
ස්වභාවධර්මයාගේ වර්ධනයට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් නොවිය යුතු අතර, මනුෂ්‍ය වර්ගයාගේ ප්‍රමුඛ වගකීම වන්නේ ස්වභාව ධර්මයේ ශක්තිය වර්ධනය කිරීම බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ සිංගප්පූරුවේදී ආරම්භ කෙරුණු එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනි.
මෙහිදී සමුළුව ඇමතූ ජනාධිපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ පෘථිවියේ සමස්ත ජීවයම තිරසර ලෙස පවත්වාගෙන යෑමේ වගකීම මිනිසා සතු බව බෞද්ධයකු ලෙස තමා දැඩිව විශ්වාස කරන බවයි.
මිනිසාට ජීවත් වීමට සුදුසු පරිසරයක් ගොඩනැඟීමත්, පරිසර හිතකාමි ලෙසට ගෝලීය ආර්ථිකය මෙහයවීමත් අද අපගේ ප්‍රධාන වගකීම බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පරිසරය වෙනුවෙන් යුතුකම් ඉටු කිරීමට කලාපීය සහයෝගිතාව වර්ධනය කරගැනීමේ වැදගත්කමද අවධාරණය කළේය.
පරිසර පද්ධතිය - විශේෂයෙන්ම තෙත්බිම් - රසායනික අපද්‍රව්‍යවලින් සුරැකීමට එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද පැහැදිලි කළ ජනාධිපතිතුමා කඩොලාන සුරැකීමේ පොදුරාජ්‍ය මණ්ඩලීය සාමාජිකයකු වශයෙන් ශ්‍රී ලංකාව ඉටු කරන සුවිශේෂ කාර්යභාරයද පැහැදිලි කළේය. කඩොලාන සුරැකීම වෙනුවෙන් ගෝලීය මට්ටමින් අංගසම්පූර්ණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ යෝජනාවක්ද ජනාධිපතිතුමා මෙහිදී එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ සිව්වන සැසිය වෙනුවෙන් ඉදිරිපත් කළේය.
ගෝලීය උෂ්ණත්වයේ හානිකර බලපෑම් මැද වුවද ශ්‍රී ලංකාව යෝධ හරිත ආයෝජනයක් වශයෙන් මොරගහකන්ද-කළුගඟ බහුකාර්ය ජලෙසම්පත් යෝජනාක්‍රමය සාර්ථකව ක්‍රියාත්මක කිරීමට සමත් වූ බව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා මෙය පාරිසරික වෙනස්කම්වල බලපෑම අවම කරගැනීමට ගත් එක් පියවරක් බවද සඳහන් කළේය.