
“රජරට පුරා වසංගතයක් වගේ ව්‍යාප්ත වන වකුගඩු රෝගය දැන් අපේ ගමත් ආක්‍රමණය කරලා ඉවරයි. දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් වෙහෙරගල ජල පාරිභෝගික මධ්‍යස්ථානයෙන් වතුර බොන පවුල් දහසෙන් හැත්තෑවක වකුගඩු රෝගීයෝ ඉන්නවා. ඒ ගැන අවධානය යොමු කරලා දැන්වත් අපට බොන්න පිරිසුදු වතුර පොදක් ලබා දෙන්න කියා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා...
අරලගංවිල, වෙහෙරගල, අංක 75 පදිංචි තුෂාර කැළුම් අබේනායක කථා කරන්නේ දැඩි කලකිරීමෙනි. වකුගඩු රෝගයට ගොදුරුවූ පසු සහන ලබාදීම නොව ඊට පෙර වකුගඩු රෝගයෙන් මිනිසුන් බේරාගැනීමට කටයුතු කළ යුතු බව ඔහු හැඟුම්බරව කීවේය.
“දිඹුලාගල ප්‍රාදේශීය සභාවට අයත් වෙහෙරගල ජල ව්‍යාපෘතියේ පාරිභොගික පවුල්වල 70 දෙනෙක් වකුගඩු රෝගීන් බව හඳුනාගෙන තිබෙනවා. වෙහෙරගල මිනිස්සු ඛේදවාචකයකට ගොදුරුවීම ගැන කණගාටු වෙනවා. වෙහෙරගල ජල ව්‍යාපෘතියෙන් අපිරිසුදු ජලය දෙන්න පටන්ගෙන දැන් අවුරුදු තුනක් වෙනවා. මේ ජල ව්‍යාපෘතියේ ජලය පෙරෙන්නේ නැහැ. ජල ෆිල්ටර් කඩා වැටිලා. ජල ෆිල්ටර් වල රොන්මඩ පිරිලා. ජල ටැංකියේ සේවකයෝ ඒවා වැලි එක්කම ගොඩට දාලා ඒ වැලිම අයෙත් දානවා. ජල මෝටරය අවුරුදු 25 ක් පරණයි. නිරන්තරයෙන් අක්‍රිය වෙනවා. දැනට උල්පත්වැව වැවෙන් ගන්නා වතුර ෆිල්ටර් හරහා ගියාට පිරිසිදු වීමක් නොවී අපිරිසුදු විදිහටම අපිට ලැබෙනවා. මේ අපිරිසුදු වතුර බීලා වකුගඩු රෝගය විතරක් නොවයි තවත් රෝග හැදෙන්න පුළුවන්. ඔහු එක හුස්මට කියාගෙන යයි.
අරලගංවිල, වෙහෙරගල,පදිංචි ආර්.එම්.රත්නපාල මහතා බොඳවූ නෙතින් යුතුව කතා කරයි. තමන්ගේ කථාව කියන්න පෙර හිත හදාගන්න ඔහුට බොහෝ වෙලාවක් ගත විය. අවුරුදු 16 ක් වූ ඔහුගේ පුතු හදිසියේ මිය ගොස්ය. වතුරෙන් විෂබීජයක් මොලයට යෑම නිසා මරණය සිදුවූ බව වෛද්‍ය නිගමනය වී ඇත. වෙහෙරගලින් ලැබුණ අපිරිසුදු ජලය තමන්ට මෙවැනි ව්‍යසනයක් ඇති කළ බව ඔහු කීවේය.
“අපේ දරුවාට 2017 සාමාන්‍ය පෙළ විභාගයට දින තුනකට කලින් හදිසියේ හිසේ කැක්කුමක් හැදුණා. අපි දරුවා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කළා. දිනෙන් දෙකෙන් දරුවා අසාධ්‍ය තත්ත්වයට පත්වුණා. දැඩි සත්කාර ඒකකයේ සති දෙකක් ප්‍රතිකාර ලබලා සාමාන්‍ය පෙළ විභාගය අවසන් වන දවසේ දරුවා අවසන් ගමන් ගියා. වෛද්‍යවරු කිව්වේ වතුරෙන් විෂබීජයක් ගිහින් කියලා. දරුවා නැති පාළුව අපිට දරා ගන්න බැහැ. දැන් අපි මැරි මැරී උපදිනවා.
අද වන විට අපේ ගමේ අවුරුදු 17ක දුවෙක් වතුරෙන් මොලයට විෂබීජයක් ගිහිං රෝහල්ගතවී දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබනවා. අපි විශ්වාස කරන්නේ වෙහෙරගලින් ලැබෙන අපිරිසුදු වතුරෙන් මේ දරුවන්ට විෂබීජ ගියා කියලායි.
අපිරිසිදු ජලය ළමා පරපුරට විෂබීජ ශරීරගත කරද්දී වැඩිහිටියෝ වකුගඩු මාරයාට ගොදුරු වෙමින් සිටිති. රටට බත සපයන්න රටේ විවිධ ප්‍රදේශවලින් පැමිණ වෙහෙරගල මහවැලි කොට්ඨාසයේ පදිංචි වී සිටින මේ මිනිසුන් ඉල්ලා සිටින්නේ ලෙඩරෝගවලින් වැලකී සිටීමට පිරිසිදු වතුර පොදක් පමණකි.
දිඹුලාගල ප්‍රාදේශීය සභාව යටතේ පාලනය වන වෙහෙරගල පානීය ජල ව්‍යාපෘතියෙන් වෙහෙරගල ඇතුළුව අවට ගම්මාන පහකට ජල පහසුකම් සපයයි. මීට වසර විසිපහකට පමණ ඉහත මහවැලි අධිකාරිය මගින් ඉදිකළ මෙම ජල ව්‍යාපෘතිය අද වන විට අබල දුලබ තත්ත්වයක පවතින බව වෙහෙරගල ජනතාව පවසති.
වෙහෙරගල, අංක 104 හි පදිංචි පී.ඩබ්.නිලන්ති මහත්මිය ජල ව්‍යාපෘතියේ අසාර්ථකත්වය ගැන කරුණු කීපයක් මෙලෙස පැහැදිලි කළාය..
“මෙම ජල ව්‍යාපෘතිය මීට අවුරුදු 25කට කලින් මහවැලි අධිකාරිය මගින් ඉදිකළා. ඊට පස්සේ දිඹුලාගල ප්‍රාදේශීය සභාවට පවරා දුන්නා. මුල් කාලේ සභාව මෙය හොඳින් කරගෙන ගියා. දැන් අවුරුදු තුනක විතර ඉඳලා ආර්ථකයි. දැනට භාවිතාකරන සියලුම උපකරණ අලුතින් යෙදිය යුතුයි. ජල ෆිල්ටර් අලුතින් හැදියයුතු වෙනවා. සමහර ජල නල මලකඩ වලින් පිරිලා. ඒ වගේම තමයි මෙම ජල ව්‍යාපෘතියට ජලය ගන්නා උල්පත්වැව වැවට සත්ත්ව ගොවිපොළවලවලින් අපද්‍රව්‍ය එකතු වීමේ අවදානමක් තිබෙනවා. ඒ ගැන ප්‍රාදේශීය සභාවේ අවධානය යොමු විය යුතුයි.
වෙහෙරගල මිනිසුන්ගේ මූලිකම අරමුණ පිරිසිදු වතුර පොදක් ලබා ගැනීමයි. ඔවුහු ඒ සඳහා වසර තුනක සිට අරගල කරන බව කියති. ප්‍රාදේශීය සභා මන්ත්‍රී සේනක රාජපක්ෂ කියන්නේ තමන් මන්ත්‍රී ධූරයකට අවේ මෙම ජනතාවගේ ජල ගැටලුව ප්‍රමුඛ ප්‍රධාන ගැටලු කිපයකට විසඳුම් ලබා ගැනීමට බවයි..
“වෙහෙරගල ජනතාව මුහුණදී සිටින පානීය ජල අර්බුදය මාව මන්ත්‍රී ධූරයක් දක්වා ගෙනාවා. එහෙම කිව්වොත් එය නිවැරදියි. අපේ දිස්ත්‍රික්කයේ පිබිදෙමු පොලොන්නරුව වගේ දැවැන්ත සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා. එවැනි වැඩසටහනකින් වෙහෙරගල මිනිසුන්ටත් සහනයක් දෙන්න කියලා බලධාරීන්ගෙන් ඉල්ලා සිටිනවා. අපිරිසිදු වතුර ලැබුණත් නියමිත වෙලාවට ජල බිල නම් ලැබෙනවා. ඒ බව ජල පාරිභෝගිකයින් ලෙස අපි කියන්නේ කණගාටුවෙන්.
මාදුරුඔයෙන් එන වල්අලි වෙහෙරගල ගොවිතැනට වින කරති. වකුගඩු මාරයා ජීවිත බිලි ගැනීමට සැදී බලා සිටියි. මේ සියලු අභියෝග මැද මේ උදවිය රටට බත සපයති. නව වර්ෂයේදීවත් වෙහෙරගල මිනිසුන්ට පිරිසුදු වතුර පොදක් බොන්න වාසනාව ලැබේවිද?.
කෝටි තුනක් වෙන් කරලා තියෙනවා ගැටලුව විසඳෙයි
- ප්‍රාදේශීය සභාවේ සභාපති ජයන්ත මාරසිංහ
වෙහෙරගල, ජනතාව තම මූලික අවශ්‍යතාව ලෙස ඉල්ලා සිටින්නේ වෙහෙරගල ජල ව්‍යාපෘතිය නවීකරණය කිරීමය. දිඹුලාගල ප්‍රාදේශීය සභාව මේ පිළිබඳ අවධානය යොමු නොකරන්නේ මන්දැයි එහි සභාපති ජයන්ත මාරසිංහ ගෙන් අපි විමසුවෙමු. සභාපතිවරයා මෙලෙස පිළිතුරු දුන්නේය.
“දිඹුලාගල ප්‍රාදේශීය සභාවෙන් පාලනය කරන වෙහෙරගල ජල ව්‍යාපෘතියේ පාරිභෝගිකයින් දැඩි අපහසුතාවකට පත්වී සිටින බව මම දන්නවා. මේ වන විට වෙහෙරගල ජල ව්‍යාපෘතිය නවීකරණය කිරීමට රජයෙන් රුපියල් දෙකෝටි අසූලක්ෂයක් වෙන්කර තිබෙනවා. ඊට අමතරව ප්‍රාදේශීය සභාවෙන් රුපියල් ලක්ෂ විස්සක් වෙන්කර තිබෙනවා. මේ අනුව රුපියල් කොටි තුනක වියදමකින් වෙහෙරගල ජල ව්‍යාපෘතිය මේ වසරේදී නවීකරණය වෙනවා. මේ වන විට ටෙන්ඩර් කැඳවා අවසන් කර තිබෙනවා. තව සතියකින් කොන්තරාත්කරු වැඩ පටන් ගනියි.
ප්‍රසන්න සිල්වා