
මහ කන්නයේ වී මිලදී ගැනීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, පශු සම්පත් සංවර්ධන, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් අමාත්‍ය පී. හැරිසන් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයෙ (23) දින කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවැත්විණි. එහිදී මහ කන්නයේ වී මිල දී ගැනීම සඳහා රුපියල් මිලියන 6100ක මුදලක් වෙන් කිරීමට නියමිත බව අමාත්‍ය පී.හැරිසන් මහතා පැවැසීය.
අම්පාර දිස්ත්‍රික්කයේ මහ කන්නයේ වී අස්වනු නෙලීම මේ වන විටත් ආරම්භ වී ඇති බවත් නිසි ක්‍රමවේදයකට අනුව ගොවියාගේ වී අස්වැන්න මිල දී ගැනීමට අවශ්‍ය කටයුතු සිදු කරන ලෙස එහිදී අමාත්‍යවරයා විසින් නිලධාරීන්ට උපදෙස් දෙන ලදි.
මෙහිදී එක් ගොවියෙකුගෙන් වී කිලෝග්‍රෑම් 2000ක් පමණ මිලදී ගැනීමට රජය අපේක්ෂා කරයි.ගොවීන්ගෙන් මිලදී ගන්නා වී ගබඩා කිරීම සඳහා ගබඩා පහසුකම් විධිමත් කළ යුතු බවට අමාත්‍යවරයා එහිදී නිලධාරීන් දැනුවත් කළේය.දැනට පවතින ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවන බැවින් ඉදිරියේ දී ඒ පිළිබඳ කටයුතු විධිමත් කළ යුතු බව ද මෙහිදී සාකච්ඡා විය.
අනුරාධපුර, අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවල මේ වන විටත් අස්වැන්න නෙලමින් පවතින අතර රජය ගොවීන්ගෙන් නාඩු වී කිලෝවක් සඳහා රු. 38කට ද, සම්බා රු.41කට ද මිල දී ගැනීමට තීරණය කර ඇත.
ගොවීන්ගේ පහසුව උදෙසා ඉදිරියේ දී ගොවිජන මධ්‍යස්ථාන හරහා වී වේලීමට විදුලියෙන් ක්‍රියාත්මක යන්ත්‍ර ස්ථාපනය කිරීමට ද තමන් අපේක්ෂා කරන බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මෙම අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් කේ. ඩී. එස්. රුවන්චන්ද්‍ර මහතා, වී අලෙවි මණ්ඩලයේ සාමාන්‍යාධිකාරි සමන් පාලිත බණ්ඩාර මහතා ඇතුළු වී අලෙවි මණ්ඩලයේ ප්‍රාදේශීය කළමනාකාරවරු ද එක්වූහ.