ඔස්ට්‍රේලියානු ලේඛිකාවකට සාහිත්‍ය නියෝජිතවරියගෙන් වන්දි | සිළුමිණ

ඔස්ට්‍රේලියානු ලේඛිකාවකට සාහිත්‍ය නියෝජිතවරියගෙන් වන්දි

ඉහළම අලෙවි වාර්තා තැබූ කෘති රැසක කතුවරිය ලෙස අන්තර්ජාතික කීර්තියට පත්ව සිටින ඔස්ට්‍රේලියානු ලේඛිකා කේට් මෝර්ටන් (kate morton) රචනා කළ මුල් කෘති හයක කර්තෘ භාගවලින් තමාට හිමිවිය යුතු කොමිස් මුදල් ඉල්ලා සිටිමින් සෙල්වා ඇන්තනි නමැති සාහිත්‍ය නියෝජිතවරිය විසින් ඉහළ අධිකරණයක ගොනු කරන ලද නඩුවක තීන්දුව පසුගියදා ප්‍රකාශයට පත් කෙරිණි. එහිදී කතුවරියට හිමි කර්තෘ භාග ඉල්ලා සිටිමින් පදනම් විරහිත නඩුවක් ගොනු කිරීමේ වරදට දඬුවම් ලෙස කේට් මොර්ටන්ට අමෙරිකානු ඩොලර් 514,558ක් ගෙවන ලෙස සෙල්වා ඇන්තනි වෙත නියෝග කෙරුණා. සෙල්වා ඇන්තනි මේ නඩුව ගොනු කර තිබුණේ දිගු කාලයක් තිස්සේ කේට් මොර්ටන්ගේ සාහිත්‍ය නියෝජිතවරිය ලෙස කටයුතු කිරීමෙන් පසුවයි.

කතුවරිය විසින් 2015 වසරේදී සිය සේවය අත්හිටවන ලද බවත්, 2002 මාර්තු මාසයේදී දුරකථනය ඔස්සේ සාකච්ඡ කරගත් පරිදි කෘති සඳහා හිමිවන කර්තෘ භාගවලින් 15%ක කොමිස් මුදලක් ලබා දීමට කතුවරිය එකඟ වූ බවත් සෙල්වා ඇන්තනි සඳහන් කර තිබිණි. එහෙත් එවැන්නක් තමන් අතර නොපැවති බව කේට් මෝර්ටන් පවසා තිබූ බව වාර්තා වේ.


ඇලිස් වෝකර්ට දැඩි විරෝධයක්

'දනිව්යෝර්ක් ටයිම්ස්' පුවත්පත සමග පසුගියදා පැවති සම්මුඛ සාකච්ඡාවකදී පුලිට්සර් ත්‍යාගලාභී ලේඛිකා ඇලිස් වෝකර් (alice walker) යුදෙව් විරෝධී නැඹුරුවක් සහිත ලේඛකයකු අගයමින් පළ කළ අදහසකට දැඩි විරෝධයක් නැගී තිබේ.

වෝකර් මෙහිදී අදහස් පළ කර ඇත්තේ බ්‍රිතාන්‍ය ලේඛකයකු ඩේවිඩ් අයිකි විසින් රචනා කරන ලදුව 1995 වසරේදී පළවූ 'ඇන්ඩ් ද ට්රුත් ෂැල් සෙට් යූ ෆ්‍රී (And The Truth Shall Set You Free)' නමැති කෘතිය ආශ්‍රිතවයි. එය තමා නිතර කියවන පොතක් ලෙස සිය පොත් රාක්කයේ තබාගෙන සිටින්නේ යැයිද ඇය පවසා සිටියාය.

යුදෙව් විරෝධී ලේඛකයකු ලෙස ප්‍රකට අයිකි ගැන ප්‍රසිද්ධ පුවත්පත් සම්මුඛ සාකච්ඡාවකදී ඇය අදහස් පළ කළ ප්‍රථම අවස්ථාව මෙය වුවද, මෙයට පෙරද අවස්ථා කිහිපයකදීම ඇය මේ ලේඛකයාගේ කෘති හුවා දක්වමින් අදහස් පළ කර ඇතැයි සඳහන් වේ.

'ද කලර් පර්පල් (The Color purple)' කෘතියෙන් ලොව පුරා විශාල පාඨක පිරිසකගේ සම්භාවනාවට පාත්‍රව සිටින ඇලිස් වෝකර් වැනි ලේඛිකාවක යුදෙව් විරෝධී රචනා අගය කිරීම හෙළා දැකිය යුතු බවයි බොහෝ අයගේ මතය වී ඇත්තේ.


 පුලිට්සර් ත්‍යාගලාභී කිවිඳියකගේ අප්‍රකට නිර්මාණ රැසක් හමු වේ

අත්මභාෂණ රීතිය ඔස්සේ කාව්‍යකරණයෙහි යෙදෙමින් 20 වැනි සියවසේ විශිෂ්ටතම කිවිඳියක ලෙස පිළිගැනීමට පාත්‍රව සිටි පුලිට්සර් ත්‍යාගලාභී අමෙරිකානු කිවිඳියක වූ ඈන් සෙක්ස්ටන් (anne sexton) විසින් රචනා කරන ලද අප්‍රකට නිර්මාණ රැසක් පසුගියදා හමු වී ඇත. ඇමෙරිකානු සාහිත්‍ය පිළිබඳ සහකාර මහාචාර්යවරයකු වන සවාරි ටර්පින් ඇතුළු කණ්ඩායමක් විසින් සොයාගනු ලැබ ඇති මේ නිර්මාණ ඉදිරි කාලයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

මෙයට පෙර 19 වන සියවසට අයත් වෝල්ට් විට්මන් සහ එමා ලාසරස් වැනි කවි කිවිඳියන්ගේ අප්‍රකට නිර්මාණ රැසක්ද සොයා ගැනීමට සමත් වූ ටර්පින් ඇතුළු කණ්ඩායම පසුව විසි වැනි සියවසට අයත් කවීන්ගේ අප්‍රකට නිර්මාණ පිළිබඳව සොයා බැලීමට යොමු විය.

ඒ අනුව සිල්වියා ප්ලෑත්, ලෑන්ග්ස්ටන් හියුස්, ගෙවෙන්ඩොලින් බෲක්ස්’ සහ සැක්ස්ටන් ඇතුළු කවීන්ගේ අප්‍රකට නිර්මාණ පිළිබඳව පර්යේෂණ කෙරිණි.

සැක්ස්ටන්ගේ නිර්මාණ හමුවී ඇත්තේ එහි ප්‍රතිඵලයක් ලෙසයි. වර්ෂ 1928 දි මැසචුසෙට්ස් නුවර උපත ලැබූ සැක්ස්ටන් 1960 ගණන්වල මුල්භාගයේදී මිය ගොස් ඇත.


ජපන් ලේඛිකාවකගේ අත් අකුරින් ලියූ අත්පිටපතක් වෙන්දේසියට

නූතන යුගයට අයත් ප්‍රකට ලේඛිකාවක වන higuchi ichiyo විසින් සිය අත්අකුරින් රචනා කරන ලද සම්පූර්ණ නවකතා අත්පිටපතක් 2019 වසරේ ජනවාරි 19 වැනිදා ටෝකියෝ නුවරදී වෙන්දේසියට ඉදිරිපත් කර ඇත.

මේ අත් පිටපත යෙන් මිලියන 10 සිට 15 ඇමෙරිකානු ඩොලර් 90000 සිට 135000 අතර වටිනාකමකින් යුක්ත වන්නේ යයි සැලකේ.

පිටු 75කින් සමන්මිත මෙය 1895 වසරේදි බුන්ගාකුකායි නමැති සඟරාවක කොටස් වශයෙන් පළවී ඇති අතර, 1896 වසරේදි එය නැවත බුන්ගෙයි කුරාබු නමැති තවත් සගරාවකද පළ වී තිබේ. වර්ෂ 1872 සිට 1896 දක්වා වූ වසර 24ක් තරම් කෙටි කාලයක් පමණක් ජීවත් වූ higuchi ichiyo ලියු මේ අත්පිටපත් ඇයගේ මරණයෙන් පසුව කලා නිර්මාණ එකතු කරන්නකුගේ අතට පත්ව තිබේ.

Comments