මත් සටනට එස්.ටී.එෆ්. තවත් අඬු විහිදුවයි | Page 3 | සිළුමිණ

මත් සටනට එස්.ටී.එෆ්. තවත් අඬු විහිදුවයි

මත්කුඩු ව්‍යසනය ශ්‍රී ලංකාවෙන් සම්පූර්ණයෙන්ම දුරලීම උදෙසා ඒකාබද්ධ විශේෂ වැඩ පිළිවෙළක් ආරම්භ කර ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්. ලතීෆ් මහතා සිළුමිණට පැවසීය.

ඒ යටතේ දිවයින පුරා ඇති විශේෂ බළකා කඳවුරු 63ටම පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශයේ නිලධාරීන් මසක විශේෂ පුහුණුවක් ලබා දී අනුයුක්ත කිරීම මේ වන විටත් අරඹා ඇතැයිද නාවික හමුදාව යටතේ කණ්ඩායම් දෙකක් පුහුණු කිරීම සිදු කරමින් පවතින බවද ඒ මහතා කීය.

මේ වන විට විශේෂ කාර්ය බළකා කඳවුරු 10කට පුහුණුව ලත් පොලිස් මත්ද්‍රව්‍ය නාංශක කාර්යාංශ නිලධාරීන් ස්ථිර සේවාව සඳහා යොදවා ඇතැයි පෙන්වා දුන් ලතීෆ් මහතා තවත් කඳවුරු 6ක තාවකාලික මට්ටමින් නිලධාරීන් අනුයුක්ත කර ඇති බවද කීය.

මත් කුඩු විශාල ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනීමට හැකි වූයේ මේ ජාලය හරහා බවත් පසුගිය දෙසැම්බර් මස 15 සිට මාර්තු මස 15 දක්වා වූ මාස 3ක කාලය විශේෂ මත් ද්‍රව්‍ය මෙහෙයුම් කාලයක් ලෙස සලකා සියලු පොලිස් ස්ථානද දැනුවත් කර ඇති බව පෙන්වා දුන් ඔහු මේ වසර තුළදී විශේෂ කාර්ය බළකා කඳවුරු 63ටම පුහුණුව ලත් පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන් අනුයුක්ත කිරීම සිදු කරනු ලබන බවද කීය.

මේ වන විට වෙළෙඳ පොළේ සියලු මත් ද්‍රව්‍ය මිල 60%කින් පමණ ඉහළ ගොස් ඇති බවද ඔහු කීය.

එමෙන්ම මත් ද්‍රව්‍ය හිඟ වීම නිසා පැරසිටිමෝල් වැනි ඖෂධ මිශ්‍ර කර අලෙවි කිරීමට ජාවාරම්කරුවන්ට සිදුව ඇති බවත් කිලෝග්‍රෑම් 5ක් හෝ 6ක් හැරෙන්නට සෙසු මත් ද්‍රව්‍ය තොග නීතියේ රැහැනට හසු කර ගන්නට හැකි වූ බවද කීය.

නාවික හමුදාවද මේ වන වට නවීන තාක්ෂණය භාවිත කරමින් මේ වැටලීම් සඳහා ලබා දෙන සහාය වැඩි කර ඇති අතර ජනාධිපතිතුමා විසින් සිදු කළ ඉල්ලීමකට අනුව ඉදිරියේදී පිලිපීන රජයෙන්ද විශේෂ සහායක් ලැබෙනු ඇත.

Comments