
මෙරට කෘෂිකාර්මික ක්ෂේත්රය නව මානයකට යොමු කළ පුරෝගාමියකු ලෙස ඔහු හැඳින්විය හැකිය. තාක්ෂණය, තොරතුරු සන්නිවේදනය හා බද්ධ වූ විවිධ නව ක්‍රමවේද සහ නිර්මාණ කෘෂිකර්ම ක්ෂේත්රය කරා ගෙන එන්නට අදද ඇප-කැප වී කටයුතු කරන ඔහු ආචාර්ය රොහාන් විජේකෝන්ය. කෘෂිකර්මය පිළිබඳ කථිකාචාර්යවරයකු ලෙස සිය වෘත්තීය ජීවිතය ඇරැඹූ හෙතෙම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සහකාර අධ්යක්ෂ, ශ්‍රව්‍ය-දෘශ්‍ය අධ්යක්ෂ සහකාර අධ්යක්ෂ ජෙනරාල් ධුරයන් හොබවා අවසන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජෙනරාල් ලෙසද කටයුතු කළේය. මේ වන විට කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ උපදේශක ලෙස කටයුතු කරමින් සිටින ඔහු මෙරට කෘෂිකර්මාන්තය නඟාසිටුවීමට සිදු කළ සේවය ගැන කතා කළ යුතුම යුගයකි මේ. මේ ඔහුගේ කතාවයි.
ඔබේ ළමා අවධිය ගැන කතාබහෙන්ම අපේ කතාබහ අරඹමු...
මහනුවර වටපුළුව ගම්මානයේ තමයි මම උපන්නේ. පාසල් ගියේ මහනුවර ධර්මරාජ විදුහලට. 1977දී උසස් පෙළ සමත් වෙලා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ කෘෂිකර්ම විද්‍යාපීඨයට ඇතුළත් වුණා.
පාසල් සමයේ මතකය මොන වගේද?
ඉස්කෝලෙදි කරපු දේවල්වලින් වැඩිහරියක්ම මා සිදු කර තිබෙන්නේ කෘෂිකාර්මික අංශයේ නිර්මාණයි. මෙවැනි නිර්මාණ ගැන ඉගෙනගන්න හදාරන්න අවස්ථාව ලැබුණේ මා බාලදක්ෂයකු ලෙස කටයුතු කළ නිසයි. පසුව මා ජනාධිපති බාලදක්ෂයකු වුණා. ඒ හුරුව විශ්වවිද්‍යාල ජීවිතයේ කෘෂිකර්මය හදාරද්දී විශාල ලෙස බලපෑවා.
ඔබේ මුල්ම රැකියාව වුණේ කුමක්ද?
සරසවියෙන් ඉවත් වුණාට පසු 82දී මට පළමු රැකියාව ලැබුණා. ඒ අඟුණකොළපැලැස්ස කෘෂිකර්ම විද්‍යාලයට. එහි කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කළා. ඒ වන විට එහි කෘෂිකර්ම විද්‍යාලය ආරම්භ කළ අලුතමයි. පළමුවැනි ආචාර්ය මණ්ඩලයට තමයි අපව තෝරාගත්තේ.
ඉන් පසුව?
1986 වසරේදී මම ගන්නොරුවට එනවා. ඒ කෘෂිකර්ම ශ්‍රව්‍ය-දෘශ්‍ය මධ්‍යස්ථානයට, සහකාර අධ්‍යක්ෂක ලෙස. එතැනින් තමයි මම කෘෂිකර්ම ක්ෂේත්රයේ ගොඩක් දේවල් ආරම්භ කරන්න පටන් ගත්තේ. ඒ ආයතනයෙන් තමයි ගොවි ජනතාවට අවශ්‍ය ශ්‍රව්‍ය-දෘශ්‍ය ආධාර දුන්නේ. ගොවීනට සරලව වගා ගැන ඉගැන්වීමට තමයි මෙය භාවිත කළේ. ඉන් පසු මම 1989දී එංගලන්තෙ රෙඩිං විශ්වවිද්‍යාලයෙන් පශ්චාද් උපාධිය හිමි කරගෙන ලංකාවට ඇවිත් අලුත් දේවල් හඳුන්වා දෙමින් යළිත් කෘෂිකාර්මික කටයුතුවලට දායක වුණා.
මේ යුගයේ පැවැත්වුණු කෘෂිකර්ම ප්‍රදර්ශනවලට ඔබ දායකත්වය නොඅඩුව ලැබුණා...
රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ 'ගම් උදාව' වැඩසටහනට කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් ප්‍රදර්ශන කළා. ඒත් ඒවායේ ලස්සනක් තිබුණෙ නැහැ. ජනාධිපතිතුමා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ වැඩේට කැමැති වුණෙත් නැහැ. එනිසා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව තීරණය කළා කෘෂිකර්ම ප්‍රදර්ශන මට භාර දෙන්නට. මේ යුගයේ රටේ පැවැත්වුණු කෘෂිකර්ම ප්‍රදර්ශන කටයුතු සිදු කිරීම මගේ ප්‍රධාන රාජකාරියක් වුණා. ඒ අනුව මම පළමුවරට කඹුරුපිටිය ගම්උදාවෙදි නිර්මාණය කළ ප්‍රදර්ශන භූමිය එහිදී පළමු ස්ථානය දිනාගත්තා. මෙතරම් කලක් බැනුම් අහපු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මෙය විශාල ආකර්ෂණයක් වුණා.
දෙවැනි ගම්උදාව තිබුණේ බුත්තල. එයත් පළමු වැනි ස්ථානය වුණා. එතකොට මම ශ්‍රව්‍ය-දෘශ්‍ය අංශයේ සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ ලෙසයි කටයුතු කළේ. ඉන් පසු 'දැයට කිරුළ' පටන් ගත්තා. එහිත් මම මේ විදිහට ප්‍රදර්ශන කටයුතු කළා. පළමු එක තිබුණේ බීඑම්අයිසීඑච්-එකේ. එයිනුත් හැමදාම අපි පළමුවැනියා වුණා.
මේ ඔස්සේ බෝග වගාව පිළිබඳ තවත් වැදගත් හඳුන්වාදීමක් ඔබ සිදු කළා...
මම මෙහිදි කරපු දේ අලුත්ම දේ තමයි භෝග මඟින් භුමි අලංකරණය රටට හඳුන්වා දීම. එය තමයි මගේ ප්‍රධාන කාර්යය වුණේ. භෝගවලින්ම තමයි භූමි අලංකරණය කරන්නේ. මගේ ලෑන්ඩ්ස්කේපින්-එක වුණේ මල්වලින් නෙමෙයි; සම්පූර්ණයෙන්ම එළවළු සහ පලතුරුවලින්. එයට කියන්නේ එඩිබල් ලෑන්ඩ්ස්කේපින් කියලා. මෙය පළමු වතාවට ලංකාවට මම තමයි හඳුන්වාදුන්නේ. ඒ අනුව අද වන විට රට පුරාම මෙය පැතිරී තිබෙනවා. තම ගෙවත්ත මල්වලින් නැතිව බෝග වර්ගවලින් අලංකරණය කරන්න කියලයි මම ජනතාවට කියන්නේ. බෝග කිව්වම සමහරු හිතනවා ඒවා කොළපාට විතරයිනෙ කියලා. ඒත් තක්කලි ගහේ වෙනස්ම කොළපාටක් තියෙන්නේ. ඊට වෙනස් මෑ කරල් ගහේ කොළපාට. සලාද කොළේ කොළපාට වෙනස්. මේ විදිහට හැම ගහක්ම වගේ එකිනෙකට වෙනස්. සමහර ගස්වල ගෙඩි තිබෙනවා. එතකොට මොකද වෙන්නේ? මේවායින් මල් හිටවනවාට වඩා අමුතු ලස්සනක් ගෙවත්තට ලැබෙනවා. ඒ විදිහට තමයි මම රටට එඩිබල් ලෑන්ඩ්ස්කේපින් හඳුන්වලා දුන්නේ.
කෘෂි තාක්ෂණික උද්‍යාන ගැන කතා කළොත්...
කෘෂිකර්මය ඔස්සේ කළ හැකි නිර්මාණ හා ක්‍රමවේද මම ප්‍රදර්ශනවලට හඳුන්වා දුන්නට එය දින කිහිපයකට පමණක් සීමා වෙන නිසා අපි කල්පනා කළා ප්‍රදර්ශනයට පෙන්වන දේ ඒ දැනුම ජනතාවට හැමදාම ලබාගන්නට හැකි ස්ථානයක් තියෙන්න ඕන කියලා. ඒ වෙනුවෙන් මෙවැනි උද්‍යානයක් නිර්මාණය කරන්න ඕන කියලා. ඒ අනුව මගේ සංකල්පයක් මත ගන්නොරුවේ පළමු කෘෂි තාක්ෂණික උද්‍යානය හදලා තියෙන්නේ. එය පටන් ගත්තේ 2004දියි. මේ කෘෂි තාක්ෂණ උද්‍යානයට ආවම මෙය සම්පූර්ණයෙන්ම ප්‍රදර්ශනය වගේම අවුරුද්දෙ හැමදාම තිබෙනවා. ඕන කෙනෙකුට මෙය නරඹා දැනුම් ලබාගන්න පුළුවන්. මෙහි දෙවැනි උද්‍යානය හම්බන්තොට බටඅත කෘෂි තාක්ෂණික උද්‍යානය ලෙස නිර්මාණය කළා. මේවා සම්පූර්ණයෙන්ම අධ්‍යාපනික භූමි. හැමදාම බලන්න පුළුවන් බෝග තිබෙනවා. මේවා සියල්ලම එළවළුවලින් තමයි අලංකරණය කර තිබෙන්නේ. උදාහරණයක් ලෙස අපි තක්කාලි වගා කර ඇති කොටසට ගියොත් ලංකාවෙ තිබෙන තක්කාලි වර්ග සියල්ල එහිදී බලාගන්න පුළුවන්; ඒවායේ කරන අලුත් පර්යේෂණ බලාගන්න පුළුවන්.
මේවාට ලැබෙන ප්‍රතිචාර කොහොමද?
ඉතාම හොඳයි. ලංකාවේ පාසල්වල බෝග මඟින් භූමි අලංකරණය කර තිබෙනවා. ලංකාවේ හැම ඉස්කෝලෙකම මෙය දකින්න පුළුවන්. ගෙවතුවලත් මෙය දකින්න පුළුවන්. ලංකාවේ ශුර ගොවියා තේරීමේ වැඩසටහනක් දියත් වුණා. එයට මම රට පුරා ගියා. ඒ යනකොට මම ලබා දුන් ඩිසයින්ස් අනුව තමයි ගොවියන් බෝග සකසා තිබුණෙ. මට හරිම සතුටක් දැනුණා. උදාහරණයක් විදිහට පතෝල මැස්ස ගනිමු. ඉස්සර හතරැස් කොටුවටනෙ පතෝල මැස්ස ගැහැවේ. මම පතෝල හැදුවා ආච් විදිහට. මැස්ස උඩින් දැම්මා, මිනිස්සුන්ට යටින් යන්න පුළුවන් විදිහට. අද රටේ කවුරු හරි භෝග මඟින් භූමි අලංකරණය කරනවා නම්, එය මම රටට හඳුන්වා දුන් සංකල්පය නිසා.
අද ඔබේ වැඩ කටයුතු මොන වගේද?
මම කෘෂිකර්ම ශ්‍රව්‍ය-දෘශ්‍ය මධ්‍යස්ථානයේ සහකාර අධ්යක්ෂ ලෙසත්, ඊට පසුව 2010 අධ්යක්ෂ තොරතුරු හා සන්නිවේදන ලෙසත් කටයුතු කළා. ඊට පසු 2013 වසරේදී කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල් ලෙස වැඩිම කාලයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට මම සේවය කළා. විශ්‍රාම ගැනීමෙන් පසුව කෘෂිකර්ම අමාත්‍යාංශයේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ උපදේශක ලෙස කටයුතු කරනවා. මෙමඟින් කෘෂිකර්ම තාක්ෂණික ආදර්ශ උද්‍යානය කියන සංකල්පය අනුව එක ගමකට ගිහිල්ලා එය උද්‍යානයක් කරනවා. එය අමුතුම එකක්. කෘෂිකර්ම නවීකරණය යටතේ තමයි මෙය සිදු වන්නේ. ඒ වගේම ආදර්ශ උද්‍යන විසි ගානක් මේ වන විට හදා තිබෙනවා. එයින් විශාල ලාභයක් ගොවියාට ලැබෙනවා. බිබිලේ අන්නාසි උද්‍යානයක් අක්කර තිස්පහක්. වව්නියාවේ රටකජු අක්කර දෙසීයයි.
කෘෂිකර්ම අධ්යක්ෂ ජෙනරාල් ලෙස කටයුතු කරමින් ඔබ කළ සේවය සිහිපත් කරනවා නම්...
මම පශ්චාද් උපාධිය කළේ තොරතුරු හා සන්නිවේදනය. 'ඊ-ඇග්රිකල්චර්': කෘෂිකර්ම සන්නිවේදනය සඳහා ඩිජිටල් මාධ්‍ය උපයෝගී කරගැනීම. එය කර ඇවිත් 2001දි ලංකාවේ කෘෂිකර්ම දෙපාර්තමේන්තු වෙබ් අඩවිය පටන්ගත්තේ මම. ලංකාවේ රාජ්‍ය අංශයේ තිබෙන හොඳම වෙබ් අඩවිය බවට එය පත් වුණා. එතකොට විකී ගොවියා කියලා පටන් ගත්තා. එයට සම්මාන හිමි වුණා. ඊජිප්තුවෙදි සම්මාන ලැබුණා. මම තමයි ආරම්භ කළේ 1920 කියන ගොවි සහන සරණ තොරතුරු ලබාගැනීමේ ක්‍රමවේදය. ඕනෑම ගොවියකුට ගැටලුවලට දුරකතනයෙන් ප්‍රශ්න අහලා විසඳුම් ලබාගන්න මේ ක්‍රමය ඔස්සේ පුළුවන්. ඉන් පසු හඳුන්වා දුන්නා ඊ-එස්එම්එස් ක්‍රමය. ඉන් පසු කෘෂිකර්ම හා තොරතුරු සන්නිවේදනයට ජාතික කෘෂිකාර්මික හා තොරතුරු මධ්‍යස්ථායක් ගන්නොරුවේ ඉදි කළා: තට්ටු හයක බිල්ඩින් එකක්. එය 'ග්‍රීන් බිල්ඩිං-එකක්'. ඒකෙ තට්ටු හයම තට්ටුවෙන් තට්ටුවට එළවළු පිරුණු ස්ථාන තමයි දැකගන්න ලැබෙන්නේ.
උඩම තට්ටුවේ විශාලම ගාඩ්න්-එකක්. කෘෂිකර්මය පිළිබඳ රූපවාහිනී වැඩසටහන් ඉස්සෙල්ලාම ආරම්භ කළේ මගේ කාලෙදියි. ඒ 1994දි වගේ. ලංකාවේ කිසිම දෙපාර්තමේන්තුවක් ඒතරම් රූපවාහිනී වැඩසටහන් හදලා නැතිව ඇති. ලංකාවේ එකම දෙපාර්තමේන්තුව රූපවාහිනී වැඩ සටහන් හදන. අපේ ස්ටූඩියෝ-එකේම මේවා නිෂ්පාදනය වනවා. සතියට වැඩසටහන් දෙකක් බැගින් දැන් වසර විසිපහකට වැඩි කාලයක සිට අප මෙය පවත්වාගෙන යනවා. ඒ සඳහා වෙනම කාර්ය මණ්ඩලයක් අපට ඉන්නවා. ඊට අමතරව මුද්‍රිත මාධ්‍ය සඳහාත් වෙනම ග්‍රැෆික් අංශයක් මෙහි තිබෙනවා. මම පීඑච්ඩී කරලා ආවට පස්සේ ලංකාවට විශේෂම දෙයක් හඳුන්වා දුන්නා. ඒ තමයි බහු මාධ්‍ය සීඩී තැටි. හැම බෝගයකටම මේ සීඩී තැටියක් තිබෙනවා. අපේ වෙබ් සයිට්-එකේ මේ ගැන සඳහන් වෙනවා. ඊට අමතරව නාරාහේන්පිට කිරිමණ්ඩල පාරේ ගුවන්විදුලි ගොවිසේවාව මධ්‍යස්ථානයෙන් වගේම, කොළඹ මහජන පුස්තකාලය ඉදිරිපිට ගොවි සේවා මධ්‍යස්ථානයෙන් මේවා මිල දී ගන්න පුළුවන්. කෘෂිකර්මයට අදාළ විවිධ අංශ පිළිබඳවත් සීඩී තිබෙනවා. ඒ වගේම අලුත් රැකියා රාශියක් හැදුවා.
මම උද්‍යාන ආරම්භ කළාට පසුව මගේ සංකල්පය වුණේ මේවා ඇතුළෙ කෘත්‍රිම පාන වර්ග හා පාන්පිටි ආහාර විකුණන්න බැහැ කියන-එකයි. ඒ වගේම මෙහි දේශීය ආහාර විතරයි විකුණන්න පුළුවන්. ඒ උද්‍යානය හදලා පාර දිගේ කුඩ දාලා දේශීය ආහාර විකුණන්න හැදුවා. ඒක බලන්න එන ළමයි ඒ දේශීය ආහාර පමණයි කන්නේ. අපේ කිරිබත් සෝයා වගේ දේවල්. මෙය කුඩ අටකින් පටන් ගත්තේ. එවකට කෘෂිකර්ම ඇමැතිව සිටි මෛත්‍රීපාල සිරිසේන ජනපතිතුමා තමයි එය විවෘත කරන්න එදා ආවේ. මෙය අද හෙළ බොජුන් කියන නමින් පටන් ගත්තා. දැන් ලංකාව පුරාම හෙළබොජුන් හල් හැමතැනම වගේ තිබෙනවා. සැබෑ ශ්‍රී ලාංකේය රසය කියලා හඳුන්වන්නේ. දැන් ස්ථාන පනස් එකක් තිබෙනවා. ගන්නොරුවෙන් පටන් ගත්තේ. ඒ වැඩසටහන තමයි ගොඩක්ම ජනතාව අතරට ගියේ. ඉතා නැව්ම් විදිහට දේශිය ආහාර පාන ජනතාවට මෙයින් ලබාදෙන්නට අපිට හැකිව තිබෙනවා. මේ ඔස්සේත් රැකියා අවස්ථා රැසක් සලසා දෙන්න මට පුළුවන් වුණා. අද ඒ තැන්වල වැඩ කරන අය හොඳ ජීවන තත්තවයක් ළඟා කරගෙන තිබෙනවා. සමහර අය තමන්ගෙම තැන් හදාගෙන තියෙනවා. අලුත් අයට අවස්ථාව දීලා. ඒ වගේම මම මගේ සේවකයන්ටත් උපරිමව සැලැකුවා. ඔවුන්ට ඉදිරියට එන්නට අවස්ථාව සලසා දුන්නා.
ආපසු හැරී බලද්දී ඔබ කළ සේවය ගැන ඔබට හිතෙන දේ...
ලොකු සතුටක් දැනෙනවා. ඊට අමතරව යුරෝපා සංගමය අපේ එළවළු හා පලතුරු මිල දී ගැනීම ප්‍රතික්ෂේප කළා ඔබට මතක ඇති. එයට හේතු වුණේ පලතුරු මැස්සා. මම ඒ අවස්ථාවේ ගැප් තාක්ෂණය හා ක්‍රමවේදය හඳුන්වා දී එයට විසදුම් ලබා දුන්නා. ඒ වගේම රුසියාවෙන් අපේ තේ මිල දී ගන්න බැහැ කියපු අවස්ථාව.එයට හේතු වුණේ කැප්රා බිට්ල් කියන කෘමියා. එයටත් රුසියාවට ගිහින් මම පිළියම් යෙදුවා. එයට ඇත්තටම හේතුව තේ කොළවල වරදක් නොවෙයි. තේ පටවන කන්ටේනර් තුළ මේ කෘමියා සිටීමයි. මේ වගේ දේවලින් අපේ රට මුදාගෙන රටට තිබුණු කීර්තිය නැවත අත්කර දෙන්න මට හැකි වුණා.
ඔබ අද සිටින තැන ගැන සතුටුද?
ඇත්තටම. මම 77 දි ඇඩ්වාන්ස් ලෙවල් කරලා හිතුවේ මෙඩිකල් ෆැකල්ටියට යන්නයි. ඒත් මට දිස්ත්‍රික් ක්‍රමය නිසා ඒ අවස්ථාව අහිමි වුණා. මාව තේරුණේ පශු වෛද්‍ය අංශයටයි. ඊට පල්ලෙහායින් තමයි කෘෂිකර්මය තිබුණේ. මම කෘෂිකර්මය තෝරා ගත්තා. දැන් තමයි මට තේරෙන්නේ. මම ජීවිතයේ ගත්ත හොඳම තීරණය තමයි කෘෂිකර්මය හැදෑරීම. ඔක්කොම නිර්මාණ අලුත්. ගහක් හදන එකත් නිර්මාණයක්. හැම පැත්තක්ම පර්යේෂණවලින් පිරිලා. එය අපිට අලුත් ජීවිතයක් අලුත් ලොවක් වගේම වාසනාවත් උදා කරනවා.
ඡායාරූප - රුවන් ද සිල්වා