රටම සසල කළ පොලිස් අපරාධ‍යේ රහස් හෙළි වේ | Page 2 | සිළුමිණ

රටම සසල කළ පොලිස් අපරාධ‍යේ රහස් හෙළි වේ

මාසයකට ආසන්න කාලයක් තිස්සේ අබිරහස් ලෙස අතුරුදන්ව සිටි ගාල්ල රත්ගම පදිංචි තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා ඝාතනය කළ ආකාරය පිළිබඳ සියලු රහස් හෙළි කරගැනීමට පොලිස් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සමත් වී තිබේ. මේ තරුණ ව්‍යාපාරිකයන් දෙදෙනා අක්මීමන ගෝණමුල්ල ප්‍රදේශයේ පාළු නිවෙසකදී ඝාතනය කර මළ සිරුර වලස්මුල්ලේ පල්ලෙකන්ද ප්‍රදේශයට රැගෙන ගොස් එහි වන රක්ෂිතයකදී සිරුරුවලට ඩීසල් වත්කොට ගිනි තබා ඇති අතර, මේ අපරාධය සඳහා පොලිස්

පරීක්ෂකවරයකු, උපපොලිස් පරීක්ෂකවරයකු ඇතුළු පොලිස් නිලධාරීන් අට දෙනකු සම්බන්ධ වී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ. ඒ අනුව එම ඝාතනය කළ ස්ථානයත් මළ සිරුරු පිලිස්සූ ස්ථානයත් පසුගිය සිකුරාදා (22) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් සොයාගන්නා ලදි.

රක්ෂිතයේ ජලය ගලාබසින ආරක දමා මළ සිරුරු පුලුස්සා ඇති බවත් මළ සිරුරු පිලිස්සී අඟුරු වන තුරු පැය තුනක පමණ කාලයක් එම ඝාතනයට සම්බන්ධ දකුණු පළාත් විශේෂ පොලිස් ඒකකයේ නිලධාරීන් රක්ෂිතයේ එහි රැඳී සිට ඇති බවත් හෙළිව තිබේ. මේ ද්විත්ව ඝාතනය මෙහෙයවා ඇත්තේ දැනට අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇති පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත නමැත්තාය. උපපොලිස් පරීක්ෂකවරයාට අමතරව මේ ඝාතන ද්විත්වයට හවුල් වූ සෙසු පොලිස් නිලධාරීන් සැරයන් සහ කොස්තාපල් තනතුරුවල අය බව සඳහන්ය. ඒ අය අතර සිටින උපපොලිස් පරීක්ෂකවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් පෙරේදා (21) අත්අඩංගුවට ගනු ලැබීය.

පොලිස් සේවයට එක්ව තවමත් වසර 4ක් පමණ වන ඔහු මහතුගම ප්‍රෙද්ශයේ පදිංචිකරුවෙකි. මේ ද්විත්ව ඝාතන සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි කර ඇත්තේ විරාජ් මදුශංඛ නමැති එම උපපොලිස් පොලිස් පරීක්ෂකයාය. ඝාතනය වූ ව්‍යපාරික තරුණයන් දෙදෙනා සතුව ගිනි අවියක් ඇතැයි පොලිස් පරීක්ෂක කපිල නිශාන්තට තොරතුරක් ලැබී ඇති බැවින් එම ගිනි අවිය සොයාගැනීමට එම ව්‍යාපාරිකයන් දෙදෙනා පසුගිය ජනවාරි (23) දා පෙරවරුවේ පැහැරගත් බව ප්‍රශ්න කිරීම් හමුවේ අත්අඩංගුවට ගත් උපපොලිස් පරීක්ෂකයා සඳහන් කර ඇතැයිද පොලිස් තොරතුරු අනාවරණය කළේය.

අක්මීමණ පොලීසියේ අපරාධ අංශයේ ස්ථානාධිපතිවරයා ලෙස මාස කිහිපයක් කපිල නිශාන්ත සේවයේ නිරතව සිට ඇති බැවින් ඔහු එම ප්‍රදේශය පිළිබඳ අවබෝධයකින් සිටි බැවින් අක්මීමණ ගෝණමුල්ල ප්‍රදේශයේ කන්දක් මුදුනේ ඇති පාළු නිවෙසට අත්අඩංගුවට ගත් දෙදෙනා රැගෙන ගොස් ඇති බවත්, එහිදී පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත දෙදෙනාටම පහර දෙමින් ගිනි අවිය ඉල්ලා ඇති බවත් සඳහන්ය. එහිදී රසීන් චින්තක නමැති ව්‍යාපාරිකයා මියගොස් ඇති බවත් අනතුරුව එම මරණය වසන් කිරීමට මංජුල අසේලටද පහරදී ඝාතනය කර ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අනාවරණය කරගෙන තිබේ. ඔවුන් එසේ ඝාතනය වී ඇත්තේ අත්අඩංගුවට ගෙන පැය 2-3ක් ඇතුළත බවද හෙළි වී තිබේ.

මෙම ද්විත්ව ඝාතනය රහසක් ලෙස තබාගන්නැයි එහිදී සෙසු නිලධාරීන්ට දැනුම් දුන් පොලිස් පරීක්ෂක කපිල නිශාන්ත නිලධාරීන් කිහිප දෙනකු සමඟ එදින රාත්‍රියේ කැබ් රථයකින් මළ සිරුරු වලස්මුල්ලට රැගෙන ගොස් ගිනි තබා ඇතැයි හෙළි වී තිබේ. මළ සිරුරු ගිනි තැබීමට වලස්මුල්ල පල්ලෙකැලේ රක්ෂිතයට රැගෙන ගොස් ඇත්තේ එම ප්‍රදේශය පිළිබඳ හොඳින් දන්නා නිලධාරියකු ඒ අතර සිටි බැවින් යැයිද උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. ඔවුන්ගේ මළ සිරුරු දැමූ ඇළ මාර්ගයක් ඔස්සේ සිදු කළ විමර්ශනයකදී මිය ගිය අයගේ බවට සැක කරන සිරුරු කොටස්, අස්ථි කැබලි, කෙස් ආදිය හමුව ඇති අතර, මාතර අධිකරණ වෛද්‍ය නිලධාරියා සහ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ නිලධාරියකු මේ කටයුතුවලට සම්බන්ධ වී ඇත.

මේ අස්ථි කොටස් ඩීඑන්ඒ පරීක්ෂාවක් සඳහා යොමු කරන බවද මේ පොලිස් නිලධාරියා සඳහන් කළේය. ඊට අමතරව ඔවුන් ඝාතනය කළ බවට සැක කරන අක්මීමණ ගෝණමුල්ල නිවෙසේද රුධිර පැල්ලම් නිරීක්ෂණය කළ හැකි වූ බව එම පොලිස් නිලධාරියා සඳහන් කළේය. තරුණයන් දෙදෙනා ඝාතනය කළ ස්ථානයට දැඩි ආරක්ෂාවක් සපයමින් අපරාධ ස්ථාන පරීක්ෂකයන්ගේත් ගාල්ල මහේස්ත්‍රාත්වරයාගේත් නිරීක්ෂණයට යොමු කළ බවත් මළ සිරුරු පිලිස්සූ ස්ථානය වලස්මුල්ල මහේස්ත්‍රාත්වරයාගේ නිරීක්ෂණයටත් ඊයේ 22 යොමු කර තිබිණි.මේ ද්විත්ව ඝාතනයට සම්බන්ධ පොලිස් ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමන් රෝහණ මෙම ඝාතනයන්ට සම්බන්ධ යැයි දුරකතන විශ්ලේෂණ ඇතුළු අනෙකුත් සාක්ෂි විශ්ලේෂණයේදී පෙනී ගියත් මේ වන විට පෙනී ගොස් ඇත්තේ ඔහු එම ද්විත්ව ඝාතනයට සම්බන්ධකමක් නැති බව යැයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධරියෙක් සඳහන් කළේය.

 

Comments