
පසුගිය සතියේ අප දස මාරසේනා පිළිබඳ සාකච්ඡාව ආරම්භ කළා. එහිදී අප මාරසේනා පහක් පිළිබඳ කතා කර අවසන් කළා. තවත් පහක් ඉතිරිය.
හය වැනි මාර සේනාව ලෙස දක්වා තිබෙන්නේ 'භීරූ සේනාව' යි. භය සහ තැතිගැනීමයි භීරූ කියලා කියන්නේ. සත්ත්වයන්ගේ සිත්හි හටගන්නා භයත් තැතිගැනීමත් ක්ලේශයක් බව තථාගතයන් වහන්සේ දේශනා කළා. භය කිව්වාම නොයෙක් ආකාරයෙන් එය සත්ත්වයන් තුළ හට ගන්නවා. සමහර කෙනක තුළ රෝග නිසා භය ඇති වනවා. ඒ වගේම අමනුස්සයන් නිසා භය ඇති වනවා. ඒ වගේම ජීවිත භයත් ඇති වනවා. මෙහෙම භයෙන් තැතිගැනීමෙන් සිටින අවස්ථාවේ මාරයාගේ වසඟයට පත් වන්න ඇති ඉඩකඩ වැඩියි. බුදු රජාණන් වහන්සේ දේශනා කොට වදාළා මේ භය නැති කරගැනීමට එකම මඟ වන්නේ සිහියෙන් යුතුව සිටීම බව.
බය වුණොත් මාරයාට ලේසියි!
මෙහිදී ඉතා වැදගත් සූත්‍ර දේශනාවක් අපේ සිහියට නැඟෙනවා. තථාගතයන් වහන්සේ දිනක් භික්ෂූන් වහන්සේට මෙසේ දේශනා කළා: "මහණෙනි! මම ඔබට පෙර සිදුවීමක් දේශනා කරමි. පෙර අතීතයේ දේවයන් සහ අසුරයන් අතර යුද්ධයක් හට ගත්තා. ඒ අවස්ථාවේ දෙවියන්ගේ නායක සක්‍ර දේවේන්ද්‍රයා තම පිරිසට ප්‍රකාශ කළා, 'මේ යුද්ධයෙදී බියක් තැති ගැනීමක් ඇති වුව හොත් ඔබ මගේ කොඩිය අග බලන්න; මගේ කොඩිය අග බැලීමට බැරි වුව හොත් ප්‍රජාපතී දිව්‍යරාජයාගේ කොඩිය අග බලන්න; ප්‍රජාපතී දිව්‍යරාජයාගේ කොඩිය අග බැලීමට බැරි වුව හොත් වරුණ දිව්‍යරාජයාගේ කොඩිය අග බලන්න; වරුණ දිව්‍යරාජයාගේ කොඩිය අග බැලීමට නොහැකි වුව හොත් ඊසාන දිව්‍ය රාජයාගේ කොඩි අග බලන්න. එවිට භය, තැති ගැන්ම නැති වෙයි,' කියලා. මහණෙනි, මමත් ඔබට මෙසේ ප්‍රකාශ කරමි. වනාන්තරයකදී හෝ යම්කිසි තැනකදී බියක්, තැතිගැන්මක් ඇති වුව හොත් ඒ අවස්ථාවේදී සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ හෝ ශ්‍රී සද්ධර්මයේ ගුණ සිහි කරන්න; එසේත් නැති නම් ආර්ය මහා ගුණ සිහි කරන්න."
මේ පිළිබඳව ධජග්ග සූත්‍ර දේශනාවේ සඳහන් වනවා: 'භයක්, තැතිගැනීමක් ඇති වූ අවස්ථාවේදී බුදුගුණ හෝ දහම් ගුණ හෝ සඟ ගුණ හෝ සිහි කිරීමෙන් භය, තැති ගැන්ම නැති වනවා,' කියලා. බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ සිහි කරද්දී ඇයි මේ භය තැතිගැන්ම නැති වන්නේ? තථාගතයන් වහන්සේ රාග, ද්වේෂ, මෝහයන්ගෙන් තොර වූ කෙනෙක්; බිය නොවන, තැති නොගන්න, පලා නොයන තැනැත්තවුන් වහන්සේ කෙනෙක්. එබැවින් සර්වඥයන් වහන්සේ සිහි කිරීමෙන් සහ සඟ ගුණ සිහි කිරීමෙන් බිය, තැතිගැන්ම නැති වී යනවා.
හත්වැනි සේනාව 'සප්තමී විචිකිච්ඡාතේ': විචිකිච්ඡාවයි. මේ කියන්නේ ස්වාමියා ගැන, භාර්යාව ගැන, දරුවන්, මිතුරන්, තමා සමඟ සේවය කරන්නවුන් ගැන ඇති වන සැකය ගැන නොවෙයි. මෙහි සඳහන් කරන විචිකිච්ඡාව කියන්නේ ලොවුතුරු බුදු රජාණන් වහන්සේ පිළිබඳ ඇති වන සැක-සංකාවයි; ධර්මරත්නය ගැන, ආර්ය මහා සංඝරත්නය පිළිබඳ ඇති වන සැක-සංකාවයි; ඒ වගේම සීල, සමාධි, ප්‍රඥා කියනය කාරණා පිළිබඳ ඇති වන සැක-සංකා: අතීතයේ මම සිටියාද-නැද්ද? මරණින් මතු කොහි යන්නේද? අතීතයේ මම සිටියාද-නැද්ද? අනාගතයේ මම උපදීද-නැද්ද? යන සැක-සංකා මේ යටතේ විග්‍රහ කර තිබෙනවා. මේ විචිකිච්ඡාව නුවණ නැති කරන, සිත අපිරිසුදු කරන, නිවන් මඟ අහුරන දෙයක්. ඒ නිසා ධර්මාවබෝධයට ඇති මාර්ගය ඇහැරී යනවා. හොඳින් දැනඋගත් සත්පුරුෂයන් ඇසුරෙන් වගේම දහම් පොතපත කියවීමෙන්ද මේ විචිකිච්ඡාව නැති වී යනවා. තමාට සැක සහිත යමක් වෙත් නම් ධර්මධරයන්ගෙන් අසා උගෙන ඒ පිළිබඳ සැක-සංකා නැති කරගත යුතුයි.
ගුණමකු බවත් එක් මාරයෙක්
අටවැනි මාරසේනාව හඳුන්වනු ලබන්නේ 'මක්ඛ-තම්බ' ලෙසයි. 'මක්ඛ' - ගුණමකු බව, එනම්: ගුණ මකා-දැමීමයි. සමහර ඇත්තන් අනුන්ගේ ගුණ මකා දමනවා. ඔවුන් සීලවන්ත තැනැත්තන්ගේ සීලවන්ත බව ගැන කතා කරනවාට කැමැති නැහැ. ගුණවන්ත, ශ්‍රද්ධාවන්ත, පරිත්‍යාගශීලි ධර්මධරයන්ගේ ඒ ගුණවන්න බව ගැන, ශ්‍රද්ධාවන්ත බව, සිල්වත්-ධර්මධර බව ගැන කතා කරනවාට කැමැති නැහැ. මේ ලෙස අනුන්ගේ ගුණයට ඉරිසියා කරන ස්වභාවය, අකැමැති වන වන ස්වාභාවය ඇති තැනැත්තා අනිවාර්යයෙන්ම මරු වසඟයට ගිය තැනැත්තකු ලෙසයි සම්බුද්ධ ශාසනයේ හඳුන්වනු ලබන්නේ.
අටවැනි සේනාවටම අයිති 'තම්භ' කියන්නේ තද බවටයි. 'තද බව' කියන්නේ බුද්ධ වන්දනාවට, පිරිත් දේශනා කරන්නට, බණ අහන්නට, පෝයට සිල් ගන්නට, මල්-පහන් පූජා කරන්නට, මවු-පිය උපස්ථානයට නැඹුරු කරගන්න අපහසු බවටයි; අකුසලයට, පාපයට නැඹුරු කරගැනීම ලෙහෙසි බවටයි; ගුණයට, කුසලයට නැඹුුරු කරගැනීමට අපහසු බවටයි. මේ නිසා තමන්ට ගුණ පිළිවෙත් පුරන්න ඇති අවස්ථාව අහිමි වී යන බව අමුතුවෙන් පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. එසේ නම් අටවැනි මාරසේනාව ගුණමකු වීම සහ තද බවයි.
සැපෙන් මත් වුණොත් මාර වසඟයට!
නවවැනි මාරසේනාව ලාබ-සත්කාර සහ වැරදි ලෙස ලැබෙන පරිවාර සම්පත්තියයි. ලාබ-සත්කාරවලට හසුවුණාට පස්සේ සිල්වතුන්ගේ සිල්වත් බව සහ ගුණවතුන්ගේ ගුණවත් බව නැති වනවා; ධර්මධරයන්ගේ ධර්මධර බව නැති වනවා; අකුසලයට, පාපයට යොමු වනවා. ලාබ-සත්කාර නිසා බොරු කියපු නැති කෙනා බොරු කියන්න පටන්ගන්නවා. කිසිදාක ප්‍රාණඝාතයක් නොකරපු කෙනා ප්‍රාණඝාතයට යොමු වනවා; සුරා පානයට යොමු වනවා. අප්‍රමාණ පරිහානියට පත් වනවා. දිනක් එක් ඌරකු තවත් ඌරන් සමඟ කෑම සොයා වනගත වනවා. මහා වනාන්තරයේදී මේ ඌරාට විශාල අසූචි ගොඩක් දකින්න ලැබුණා. ඒ ඌරා හිතුවා: 'මට ලොකු අසූචි ගොඩක් ලැබිලා තිබෙනවා. මම හරි භාග්‍යවන්තයි, පින්වන්තයි. අනිත් අයටත් මේ අසූචි ලැබිලා තිබෙනවාද බලන්නට ඕනෑ." එසේ සිතූ මේ ඌරා අනිත් ඌරන් දෙස බැලුවා. උන්ට ලොකු අසූචී ගොඩවල් ලැබිලා තිබුණේ නැහැ. ඒ ඌරෝ පුංචි අසූචි ගොඩවල් අනුභව කරමින් හිටියා. මේ ඌරා කල්පනා කළා මේ ඌරන් අවාසනාවන්තයි කියලා. මිල-මුදල්, ධන-ධාන්‍යාදිය ලබාගෙන, දුප්පත් අසරණ අහිංසකයන් දෙස බලා ඔවුන් පවුකාරයන්ය කියා, වාසනාව නැත්තන්ය, ලැබීම නැත්තන්ය කියා සිතමින් සතුටු වන්නා අසූචිවලින් සතුටට පත් වූ ඌරන් වැනි බව බුද්ධ දේශනාවේ සඳහන් වෙලා තිබෙනවා.
දහවැනි මාරසේනාව හඳුන්වනු ලැබුවේ 'අත්තුක්කංසන පරවම්භන' ලෙසයි. ඒ කියුවේ තමන් උසස් කොට සැලකීම හා අනුන් පහත් කොට සැලකීමයි. මේ දෙකත් අද සමාජයේ බහුලව දකින්න ලැබෙනවා. ගුණයෙන්, බලයෙන්, හැකියාවෙන් හෝ ශරීර වර්ණයෙන් හෝ තමා උසස් කොට, අනුන් පහත් කොට පෙන්වීම පෘථග්ජනයන් අතර ඇති වන අකුසලකර්මයක්. මේ අකුසලකර්මයත් මාරයන්ට හසු වන මාර බන්ධනයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
මරු වසඟයෙන් ගැලවෙන මඟ
සැබවින්ම 'දසමාර සේනාව' යනුවෙන් දැක්වෙන්නේ කෙලෙස් දහයක් පිළිබඳවයි. මේ බව හොඳින් වටහාගෙන, ඒවා උපදින අවස්ථාවේම ජීවිතයෙන් ඉවත් කිරීම මාර වසඟයට යෑමෙන් ගැලවීමට මාර්ගය බව මතකයේ තබාගත යුතුයි. මහා බෝසතාණන් වහන්සේ හොඳින් සිහිය පුරුදු කරපු කෙනෙක්. උන් වහන්සේ ගිහිගෙය අත්හැර ගියදා පටන් බුද්ධ රාජ්‍යයට පත් වන දිනය තෙක්ම ඉතා හොඳ සිහියෙන් කටයුතු කළ නිසාමයි කෙලෙස් මාරසේනාව පරාජයට පත් කරන්න පුළුවන්කම ලැබුණේ.
දිනක් ස්වාමීන් වහන්සේ කෙනකු බොහොම ලස්සනට බෝමළුව ඇමදීමේ යෙදුණා. ඇමද අවසානයේ ඒ දෙස බලා උන් වහන්සේ නැවත නැවත බුදුගුණ මෙනෙහි කළා. බුදුගුණ සිහි කරද්දී වසවර්ති මාර පුත්‍රයා කොරකුගේ වේශයක් අරගෙන කකුල ඇද-ඇද ඇවිදින්න පටන්ගත්තා. අර මිදුලේ ඇවිදිමින් මිදුලේ ලස්සන නැති කළා. මේ ස්වාමීන් වහන්සේ කල්පනා කළා: 'මෙබඳු කෙනෙක් මම දැකලා නැහැ. මේ නම් මාරයාම විය යුතුයි.' එසේ සිතා ඇසුවා 'නුඹ මාරයාද?' කියලා. එවිට මේ පුද්ගලයාත් 'ඔව් ස්වාමීනි! මම මාරයා,' කියලා කිව්වා. ඉන් පසු දෙදෙනා අතරේ මෙවැනි දෙබසක් ඇති වනවා: 'ඔබතුමා ලොවුතුරු බුදුන් දැක තිබෙනවා කියා මා අසා තිබෙනවා. එය ඇත්තද?' 'ඔව් ස්වාමීනි! මම දැක තිබෙනවා.' 'ඔබට ඍද්ධි බලය තිබෙනවා කියොත් මා අසා තිබෙනවා?' 'ඔව් ස්වාමීනි! මට ඍද්ධි බලය තිබෙනවා.' 'එසේ නම් මාරය! මට බුදුන් වහන්සේගේ ප්‍රතිමාවක් මවා පෙන්වන්න.' එවිට මාරයා ඍද්ධි බලයෙන් බුදු ප්‍රතිමාවක් මවා පෙන්නුවා. මේ මාරයා මැවූ බුද්ධ ප්‍රතිමාව බැලුවාම, මාරයාත් ඒ ප්‍රතිමාව වගේමයි; ඌර්ණ රෝමධාතුව පමණක් වමට කැරකිලා. මේ ස්වාමීන් වහන්සේත් 'මාරයා බුදු කෙනකුගේ රුව මැවුවාම මේ තරම් ලස්සන නම්, බුදු රජාණන් වහන්සේ දැකලා කොතරම් ලස්සන ඇතිද!' කියලා හිතලා, බුදු රජාණන් වහන්සේගේ ධර්මය ගැන සිතා, මාරයාගේ බුද්ධ වේශය දෙස බලමින්, බුදු ගුණ මෙනෙහි කරමින් සිටින විට උන් වහන්සේ රහත් පලයට පත් වුණා. ඒ වෙලාවේ මාරයා දැනගත්තා මේ ස්වාමීන් වහන්සේ රහත් ඵලයට පත් වුණ බව. ඉන් පසුව මාරයා කියනවා, 'ස්වාමීනි! ඔබ වහන්සේ මාවත් රවට්ටලා රහත් ඵලයට පත් වුණා නේද?' කියලා.
අන්න ඒ වගේ, මාරයා ළඟ හිටියත් යහපත් සිහියෙන් ඉන්න පුළුවන් නම් කෙලෙස් චිත්තයෙන් ගැලවෙන්න එය ඉතා වටිනා කාරණාවක්.