා වෙතින් කිරුළුපලන් දිඹුලාගල, පැලැටියාවේ ආර්. එම්. කළුබණ්ඩා ගොවි මහතා එසේ උදම් අනන්නේය. ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනය පෙනෙන මානයේ ජීවත් වන ඔහු මෙතෙක් තමන් පැමිණි ගමන් මඟ පැහැදිලි කරන්නේ දැඩි සතුටකිනි.
“ඉඩම්ලාභීන් විදිහට අපි මහවැලි බී කලාපයේ ඇල්ලේවැව කොට්ඨාසයේ පදිංචියට ආවේ 1985 අවුරුද්දේ. මට මහවැලියෙන් ලැබුණේ ගොවීන් එපා කියලා අතහැර දැමූ රළු ඉඩමක්. මුල් කාලයේ මේ ඉඩමේ වගා කරන්න හිතන්නවත් බැහැ. මම ගමේ ගව පට්ටිවලට ගිහින් ගොම පොහොර ගෙනාවා. වැව ගොඩදමන අවස්ථාවේ පස් ගෙනාවා. ඒවා වත්තට දාලා මහවැලි අධිකාරියේ නිලධාරී මහතුන්ගේ උපදෙස් මත සැලසුම් සහගතව ගෙවත්ත වගා කළා.
දැන් දිනපතාම එළවළු ගන්න අපේ ගමේ වගේම අවට ගම්වලිනුත් විශාල පිරිසක් මගේ ගෙදරට එනවා.
ඒ එන අයට තමන්ගේ ගෙවත්තෙ එළවළු පාත්තියක් හදාගන්න මම මඟ පෙන්වනවා.
මේ වැඩකටයුතුවලට මගේ බිරිය ඉන්ද්‍රාණි වගේම පුතාගේ බිරිය සහ දරුවො උදව් කරනවා. ගෙවත්තේ පවත්වාගෙන යන කුකුළු ගොවිපොළෙන් බිත්තර අලෙවි කරලා දෛනිකව ඉහළ ආදායමක් උපයා ගන්නවා. ඒ වගේම වගාවට අවශ්‍ය කාබනික පොහොර නිෂ්පාදනයත් අපිම කරනවා. කෘමිනාශක මෙන්ම දිලීර නාශක හදන්නෙත් ශාකශාරවලින්මයි.
ඒ නිසා කිසිදු රසායනිකයක් මගේ එළවළුවල නැහැ. ගෙවත්තේ කැපූ වගා ළිඳෙන් වතුර පොම්ප කරලා වගාවට යොදනවා. මහවැලි අධිකාරිය මගේ මේ හැම කටයුත්තකදීම උදව් උපකාර කළා. අපේ ගෙදර අයට අවුරුද්ද පුරාම වැඩ තිබෙනවා. ඒ වගේම දෛනිකව ආදායමකුත් ලබනවා.”
ඒ ගෙවත්තේ සෑම තැනකම උඩරට සහ වියළි කලාපයේ එළවළු වගාය. කරවිල, පතෝල, බණ්ඩක්කා හා මෑකරල් වැනි වියළි කලාපයේ එළවළු මෙන්ම ගෝවා, කැරට්, බීට්, රාබු වැනි උඩරට එළවළුද සරුසාර ලෙස වගා කොට ඇත. කව්පි, මුංඇට වැනි ධාන්‍ය වර්ග එක් පසෙකය. තවත් තැනක කහ, ඉඟුරු පියලි, ඉඟුරු, කෝමාරිකා වැනි දේශීය ඖෂධ වගා ය. අඹ, අන්නාසි, ජම්බු, පේර, දෙළුම් හා කෙසෙල් ආදී පලතුරු වගා ගෙවත්තට අසිරියකි.
ගමේ කවුරුත් ඔහු හඳුන්වන්නේ කළුබණ්ඩා මාමා ලෙසිනි. ඔහු සහ පවුලේ උදවියගේ දෑතේ සවිය කැමරා කාචයේ සටහන් කරගනිමින් අපි වත්ත පුරා ඇවිද ගියෙමු.
මහවැලි මහ ගොවියා වූ තම පියාට යෝධ ශක්තියක් වන ආර්.එම්. චමින්ද රත්නායක තරුණ ගොවි මහතා තමා නිරත කාර්යයේ යෙදෙමින්ම අප හා කතාබහට එක් වීය.
“මහවැලියට පැමිණි සෑම කෙනෙකුටම කුඹුරු අක්කර දෙක හමාරක් සහ පදිංචියට ගොඩ අක්කර බාගයක් ලැබුණා. මේ අය අතරින් වැඩි දෙනෙක් කරපිංචා මිටියත් පොළෙන් ගන්නවා. නමුත් ගොවිතැනට ආව අපිට නම් එය මදිකමක්. ඒ නිසා අපි ගෙදරට අවශ්‍ය සියලුම දේ ගෙවත්තේ වගා කළා. කුඹුරු වැඩට යොදවා ඉතිරි වන කාලය සම්පූර්ණයෙන්ම ගෙවතු වගා සංවර්ධනයට යෙදවුවා. අද අපේ ගෙවත්තෙන් දෛනිකව ඉහළ ආදායමක් උපයාගන්නවා.
ගෙවත්ත පුරා එළවළු සහ පලතුරු වගා ය. එමෙන්ම ඉවත ලන ප්ලාස්ටික් බෝතල් මල්පෝච්චි ආදියෙත් සාර්ථක වගාවන් වෙයි. පැලැටියාව ගම්මානයට නිරන්තරයෙන් වන අලි කඩා වදිති. කුඹුරු සහ ගෙවතු වගා පමණක් නොව නිවාසවලටද දැඩි අලාභහානි සිදු කළ අවස්ථා දැක ගත හැකි විය. එවැනි තත්ත්වයක් තුළ වන අලින්ගෙන් වගාව ආරක්ෂා කරගන්නේ කෙසේදැයි අප සිත් තුළ කුහුලක් ජනිත විය.
මහ ගොවියාගේ යෝධ ශක්තිය වූ ඉන්ද්‍රාණි රත්නායක මහත්මිය ඒ ගැන කරුණු කාරණා අපට පැහැදිලි කළාය.
“අපි ගෙවතු වගාව පටන්ගෙන දැනට අවුරුදු පහක් වෙනවා. මේ වගාව පටන් ගත්තට පස්සේ එක වතාවක්වත් අලින්ගෙන් කරදරයක් වුණේ නැහැ. අපේ අසල්වැසියන්ගේ වතුවලට අලි එනවා. ගමේ ගෙවල් කඩනවා. නමුත් කවදාවත් අලින්ගෙන් අපට නම් කරදරයක් නැහැ. පහුගිය අවුරුද්දේ එක දවසක් තනි අලියා වැට ළගට අැවිත් මඤ්ඤොක්කා පඳුරක් ගැලෙව්වා. ඒ වෙලාවේ පුතාලගේ තාත්තා මිදුලට බැහැලා කෑගහලා කිව්වා, ‘පුතා අපිට කරදර නොකර ගලවා ගත්ත පඳුර අරන් පලයන්. ආයෙ නම් මේ පැත්තෙ ඇවිත් අපිට කරදර කරන්න එපා‘ කියලා. අපි අලි වෙඩි දැම්මේ නැහැ. ගින්දරවලින් ගැහුවේ නැහැ. කරුණාවෙන් කතා කළා. අලියා ගලවපු මඤ්ඤොක්කා පඳුර මිදුලට විසි කරලා කෑ ගහගෙන දිව්වා. අයෙත් නම් පැත්ත පළාතේ ආවේ නැහැ. ඊට පස්සෙ වල් අලි අපේ වත්ත වටේට යනවා හැබැයි ගෙවත්තට පැනලා හානි කරලා නැහැ. සතුන්ට කරුණාව දක්වනවා නම් අපිට උන්ගෙන් හානියක් වෙන්නෙ නැහැ.”
අක්කර බාගයක් වූ කළුබණ්ඩාගේ ගෙවත්ත දර්ශනීය ගොවිපොළකි. එළවළු වගාව මැදින් ඇවිදගෙන යන අයට ජීවිතයට එකතු කරගත හැකි ආදර්ශ පාඨ ද බොහෝමයකි. මෙහි ගොවිජන ජීවිතය නඟා සිටුවීමේ පූර්ණ බලතල සහිත නිලධාරියා මහවැලි බී කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනකාර තුෂාර දන්තනාරායන මහතාය. මහවැලි බී කලාපයට කීර්තියක් අත් කරදුන් මහගොවියා ඇතුළු පවුලේ උදවිය ගැන ඒ මහතා සතුටින් කතා කරයි.
“කළුබණ්ඩා මහතාට මහවැලි අධිකාරියේ කෘෂිකර්ම අංශය පුළුවන් උපරිමයෙන් මඟ පෙන්වීම් කළා. පහසුකම් ලබා දුන්නා. ඇල්ලේ වැව කොට්ඨාස කළමනාකාර ජයකොඩි මහතා, පැලැටියාව ඒකක කළමනාකාරතුමිය නිරන්තරයෙන් මඟ පෙන්වීම් කළා. ඒ ගොවි මහතාත් අප පැවැත්වූ පුහුණු වැඩසටහන්වලට සහභාගී වුණා. ඒ අනුව වගා බිම සැලසුම් කළා. ඉදිරියේදී මහවැලි බී කලාපයේ සෑම ඒකකයකම එවැනි වස විස නැති ගෙවතු වගා 20 බැගින් ආරම්භ කරනවා. සාර්ථක ගෙවතු වගාවක් කිරීමට කැමති අය කළුබණ්ඩා මහතාගේ ගෙවත්ත නිරීක්ෂණයට යන ලෙස මම ඉල්ලා සිටිනවා.”
නියඟයට, වන අලින්ට හෝ රජයට දෙස්දෙවොල් තබමින් නොසිට දෙපයින් නැඟී සිටීමට උත්සහ දරන කළුබණ්ඩා වනි ගොවි මහතුන් අගය කළ යුතුය. මහවැලි අධිකාරිය එවැනි ගොවි මහතුන් හඳුනාගෙන ඔවුන් තවත් දිරිමත් කළ යුතුය. උත්සාහය තිබෙනවා නම් කාන්තාරයක් වුණත් ක්ෂේමභූමියක් කළ හැකි බව කළුබණ්ඩා මහතාගේ ඉඩමට යන ඕනෑම කෙනෙකුට පැහැදිලි වනු ඇත. මහවැලියේ සෙසු ගොවි මහතුන්ගේ ගෙවතු ටිකත් මේ විදිහටම සශ්‍රික කිරීමට මහවැලි කලාප භාර නිලධාරීන්ට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරමු.
ප්‍රසන්න සිල්වා
ඡායාරූප- දිඹුලාගල සමූහ