C- Shine | Page 7 | සිළුමිණ

C- Shine

මෙරට සංගීත කණ්ඩායම් අතර දිදුලන සංගීත කණ්ඩායමක් වන හල්දුමුල්ල'සී ෂයින්' (C- Shine) සංගීත කණ්ඩායම BAND OF THE WEEK තුළින් මෙවර අපි හඳුන්වා දෙන්න තීරණය කළා. එහි ප්‍රඵලයක් ලෙස අපි සමඟ එහි නායක මනෝජ් විතානගේ කතා බහට එක්වෙමින් ඔවුන් ආ ගමන් මඟ පිළිබඳව මෙසේ කතාබහක යෙදුණා.

සී ෂයින් C- Shine කියන නම සංගීත කණ්ඩායම‍ට යෙදුවේ ඇයි?

C (ස) කියන්නේ සංගීත ස්වර වල එන මුල්ම ස්වරය . Shine කියන්නේ දිදූලන කියන එක. ඒ නිසා ඒ දෙක එකතු කරලා'C- Shine' කියන නම යෙදුවා.

මෙම කණ්ඩායම සහ ඔබ අතර ඇති සම්බන්ධය ?

මගේ නම මනෝජ් රුවින්ද. හැබැයි සංගීත කණ්ඩායම් අතර ප්‍රසිද්ධ මනෝජ් විතානගේ කියන නමින්. මම මෙහි නායකයා වගේම කී බෝඩ් වාදන ශිල්පියා ලෙසත් කටයුතු කරනවා.

එතකොට පාසල් ගියේ?

මුලින්ම හල්දුමුල්ල කනිෂ්ට විද්‍යාලයට. පසුව සාමාන්‍ය පෙළ කරන්න වල්හපුතැන්න මධ්‍ය මහා විද්‍යාලයට ගියා.

පාසලේදී විෂයක් විදියට සංගීතය හදාරන්න ඇති?

කුඩා කාලයේ ඉඳලා සංගීතය විෂයයක් විදිහයට කළා. හැබැයි ඊටත් වඩා විශේෂත්වය වෙන්නේ මට ගෙදර පසුබිමින්ම සංගීත පරිසරය ගොඩනැඟිලා තිබීමයි.

ඒ පිළිබඳව විස්තර කියන්න?

මගේ අම්මා, තාත්තා වගේම සහෝදරයෝ හතර දෙනාම සංගීතයට දැඩි කැමැත්තක් දැක්වූ අයයි. ඒ අය හැම කෙනාම සංගිතයට දක්ෂයි. ගායනය වගේම වාදනයේ යෙදෙන්නත් මේ අයට පුළුවන්. මම කුඩා කාලයේ අපේ මංජුල අයියලාගේ සංගීත කණ්ඩායමක් තිබුණා. මමත් ගිහින් ඒ අය පුහුණුවන හැටි බලන් ඉන්නවා. එහෙම ඉද්දි තමයි මංජුල අයියා මට කී බෝඩ් ගහන්න කියල දුන්නේ. මගේ සංගීතයේ මුල්ම ගුරුවරයා තමයි ගාමිණි නන්දපාල සර්.

ඔබ කුඩා කාලයේම ප්‍රසිද්ධ වේදිකාවට ගොඩවෙනවා?

ඔව්. මම හය වසර පංතියේ ඉගෙන ගන්න කාලයේ කී බෝඩ් වාදන ශිල්පියෙක් විදියට ප්‍රසංගයකට සහභාගි වී තිබෙනවා.

හය වසරේදි කී බෝඩ් එකත් අරන් වේදිකා නඟින ඔබ ජයග්‍රහණ රැසක් හිමි කර ගෙන තිබෙනවා.

ජාතික තරුණ සේවා සභාව මඟින් පවත්වපු ජාතික යෞවන සම්මාන (2013) බටහිර ඕගන් වාදනයෙන් හොඳම ඕගන් වාදන ශිල්පියා විදියට ජයග්‍රහණය ලබනවා. ඒ ජයග්‍රහණය මගේ සංගීත ජීවිතය ඉදිරියට ගෙන යන්න ලොකු පිටිවහලක් වුණා.

එතකොට සංගීත කණ්ඩායම නිර්මාණය වෙන්නේ කොහොමද?

මම පාසල් යන කාලයේදී මගේ හොඳම යාළුවෝ දෙන්නෙක් වුණ තුසිත සහ ප්‍රසන්න අයියලත් එක්ක එකතු වෙලා තමයි සී ෂයින් කියන නමින් සංගීත කණ්ඩායම කරගෙන ගියේ. ඒ කියන්නේ 1996 වසරේ.

නමුත් සී ෂයින් යළි කරළියට එන්නේ 2011 වසරේ සිටයි?

මම සබරගමුව විශ්වවිද්‍යාලයේ කලා කේන්ද්‍රයේ රැකියාවක් කළා. ඒත් මගේ ඇඟේ තිබුණ සංගීතය පැත්තකට දාන්න බැරි වුණා. ඒ නිසා රැකියාවෙන් ඉවත් වෙලා යළිත් සංගීත කණ්ඩායම වෘත්තියක් විදියට කරගෙන යන්න පටන් ගත්තා.

රැකියාවෙන් ඉවත් වෙන්න එපා කියලා ගෙදරින් කිව්වේ නැද්ද?

මම කිව්ව නේ කුඩා කලේ ඉඳලා අපේ හැමෝම සංගීතයට ළැදියි කියළා. ඒ නිසා මට එහෙම ප්‍රශ්න, බලපෑම් නම් ආවේ නැහැ. විශේෂයෙන්ම මගේ බිරිය අශිකා පෙරේරා ඇයත් උපරිම සහයෝගයක් ලබා දෙනවා සංගීත කණ්ඩායමේ වැඩ කරගෙන යන්න.

සංගීතයට නැඹුරු නොවුණා නම් ඔබ කවුරු වේවිද?

මම කුඩා කලයේ සිටම හැදුණේ සංගීත පරිසරයක. කැමැත්ත දැක්කුවේ සංගීතයට. ඒ නිසා මට වෙන හීන, බලාපොරොත්තු තිබුණේ නැහැ සංගීතය හැරෙන්න.

සී ෂයින් හැඩකරන අනිත් සාමාජිකයෝ කවුද?

ඩ්‍රම්ස්-එස්. එම්. ඉන්දික, බේස් ගිටාර්- එස්. එම්. මංජුල, ඔක්ටර් පෑඩ්-තිමිර කවිෂ්ක, රිදම් ගිටාර්- ඒෂාන් ලක්ෂිත, රෙෂින් බුද්ධික, ලීඩ් ගිටාර්-කවිඳු ජීවන්ත, ගායකයන් විදියට ගැමුණු මේනක, ප්‍රියන්ත රත්නායක, ඉසංක දේශප්‍රිය, නිස්තාර් ඛාන්, විමුක්ති ශ්‍රීනාත් කටයුතු කරනවා.

නිතර ඇහෙන ඝෝෂාකාරී සංගීත රටාවෙන් මිදෙන්න අදහසක් නැද්ද?

අපි එකෝස්ටික් සංගීතය පැත්තටත් ක්‍රම ක්‍රමයෙන් යොමු වෙමින් ඉන්නවා. ඒ වගේම නිතරම උත්සාහ ගන්නේ ඝෝෂාකාරී රැලෙන් එහා ගිය මිනිස්සුන්ට විඳින්න පුළුවන් සංගීතයක් ලබාදෙන්න.

හැම තැනම සංගීත කණ්ඩායම් බිහි වෙද්දි, එය ඔබේ කණ්ඩායමට අභියෝගයක් නෙවෙයිද?

අපේ ප්‍රදේශයේ නම් ඒ තරම් කණ්ඩායම් නැහැ. අනික අපි කාලයක් තිස්සේ මේ ක්ෂේත්‍රයේ ඉන්න නිසා මිනිස්සු තුළ හොඳ විශ්වාසයක් අපි ගැන තිබෙනවා. ඒ නිසා වැඩවලින් නම් කිසි අඩුවක් නැහැ. අභියෝගයක් විදියට කිසි දෙයක් දිහා බලන්නෙත් නැහැ.

කවුද මේ තරම් දුර එන්න අතහිත දුන්නේ?

අම්මා, තාත්තා, සහෝදරයෝ, බිරිය, තුසිත ද සිල්වා, වසන්ත සම්පත්, ටිරොන් අයියා, චන්ද්‍රසිරි හෙට්ටිආරච්චි, ඩෙන්සිල් අයිය වගේම නම් ගම් නොකිව්ව ගොඩක් ඉන්නවා. ඒ හැමෝටම ස්තූති කරන්න මෙය අවස්ථාවක් කරගන්නවා.

අනාගත බලාපොරොත්තු?

ගුණාත්මක හා කලාත්මක සංගීත රටාවන් ලබාදෙන ලංකාවේ තිබෙන දිදුලන සංගීත කණ්ඩායමක් බවට පත්වෙන එක තමයි බලාපොරොත්තුව. 

Comments