
මට හැමදාම ඕනෑ වුණේ වෙනස් දෙයක් කිරීමටයි
ගුරුවරයකු වූ නාරද විජේසුරිය අද පදිංචිව සිටින්නේ ජර්මනියේය. ගී පද රචකයකු හා ග්‍රන්ථ රචකයකු වන නාරද මේ සියල්ලටම වඩා ප්‍රිය කරන්නේ රටින් රට සංචාරය කිරීමටය. නාරද රටින් රට ගිය ගමන්වලදි හමු වූ ඉහළ පෙළේ තනතුරු දරණ අපුරු ශ්‍රී ලාංකිකකයන් ගැන කරන කතා බහකි මේ.
කැනඩාවේ ටොරොන්ටෝ නගරයේ ග්‍රෑන්ඩ් සිනමන් නමින් දැවැන්ත උත්සව ශාලාවක් තිබේ. දහස් ගණනකට අසුන් පැනවිය හැකි එහි හිමිකරු ටොරොන්ටෝ ගුවන් තොටුපොළෙන් පිටත් වන සෑම ගුවන් යානයකට ම අවුළුපත් සපයන සුප්‍රකට ශ්‍රී ලාංකික සුපවේදියෙකි . හේ නමින් රුවන් ජයකොඩි නම් වේ. කැනඩාව හා ඇමෙරිකාව අතර දේශ සීමාව නිර්මාණය කරන නයගරා දිය ඇල්ල බැලීමට යන අතර ගමනේදී මම ඔහු හමු වුණෙමි. සුවිශේෂී ශ්‍රී ලාංකිකයන් සොයා යන ගමනේදී මට හමු වූ ආදර්ශමත් චරිතයක් නිසා රුවන් ගේ කථාව ලියන්නට අදහස් කළෙමි.
“මං ජීවිතය පටන් ගත්තෙ බිංදුවෙන්.
කොහෙන් හරි, කොහොම හරි ජීවිතය ජය ගන්න මාර්ගයක් හොයමින් අගනුවර හැම තැනම ඇවිද්ද, එක මාර්ගයක් වරදින විට, වෙන මාර්ගයක් දිගේ ගියා, ඒකෙනුත් ගොඩ ඒමක් නැති වුනාම තවත් මාර්ගයක් දිගේ ගියා, සාර්ථකත්වයට තියෙන්නෙ එකම එක මාර්ගයක් පමණක් කියල මම තේරුම් ගත්ත.
මට වැරදුණු පාරවල්වලින් ඉගෙන ගත්ත දැනුම අවසානයේදී මම යන ගමන සාර්ථක කරන්න උදව් වුණා.
ඔබේ උපන් ගම
මම උපන්නේ රුවන් වැල්ලේ මොරාවත්ත නම් ගම්මානයේ ගැමි ගෙදරක, ගමෙන් අධ්‍යාපනය සඳහා නගරයට පැමිණි මට උසස් අධ්‍යාපනය ලැබීමට තරම් වත්කමක් තිබුණේ නැහැ. නමුත් මට මගේ හිතේ ලොකු ධෛර්යය තබුණා.මම පුංචි රැකියාවක් හොයා ගත්තා. ඒක කරන ගමන් උසස් පෙළට ඉගෙන ගත්තා. අවසානයේ උසස් පෙළ ගණිත අංශයෙන් සමත් සමත් වෙන්න මට පුළුවන් වුණා. ඒ වුණත් ඉංජිනේරු පිඨයට යන්න ලකුණු මදි වුණා. මට NDT නම් වූ තාක්ෂණික පාඨමාලාව නිම කිරීමට තරම් ආර්ථිකයක් තිබුණේ නැහැ. ඒ නිසා එයත් අතරමඟ නතර වුණා. මට කවකට්ටක් රැගෙන දීමට වත් කෙනෙක් හිටියේ නැහැ. මම කල්පනා කළා මොකද කරන්නේ කියලා. මට මඟ පෙන්වන්න කෙනෙක් හිටියේ නැහැ. කොළඹට ආව මම බෙහෝ අත්දැකීම් ලැබුවා.
ඔබ චිත්‍ර ශිල්පියෙක්
මම පාසල් වියේ ඉඳලම චිත්‍ර අදින්න කැමතියි. ඒ වගේම මට චිත්‍ර ඇදිමේ හැකියාවකුත් තිබුණා. මම පුවත්පත් සඳහා චිත්‍ර ඇන්දා. ඒකාලේ තිබුණ දවස පුවත් පතට අපේ ගමේ තොරතුරු වාර්තා ලිව්වා. ඒවා පුවත්පතේ පලවුණා. මේ සියල්ල කරන අතරේ මම නාට්‍ය වැඩමුළු වලටත් සහභාගි වුණා. මම ඒ හැමදේම කළේ ගොඩයාමේ මාර්ගයක් හොයා ගන්න.
චිත්‍ර ඇන්ද ඔබ සුපවේදියෙක් වුණේ කොහොමද?
මම ගෙදරදීවත් කෑමවේලක් උයලා නැහැ. ඒ වුණත් මම ජාතික ආධුනිකත්ව මණ්ඩලය යටතේ හෝටල් පාසලක සුපවේදී පාඨමාලාවක් කරන්න හිතුවා. මම ඒ පාඨමාලාවට ඇතුළත් වුණා. මුල්ම දිනවල ඉවුම් පිහුම් ගැන උනන්දුවක් නොතිබුණාට මම බොහෝම උවමනාවෙන් මේ පාඨමාලාව කෙරුවා. මට මුල්ම රැකියාව ලැබුණේ කොළඹ ඔබරෝයි හෝටලයේ. ඒ සහාය සූපවේදියකු ලෙස.
ඉතාම කෙටි කලකින් ඔබේ තනතුර ඉහළ ගියා නේද?
ඔව්. ඒ කතාව හරි. ඒ 1983 ජූලි කලබල කාලේ . අපත් සමඟ වැඩකළ. අරක්කැමියන් ඔවුන්ගේ ගම්වලට ගියා. ඒත් මට යන්න තැනක් තිබුණේ නැහැ. මම ගමට ගියේ නැහැ. ඒ නිසා මම ඇඳිරිනීතිය දවස්වලත් හෝටලයට වෙලා වැඩ කළා. මට කිහිප දෙනෙකුගේම වැඩ කරන්නට සිදුවුණා. ඒ වෙන කොට හෝටල් පාලක මණ්ඩලය මගේ කැපවීම පිළිබඳ පැහැදිලා හිටයේ. ඔවුන් මට හිතා ගන්න බැරි වැටුපක් සමඟ උසස් වීමක් දුන්නා. රන්දෙනිගල හෝටල් ව්‍යාපෘතියේ ප්‍රධාන විධායක සුපවේදියා ලෙස මාව පත් කළා. මගේ මසක වැටුප රු. 3500 ක්.
පළමු වැටුපෙන් ඔබ මොකද කළේ?
පළමු වැටුපෙන් රු. 800 ක් ගෙවලා රුපවාහිනියක්ද මිළට ගත්තා. මම ලබන වැටුප වියදම් කළේ වැඩිදුරටත් ඉගෙන ගන්න. මට හැමදාමත් සිහිනයක් තිබුණා. මම හැමදේම කළේ ඒ සිහිනය සැබෑ කරගන්න.
මොකද්ද ඔබේ සිහිනය?
මගේ සිහිනය වුණේ යුරෝපයට යෑම. මම විදෙස් භාෂා ඉගෙන ගත්තා. ඒ වගේම ඒ රටවල වැඩිම ඉල්ලුමක් ඇති සූප ක්‍රම පිළිබඳ සොයා බැලුවා. ඒවා අත්හදා බැලුවා. මේ අතර මට මැද පෙරදිග සුවිසල් හෝටලයක රැකියාවට යන්න ලැබුණා. ඒ ලැබුණ වැටුපෙනුත් මම වැඩි ප්‍රමාණයක් වියදම් කළේ ඉගෙන ගන්න. මම ස්විට්සර්ලන්තයේ හෝටල් පාඨමාලාවක් හැදැරුවා. ඉන්පස්සේ ප්‍රංශය, ජර්මනිය වැනි රටවලදිත් හෝටල් පාඨමාලා කළා. sugar craft නම් ක්‍රමවේදය මුලින්ම හැදෑරු කිහිප දෙනාගෙන් කෙනෙක් මම.
කැනඩාවට පැමිණි ගමනේදි ඔබ ජීවිතය වෙනස් කර ගත්තා ද?
මම මුල්තැන දුන්නේ හෝටල් ක්ෂේත්‍රය ගැන සියල්ල ඉගෙන ගන්න. කැනඩාවට පැමිණියාට පසු මම ඉගෙන ගත්ත බේකරි කර්මාන්තය ජය ගන්න මට පුළුවන් වුණා. මම හදන කෑමවලට සුද්දෝ කැමැති වුණා. මට ඉගෙන ගෙන තිබුණු හැම දේම ඒ කියන්නේ ගණිතය, චිත්‍ර කලාව හා විවිධ භාෂා කතා කිරීමේ හැකියාව මේ සියල්ලම මගේ ගමනට ලොකු පිටිවහලක් වුණා.
ඔබේ මංගල දිනයේ මනාලිය සැරසුවේ අපුරු ආකාරයකට කියලා මං අහලා තියෙනවා.
මගේ යම් දියුණුවක් තියෙනවා නම් ඒකට එක හේතුවක් තමයි මම නොබියව තීන්දු තීරණ ගැනීමයි. මට හිතුණා මංගල දිනයේ වෙනසක් කරන්න ඕනැ කියලා මම මගේ මනාලිය සැරසුවේ අයිසිංවලින්. මේක කවුරුවත් කරන දෙයක් නෙමෙයි.
ඔබ හෝටල් ක්ෂේත්‍රෙය්දි විවිධ ජයග්‍රහණ ලබා තිබෙනවා නේද?
ජාත්‍යන්තර ආහාර සම්පාදන තරගවලදී කැනඩාව නියෝජනය කරමින් ජයග්‍රහණ රැසක් ලබා ගන්නට පුළුන් වුණා. වරක් කැනේඩියානු කණ්ඩායම සමඟ යුරෝපා තරගාවලියකට සහභාගි වුණා. ඒ තරගය පැවැත්වුණේ ලක්සම්බර්ග් නුවරදි. මම මගේ කණ්ඩායම ජයග්‍රහණය කරවන්න විවිධ වූ අහාර නිර්මාණය කළා වගේම ඒ සඳහා නව ක්‍රමවේද අනුගමනය කළා.
ඔබ දැන් තරග විනිසකරුවෙක්?
මම දැනට ජාත්‍යන්තර සුපවේදීන්ගේ ඔලිම්පික් තරගාවලිවල විනිසුරුවරයෙකු ලෙස කැනඩාව නියෝජනය කරනවා. ලෝකයම පිළිගත්ත තරගවලදි මට රන් සම්මාන ගණනක් දිනා ගැනීමට පුළුවන් වුණා. ලොව ඉහළම හිණිපෙත්තේ සිටින ලාංකිකයෙකු ලෙස මට නිහතමානි ආඩම්බරයක් තිබෙනවා. මා දන්නවා එය මගේ රටත් ආඩම්බරයක්. ගෞරවයක්. මීට කලකට පෙර දේශමාන්‍ය හා දේශබන්ධු යන සම්මාන හිමි වුණා.
සූපවේදියෙක් ලෙස ලෝකයේ ඔබ සිටින තැන.
ලෝක පූජිත සුපවේදීන්ගේ නාමාවලියට මගේ නම ඇතුළත් වී තිබෙනවා. ඒ වගේම එහි මා වෙනුවෙන් පිටුවක් වෙන් වී තිබේ තිබෙනවා. මේ මොන දේ තිබුණත්කෙතරම් ගෞරවයට පත් වුණත් මම සාමාන්‍ය සරල මිනිසෙක්. මගේ ව්‍යාපාරවල සියලු කටයුතු මමයි සොයා බලා පිළියම් යොදන්නේ. මට මගේ දේවල් කරගන්න පුළුවන්. මම බොහෝම පුංචි තැනකින් ආ කෙනෙක්. මගේ බැන්කුවෙට් ශාලාවේ පිලිස්සුණු විදුලි බල්බයක් මාරු කරන්න වුණොත් හිනිමඟක නැගලා බල්බයක් මාරු කරන්නෙත් මම. මම මගේ දේට ආදරෙයි. ඒ නිසා මම දන්නවා කාටවත් වඩා හොඳට ඒ දේවල් මට කරන්න පුළුවන් කියලා.
ඔබ පැමිණි ගමනේ ඔබට ආදර්ශයක් වු දේ කුමක්ද?
මගේ දුෂ්කර ගමන් මගේ මටම ආදර්ශයක් වූ එකම දෙය තමයි ප්‍රබල ආත්ම විශ්වාසය. මට මා ගැන තිබුණු විශ්වාසය කැපවීම ධෛර්යය මේ සියල්ල. මං ජීවිතය පටන් ගත්තෙ බිංදුවෙන්. කොහෙන් හරි, කොහොම හරි ජීවිතය ජය ගන්න මාර්ගයක් හොයමින් අගනුවර හැම තැනම ඇවිද්දා, එක මාර්ගයක් වරදින විටවෙන මාර්ගයක් දිගේ ගියා. ඒකෙනුත් ගොඩ ඒමක් නැති වුණාම තවත් මාර්ගයක් දිගේ ගියා. සාර්ථකත්වයට තියෙන්නෙ එකම එක මාර්ගයක් පමණක් කියල මම තේරුම් ගත්ත. මට වැරදුණු පාරවල්වලින් ඉගෙන ගත්ත දැනුම අවසානයේදී මම යන ගමන සාර්ථක කරන්න උදව් වුණා.
සූපවේදින් ලෙස හෝ හෝටල් ක්ෂේත්‍රයේ ඉදිරියට යාමට සිටින නව පරපුරට දිය හැකි පණිවුඩය කුමක්ද?
ප්‍රධානම වශයෙන් සුදුසුකම් සහිත සහතිකයක් අවශ්‍යයි. ඒ වගේම විදේශ භාෂා කිහිපයක් දැන ගැනීම අවශ්‍යයි. මේ මාහොතේත් ඇමෙරිකාව හා කැනඩාව වැනි රටවල සුපවේදීන් සඳහා ඕනෑ තරම් ඉඩ ප්‍රස්තා තියෙනවා. අවශ්‍ය වන්නේ කැපවීම සහ නිර්මාණශීලිත්වයයි. අද මම මෙතැන ඉන්නේ ඒ ඉලක්ක සපුරා ගත්ත නිසයි.