නටන දුපතේ ලිහි­ණින් අතරේ ගෙවුණු සොඳුරු දව­සක් | සිළුමිණ

නටන දුපතේ ලිහි­ණින් අතරේ ගෙවුණු සොඳුරු දව­සක්

අතො­රක් නැතිව සුසු­ම්ල­මින් එහා ඉමේ සිට මෙහා වෙරළ තෙක් දිව එන රළ ගොඩ­බිම සිප ගන්නේ වියරු වෙස­කිනි. මන්ද­යත් ගොඩට ගසනා සෑම රළ බිඳු­ම­කින්ම යළිත් මුහුද දෙසට රැගෙන යන්නේ ගොඩ බිමින් කොට­සකි. මා අද දින රැදී සිටිනා මේ මුහුදු වෙරළ තීරය තවත් මාස­ය­කින් ඉනි­ක්බිති මහ සයු­රේම කොට­සක්ය යන්න හිත­ළු­ව­කැයි නොසි­තන්න. නමුදු සමු­දුරු රළ ගෙඩි විසින් ගොඩ බිමින් කොට­සක් ගිල ගත්තත්, ඊට හිලව් වශ­යෙන් අලු­තින් බිම් කොට­සක් යළිත් පෙරළා ලබා දීම­ටද මහ­ස­මු­දුර කාරු­ණික වේ. ඒ ක්‍රියා­ව­ලිය මුල් කර­ගෙන මේ දූපත් වලට නටන දූපත් කියන නම පට­බැදී ඇත. නටන දූපත් ගණන16 කි. ඒවා ඉන්දු - ලංකා මුහුදු සීමාව තුළ පිහිටා ඇත. එම දූපත් 16 න් දූපත් 08 ක් අපට අයත් වන අතර, ඉතිරි දූපත් අට අයත් වන්නේ අපේ ළඟම රට වන ඉන්දි­යා­ව­ටය. ඉන් අපේ රටට අයත් දූපත් 08න් පිළි­වෙ­ළින් තෙවන දූපත තුළ මේ මොහොතේ මා රැදී සිටිමි. ඒ සොබා­ද­හමේ තවත් අපූර්ව වු පබැ­දු­මක් සේ ප්‍රකට ළිහිණි කවි­ය­කට සම­වැ­දෙනු රිසි­යෙනි.

බැලූ බැල්මට නිසරු බිමක් සේ දිස්වන මේ වැලි පර දූපත් ඉටු කරනු ලබන පාරි­ස­රික මෙහෙ­වර සුළු­පටු නොවේ. මේ ශුෂ්ක වු භූමියේ අව්කූ­ට­ක­යෙන් රත්වන වැලි දූපත් වසරේ එක් සම­යක් තුළදී මුහුදු ළිහි­ණි­යන්ට ක්ෂේම භූමි­යක් වන බව නම් අපේ රටේ බොහෝ දෙනෙක් නොදත් රහ­සකි. මේ රහසේ සැබැ තතු කෙබ­දුද? ඒ පිළි­බ­දව සොයනු රිසි­යෙන් ඇරැඹි ගවේ­ශ­ණ­යක් හරහා අනා­ව­ර­ණය කර ගත් තොර­තුරු වළින් බිදක් මෙසේ සට­හන් තබ­නුයේ නිසරු වු බිමක් වුවද සොබා­ද­හමේ නිමැ­වු­මක් ලෙසින් බිහි වනුයේ එහි අග­යක් ඇති නිසා­වෙන් බව යළි යළිත් සිහි­පත් කර­මිනි.

ශ්‍රී ලංකාවේ තලෙයි මන්නා­රම් තොටින් ඉන්දි­යන් සමු­දුර තර­ණය කර අන්ද­මන් දූපත් වළ ඇරැ­ඹුමේ පිළි­වෙ­ලින් අංක 01 වැලි පර දූපත, අංක 02 වැලි පර දූපත පසු කර­මින් අංක 03 වැලි පර දූපත වෙතට උදෑ­ස­නම ගොඩ බැස්සේ දව­සම මුහුදු ළිහි­ණින්ගේ තතු විත්ති පිළි­බ­දව අධ්‍ය­ය­නය කිරීම සදහා ය. දවස පුරා අව්අව් රශ්මි­යෙන් උණූ­සුම් වන වැලි පර දූපත් අතරේ සනි­ටු­හන් වන මුහුදු ළිහි­ණින්ගේ ජීවන තොර­තුරු වඩාත්ම සක්‍රී­යව නිරී­ක්ෂ­ණය සදහා නම් යෝග්‍යම කාල සීමාව වන්නේ හිරු රැස් සෞම්‍ය වන උදෑ­සන සහ සවස් කාල­යයි. එබැ­වින් ශ්‍රී ලංකා නාවික හමුදා යාත්‍රා වලින් හිමි­දිරි උදෑ­ස­නම තලෙයි මන්නා­ර­මින් ගමන් ආරම්භ කළ අප තෙවන වැලි­පර දූපත වෙත උදෑ­සන හත­හ­මාර, අට පමණ වන විටදී අදාල ස්ථාන­යට පැමි­ණි­යෙමු. මන්ද යත් එකම අදි­ටන හොදින් ළිහි­ණින්ගේ තතු අධ්‍ය­ය­නය කිරී­මයි. වැලි පර දූප­තට ගොඩ බෑ මොහොතේ සිට ඉන් පිටත්ව යන තුරා­ව­ටම සවන් අතරේ ඒක නින්නාද දුන් මුහුදු ළිහිණි “ක්රෑමක්”.... “ක්රෑමක්” හඩින් ආග­න්තුක අප වෙත සංග්‍රහ කරන්න නම් මේ සත්ව­යින් අම­තක කළේ නැති බවත් සිහි­පත් කළ යුතුයි.

තෙවන දූපත යනු කුරුළු කොළ­ණි­යකි. අතුරු සිදුරු නැතිව මුළු දූප­තම අර­ක්ගෙන සිටින්නේ මුහුදු ළිහි­ණි­යන්ය. සුදු පැහැති වර්ණයේ සිට කළු - සුදු දෙව­ර්ණ­යෙන් සහ අළු - කළු වර්ණ­යෙ­නුත් සැදුම් ලත් සිරුරු වළින් හෙබි මේ පක්ෂින් අජීවී කහ පැහැති වැලි පර දූපත් අත­රට එක් කර ඇත්තේ සජීවී බවකි.නිරා­ව­ර­ණය වු මුහුදු වැලි මත වගේම වැල්ල මත දිව ගිය වැල් ගොමු අත­රේත් කැදිලි තනා ගෙන ඔවුන් ගෙවනා ජීවි­තය සැබැ­වින්ම මන­රම්ය. මේ ගෙවී යමින් තිබෙන්නේ මුහුදු ළිහි­ණින්ගේ අභි­ජ­නන සමයේ අව­සන් භාග­යයි. ප්‍රමා­ණා­ත්ම­කව සෙන්ටී­මී­ටර් 55 සිට සෙන්ටි­මී­ටර් 20 අතරේ දෝල­ණය වන ශාරී­රික ප්‍රමා­ණ­යන් නියෝ­ජ­නය කරනා සාමා­ජි­ක­යින් අතරේ ඇත්තේ එකි­නෙ­කාට වෙනස් වු හැසි­රීම් රටා­වන්ය.

අපේ රට තුළදී නිරී­ක්ෂ­ණය කළ හැකි මුහුදු ළිහි­ණි­යන් අතරේ ශරීර ප්‍රමා­ණ­යෙන් විශාල එනම් සෙන්ටී­මී­ටර් 55 කට ආසන්න වන සිරු­රක් දරන්නේ කැස්පියා මුහුදු ළිහි­ණි­යාය. සෙස්ස­න්ගෙන් වෙන් කර හදුනා ගත හැකි වන්නේ සාපේ­ක්ෂව විසල් සිරු­රෙන් සහ දිළෙන සුළු වන රතු පැහැති හොටෙනි. කකුල් කළු පැහැති වන අතර අභි­ජ­නන සමය ළන් වත්ම හිසේ දක්නට ඇති සුදු පැහැති කැඩුණු ස්වභා­ව­යෙන් යුතු රේඛා මැකී ගොස් තද කළු පැහැ­යක් ගනී. යුවළ බැදුම් සහි­තය. නිරා­ව­ර­ණය වු වැල්ල මත වළැති තැනක් බිජු ලෑමට භාවි­ත­යට ගන්නා අතර බිත්තර තද දුඹුරු පැහැති එහි පසු­බිමේ අලු­වන් තිත් සල­කුණු වැටී ඇත. ප්‍රමා­ණ­යෙන් බිත්ත­ර­යක් මිලි මීටර් 60 – 45 ත් අතර අග­යකි. වර­කට කිරි­ල්ලිය විසින් බිත්තර 01 – 03 ත් අතර සංඛ්‍යා­වක් දමනු ලබයි. බිත්තර රැකීම සහ පැට­වුන් පෝෂ­ණය කිරීම මා - පිය දෙපා­ර්ශ­ව­යම සමෝ සමව ඉටු කරන අතර පැට­වුන්ගේ ආර­ක්ෂාව පිළි­බ­දව බෙහෙ­වින්ම කැප වේ. අප ගොඩ බට දූපතේ වැඩි අයි­ති­යක් තමන් සතු කර ගනි­මින් ස්වකීය අභි­ජ­නන බිම ලෙස මේ දූපත අත් කර ගෙන සිටි­යේද කැස්පියා මුහුදු ළිහි­ණි­යන්ය. මුහුදු ළිහි­ණින් බිජු දමා තිබූ භූමිය පසු කර දූපතේ අනෙක් පසට ගමන් කරන විටදී දක්නට ලැබුණේ මේ පක්ෂීන් අත­රින් පිරි­සක් තමන්ගේ දරු­වන් පෝෂ­ණය කරන අතරේ තවත් පිරි­සක් යළිත් බිජු දමා පැට­වුන් නිසි කල සපුරා බිත්තර බිද එළි­යට එන­තුරු කල් මරනා දසු­නට හේතු බිජය වු සාක්ෂි­යකි. දූපතේ මේ ප්‍රදේ­ශයේ ඇත්තේ කුරු­ල්ලන් විසින් අත් හැර දමා තිබූ බිත්තර දස දහස් ගණ­නකි. ඒ පෙර දිනෙක ගැලූ මුහුදු දියට යට වු බිත්තර වේ. කර­දිය මුසු ජල­යෙන් බිත්තර යට වු වහාම ඒවා අතැර යළිත් බිජු දැමි­මට මේ පක්ෂීන් පෙළඹේ. මන්ද යත් තමන්ගේ අභි­ජ­නන සමය තුළදී යළිත් බිජු දැමීමේ හැකි­යාව ඔවුන් සතුව ඇත. නොගැ­ඹුරු මුහුදු කලා­ප­යට අයත් මේ වැලි පර දූපත් සීමාවේ නිර­න්ත­ර­වම සිදු වන වඩ දිය බාදිය ක්‍රියා­ව­ලිය හේතු­වෙන් මෙම වැලි පර වැටියේ භූරූ­පීය වෙනස් කම් සිදු වීම යනු සාමාන්‍ය වු සංසි­ද්දි­යකි. මෙම ලිපියේ ඇරැ­ඹුමේ සද­හන් කළ පට­බැදි නාමය වන නටන දූපත් බිහි වන්නේ ඒ අයු­රිනි.

කට කම­සෙ­යි­යා­වක් නැතිව කෑ මොර නගනා මුහුදු ළිහි­ණි­යන්ගේ ජන­ප­දයේ සිය­ල්ලන්ම තම පැට­වුන්ට එල්ල වන බාධා­වන් අභි­මුව එකා­වන්ව එකතු වන්නේ එවිට සතු­රාට අබි­යෝ­ග­යක් එල්ල කල හැකි බව වටහා ගෙන විය යුතුය. නමුත් ඔවුන්ගේ එකී ප්රුය­ත්නය නිස්ඵල වු වෑය­මක් බවට පත් වන්නේ සිය­ල්ල­න්ගේම ඇස් වසා ගොදුරු පක්ෂීන් විසින් දින­කට වරක්, දෙව­රක්, තෙව­රක් ආදි වශ­යෙන් විටෙන් විට දී ළිහිණි පැට­වුන් ඩැහැ ගෙන යාම සුල­භව සිදු වන බැවිනි. ඈත අහස් ඉමේ සිට රවුම් ගස­මින් ක්‍රමා­ණු­කූ­ලව වැලි­පර දූපත් ඉස­ව්වට පාත් වන උකු­ස්සෙක් නෙතට හසුවු ඇසිල්ලේ ඒ පණි­වු­ඩය දූපතේ අස්සක් මුල්ලක් නෑරම පතු­රුවා හැරී­මට ළිහිණි “ක්රෑනක්” හඩ සමත් වේ. එහි ඇති ත්‍රීව්ර­තා­වය කණ වැකුණු ඇසිල්ලේ මා පිය දෙපා­ර්ශ­ව­යම සෙසු ළිහිණි හා එක් වී ස්වකීය පැට­වුන් ඉහළ අහස් කුසේ සටිනා ගොදුරු පක්ෂි­යාගේ නිරී­ක්ෂ­ණ­යට හසු නොවන සේ බිම්ම­ට්ටම ආව­ර­ණය කර­මින් පියැ­ඹීම අර­ඹයි. එය පියෑ­ඹී­ම­කට වඩා එක් තැනම රැදී සිටි­මින් සිදු වන පියා සැලී­මක් සේද සද­හන් කළ හොත් නිවැ­ර­දිය. එසේ අහස් වියන මත රැදෙ­මින් බිම් මට්ටමේ ළැග සිටින පැට­වුන් ක්‍රමා­නු­කූ­ලව ආර­ක්ෂිත වු එක් ස්ථාන­යක් වෙතට රැගෙන යන්නත් මේ අය දක්ෂයි. පුළුන් බෝල වැනි පුංචි කුරුළු පැට­වුන් මා පිය මග පෙන්වීම අනුව යමින් ආර­ක්ෂිත භූමිය වෙතට ළගා වෙන්න සමත් වුණාට මේ සිදු වන කළ­බ­ල­යෙන් බියට පත් වන පුංචි පැට­වෙක්, දෙන්නෙක් යා යුතු මග තේරුම් කර ගත නොහී එක තැන රැදීම හෝ වෙනත් දිසා­ව­කට දිව යෑම අපට දකින්ට පුළු­වන් විය. ඒ අව­ස්ථාව උදා වන තෙක් රවුම් ගස­මින් සිටිනා ගොදුරු පක්ෂී­න්අ­ව­ස්ථාව ලද සැනින් ඊයක වේග­යෙන් විත් පුංචි පැට­වුන් ගොදුරු කර ගන්නේ කරුණා විර­හි­ත­වය. යකඩ කොකු හා සමැ වු නිය අතරේ සිර වන පුංචි වුන් රැගෙන වේග­යෙන් ඉගිළි යන උකු­ස්සන් පසු පස හඹා­ය­මින් ළිහිණි මා පියන් විරෝ­ධය පෑවත් ගොදුරු පක්ෂීන් ඒ වගක් කණ­කට වත් ගන්නේ නැත. සිරුරේ යට­ටම කිදා බසිනා රැදුරු නිය පහ­රින් ඒ වන විටත් මියැ­දෙ­මින් සිටිනා සියු­මැලි වු පුංචි පැට­වුන් උදෙසා වෙහෙ­සීම ඵල රහිත බව වටහා ගන්නා වැඩි­හිටි පක්ෂීන් තමන්ගේ උත්සා­හය අත­හැර යළිත් දූපත වෙත පැමිණ කැ මොර ගැසු­වත් ඒ ටික වේලා­ව­කට පම­ණය. තවත් දින දෙක තුන­කින් අලුත් බිත්ත­ර­යක් දමා එය රැකීම

කැස්පියා මුහුදු ළිහි­ණින්, හීන් කොණ්ඩ මුහුදු ළිහි­ණින්, මහ කොණ්ඩ මුහුදු ළිහි­ණින් ආදීන් විවෘත වැල්ල මත පිහිටි කුඩා වළක් මත්තේ බිජු දමා බිජෞ­ෂ්ණය කරද්දි තවත් මුහුදු ළිහි­ණින් පිරි­සක් වැල් පැළැටී ගොනු මත සුර­ක්ෂි­තව බිජු දමා රැකීම අර­ඹනු ඇත. කොට­සක් වැල්ල මත ළගිද්දි, තවත් පිරි­සක් පැළෑටී ගොනු මත ළගියි. උඩු කය කළු පාට, යටි කය සුදු පැහැති අපූරු විහග මිතු­රෙක් තමයි දුඹුටු මුහුදු ළිහි­ණියා. ඔහුගේ නළලේ සුදු පැහැය ඇස තෙක් විහිදි යයි. නමුත් එය ඇස පසු නොක­රයි. හොට සහ ඇස අතරේ කළු පාට ඉරකි. හොට, පා යුගළ කළු පැහැ­තිය. පෙදය අග්ගිස්ස ගැඹුරු ලෙස දෙබල් වී ඇත. මේ අයත් අභි­ජ­නන සමය කිට්ටු වෙද්දී හිසෙහි පව­තින සුදු පැහැති කැඩිරි ස්වභා­වය නැතිව ගොස් දිලෙන කළු පාටින් දිස්වේ. එය මේ ලිහි­ණින්ගේ සිරු­රට එක් කරන්නේ අපූ­ර්ව­ත්ව­යකි. එකී පැහැ වෙනස සුවැදි සමයේ ඇරැ­ඹුම සනි­ටු­හන් කරනා මැයි මුල සිටම දැක ගත හැකිය.වැල්ල මත දිව යන බිම් තඹුරු වැනි වැල් ගාල් මත්තේ බිජ­ලෑ­මට මේ මුන් ප්‍රිය කරයි. ලිහි­ණින්ගේ හැසි­රීම් දෙස බලා සිටින විට දුටුවේ දුක්මුසු දසු­නකි.

කැස්පියා මුහුදු ළිහිණි පැට­වෙක් මාපි­යන් පසු පස දිව ගොස්, ඉනි­ක්බිති මාපි­යන් තමන් තනි කර දමා ඈත අහස් කුස අර­ඹයා පියාඹා යන දෙස බලා හිද යළිත් තමන්ගේ යහළු සමා­ජය වෙත ඇදී ගියේ දුක­කින් මෙනැයි මට සිතේ. බිත්තර බිද අලුත උප­දින කුරුළු පැට­වුන් ඉතා ඉක්ම­ණින් මාපිය බඩ­ව­තින් නික්මී දූපතේ තමන්ගේ කුරුලු සමා­ජ­යට අයත් වප­ස­රියේ ස්වාධී­නව ඇවිද යන්න සමත් වෙනවා. ඔවුන් උප­දින විටත් ශක්ති­මත් වු පාද යුග­ළක් හිමිව තමයි මෙළොව එළිය දකි. පියා­සර පිහාටු වර්ධ­නය වී පියාඹා යාමේ හැකි­යාව ලැබෙන තුරු ධාවීය ජීවි­ත­යක් සදහා ඒ උරු­මය ඔවුන්ට මහත් වු පිටු­ව­හ­ළක් ලබා දෙනවා.තවත් මාස එක­හ­මා­ර­කින් පමණ ඉනි­ක්බිති මේ අයත් යම් තාක් දුරට පියෑ­ඹී­මට සම­ත්කම් පානවා.

උදෑ­සන සිට හවස් සමය තෙක් එක සීරු­වට වැලි පර දූපත් දවා හලු කිරි­මට වුව සමත් කම් ඇති බැව් විදහා පෑ හිරු අස්තංග වීමට ආසන්න හෝරාව පැමිණ ඇති බවට ඉගි බිගි සැමත රජ­යයි. අව් රැල්ලේ ඇත්තේද සැදෑ සෞම්ය­තා­ව­යක්. දිවා හිරුගේ තේජස්වී බව අභි­මුව නිදි­ගත් ලීල­යෙන් පසු වු මුහුදු ළිහිණි සාමා­ජි­ක­යින්, යළිත් මළ හිරුගේ රැස් අබි­මුව නිදි­ගත් ලකුණු පහව ගොස් ක්‍රියා­ශී­ලිව දූපතේ පියා­සැම අරඹා ඇත. ළිහිණි පැංචන් මා පිය ආරක්ෂා මැද එකි­නෙ­කාගේ ඇගෙහි හැපෙ­මින් ඔබ මොබ දිව යයි. අලුත උපන් පැට­වුන් මා පිය බඩ වතේ සැගව ගෙන හිරුගේ අස්තං­ගය දෙස බලා ගෙන, මුහුදු රළ බිදෙනා සෝ සුසුම් හඩට සවන් දෙමින් කුමක් නම් සිත­නවා ඇති දැයි යන්න නටන දුපතේ ගෙවී ගිය දවස පුරාම මසිතේ වූ සිතු­වි­ල්ලයි.

සඳ­මල් රශ්මි ශ්‍රී බුද්ධික
සේයා රූ- රෝහිත ගුණ­ව­ර්ධන

Comments