
කාර්යාලයෙ වැඩ ඇරී අවුත් නැවත අප්පච්චිගේ කාර්යාලවල වැඩත් බලන්නට යන ශ්‍රීමාල්ට වැඩ අධිකකම නිසා හිත හිතා සිටින්ට කාලයක් නැත. මේඛලාත් දැන් රට ගිහිල්ලා අවුරුදු දෙකක් වාගේ ය. දැන් ඇයට දරුවෙකුත් ඇති. තමාව මතකයෙන් ඈත් වෙලාත් ඇති. ඇද හැලෙන වර්ෂාව දිහා බලාගෙන ඔහු සිතයි.
සියලුම දුක් වේදනා කාලයා විසින් සමනය කරනවා යැයි කී මෝඩ පණ්ඩිතයා කවුදැයි ශ්‍රිමාල් තුන් වැනි හතර වැනි වරටත් කල්පනා කරයි. ‘කාලය’ නමැති දෙයින් සැනසිල්ලක් ලැබූවන් මොන තරම් අල්ප දැයි සිතෙන්නේ විවිධ පැති වලින් ලෝකය දිහා බලද්දීය, ජීවිත ගැන සිතද්දීය.
දැන් සියලුම දේවල් සිදුවී වසර දෙක තුනක් ම ගතවෙලා ගිහිල්ලා ය. ජයමාල් මල්ලි ගැන ‘ශ්‍රී ජය’ වලව්ව තුළ එකදු ඡායාමාත්රයකින්වත් කතා කෙෙරන්නේ නැත. ඔහු සම්පූර්ණයෙන් ම රාජධානියකින් පිටිවහල් කළ කෙනෙකු ගානය. තම බාල පුතාගේ මේ වෙන්වීම දරාගත නොහැකිව සිටියේ නිර්මලා මැණිකේ ය. නමුත් කාලයාගේ ඇවෑමෙන් ඇය ද හිත හදාගන්නට උත්සාහ කළා ය.
ජයමාල්ව ඉක්මණින් කරකාර බන්දවා ගන්නට ඔහුගේ පෙම්වතිය වන මාලිකා ගේ බාප්පා වන ලයනල් නම් පාතාල කල්ලියට අයත් මනුෂ්‍යයා ගැන සියල්ල එළිදරවු වූ විට විල්ප්‍රඩ් රත්නසේකර වියරු වැටුණක් මෙන් විය.
“මේ මරුමුස් මිනිහාගෙ ගැටේට අපේ පල් මෝඩයා අහුවෙච්ච හැටි අනේ ඇත්තට... වලව්වෙ බූදලේට ඇහැ ගහගෙන තමා ඔය තක්කඩියා අපේ එකාව උසිගන්නලා තියෙන්නෙ... අපේ පල් බූරුවා උගුලෙ අහුවුණා...!”
නිතර දෙවේලේ ඇසෙන මේ ගෝරනාඩු කතා නිර්මලා මැණිකෙට වගේ ම ජන්තු - සිරියා ජෝඩුවටත් කරුණාදාසට වගේ ම කුමාරටත් දුන්නේ හිත් වේදනාවකි. ඒ අතරේ රත්නපුර වලව්වේ කිසියම් පරිවර්තනයක් වෙමින් තිබුණි. ඒ මලින්ද පුතා පවුලෙන් ඉවත් නොකරන්නට සුදු මැණිකේ වග බලාගත් නිසා ය. වලව්වට ආවේ නැතත් ඇය පුතාව අමතක කළේ නැත්තේ ගොඩලියද්ද හාමුගේ විරෝධතාවය මතුවෙද්දීමය. ඇය ඒ සඳහා පාවිච්චි කළ ‘තුරුම්පුව’ වූයේ සමන්ති දුව හිතුවක්කාරකමට විවාහ වුණු ජයේන්ද්‍රගේ මෙන් ම ජයේන්ද්‍රගේ නංගි වන චන්ද්‍රානිගේ ‘ජාතකයන්’ය.
ශ්‍රී ජය වලව්වේ ඊළඟ කලබැගෑනිය පටන් ගැනුණේ ශ්‍රීමාල් ගේ සම්බන්ධයට දිගට හරහට විරෝධතා එල්ල කරමින්ය. මුලින් ම හොඳින් ද පසුව තර්ජන ගර්ජනයෙන් ද පැතිර ගිය අරෝව ශ්‍රීමාල්ට ගෙදර වසන්නට පවා එපා කරවූයේ ය. ඒ වෙද්දී ශ්‍රීමාල් කරන රැකියාවට අමතරව අප්පච්චිගේ ෆැක්ටරිවල කාර්යාලවල වැඩ ද බලමින් සිටිය නිසා ඔහු ප්‍රබල චරිතයක් බවට පත්ව සිටියේ ඉබේටමය.
අප්පච්චිලාගේ ග්රහණයෙන් මිදීමක් නැති තැන ශ්‍රීමාල් දෙපසකින් බැට කන ගොදුරක් වගේ විය. සියල්ලටම වඩා අම්මා වන නිර්මලා මැණිකේගේ තර්ජනය ඔහුගේ හිත මෙන් ම ආත්මය ද දෙදරුම් කැව්වේය.
“මට අන්තිමට ඉතිරි වුණේ උඹ විතරයි. අපට ගැළපෙන්නෙ නැති ඔය සම්බන්ධෙ කරගත්තොත් මම ජීවත්වෙයි කියලා හිතන්න එපා පුතේ... මල්ලිගෙ හිතුවක්කාරකම විඳ දරාගත්තේ... ඔයා ගැන හිතලයි. ඒ නිසා ඔය සම්බන්ධෙ අතෑරලා දාලා අපි හොයා දුන්නු අර කෑගල්ලෙ වැඩේට කැමතිවෙන්න. මම ඔයාට වැඳලා කියන්නෙ පුතේ... මාව මරාගන්න එපා...!”
ශ්‍රීමාල් පිස්සකු සේ නිරාහාරව නිදි මරාගෙන කාලය ගත කරද්දී මේඛලාව වෙන කෙනෙකුට කසාද බන්දවා දීපු වග ආරංචි විය. හිත යටින් හඬා වැටුණු ශ්‍රීමාල් ඔළුව අවුල් කරගත්තේ නැත්තේ දෙමාපියන් ගැන හිතලා ය.
ආදරණීය දෙමවුපියන්ට පිටුපාන්නට ශක්තියක් ඔහු වෙත නැති වුණේ කුමන කරුමයටදැයි ශ්‍රීමාල්ගේ මිතුරන්ටත් ප්‍රශ්නයක් විය. තවත් මාස හයකට විතර පස්සේ සිරිනාතගෙන් ලැබුණු ආරංචිය ශ්‍රීමාල්ගේ හිත කැලඹුවේ ය.
“මේඛලා කසාද බැඳලා අන්න දෙන්නත් එක්කම ඉතාලි ගිහිල්ලා.”
එදා රාත්‍රී ශ්‍රීමාල් ජීවිතයේ ප්‍රථම වතාවට කාමරයේ දොර වසාගෙන පිස්සකු සේ හඬා වැටුණේ ය!
එක හිතින් ම කරන ලද ආදරයක ඛේදවාචකය ඉවසා ගන්නට සෑහෙන පරිශ්‍රමයක් දරන්ට සිදුවිය. තමා හරිම නෝංජල් පිරිමියෙකු ලෙස ලෝකයා හංවඩු ගසනු ඇතැයි යන ලැජ්ජාවට වඩා ඔහු අවංකවම මේඛලා වැනි ආදරවන්තියක අහිමි වීමේ දුකින් පෙළුණේ ය.
“මම ඒ සම්බන්ධෙ හිතින් අතෑරියා... අම්මේ... ඒ වගේ ම මමත් ඉල්ලීමක් කරනවා මට දැන්ම කසාද බඳින්න කරදර කරන්න එපා.”
අන්තිමට ශ්‍රීමාල් ඉල්ලා සිටියේ දෙමවුපියන්ගෙන් ඒ වරප්‍රසාදය පමණි.
* * * * * *
චන්ද්‍රලතාගේ දුව චන්ද්‍රානි උපාධිය ලබාගත්තාට පස්සෙ රැකියාවක් ලැබෙන තුරු පුද්ගලික උපකාරක පංති පටන් ගත්තේ සාමාන්‍ය පෙළ සිසුන් සඳහා ය. ඈ පන්ති පැවැත්වූයේ අයියා වන ජයේන්ද්රලාගේ ගෙදර ඉදිරිපස ඇති කොටසක ය. ඒ උදව්ව කළේ සමන්ති අක්කා බව ඇය දනියි.
සමන්තිගේ හිත හොඳකමත් මනුස්සකමත් ඇයගේ සිත තුළ ඇති කළේ පහන් හැඟීමකි. චන්ද්‍රානිගේ මංගල්‍යය ද චාමෙට වුණත් ඉතා පිළිවෙළට සිද්ධ වුණි. මුලින් අකමැති වුණත් පසුව චන්ද්‍රලතා, දුවගේ මනමාලයාට කැමැති වුණේ ද සමන්ති හාමු නිසාවෙනි. සියල්ලටම වඩා චන්ද්‍රලතා සතුටට පත්වුණේ සාක්ෂියට අත්සන් කළේ ගොඩලියද්ද හාමුත් රත්නසේකර හාමුත් වීම ය.
ශ්‍රීමාල්ට මේ කිසිවකට සම්බන්ධවීමට වුවමනාවක් නොවූයේ අමුතුම විදියේ මානසික තත්ත්වයක පසුවූ නිසා ය. ඉස්සර නම් මලින් ද අයියා සමඟ හෝ ජයමාල් මල්ලි සමඟ කතා කර හිත සනසාගත් අවස්ථා තිබුණි. නමුත් දැන් සියල්ලම සහ සියල්ලන් ම වෙනස් වෙලාය. රදිශ් අයියා සමඟත් වැඩිපුර ඇයි හොඳයියක් පැවැත්වූයේ නැත්තේ මේඛලාගේ සම්බන්ධය වෙනුවෙන් කිසිදු පියවරක් නොගැනීම ගැන ඔහු කළ දෝෂාරෝපණය නිසාමය. හිත පෑරෙන වේදනාව යටපත් කර ගනිමින් ඔහු සිතුවේ ඇත්තටම තමාව දෙපැත්තකින්ම දරුණු ලෙස හිරවී සිටීමේ ව්‍යාධිය ගැන ය. තමාව තේරුම් ගන්නට මේ කිසිම කෙනෙකුට බැරි ය.
* * * * * *
“ෙම් ඔක්කොම අමතක වෙන්නත් එක්ක අපි ගිහිල්ලා එමු මැණිකෙ පොඩි රවුමක්... අනුරාධපුර, පොළොන්නරුව පැත්තෙ...”
එක්තරා උදෑසනක විල්ප්‍රඩ් රත්නසේකර එසේ කීවේ ජයමාල් පුතාගේ කාමරයේ පාළුවට ගිය ඔහුගේ ඇඳ මත වාඩි වී කල්පනා කරමින් සිටිය මැණිකේටය. අවුරුදු ගාණක් තිස්සේ පාළුවට ගිහිල්ලා තිබුණත් පොඩි පුතාගේ සුවඳ කාමරය පුරාමය! මැණිකේ එසේ නොකිව්වත් කඳුළු පිරුණු ඇගේ දෑසේ ඒ කියමන රත්නසේකරට පැහැදිලිවම පෙනුණි.
“ලොකු පුතාවත් එක්කරං යමු... එයා ඉන්නේ හරිම හිතේ වේදනාවෙන් බවත් මට පේනවා නොපෙන්නුවාට...”
මැණිකේ කීවේ කනගාටුවෙනි. එබසට රත්නසේකර හිසවනයි.
“එයාට මං කිව්වා මැණිකේ... එයා එන්නෙ නෑ... වැඩ තියෙනවා කිව්වේ... කමක් නෑ... අපි යමුකො... දවස් දෙකකට විතර... අපේ දුල්ලෑවෙ අක්කාටත් මම කිව්වා. එයා ඔක්කොම ලෑස්ති කරාවි...!” එක්තරා සඳුදාවක ඒ අයුරින් හාමු ජෝඩුව පිටත්ව ගියේ කරුණාදාස සමඟය. සමුගන්නා මොහොතෙත් නිර්මලා මැණිකේ ශ්‍රීමාල් පුතාගේ හිස සිම්බා ය. එවිට පොද වැස්සකුත් කඩා වැටෙමින් තිබුණි.
“පරිස්සමින් ඉන්න පුතේ අපි ගිහිල්ලා එනකං...!”
* * * * * *
කාර්යාලයෙ වැඩ ඇරී අවුත් නැවත අප්පච්චිගේ කාර්යාලවල වැඩත් බලන්නට යන ශ්‍රීමාල්ට වැඩ අධික කම නිසා හිත හිතා සිටින්ට කාලයක් නැත. මේඛලාත් දැන් රට ගිහිල්ලා අවුරුදු දෙකක් වාගේ ය. දැන් ඇයට දරුවෙකුත් ඇති. තමාව මතකයෙන් ඈත් වෙලාත් ඇති. ඇද හැලෙන වර්ෂාව දිහා බලාගෙන ඔහු සිතයි.
ආලින්දය පැත්තෙන් මතුවූ ජන්තු මුව විදහා සිනාසෙයි. ඇත්තටම දැන් ජන්තු හොඳටම වයසට ගිහිල්ලා ය. කුමාරගේ විවාහයත් සිදුවූ නිසා දැන් ජන්තුත් සිරියාත් නිදහස් ය. නමුත් ඔවුන් තවමත් විශ්‍රාම නොයන සේවයකය...
“බේබි හාමුටත් යන්නයි තිබ්බෙ හාමුලත් එක්ක... හරිම පාළුයි නේද දැන් මේ වලව්ව...!”
ශ්‍රීමාල් පිළිතුරු ලෙසින් සුසුමක් හෙළයි. ඒ හෙළන සුසුමේ බරට ජන්තුට හොඳටම දුක හිතෙයි. වලව් දෙකේ බේබි හාමුලා හතර දෙනාගෙන් දෙමවුපියන්ට ගින්දරක් නොදී තමුන්ගේ සතුට පරිත්‍යාග කළේ ශ්‍රීමාල් හාමු විතරය. මූණත් එක්ක ඇදිලා පැදිලා ගිහින් හරිම දුක්බර බැල්මක් ඇතිව සිටින - ඒත් වලව්වේ වතුවල පැක්ටරිවල පරිපාලන කටයුතු සොයා බලන - ශ්‍රීමාල් හාමු හරියට දෙවියෙක් දේවතාවෙක් ගානය. සිරියා ද නිතරම ඒ කතාව කියයි.”
“මොකෝ ජන්තු බර කල්පනාව... ආ....?”
ශ්‍රීමාල් අසන්නේ ළෙන්ගතුවය. කහට ගැහුණු ලොඹුකට පෙන්වා ජන්තු හිනාවෙන්නේ හදවතින්මය.
“කුමාරට කියන්න ගෙයි ඉස්සරහා කෑල්ල අලුත්වැඩියා කරලා හදාගන්න කියලා... මාත් උදව් කරන්නම්... මම අප්පච්චිටත් කියන්නම්... ඒ ගේ කෑල්ල කොහොමත් ජන්තුගෙ නමට ලියාවි අප්පච්චි...!”
දිළිසෙන ඇස් ඇතිව කොන්ද නමා ආචාර කරමින් ජන්තු කුස්සියට ඇදෙන්නේ හිතේ සතුටින් බව ශ්‍රීමාල්ට දැනෙයි. සතුට කියන දේ තමුන්ට නැතත් කා ළඟ හරි එය තියෙනවා දකින්ට ලැබීම හිතටත් සහනයකි.
පරිසරය ඉතා ඉක්මනින් වෙනස් වූවා වගේ යම්තමට ඇද වැටෙමින් තිබූ වැස්ස එදා රාත්‍රියේ මහා ධාරාණිපාත වර්ෂාවක් බවට පත්වුණේ කලබල ඇති කරමින් ය. අකුණු ගසමින් විදුලි කොටමින් මුළු පරිසරයම දෙදරා ගියේ ය.
කවදාවත් නැතිව ඒ මහා වැස්සට වලව්වේ කුස්සි බරාදය තෙමෙන්ට ගත් විට සිරියාට කෑගැසුණේ පුදුමයට ය.
“බලන්නකො... මහ කුණාටුවට වහලෙ රට උළු පදාසයක් ඉගිල්ලිලා ගිහිල්ලද මන්දා මේං... කුස්සි සාලෙ තෙමෙනවා...!
ඈ විශාල බේසමක් තබමින් කෑ ගෑවේ ජන්තුත් කලබලවී එහෙ මෙහෙ දුවද්දීය. ශ්‍රීමාල්ගේ සිතට දැනුණේ මහත් බියකි. මේ වගේ මහා වැස්සක් කඩා වැටුණේ පුංචි කාලයේ දවසකය. එදා තමාත් මල්ලිත් අම්මාට තුරුලු වුණේ අකුණු සද්දෙට බියෙනි. අප්පච්චිත් ළඟට වෙලා බය ඇරෙන්ට පිරිත් කී හැටි මතකය.
“ජන්තු... හාමුලා ගෙන් කෝල් එකක් ආවාද... නැන්දලාගේ ගෙදරට ගියා කියලා...?”
වැස්ස සද්ද අස්සෙම ශ්‍රීමාල් කෑගැසුවේ බය බිරාන්ත වෙලා වගේ ය. තවම හැන්දෑවේ හත පහුවුණා විතරය. ඒත් අන්ධකාරය හරියට රෑ දොළහට වගේ ය.
“ඔහෙ නෑ... බේබි හාමු... රත්නපුර වලව්වෙන්වත් නෑනෙ කෝල් එකක් ආවෙ... වෙනදා සුදු මැණිකෙ කතා කරනවනෙ... මෙහේ ගැන හොයා බලන්න...” ජන්තු කීවේ තැති ගනිමිනි. ඒ එක්කම මහා හඬින් අකුණක් පුපුරා ගියේය. නිදාගෙන සිටිය දුරකතනය කෑගසන්නට ගත්තේ ඒ අතරේය. ශ්‍රීමාල් වහා ඒ වෙත ළං වූයේ තවත් අකුණු සැරයකින් ගැස්සෙන ගමන් ය. රිසිවරය කණට තබාගත් ඔහු මහා හඬින් කෑ ගෑවේ ය.
“මොනවා! අනේ දෙයියනේ... අම්මයි... අප්පච්චියි!!”
ලබන සතියට...