පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද | Page 3 | සිළුමිණ

පළමු ශ්‍රේණියට දරුවන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අද

 
2019 වර්ෂය සඳහා පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික උත්සවය අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අද (17) ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී පැවැත්වේ.
 
මීට සමගාමීව අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පාසල් අවදියේම දරුවන් රුක්රෝපණය සඳහා නැඹුරුවීමේ ආකල්පමය වර්ධනයක් ඇති කරලීමේ අරමුණින් පාසල්වල ප්‍රාථමික අධ්‍යාපනයට ප්‍රවේශවන දරුවන් සඳහා “ එකට වවමු එකට වැඩෙමු” යන මැයෙන් රුක්රෝපණ වැඩසටහනක් ද පැවැත්වෙයි.
 
දිවයිනේ ක්‍රියාත්මක වන පාසල් 10,194 අතුරින් පාසල් 9,193ක ප්‍රාථමික අධ්‍යාපන අංශ ක්‍රියාත්මක වන අතර, සෑම වසරක ම 340,000කට ආසන්න දරුවන් සංඛ්‍යාවක් පාසල්වල පළමු ශ්‍රේණියට ඇතුළත් වේ.
 
අනාගත ඉලක්ක වෙත දරුවන් ගෙන යා හැකි ගුණාත්මක අධ්‍යාපන අවස්ථා පාසල් පද්ධතිය තුළින් ලබාදීම සඳහා අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ මඟ පෙන්වීම මත අධ්‍යාපන අමාත්‍යාංශය මේ වන විට වැඩසටහන් රාශියක් ක්‍රියාත්මක කරමින් සිටී. එහිදී ඉදිරි දශක කිහිපයක අනාගතය දෙස විමසිලිමත් වෙමින්, ලෝක අධ්‍යාපන ප්‍රවණතා කෙරෙහි පූර්ණ අවධානය යොමු කරමින්, ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳ හොඳින් අධ්‍යයනය කරමින් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ හඳුනාගත් අත්‍යවශ්‍ය වෙනස්කම් ක්‍රියාවට නැංවීමට පූර්ණ අවධානය යොමු කර තිබේ.
 
2019 වර්ෂයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමේ ජාතික වැඩසටහනට සමගාමිව දීප ව්‍යාප්තව ක්‍රියාත්මක කිරීමට නියමිත විශේෂ රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භක පියවර ද අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (17) ගිරිඋල්ල ගනේගොඩ ප්‍රාථමික විද්‍යාලයේ දී සිදු කිරීමට නියමිත අතර සිසු දරුවන් ද අමාත්‍යවරයා සමඟ මෙම පැළ වර්ග රෝපණය කිරීමට එකතු වේ.
 

Comments