
මහපාරේ මනුස්සකම
කුලී ත්‍රිරෝද රිය අතුරු පාරක් ඔස්සේ නගරය බලා යමින් සිටියේ ය.
පොදියක් කිහිලිගන්වා මල්ලක් එල්ලා ගත් වියපත් මාතාවක් පාරට නැමී ඊට අත දැම්මා ය.
රියේ වේගය බාල කළ රියැදුරු තරුණයා පසුපස අසුන දෙස කණ්ණාඩියෙන් බැලුවේ ය. එහි හිඳ සිටියේ වැඩිහිටි මහතෙකි.
‘මහත්තය අරයවත් දාගෙන යමුද?‘
‘කරදරයි. අපි යං‘
ඒ පිළිතුරත් සමඟ ගමන යළි වේගවත් විය.
පැය බාගයකට පමණ පසු ත්‍රිරෝද රිය යළිත් ඒ පාරේ ම කුලී ගමනක් යමින් සිටියේ ය.
එවර ද අර වියපත් මව ඊට අත දැමීම නිසා රියේ ගමන බාල විය. තරුණ රියැදුරු කණ්ණාඩියෙන් ඇතුළත බැලුවේ ය. සිටියේ තරුණියකි.
‘නංගි අපි අරයවත් දාගෙන යමුද?‘
‘මට පරක්කු වෙනව අයියෙ යං‘ ඒ පිළිතුරත් සමඟ රියේ ගමන යළි වේගවත් විය.
තවත් අඩ හෝරාවකට පමණ පසු ඒ ත්‍රිරෝද රිය ඒ පාරේ ම එමින් සිටියේ ය.සුපුරුදු පරිදි අර වියපත් මව එවර ද ඊට අත දැම්මා ය.
කණ්ණාඩියෙන් ඇතුළත බැලූ රියැදුරු ගේ නෙත ගැටුණේ ටියුෂන් පන්තියකට යමින් සිටි පොඩි දරුවෙකි.
‘බබා, අපි අර ආච්චිවත් නග්ගගෙන යමුද?‘
දරුවා කැමැත්තෙන් ම අසුනේ පසෙකට වි ඉඩ දුන්නේ ය.
රිය නැවැත්වූ රියැදුරු එය වියපත් මව සිටි තැනට රිවස් කළේ ය.
‘අනේ පුතේ මටත් ටවුමට යාගන්ඩ පුළුවන්ද?‘
‘නගින්ඩ ආච්චි අම්මෙ‘ රියැදුරු කීවේ ය.
අතින් කටින් එල්ලාගෙන සිටි වියපත් මව රියෙහි හිඳ සුසුමක් පිට කළා ය.
‘අනේ පුතේ අද මේ පාරෙ දුවන බස් එක කැඩිලලු. අත කැඩෙනකං වාහනවලට අත දැම්ම. පුතාගෙ විතරයි හිත උණු උණේ. මගෙ පුතාලට රත්නත්තරේ පිහිටයි!‘
‘මොනව කරන්ඩද ආච්චි අම්මෙ. අපිත් මේ හයර්නෙ දුවන්නෙ. යන කෙනා කැමති නං විතරයි අපිට තව කෙනෙක් නග්ග ගන්ඩ පුළුවං වෙන්නෙ. මීට කලිනුත් ආච්චි අම්ම මට දෙසැරයක් අත දැම්ම. ඒත් ඒ වෙලාවෙ හිටි අය නග්ග ගන්ඩ කැමති වුණේ නෑ. මේ පුංචි බබා විතරයි කැමති වුණේ. මට නෙමේ එයාට පින් දෙන්ඩ!‘
වියපත් මව කට පුරා සිනාසී දරුපැටියා ගේ හිස පිරිමැද්දා ය.
‘අනේ මගෙ රත්තරං දරු පැටියව දෙයියො බලාගන්ඩ ඕනැ. හොඳ දෙමව්පියන් ගෙ හොඳ දරුවෙක්. පුතා හොඳට විභාග පාස්වෙලා හොඳ ලොකු මහත්තේක් වෙන්ඩ ඕනැ‘
කිලෝමීටර් කිහිපයක දුර ගෙවූ ත්‍රිරෝද රිය නගර මුවවිටට ළං වූයේ ය.
‘ආච්චි අම්මෙ කොහෙන්ද බහින්නෙ?‘ රියැදුරු තරුණයා ඇසුවේ ය.
‘නුවරට යාගන්ඩ පුළුවං බස් එකකට නැගගන්ඩ පුළුවං තැනකිං බැහැගත්තොත් ලේසී පුතේ‘
අදාළ බස් නැවතුමක් කිට්ටුව ම තිබිණ. ඇය එතන බැස්සූ රිය සිය ගමන යන්නට ගියේ ය.
තවත් පැයකට වැඩි කාලයකට පමණ පසු ත්‍රිරෝද රිය අර බස් නැවතුම ළඟින් යමින් තිබිණ. ත්‍රිරෝද රියැදුරුට එදෙස බැලුණේ නිකමට ය. අච්චි අම්මා පෙනෙන්නට නොවූවා ය. ඇය යන්නට ඇතැයි ඔහුට සිතිණ. එහෙත් ඇගේ ගමන් මල්ල එතන බිම තිබෙනු දුටු ඔහු වහා රිය නවතා බස් නැවතුමට එබී බැලුවේ ය. අච්චි අම්මා පාළු බස් නැවතුමේ දිගෑදී කොට බිත්තියට වාරු වී සිටියා ය.
‘ආච්චි අම්මෙ! ආච්චි අම්මෙ! ඇයි මේ?‘
රියැදුරු තරුණයාගේ උස් හඬින් ගැස්සුණු වියපත් මව ඇස් හැර බැලුවා ය.
‘කලන්තයක් අල්ලන්ඩ වගේ ආව පුතේ. ඉතිං ටිකක් ඇල වුණා‘
ත්‍රිරෝද රියැදුරු ගේ හිත දා ගියේ ය. ඔහු සිය රියේ වූ වතුර බෝතලය ගෙන ඇයට ඉන් ටිකක් බොන්නට දී ඉතිරියෙන් මූණ කට සෝදා ගන්නට කීවේ ය.
‘දැං තමයි පුතේ ඇඟට හයියක් ආවෙ.‘ වියපත් මව නැඟිට ගත්තා ය.
‘ආච්චි අම්ම ඔය වයසට තනියම ගමන් යන එක හරි මදි. කෝ නැද්ද දරුවො?‘
‘දරුවො ඉන්නව හතර දෙනෙක්ම. පුත්තු දෙන්නයි දූරු දෙන්නයි. මේ ආවෙත් බාල එකීගෙ දරුව බලල යන්ඩ. මනුස්සය රට ගිහිංනෙ. ඉතිං ඒකි තනියමනෙ‘
‘අාච්චි අම්ම කා ළඟද ඉන්නෙ? ‘
‘වැඩිමලී ළඟ. ඒ අහිංසකීගෙ මිනිහ දාල ගියානේ. ඒකි රස්සාවට යනව. මං දරුවො බලා ගන්නව‘
‘එතකොට පුත්තු?‘
‘බාලය නං වල්වෙලා ගියා. උගෙං වැඩක් නෑ. ලොකු එකා තමයි මාසෙකට සැරයක් හොරෙන්ම ඇවිත් කීයක් හරි අතමිට මොළෝල යන්නෙ‘
‘ඇයි හොරෙන් එන්නෙ?‘
‘නෑ ඉතිං එයා කසාද බැඳල ඉන්නෙ ලොකු පවුලකින්නේ. එයා පවුලට බයයි. මට ඇවිත් කියනව අම්මව මං සල්ලි ගෙවන නිවාසෙකට බාර දෙන්නං කියල. අනේ කොහොමද පුතේ මං මේ දුක්විඳින දූරුයි මුනුබුරොයි දාල ගිහිං නිවාසෙකට වෙලා සැප විඳින්නෙ?‘
‘දැං ආච්චි අම්ම කොහෙද මේ යන්නෙ?‘
‘නුවර. වැඩිමලීගෙ ගෙදර. නුවර ඉඳලත් පැයක් බස් එකක යන දුර‘
මෙවිට ම වාගේ නුවර බලා යන බසයක් පිඹගෙන එනු දුටු ත්‍රිරෝද රථ රියැදුරු පාරට පැන දෑතම ඔසවා එය නැවැත්වීය.
බස් රියැදුරු තරුණයා කවුළුවෙන් පිටතට හිස දා බැලුවේ කේන්තියෙනි.
‘අනේ මචං, අර ආච්චි අම්මව නුවරින් බස්සපං! අපෙත් ආච්චි සීයල ඉන්නවනෙ බං‘
ඒ ආයාචනයට බස් රියැදුරු තරුණයා ගේ කේන්තිය පහ විය.
‘ඔන්න ඔය ආච්චි අම්මව නග්ගව ගන්ඩ! වෙලාව පනිනව. ඉක්මන් කරන්ඩ!‘ රියැදුරු කොන්දොස්තරට කෑගැසුවේ ය.
වියපත් මවද නංවා ගත් බසය වේගයෙන් ගොස් නොපෙනී ගියේ ය.
ත්‍රිරෝද රථ තරුණයා සිය රියට නැගුණේ මිනිස්කම වෙනුවෙන් තම උර මත වැටුණු මහා වගකීමක් ඉටු කිරීමෙන් ලද සතුටිනි.
අනන්‍යතාව සඟවා ගැනීමට කැමැති සිළුමිණ පාඨකයෙකු විසින් යොමු කරන ලද සටහනක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.