
ගොවියෝ හැම විට මැසිවිලි නඟති. ඒ එක්කෝ වැස්ස නැතැයි කියාය. එක්කෝ වැස්ස වැඩියි කියාය. එහෙමත් නැති නම් පොහොර ගැනය. වෙළෙද පොළක් නැතැයි කියාය. තවත් විවිධාකර හේතු ද මේ අතරට එක් වේ. එහෙත් තමන්ට ඇති හැකි අයුරින්, ලද දැනුම ප්‍රයෝජනයට ගෙන අභියෝග ජයගන්නා ගොවියෝද මේ අතර අපට හමුවේ. පසුගිය දිනෙක අපට හමු වූ ටී. එම්. ඩී බණ්ඩාර ද එවැන්නෙකි.
කුරුණෑගල පුත්තලම් මාර්ගයේ නිකවැරටිය මාගාල්ල ජලාශය අසලින් ඇති මාර්ගයේ ගිය විට බණ්ඩාරගේ ගොවි බිම අපට හමුවෙයි. අක්කර දෙකහාමාරක් පමණ වන එම වගා බිමේ සරුසාර ගම්මිරිස් වගාවට අමතරව කෙසෙල්, අලිපේර, ජම්බු, ලෙමන්, කටු අනෝදා, නාරං දෙළුම් දොඩම් මෙන්ම රතු ඇපල් හා කොළ ඇපල්ද කොස් දෙල් ආදිය ද වේ.
ගම්මිරිස් වගාවට මුල් තැන දුන් මේ වගාබිමේ ගම්මිරිස් පැළ තවාන් දැමීම ද සිදු කැරේ. වියළි කාලගුණයක් පවතින ප්‍රදේශයක ගම්මිරිස් වගාව සරු සාර නැත. ගොවි පුහුණුවේදි උපදේශකවරුන් කියා දෙන්නේ එලෙසිනි. වගාව ගැන දැනුම ලබා ගැනීමෙන් පසු බණ්ඩාර නව ගම්මිරිස් වගාවක් ආරම්භ කළේය.
2008 වසරේදී බිත්තර වී වගා කොට කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් ප්‍රථම ස්ථානය ලබාගෙන ඇති බණ්ඩාරගේ විශේෂත්වය වුයේ, අක්කරයට බුසල් දෙසියක් ලබාගැනීමය. තම ගොවි බිමට රසායනික පොහොර භාවිත නොකර කාබනික පොහොර යෙදීමට බණ්ඩාර කටයුතු කරයි.
තම වගාවේ සාර්ථකත්වය පිළිබඳ කතා කරන බණ්ඩාර.
“ මම ගම්මිරිස් වගාව පිළිබඳ පුහුණුව ලැබුවා. නමුත් අපට ඒ උපදේශකවරුන්ගෙන් ලැබුණ උපදේශය තමයි වියළි කාලගුණයක් යටතේ ගම්මිරිස් වවන්න එපා කියලා. නමුත් මම හිතුවා ඒ අභියෝගය ජය ගන්න ඕන කියලා. මම මගේ හිතුවක්කාරකමටයි ගම්මිරිස් වගාව ආරම්භ කළේ. ඒත් මගේ වගාව සාර්ථක වුණා. උත්සාහය උනන්දුව තියෙනවා නම් අපට කරන්න බැර දෙයක් නැහැ. දැන් ගම්මිරිස් කිලෝ එකක් රුපියල් දාහක් වෙනවා. ඒ වගේම මම අත්හදා බැලීමක් ලෙස කොළ සහ රතු ඇපල් වගා කර තිබෙනවා. මේ වගාබිම මට හොඳ ආදායම් මාර්ගයක් මෙන්ම මානසික සතුටක්.”
බණ්ඩාර පවසන්නේ සරුවට වැඩුණු ගම්මිරිස් පඳුරු පෙන්වමිනි.
ඡායාරූප - වාරියපොළ මධ්‍යම සමුහ
එච්. එම්. නන්දාවතී පතිරාජ