
හාත්පසම රජ කරන්නේ ඇට මිදුළු දක්වාම විනිවිද යන සීතලකි. නමුත් එහි ඇති අමිහිරි බව පරයමින් සිතේ රජයන්නේ අප බලාපොරොත්තු වු ඒ දුලබ දැකුම මේ දැන් අප අබිමුව පාදූර්භූතවේවායි යන පැතුමයි. හෝර්ටන්තැන්න කාර්යමණ්ඩල සංචාරක නිවාසයෙන් පාන් කළුවරේම එළියට බැස්ස අපි තැනිතලාව මත්තේ විසිරුණු ගන මිහිදුම් පටලය ඉරාගෙන හණිකට අරංගා පොකුණ අබියසට පැමිණියේ බලාපොරොත්තු රාශියක් නොව එකක් සාක්ෂාත් කරගන්න අටියෙනුයි. ඒ, සිංහල නමින් සියුරුහන් දෙන වල් අවිච්චියා නැති නම් අරංගයා යනුවෙන් කුරුලුලෝලීන් අතරේ ප්‍රකට කුරුල්ලාය.
ඉංග්‍රීසියෙන් Sri Lanka Whistling Thrush ලෙසත් විද්‍යාත්මකව Myophonusblighi නමින් ද හඳුන්වන අරංගයා අයත් පක්ෂි පවුල (TURDIDAE) තිරාසික කුලයයි. ඉකුත් දිනෙක අප හෝර්ටන්තැන්නේ ගිය රාජකාරි ගමනක් අතර තුරදී පෙර සඳහන් කළ පක්ෂියා දැකබලාගන්න අවස්ථාවක් ලැබුණේ අහම්බෙනි.
දේශීය පක්ෂීන් අතර සීමිත ව්‍යාප්තියක් සහිත මේ පක්ෂියා අපේ රටට ආවේණික වන අතර, ආවේණික පක්ෂි ලැයිස්තුවේ ඉතාම කලාතුරකින් දැකබලාගත හැකි කුරුල්ලකු ලෙස ද ප්රකටය.
උගේ පැහැය කැපී පෙනන කළු වර්ණය වුවත් කුරුලු ලොව සරණ දැකුම්කලු පක්ෂියෙකු ලෙස අරංගයා හැඳින්වීමට පුළුවන. විශේෂයෙන්ම එළියට නොව අඳුරට කැමැති හැසිරීම් රටාව හේතුවෙන් මේ පක්ෂීන් නිරීක්ෂණය කිරීම ඉතා අසීරු කාර්යයක් බව සඳහන් කළ යුතු වේ. පැහැයෙන් කළු මේ පක්ෂියා කළ එළි බසින්නෙත් කළුවරේම නිසා දැකබලාගැනීම නම් හරිම අපහසුයි. උදෑසන කළුවර මැකී යන යාමයටත්, හැන්දෑ කළුවර පැමිණෙන යාමයටත් අරංගයා බොහෝ ප්‍රියය.
වර්ෂ 2010 සිට 2012 දක්වා වසර තුනක කාලයක් තුළ හෝර්ටන්තැන්න ඇසුරේ රාජකාරි සිදු කළ මා ඉඩක් ලද විගස මේ අපූරු පක්ෂියා ගැන විපරම් කරන්නත් අමතක කළේ නෑ. ඔහුගේ හැසිරීම් රටාවන් නිරීක්ෂණය කරමින් කුරුල්ලාගේ ජීවිතයේ ළමා විය, ගැටවර විය මෙන්ම මැදි විය ගැනත් සජීවී නිදහස් පාරිසරික තත්ත්ව තුළදී හදාරන්න ලැබිමත් සැබැවින්ම මා ලද භාග්‍යයක් සේ මම දකිමි.
අරංගයා පිළිබඳ පුළුල්ව අධ්‍යයනය කිරීමට ලැබුණේ මීට වසර පහ හයකට පමණ පෙරය. ඉන්පසු යළිත් වතාවක් අහම්බෙන් මෙන් හෝර්ටන් තැන්නේදී අරංගයා ගැන නිරීක්ෂණය කිරීමට ලැබීම සතුටකි. හෝර්ටන් තැන්නේදී මේ කුරුල්ලා උදේ 5.45ත් – 6. 00ත් අතරේ අරංගා පොකුණ ළග තණ බිස්සේ කෑම හොයමින් පැය බාගෙකට කිට්ටු කාලයක් ගත කරයි. ඊට කලින් ඌ රාත්‍රියට ලගින, ඒ කියන්නේ තමන්ගේ වසම තුළ සිට මේ කියන ආහාර බිමට (ගොදුරු බිමට) එන්න කලින් හරිම අපූරු සියුරුහන් බෑමක් නඟයි.
එහි අරමුණ වසමේ අයිතියත්, තමන්ගේ පැමිණීමත් තමන්ගේම වර්ගයේ සෙසු පක්ෂීන්ට දැනුම්දීමයි. පළමුවෙන්ම කුරුල්ලා ඇවිත් ගහක් මුදුනක ටික වේලාවක් ඉන්නවා, අවට පිළිබඳ විපරමේ. අමුත්තක් නැති නම් යළිත් සියුරුහන් බෑමක් කරයි. ඒ කිරිල්ලියට එන ලෙසට කරන ඇරියුමකි. අනතුරුව ඇගේ පැමිණීම අපේක්ෂාවෙන් බලා සිට ඇය ආ විගසම දෙදෙනා එක්ව තණ බිමේ ආහාර සෙවීමේ කාර්යයේ යුහුසුලුව නිරත වෙති. අපි කුරුල්ලාගේ හැසිරීම් රටාව දෙස බලා සිටින්නට විමු.
“ආන්න කළු පාට කුරුල්ලෙකු සුළං කපාගෙන ආන්න අර අත්තේ වැහුවා.”
සගයෙක් හිමින් සීරුවේ කනට මුමුනයි. මම ඒ දෙස බලා සිටියෙමි. නමුත් පාන් කළුවරේ අවට පැතිරුණ මිදුම නිසා කිසිවක් නොපෙනේ. ඒ ඉසව්ව දෙසම ටික වේලාවක් බලා සිටින විටදී පෙර සඳහන් කළ අරංගයාගේ අනන්‍ය වූ සියුරුහන් නාදය කන වැකෙත්ම මේ නම් ඒකාන්තයෙන්ම අපේ නොදුටු විහඟ මිතුරා වන අරංගයාගේ පැමිණීම බැව් අපි අනුමාන කළෙමු. එනිසා නිහඬවම හඬ ආ දෙස බලා සිටින්නට වීමූ. ගත වුයේ තත්පර කිහිපයකි.
තවත් කුරුල්ලෙකුගේ පියාපත් සුළඟ සමග පොර බදිමින් පෙර හඬ ආ දෙසටම පාත් වන සැටි නෙත ගැටිණි. ඒ පැමිණි කුරුල්ලා කෙළින්ම නතර වූයේ තණ බිස්ස මතයි. ඒ සමඟම කොහේදෝ සිට පැමිණි එබඳුම තවත් කුරුල්ලෙක් තණ බිස්ස මතට පාත් විය. මේ නියත ලෙසම අරංගයාම බවට අප සියල්ලන්ම ඒකමතිකව හඳුනා ගත් අතර මෙතැන් සිට ඔවුන්ගේ හැසිරීම් රටාව අධ්යනයනය කිරීම මූලිකම කාර්යය වු බැවින් ඒ සදහා සියල්ලන් විසින්ම තම තමන්ගේ අවධානය යොමු කරන ලදී.
හිරු තැනිතලා බිම මතට එබිකම් කරද්දි කෙමෙන් කෙමෙන් පහව යන අඳුර සහ අතුරුදන් වන මිහිදුම් සෙවණැලි නිසා පැහැදිලි දසුනක් අරංගා විල අවට පැළපදියම් වෙන්න පටන් ගැනීම අපගේ කාර්යය පහසු කරවන්නක් විය.
මයිනෙකුට වඩා තරමක් කුඩා (සෙ.මී. 18 – 21 ත් අතර) වන අතර හොට, පාද කළු වර්ණයෙන් යුක්තය. අත්තටු මුලට වන්නට දිලෙන නිල් පාට පැල්ලමකි. එය වෙනත් කළු වර්ණයෙන් සමන්විත පක්ෂීන් හා සමඟ වෙන් කර අරංගයා හදුනාගත හැකි අනන්‍යතාවක් ලෙසද හැඳින්විය හැකියි. එම පැල්ලම පියාසරන විටදීත් පියාපත් විහිදන විටදීත් හොඳින් දැකබලාගත හැකියි. පියාපත් හකුළාගත් කල මේ නීල වර්ණය පිහාටු ගොමුව, උරපත් පිහාටු සහ ළයෙහි පිහාටුවලින් වැසි ඇති බැවින් නීරික්ෂණය කිරීම අපහසු වේ. ගෙල පිටු පස සිට පිට මැද ප්‍රදේශය තෙක් දිළිසෙන තද නිල් මිශ්‍ර කළු වර්ණය දරයි.
පිරිමි පක්ෂියා තද කළු පාටය. ඔහුට සාපේක්ෂව කිරිල්ලිය දුඹුරු පාටකි. එසේ වුවත් දෙදෙනාගේම පියාපත්වල අඩු - වැඩි වශයෙන් නිල් පැහැති පැල්ලම වැටී ඇත. වනාන්තර ඇසුරේ සැඟවී ජිවත් වීමට ප්‍රියතාවක් දක්වයි. එසේම ලජ්ජාශීලී පක්ෂියෙකි. දහවල් කාලය තුළදී සැඟවී සිටියත් පරිසරය සිහිල් වන සෑම අවස්ථාවකදීම උදෑසන සහ සවස් යාමයේ (ගොම්මන් අඳුරේ) ක්‍රියාශිලිව හැසිරෙයි. සන්ධ්‍යා සමය අවසන් වත්ම පිරිමි කුරුල්ලන් සි... ඊ... සි... ඊ... නදින් තීව්ර සරින් සියුරුවම් නාදයක් නඟන අතරම එම නාදය මොවුන් සරනා වනාන්තර ඇසුරේ දී නිරන්තරවම ඇසිය හැකිය.
අරංගයාගේ ජීවිතය ගැන කිව යුතු කරුණු කාරණා අපමණය. දිය පාරක් අයිනේ හෝ දිය කඩිති , කුඩා දිය ඇලි අසල පිහිටි විවරයක් තුළ වුවද කැදිලි තනයි. ගසක මුල් ගොමුවක් තුළ වුවත් ඒ සඳහා සුදුසුයි. මේ පක්ෂීන්ගේ කැදිලි එවැනි තැන් අසලදී වුවත් දැකගත හැකිය. කැදැල්ල වටේටම කොළ රොඩු පරඬැල් ආදිය එකතු කර සාදාගත් කවයක් තුළ මෘදු පෙඳ පාසිවලින් තනාගන්නා සුව පහසු කැදැල්ලේ වරකට බිත්තර 01 – 02 ත් අතර සංඛ්‍යාවක් දමයි. අනතුරුව කුරුලු අම්මාත් - තාත්තාත් සහයෝගිත්වයෙන් බිත්තර ගොනුව රකිති. බිත්තර බිඳ එළිය දකින් පැටවුන් පෝෂණය කරති. පැටවුන් උස් මහත් වී කැදැල්ල අතැර ස්වාධීන වන්නේ කවදාද එතෙක් මවුපියෝ තම දරු පැටවුන් පෝෂණය සහ අවශ්‍ය රැකවරණය ලබා දෙති.
අභිජනන සමය වසර මුල දී එනම් මාර්තු අග සිට - සැප්තැම්බර් අග දක්වා සිදු වේය යන්න පිළිගත් මතය වුවත් යහපත් වු පාරිසරික හා කාලගුණික හේතු සාධක මත අභිජනන සමය ජනවාරි ආරම්භ වී මැයි - අගෝස්තු - සැප්තැම්බර් යන මාස අතර වුවත් සිදු විය හැකිය. බිත්තර ළා+ කොළ පාටකි. පසු බිමෙහි රතට හුරු දුඹුරු තිත් රටා සහිතය. ප්‍රමාණයෙන් සෙ.මී. 02 – 03 ත් අතරය. ප්‍රධාන වශයෙන් කෘමී භක්ෂක පක්ෂියෙකු වුවත් කුඩා මැඩියන්, හූනන්, පණුවන් ආදීන්ද ගොදුරු කරගැනීමට පසු බට නොවේ.
ගලා යන දිය දහරා සමීපයේ ගල් මත ගමන් කරමින් ඔබ - මොබ පිරික්සමින් සහ වතුර කඩිති අබියස ගැවෙසෙමින් නිරන්තරවම ආහාර සොයයි. දියවැල් නිරන්තරයෙන් ගලා බසිනා සිසිල් පරිසර පද්ධති තුළ ජීවත් වීමට ප්‍රියයි. එනම් කඳුකරයේ මිටර් 1000 - මීටර් 3000 අතර කලාපය තුළ ස්වකිය පැවැත්ම තහවුරු කරගෙන සිටියි. අරංගයා දැකගත හැකි කදිම ස්ථාන වන්නේ සමනල වනපෙතේ ඉහළට වන්නටය. හෝර්ටන්තැන්න ඔහිය, පට්ටිපොළ අරංගා විල, නකල්ස් කඳුවැටිය ආශ්රිත සුරක්ෂිත වන බිම්ය.
බරපතළම තර්ජනය වි ඇත්තේ කළමනාකාරීත්වයකින් තොරව සිදු වන වනාන්තර විනාශයයි. ඉහළ කඳුකර පාරිසරික සංරක්ෂණ විෂයෙහිලා සුරක්ෂිත වුවත් එකී පාරිසරික කලාපයන් ආශ්රිත සිදු වන සංචාරක ව්‍යාපාරය විධිමත්ව පවත්වාගෙන යෑමේ නිසි වැඩ පිළිවෙළක් මගින් මේ සත්ත්වයන්ගේ ජිවත් විමේ නිදහස් අයිතිය ආරක්ෂා කිරීමට හැකි වනු ඇත. එවැනි ප්‍රදේශ ආශ්රිත සංචාරයන්හි නිරත වන ඔබත් ස්වාභාවික පරිසරයේ ශාක හා සත්ත්ව පැවැත්මට බාධා වන කිසිවක් හෝ සිදු නොකරන්න. මේ අහිංසක වන ජිවිත නිබඳ යදින්නේ ජිවත් විමේ අයිතියයි.
සේයාරූ
• හොර්ටන්තැන්නේ පාරිසරික වටපිටාව
-රෝහිත ගුණවර්ධන
• අරංගයාගේ සේයාරුව
-චම්මික දිසානායක