
* ඩන්කන් වයිට් සිංහල ඉෙගන ගත්තෙත් මේ පාසලෙන්
* ගංවතුර කාලෙට අවතැන් කඳවුරක්
දැන් සියල්ල සිදු වන්නේ මෝස්තරයටය. සුපිරි පාසල්වල පළමු වසරට පාසල් දරුවන් බඳවාගැනීම ද සුපිරි උත්සවයකි. නමුත් ගම්බද පාසල්වල තවමත් එවැනි තත්ත්වයක් උදා වී නැත. තමන්ට ඇති හැකි ලෙස ආගමට දහමට මුල් තැන දෙමින් චාම් ලෙස වසරක් නොව විසිඅට වසරක් තිස්සේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගන්නා උත්සවයක් ගැනයි මේ කතාව.
පාසල් භූමියේ නා ගසක් යට සිහිල් සෙවණේ හිඳ මම ලියන්නට පටන් ගතිමි. තැන නුහුරු ය. පාසලේ දරුවන්ගේ කෑකෝ ගැසිල්ල ඈතින් ඇසේ. මා දෙනෙත යොමු වී තිබුණේ කොළය වෙතය. නමුදු කවුරුන් හෝ අසල දැවටෙන බව දැනී මම අවට බැලුවෙමි. ඒ අද උදේ පළමු ශ්‍රේණියට ඇතුළත් වූ එකම ශිෂ්‍යයාය.
නෙතුම් මා අසලය.
‘පුතාට පාළුයි ද?’
පොඩ්ඩා ‘නැතැයි’ හිස දෙපසට වැනුවේය.
‘එයාට පාළු නෑ. අපි එයාව බලා ගන්නවා. අපි එයා එක්ක සෙල්ලම් කරනවා’ කටකාර අදිස, කවිඳු හා අමාෂ පොඩ්ඩෝ කියන්නට වූහ.
‘ඔයාලා කී වැනි පන්තියේ ද?’
‘අදිෂයි අමාෂයි දෙකේ පන්තියේ. මම තුනේ පන්තියේ.’ කටකාර කවිඳු ඇස් නටවමින් කීය.
අත් අල්ලාගත් පොඩිත්තෝ යළිත් පාසල් පිට්ටනිය දෙසට දිව යන්නට වූහ.
පුංචි උන් දෙස බලා සිටින විට සිත නැඟුණේ සතුටකි.
මේ අත්දැකීම විඳින්නට ලැබුණේ අගනුවරින් දුර බැහැර පාසලකදීය. එනම් අගලවත්ත, බදුරලිය ලත්පඳුර බ/මතු/පඤ්ඤාසේන කනිටු පාසලේදීය.
දිවයිනේ ම පාසල්වල පළමු ශ්‍රේණියට ළමයි ඇතුළත් කරගත් ඉකුත් දාහත් වන දා අපි එම විද්‍යාලයට ගියෙමු. ඒ සිසුන් බඳවා ගැනීම ගැන බලන්නටය.
අගනුවරින් බොහෝ දුරබැහැර නිසාත් උත්සවය උදෑසන හතට පටන් ගන්නා නිසාත් අප එහි ගියේ හිමිදිරි පාන්දරමය.
‘අප එහි ගියා වෙලා වැඩිය.’
පාසල ඉදිරියේ නතර වූ අපි අපිට ම කියා ගතිමු. අනතුරුව ඒ මොහොත උදා වන තුරු අපි බලා සිටියෙමු.
උදෑසන හත වන විට සියල්ල සූදානම්ය. පාසල් වත්ත පිටිය පිරිසුදු කර පන්ති කාමර ද පිරිසුදු කර පිළිවෙළකට සකසා තිබිණි.
“අද තමයි අපේ පාසලේ දරුවෝ බාර ගන්නේ. දරුවෝ කිව්වට මේ අවුරුද්දේ පළමු ශ්‍රේණියට ඉන්නේ එක දරුවයි. නමුත් වසර ගණනාවක් තිස්සේ මේ පාසලේ සම්ප්රදාය තමයි පළමු ශ්‍රේණියට ළමයි භාර ගන්නා විට සාංඝික දානමය පින්කමක් පවත්වා සෙත් පැතීම. අම්මලා තාත්තලා තමයි මේ වෙනුවෙන් කැප වෙන්නේ. මේ වන විට අපේ පාසලේ දරුවෝ හැත්තෑ අටක් ඉන්නවා. දරුවෝ අඩු වුණත් මේ පාසලේ දරුවන්ගේ ප්‍රතිඵල ඉහළ මට්ටමක තියෙනවා. අපේ පාසලේ පළමු ශ්‍රේණියේ සිට එකොළහ ශ්‍රේණිය දක්වා පන්ති පැවැත්වෙනවා. ගුරුවරු දාසයක් ඉන්නවා. ලත්පඳුර හන්දියේ ඉඳලා ඉස්කෝලෙට කිලෝමීටර දෙකක් විතර දුර එන්න ඕන.
විදුහල්පති පී.කේ. විජේදාස මහතා පවසන්නට වූයේය.
අක්කරයක පමණ වූ භූමි භාගයක පිහිටා ඇති පඤ්ඤාසේන කනිටු විදුහල හරි අපූරු ය. ඒ අපූරු බව වඩාත් වැඩි කරන්නේ වසර විසිඅටක් පුරා පළමු ශ්‍රේණියට පාසල් දරුවන් බඳවාගන්නා දවසේ කරනු ලබන මහඟු පුණ්‍ය කර්මය ද හේතුවෙනි.
එය සොඳුරු දසුනකි. භික්ෂූන් වහන්සේ පස්නමක් එක පෙළට පාසලට වැඩිය හ. පා සේදීම ඇතුළු වතාවත් කළේ පාසල් දරුවෝය. උදෑසන දානය පිළියෙල කරගෙන විත් තිබුණේ මවුපියෝය. මෙවර පළමු ශ්‍රේණියට ඇතුළත් කරන ලද එම්.ඒ. මෙතුම් නිම්සර සිසුවා ද ඔහුගේ මව සහ පියා ද මේ කටයුතුවල පෙරමුණ ගෙන සිටිය හ.
“මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. දුව මේ පාසලේ එකොළොස් වන ශ්‍රේණියේ ඉගෙන ගන්නවා. පුතා ඉගෙන ගත්තෙත් මේ පාසලේ. නමුත් පුතා අටේ පන්තියේ ඉන්න කොට පැවිදි වුණා. අද මේ දානමය පින්කමට පොඩි හාමුදුරුවොත් වැඩම කරලා ඉන්නවා. පොඩි හාමුදුරුවෝ තමයි මට කිව්වේ අක්කයි, උන්වහන්සෙයි මේ පාසලේ ඉගෙන ගත්ත නිසා මල්ලිවත් මේ පාසලටම ඇතුළත් කරන්න කියලා.
මගේ සැමියා මේසන් වැඩ කරන්නේ. මම කොහුමෝලක වැඩ කරනවා. අපි මේ දුක් විඳින්නේ දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්න. මගෙ දරුවෝ හොඳට ඉගෙන ගනීවි කියන විශ්වාසය මට තියෙනවා.” ශ්‍රියානි සිය පුතුගේ හිස අතගාමින් අප හා පැවසුවාය.
අද වන විට පළමු ශ්‍රේණියට එක් ළමයෙක් ඇතුළත් වුණද අතීතයේ පඤ්ඤාසේන පාසලේ ළමයි සිය ගණනක් සිටි බව වැඩිහිටියන් පවසන්නේ දෑසේ කඳුළු පුරවාගෙනය.
“අපි ඉගෙන ගන්න කාලේ ළමයි අටසියයක් විතර හිටියා. මගෙ දරුවෝ ඉගෙන ගත්තෙත් මේ පාසලේ. දැන් මුනුපුරු මිනිපිරියෝ එන්නෙත් මේ පාසලට. ඒත් ඉස්සර වගේ පාසලේ දරුවෝ නැති එක හිතට දුකක්.”
ආච්චි අම්මා කෙනෙකු පවසන්නේ නෙතේ කඳුළක් පිස දමමිනි. තමන් ඉගෙන ගත් පාසලේ සිසු සිසුවියන් අඩු වීම ඔවුන්ට දුකක් වුවද පාසල් දරුවන්ගේ අධ්‍යාපන මට්ටම ඉහළ තිබීම ගැන ඔවුහු සතුටු වෙති.
මෙම පාසල මුලින් ම ආරම්භ වන්නේ එක්දහස් නවසිය විස්සේ. ඒ පඤ්ඤාසේන විහාරස්ථානයේය. පන්සලේ ආරම්භ කළ පාසල රජයේ පාසලක් බවට පත්වන්නේ එක්දහස් නවසිය තිස් පහ වසරේදීයි. මුලින් ම සිසුන් හතර දෙනෙකුගෙන් පටන්ගත් පන්සලේ පාසල රජයේ පාසලක් වූ පසු වසර ගණනක් යන තුරු සැලකිය යුතු සිසුන් පිරිසක් එම පාසලේ ඉගෙනුම ලැබූහ.
එහෙත් කාලයත් සමඟ දැන් සියල්ල වෙනස් වී ඇත. පාසලේ ඉගෙන ගන්නා ළමයින් ප්‍රමාණයෙන් අඩු වුවද කලක් තිස්සේ කරගෙන ආ යහපත් ක්‍රියා නතර කිරීමට කිසිවෙක් කටයුතු නොකළහ. ඒ බව හොඳින්ම පසක් වන්නේ විසි අට වසරක් තිස්සේ නොකඩවා කරගෙන එනු ලබන මෙම පුණ්‍ය කටයුත්ත දකින විටය.
කලක් පාසලේ නියෝජ්‍ය විදුහල්පති ධුරයේ කටයුතු කළ ඕමත්තේ පුණ්‍යසිරි හිමියෝ මේ සියලු අතීත කතා හොඳින්ම දන්නාහ.
මම 1988 අවුරුද්දේ මේ පාසලට ආවේ ගුරුවරයෙක් ලෙස. ඒ කාලේ ළමයි හාරසියයකට වැඩිය හිටියා. අසූනවය අවුරුද්දේ කලබල කාලේ මේ පාසලේ හිටිය විදුහල්පතිවරයා ඝාතනය කෙරුණා. ඉන්පස්සේ එක්දහස් නවසිය අනූවේ දී මේ පාසලට ජී.එස්. සිල්වා කියන විදුහල්පතිතුමා පත් වෙලා ආවා. 1991 අවුරුද්දේ ජනවාරි මාසෙදී අලුත් ළමයි බාර ගන්න කොට දානමය පින්කමක් කරමු කියලා එතුමා තමයි යෝජනා කළේ.
එදා ඉඳන් මවුපියන්ගේ, ගුරුවරුන්ගේ කැප වීමෙන් ඒ කටයුත්ත කෙරෙනවා. ගලතර පඤ්ඤාසේන හාමුදුරුවෝ තමයි මේ පාසල ආරම්භ කළේ. මේ පාසලේ ඉගෙන ගන්න දරුවෝ අද බොහෝම උසස් රැකියා කරනවා.
පාසල අවට තියෙන්නේ තේ රබර් වතු. ඩන්කන් වයිට් මහත්තයාගේ තාත්තා ඒ කාලේ මේ පැත්තේ වත්තක වතු අධිකාරිවරයා ලෙස කටයුතු කර තිබෙනවා.
ඔහු ඩන්කන්වයිට් මහත්තයාව මේ පාසලට එවලා තියෙනවා සිංහල භාෂව ඉගෙන ගන්න. මේ පාසල දුෂ්කර පාසල් ගණයට අයත් වන්නේ. අතීතයේ නම් පාසල අවට ගම්මානය ගංවතුරට අහු වුණේ නැහැ. දෙදාහෙන් පස්සේ මේ ප්‍රදේශය ගංවතුරට අහු වෙනවා.
කොහොම වුණත් අපි හැමදාම මේ පාසලේ දියුණුව අපේක්ෂා කරන අය. අද වෙන කොට මේ ගම්මානවල ජනගහනය අඩු වෙලා. ඒ වගේම ළඟම පාසල හොඳ ම පාසල වුණත් ඇතැම් මවුපියොත් කැමැතියි දරුවන්ව අරගෙන නගරයට යන්න ගම්බද පාසල්වල දරුවෝ අඩු වෙන්න එක හේතුවක් තමයි ඒක.”
ස්වාමීන් වහන්සේ පවසන්නේ එදා මෙදා තමන් වහන්සේ අත්විඳි දෑය. වසර ගණනාවක් තිස්සේ පුණ්‍යසිරි ස්වාමීන් වහන්සේ දරුවන්ට නොමිලේ අමතර අධ්‍යාපනය දෙතිි. ඒ පන්සලේය. උන්වහන්සේගේ එකම අරමුණ නම් දරුවන්ගේ අනාගතය සමෘද්ධිමත් කිරීමය.
‘‘ගංවතුර ගැලුවාම මේ පාසල අවතැන් කඳවුරක්. ගමේ අය ඉන්නේ පාසලේ. පුණ්‍යසිරි හාමුදුරුවෝ තමයි මිනිස්සුන්ට කෑම සපයන්නේ. හැමදාම කාටත් ඉස්සෙල්ලා හාමුදුරුවෝ තමයි අවතැන් වෙන අයට උදව් උපකාර කරන්නේ. ගංවතුර කාලෙට පාසල වහනවා. ඒත් මඟහැරුණ පාඩම් ඔක්කෝම සෙනසුරාදාට අමතර පන්ති දාලා උගන්වනවා. අපි මොන ප්‍රශ්න තිබුණත් මේ දරුවන්ගේ අධ්‍යාපනය අඩාළ කරන්නේ නැහැ. මෙවර සාමාන්‍ය පෙළට පෙනී සිටින දරුවන් වෙනුවෙන් උදේ හයහමාරේ ඉඳලා ගණිතය විෂය උගන්වනවා.”
විදුහල්පති විජේදාස මහතා පවසයි.
කෙසේ වුවත් පළමු ශ්‍රේණියේ එක් සිසුවෙකු පමණක් ඉගෙනුම ලැබීම එක් අතකින් පන්ති භාර ගුරුවරියට අභියෝගයකි. පසුගිය වසරේ සිසු සිසුවියන් විසින් මල් පොකුරු දී ආදරයෙන් පිළිගන්නා ලද ශිෂ්‍යයාගේ මුළු අනාගතයම රැඳී ඇත්තේ ගුරුවරියගේ අතේය. ඇය කොහොමද මේ අභියෝගය ජය ගන්නේ.
ටී.එම්. තක්ෂිලා කුමාරි ගුරුතුමිය මේ අපට කී කතාවය.
“ගිය අවුරුද්දේ මගේ පන්තියේ ළමයි තුන් දෙනයි හිටියේ. මේ අවුරුද්දේ එක ළමයයි. සිසුන් වැඩි ප්‍රමාණයක් ඉන්නවා නම් ඇත්තටම හොඳයි. ඒත් නෑනේ. එහෙම වුණා කියලා අපි මේ දරුවා තනි කරන්නේ නැහැ. මේ දරුවාට තරගකාරිත්වය අඩුයි. එත් මේ දරුවා වෙනුවෙන් පූර්ණකාලීනව අපට කැප වෙන්න පුළුවන්. ඔහුගේ දක්ෂතා හඳුනාගන්න වගෙම දුර්වලතා හඳුනාගෙන ඒ අනුව ඔහුගේ ගමන සකස් කරන්නට අපට පුළුවන්. මේ දරුවත් සමඟ හොඳ ගමනක් යෑමයි මගේ අරමුණ.” ඇය පවසන්නේ උද්යෝගයෙනි.
අම්මාගේ අතේ එල්ලී පාසල් පැමිණි මෙතුම්ගේ දෙවැනි අම්මා ඇයයි. පාසලේ හුදෙකලා නොවී දිගු ගමනක් යන්නට ඔහුට බොහෝ දෙනෙකුගේ සහාය ලැබෙමින් පවතී.
එය අපට දැනුණේ පාසලට ආගන්තුකයකු වූ ඔහුට තනිවන්නට ඉඩ නොදුන් අනෙක් දරුවන් දැකීමෙනි.
ඡායාරූප - රුවන් ද සිල්වා