පරිස්සමෙන් ඩෙංගු ඩෙඟා නටන්න සූදානම් | Page 3 | සිළුමිණ

පරිස්සමෙන් ඩෙංගු ඩෙඟා නටන්න සූදානම්

දැනට කඩින් කඩ පවතින වර්ෂා තත්ත්වයත් සමඟ ඩෙංගු රෝගීන් වැඩි විමේ අවධානමක් ඇතිවිය හැකි බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.

පරිසරය තුළ මදුරුවන් බෝවියහැකි ජලය රැඳුණු ස්ථාන සුලබව ඇතිවිය හැකි බැවින් ඩෙංගු මදුරුවන් බෝ විමේ අවධානම ඉහළ යා හැක. මෙම තත්ත්වය අවම කර ඩෙංගු වසංගත තත්ත්වයක් ඇති වීම වැළැක්වීමේ අරමුණින් ඩෙංගු මර්දන විශේෂ ක්‍ෂෙෂේත්‍ර වැඩසටහනක් අද (14) හා හෙට (15) දිනයන් හිදි පැවැත්වීමට කටයුතු යොදා තිබේ.

මෙය කොළඹ, ගම්පහ, කළුතර හා යාපනය දිස්ත්‍රික්කවල හඳුනාගත් වැඩි අවධානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාශවල ජනාධිපති කාර්යසාධක බළකාය හා ඩෙංගු මර්දන ඒකකය ඒකාබද්ධව ක්‍රියාත්මක කරයි. මෙහිදී නිවාස, පාසල් , වැඩිබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන පොදු ස්ථාන ඇතුළු සමස්ත පරිශ්‍ර නිරීක්‍ෂණයට ලක් කරන අතර මදුරුවන් බෝවන හෝ බෝ විය හැකි ස්ථාන හඳුනාගත්විට ප්‍රජාව සමඟ ඒකාබද්ධව ඔවුන්ගේ සහභාගීත්වයෙන් එම ස්ථාන ඉවත් කිරීමට හෝ සුදුසු ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු යොදා තිබේ.

මෙම විශේෂ ක්‍ෂෙස්ත්‍ර වැඩසටහන සඳහා ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සහ ප්‍රජා සෞඛ්‍ය සේවකයින්ගෙන් සමන්විත කණ්ඩායම් 650ක් පමණ එක්දිනකට සිය දායකත්වය ලබා දීමට නියමිතය.

ප්‍රජාව හා බලධාරීන් නිරතුරුවම අවධානයෙන් සිටිමින් තම පරිශ්‍රයන්හි මදුරුවන් බෝවිය හැකි ස්ථාන හඳුනාගෙන ඒවා ඉවත් කිරිමට හෝ එසේ කළ නොහැකි අවස්ථාවන්හිදී මදුරුවන් බෝ නොවන ලෙස පවත්වා ගැනීම කළ යුතුය. ඒ සඳහා අවශ්‍ය තාක්‍ෂණික කරුණු හා සෞඛ්‍ය තොරතුරු ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්‍ෂකයන්ගෙන් හෝ වැඩි විස්තර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගෙන් ලබා ගත හැක.

Comments