
දුම්රියේ දෙවියා
දුම්රිය නැවතුණු වහා ම මම මා රැක ගත් දෙවියා සෙවීමි. ඔහු නොවී ය. ඔහු මා බිමට බසින්නටත් පෙර බැස ගොස් තිබිණ. මට ඔහුගේ මුහුණවත් හරියකට දැක බලා ගන්නට නොහැකි විය. එතැන් සිට මම ඔහුටත්, ඔහු හැදූ වැඩූ දෙමාපියන්ටත් හිතින් පින් දෙමි.
මා මහනුවර සිට කොළඹ නගරයේ සේවාව පිණිස එන්නේ උදෑසන ම ධාවනය කැරෙන බසයකිනි. කැලණියේ පට්ටිය හන්දියෙන් බැස ගන්නා මා වහ වහා කැලණිය දුම්රිය පොළට යන්නේ එතැන් සිට දුම්රියකින් ගමන් කරනු පිණිස ය. මාර්ග තදබදයට මා සොයා ගෙන ඇති විසඳුම එය ය.
ළඟදී දිනක මා කැලණි දුම්රිය පොළට එන විට වෙනදා දක්නට නොලැබි මහ සෙනඟක් එහි සිටිය හ.
කොළඹ බලා යන දුම්රියක් එහි පැමිණියේ උදෑසන 7.33 ට ය. එය අතුරු සිදුරු නැතිව සෙනඟින් පිරී තිබිණ.
පා පුවරුවේ එල්ලී සිටි පිරිස් ඇතුළට යනු ඇතැයි මුල දී මට සිතුණ ද ඔවුහු එසේ ම එල්ලී සිටිය හ. එසේ යෑමට ඉඩක් ද නොවී ය.
ඊළඟ දුම්රිය එහි ළඟා වන්නේ 7.45ට ය. එවිට මට පමා වේ. එහෙයින් කෙසේ හෝ මේ දුම්රියේ එල්ලිය යුතු යැයි මට සිතිණ.
ඒ එක්කම මම ද පාපුවරුවේ එල්ලුණෙමි. එවිට ම දුම්රිය ඇද්දිණ. මම එහි එල්ලී සුළං පහර කමින් යන්නට වීමි. මා කර ඇත්තේ කෙතරම් අනුවණකමක් දැයි මට වැටහුණේ එසේ යන අතර ය. වයස පනහ පැන්න මා බඳු අයකුට මේ පීඩාව දැරිය නොහැකි ය.
බිමට ඇද වැටේය යන බිය මට දැනිණ. මට ඉදිරියේ ඇති කැලණි ගඟ ද පාලම ද සිහිපත් විය. මගේ බිය ඉන් වඩාත් වැඩි විය. ඇඟ දිගේ වේදනාවකුත් හිරියකුත් එන්නා සේ දැනිණ. මම බියෙන් සලිත වීමි.
‘අංකල් අමාරුද?’ මා ළඟ ම එල්ලී සිටි තරුණයා මගෙන් ඇසුවේ ය.
‘ඔව්’ මට එකවරම කියැවිණ. ඔහු වහා ම මට කිට්ටු වී මා වටා අතක් දමා මා රැකෙන පරිදි දුම්රියේ පාපුවරුවේ එහා පොල්ල අල්ලා ගත්තේ ය. දැන් ඔහු මට දෙවියකු සේ ආරක්ෂාව සලසයි. එය හිතට සහනයක් වුව ද ගතේ අමාරුව එසේ ම ය. යම් සහනයක් ලැබීමට මට ඔහුට බරදිය නොහැකි ය. එවිට අප දෙදෙනා ම ඇදවැටිය හැකි ය. දුම්රිය දෙමටගොඩට පැමිණ නතර කරන තුරු ම මම ශරීරයේ තිබූ සියලු ශක්තිය දෑතට එකතු කර පාපුවරුවේ එල්ලී ගෙන සිටියෙමි.
දුම්රිය නැවතුණු වහා ම මම මා රැක ගත් දෙවියා සෙවීමි. ඔහු නොවී ය. ඔහු මා බිමට බසින්නටත් පෙර බැස ගොස් තිබිණ. මට ඔහු ගේ මුහුණවත් හරියකට දැක බලා ගන්නට නොහැකි විය.
එතැන් සිට මම ඔහුටත්, ඔහු හැදූ වැඩූ දෙමාපියන්ටත් හිතින් පින් දෙමි.
මහනුවර, මුරුතලාවේ ජයන්ත ග. ජෝතියරත්න මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
වාට්ටුවේ ළමයා
මේ ළමයාගේ වයස අවුරුදු දහ හතරකි. බර කිලෝ ග්‍රෑම් 150කි.
මා නැවතී ප්‍රතිකාර ලබමින් සිටි හදිසි අනතුරු වාට්ටුවට ආ මේ ළමයා අප කවුරුත් පුදුමයට පත් කළේ ය.
ඔහු ගේ කාර්යය වූයේ හැම තිස්සේ ම සිය ජංගම දුරකථනයෙන් ගෙදරට කතා කිරීම ය.
“මමී, අද උදේට මට චිකන් ප්‍රයිඩ් රයිස් එකක් එවන්ඩ. දවල්ටයි රෑටයි ප්‍රයිඩ් රයිස් දෙකක් ඕඩර් කරන්ඩ“
මව ඔහු ගේ ඉල්ලීම ඉටු කළා ය. පියා අහර පාර්සල් රැගෙන රෝහලට ආවේ ය.
ළමයා හොඳ ආසාවෙන් ඒවා භුක්ති වින්දේ ය.
මේ කියන දවසේ ද ළමයා ප්‍රයිඩ් රයිස් එකක් භුක්ති විඳිමින් සිටියේ ය. පියා ද ඔහු ළඟට වී සිටියේ ය.
මේ දුටු වාට්ටු බාර හෙදිය පියා ළඟට කිට්ටු කළා ය.
‘මහත්තයො, ඔය රයිස් කවල මේ දරුවා තවත් ලෙඩ කරන්ඩ එපා. තව අවුරුදු කීපයක් යන කොට සීනි, කොලෙස්ටරෝල් දෙකම වැඩි වෙනවා. මේ විදිහට ගියොත් මේ ළමය අනිවාර්යයෙන් ම ලෙඩෙක් වෙනවා. දැන්වත් මේ ළමයට සාමාන්‍ය කෑම වේලක් දෙන්ඩ. උදේට ඇට වර්ග දෙන්ඩ“
පියා නිහඬ ව සිටියේ ය. ළමයා කිසිත් නෑසුණු ගානට අහර භුක්ති වින්දේ ය.
“ඔයාට ඔය ළමය ව බලාගන්ඩ බැරි නං අපි එයාව බලාගන්නං. කරුණාකරල ඔයා යන්ඩ“
හෙදිය එසේ කියාගෙන යන්නට ගියා ය.
පියා ද ටිකකින් පිට ව ගියේ ය.
පසු දා පියා මුලක් ඔතාගෙන ආවේ ය.
“ඕකෙ මොනවද තියෙන්නෙ?“ළමයා ඇසුවේ ය.
“කඩල“
“මට එපා. මට ප්‍රයිඩ් රයිස් ඕනැ“ දරුවා කීවේ ය.
පියා පාර්සලය තබා පිට ව ගියේ ය.
ළමයා එය නොකා උදේටත් දවල්ටත් බඩගින්නේ ම සිටියේ ය.
රෑ දහය පසුවුණු පසු වාට්ටුවේ ලයිට් නිවිණි. ළමයා හොරෙන් ම පාර්සලය රැගෙන පසෙකට ගියේ ය. ටිකක් කෑවේ ය.
මට කාලෙකින් හිනාවක් ගියේ ය.
කොස්වාඩියේ, ගාමිණී සේනාධීර මහතා විසින් යොමු කරන ලද ලිපියක් ඇසුරෙනි.
නෙළුම්විල
සිළුමිණ,
ලේක්හවුස්,
කොළඹ 10.