
බස්පොළේ වෙළෙන්දා
පසු ගිය තිස් වසර පුරා ම මට ඔහු හොඳට පුරුදු ය. දැන් ඉන්නේ ඒ කාලේ හිටි හැඩකාර මුස්ලිම් තරුණයා නොව කටේ එක ම දතක්වත් නැති සීයා කෙනෙකි. ඔහු බසයට නැඟුණු හැටියේ ම මට අල්ලපු අසුනේ හිඳ සිටි වැඩිහිටියාට බොම්බයි මොටයි පැකට් එකක් වික්කේ ය. තවත් මගියකු හා කතාවට වැටී සිටි වැඩිහිටියා රුපියල් සීයක් දිගු කරනවා මම දුටිමි. එය අතට ගත් බොම්බයි මොටයි වෙළෙන්දා ටිකකින් ඔහුගේ උරහිසට තට්ටු කර දෙසීයක ඉතුරු දුන්නේය.
ඉරිදා පොළට ගොස් එළවඵ ටිකක් මිල දී ගෙන හණික බස් පොළට ආවේ මද්දහනේ අව්ව සැර වීමට පෙර ගෙදරට යාගනු පිණිස ය.
හොඳ වෙලාවට මා යන විට ම බසයක් ආවේ ය. වැඩි දැඟලිල්ලකින් තොර ව අසුනක හිඳ ගැනීමට මට හැකි විය.
සුපුරුදු බොම්බයි මොටයි වෙළෙන්දා හඬ දීගෙන බසයට ගොඩ විය. පසු ගිය තිස් වසර පුරා ම මට ඔහු හොඳට පුරුදු ය. දැන් ඉන්නේ ඒ කාලේ හිටි හැඩකාර මුස්ලිම් තරුණයා නොව කටේ එක ම දතක්වත් නැති සීයා කෙනෙකි.
ඔහු බසයට නැඟුණු හැටියේ ම මට අල්ලපු අසුනේ හිඳ සිටි වැඩිහිටියා ට බොම්බයි මොටයි පැකට් එකක් වික්කේ ය. තවත් මගියකු හා කතාවට වැටී සිටි වැඩිහිටියා රුපියල් සීයක් දිගු කරනවා මම දුටිමි. එය අතට ගත් බොම්බයි මොටයි වෙළෙන්දා ටිකකින් ඔහු ගේ උරහිසට තට්ටුකර දෙසීයක ඉතුරු දුන්නේ ය.
‘වැඩියි නේද? මං සීයයි දුන්නෙ” මගියා කීවේ ය.
‘ඔයා මට දීපු සීයේ දෙසීයක් පැටලිලා තිබුණ. මට ඕන්නං තිබුණ ඒක තියා ගන්ඩ. ඒත් ඒව පව් වැඩ. එහෙම කරන්ඩ හොඳ නෑ. අපි කවුරුත් මිනිස්සු‘ කියමින් බොම්බයි මොටයි වෙළෙන්දා බසය ඇතුළට ගියේ ය.
ඒ මසුරං වැඩේටත්, ඒ මසුරං කතාවටත් හිත ගිය මගීහු ගෙල හරවා වෙළෙන්දා දෙස බැලූහ. අපූරු මිනිසකුට නිර්ලෝභී ව පුද කැරෙන කෘතගුණ පූර්වක බැල්මක් ඒ මූණුවල ඇඳී තිබිණ.
‘දැක්කද? අන්න බලන්ඩ! එයාට තිබුණනේ නොදන්න ගාණට වැඩිපුර සීයෙ කොළේ තියාගෙන මට එක සීයක ඉතුරු දීල දාන්ඩ. ඒත් එයා එහෙම කෙරුවෙ නෑ අවංක මනුස්සයෙක්“ කී අර වැඩිහිටියා අනෙක් පස දොරටුවෙන් බසිමින් සිටි වෙළෙන්දාට අත්පුඩි ගසා කතා කර තවත් බොම්බයි මොටයි පැකට් එකක් මිල දී ගත්තේ “ඔයාව මං මතක තියා ගන්නං. මගෙ දරු මුනුබුරන්ටත් කියන්නං“ කියමිනි.
මෙවිට වෙනත් මගීන් දෙතුන් දෙනෙකු ද වෙළෙන්දාගෙන් බොම්බයි මොටයි මිල දී ගත්තේ ඒවා වුවමනාවට නොව ඔහුට ක්‍රියාවෙන් පැසසීමට බව මට පසක් විය.
වෙළෙන්දා බැස ගිය විගස අලුතෙන් කතාවක් පටන් ගත්තේ එතැන ම අසුන් ගෙන සිටි තරුණ පහේ කෙනෙකි.‘බලන්ඩකො මට වෙච්ච වැඩේ!“ යැයි කියමින් ඔහු කතාව අරඹද්දී අපි කුතුහලයෙන් යුතු ව ඊට සවන් දුනිමු. ඔහු බිලක් පෙන්වමින් කීවේ තමා වැඩට ගොස් සිටි පසුගිය සතියේ දිනක ගෙදරට ආ සේල්ස් රෙප් කෙනෙකුට රැවටුණු සිය බිරිය ඔහුට අත්පිට රුපියල් විසිදාහසක් ගෙවා මිල දී ගත් විද්‍යුත් උපකරණය ක්‍රියා විරහිත බව යි. බිල්පතේ ඇති දුරකථන අංකයට ඇමතුමක් දුන් බවත්, ගැටලුව කී පසු එම අංකය විසන්ධි වී ඇති බවත් කී ඔහු ඉන්පසු බිලේ සඳහන් ලිපිනය සොයාගෙන ගම්පහ ගබඩාවකට ගිය මුත් එහි බලධාරියා කීවේ කීප දෙනෙකු තමන්ගෙන් බඩු ගන්නා බවත්, අදාළ භාණ්ඩය මිල දී ගත් පුද්ගලයාගේ විස්තර දන්වන ලෙසත් ය.
“දැං මං යන්නෙ පොලිසියට. ගිහිං පැමිණිල්ලක් කරල බලනව“ ඔහු සුසුමක් හෙළුවේ ය. ඉන් පසු මගීන්ගේ මාතෘකාව වූයේ එය ය.
‘රුපියල් විසිදාහක් කියන්නෙ කජු ඇටද කොස් ඇටද? ඔයාග නෝන ඇයි ඔච්චර සල්ලියක් කොහෙවත් යන කපටියෙකුට දන්දුන්නෙ ?‘ ගැහැනියක ඇසුවේ වේදනාවෙනි.
‘එයා රැවටිලා. මොනව කරන්ඩ ද? මෝඩකම තමා‘ මගීන් හමුවේ තම බිරියගේ ආත්මගෞරවය රැක ගන්නට සැමියාට සෑහෙන මහන්සියක් ගැනීමට සිදු විය.
මට දුක සිතිණ. වචනයකින් හෝ ඔහු ගේ හිත හැදිය යුතු යැයි මට සිතිණ.
‘මහත්තය, ඔයා පොලීසියට ගිහිං ලොකු මහත්තය හම්බවෙලා වෙච්ච දේ හරියටම කියන්ඩ. ඔයාට සාධාරණය ඉෂ්ඨ වෙයි “ මම කීමි. ඔහු මවෙත කෘතඥතාව පළකැරෙන බැල්මක් හෙළුවේ ය.
අනන්‍යතාව සඟවා සිටීමට කැමැති සිළුමිණ පාඨකයකු විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
සුදු පුතා
මපුතු පාසල අසලින් බස්සවා ඔහු පාර මාරු වු පසු මගේ පාසල වෙත යෑම මගේ පුරුද්ද ය.
පසුගිය දවසක මේ පිළිවෙත වෙනස් කිරීමට සිදු වූයේ රියට තෙල් ගසා ගැනීමට තිබූ නිසා ය. ඒ නිසා මපුතු පාර මාරුවනු බලා සිටීමට මට බැරි විය.
ඉන්ධන හලේ සිට ආපසු පැමිණ පාසල ඉදිරිපිට කහඉර අසල රිය නවත්වා පාර දෙස බලන විට දුටු දෙයින් මම පුදුම වීමි. මපුතු විරුද්ධ දිසාවට පාර මාරුවෙමින් සිටියේ ය.
ඒ දුටු මට කේන්ති ගිය ද ඔහු කිසියම් උවමනාවකට යන්නට ඇතැයි හිත හදාගෙන මගේ ගමන පිටත් වීමි.
පාසලට ගිය ද විටින් විට පුතු සිහි විම නිසා එක හිතකින් වැඩ කිරීමට මට බැරි විය. බැරි ම තැන ගෙදරට ඇමතුමක් ගෙන බිරියට කතාව කියා හිත හදා ගතිමි.
යටපත්ව ගොස් තිබූ මගේ හිතේ කේන්තිය පාසල ඇරී හවස මා ගෙදරට එන විට නැවත උස් ව නැගී ආවේ ය.
‘පුතා මෙහෙ එන්ඩ!’ ගෙට ගොඩ වූ හැටියේ මම කෑගැසුවෙමි.
පුතු මා ඉදිරියට ආවේ හොර පූසකු මෙනි.
‘අද මං පාර මාරු කරල ගියාට පස්සෙ ආපහු අනිත් පැත්තට මාරුවෙලා කොහෙද ගියේ? ’
‘අම්මගෙන් අහන්ඩකො’ පුතු වචන ඇමිණුවේ ය. මගේ කේන්තිය තවත් වැඩි විය.
‘අම්මගෙං අහන්ඩ අම්ම එක්කයැ පාර පැන්නෙ? එතන අම්ම හිටියෙ නෑනෙ’
‘අම්මගෙන් ම අහන්ඩකො’ පුතා යළිත් කීවේ ය.
මෙවිට ම බිරියගේ කටහඬ මුළුතැන් ගෙයින් නික්මිණ.
‘සුදු පුතා ඔයාම කියන්ඩ! ගහන එකක් නෑ ඔයාම කියන්ඩකො’
මම පුතු මුහුණ නිරීක්ෂණය කළෙමි. ඔහු සන්සුන් ව කතාව පටන් ගත්තේ ය.
‘තාත්තෙ මං ගියේ එහා පැත්තෙ තියෙන සී ඩී කඩේට . ඒකට ගිහිං ඒ මාමාට සල්ලි දීල කිව්ව“ මාමෙ මට තෝර තෝර ඉන්ඩ වෙලාවක් නෑ.
ඔයා මට හොඳ බණ සී ඩී එකක් තෝරල තියන්ඩ. මං ඉස්කෝලෙ ඇරිල ඇවිත් ගන්නං. හැබැයි මගෙ බස්එක එන හින්ද ආපු ගමන් අරං යන්ඩ හොයල තියන්ඩ’ කියල.
මම ගොළු වූයෙමි. පුතා දිගට ම කියවා ගෙන ගියේ ය.
‘... ඊට පස්සෙ තාත්තෙ මං ආපහු ඉස්කෝලෙට ගියා. ඉස්කෝලෙ ඇරුණම ආයෙත් ඒ කඩේට ගියාම ඒ මාම මට බණ සී ඩී එකක් දුන්න. මං ගෙදර ඇවිත් ඒක ආච්චි අම්මට ඇහෙන්ඩ දාල දුන්න. එයා බල බල ඉන්නෙ ඒ සී ඩී එක තමයි’
මෙවිට අපේ අම්මා ද අප ඉදිරියට ආවා ය.
‘අනේ ඔව් පුතේ. සුදු පුතා අද මට බණ සී ඩී එකක් ගෙනත් දුන්නනෙ . හරි ෂෝක් බණ ටික’ එසේ කියමින් ඇය මුනුබුරාගේ හිස පිරිමැද්දා ය.
කාරණා නොදැන කලබල වි කේන්තියෙන් පුතුට කෑ ගැසිම ගැන මට ලැජ්ජා සිතිණ.
මට හිනාවක් ගියේ ය.
මගේ හිනාව දුටු පුතු ද හිනාවක් පෑවේ ය.
‘පුතාට හිතිල තියෙන්ගෙ පුංචි ළමයි කාටවත් හිතෙන්නෙ නැති දෙයක්නෙ. එහෙම හිතපු එකත් කොච්චර එකක් ද? ’ මට කියැවිණ.
පුතු ගේ හිනාවට ආඩම්බරයක් එක්වනු මට දැනිණ.
ඌරපොළ මධ්‍ය මහා විද්‍යාලයේ
විනුග මෙත්මික මාපා මේ කුඩා පුතු ය.
චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10