
උදාර කුලරත්න ඔස්ට්‍රෙලියාවේ මොනෑෂ් සරසවියේ ප්‍රථම පන්ති උපාධිධාරී විදුලිසංදේශ මෘදුකාංග ඉංජිනේරුවරයෙකි. එම විෂය පිළිබඳ ඔක්ස්ෆඩ් සරසවියේ පශ්චාද් උපාධි ඩිප්ලෝමාලාභියෙකි. පසුව කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයෙන් වෛද්‍ය විද්‍යාව හදාරන ඔහු මේ වන විට විකිරණවේදය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයෙකි. එංගලන්තයේ එම විෂය සම්බන්ධව සිටිනා ප්‍රමුඛතම විශේෂඥ වෛද්‍යවරුන් අතර සිටින උදාර පසුගිය දා කොළඹ විශ්වවිද්‍යාල ශ්‍රවණාගාරයේ දී සිය ප්‍රථම කාව්‍ය සංග්‍රහය ‘අරුණෝද සීයක්‘ නමින් එළි දැක්වූවේය. මේ අපේ කාලය නියෝජනය කරන ලෝක ආදර්ශයක් වූ එම විශිෂ්ට විද්වතා සමඟ සිළුමිණ පුවත්පත කළ සම්මුඛ සාකච්ඡාවකි.
ඔබේ මූලික අධ්‍යාපනය ගැන මතක් කරමු. පාසල් ගියෙ කොහෙද?
මුල් ඉස්කෝලෙ කොට්ටාව ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලය. බාලාංශයේ ඉඳන් පහේ ශිෂ්‍යත්වය වන තුරු ගියෙ ඒ පාසලට. දැන් මහා විද්‍යාලයක් වුණත් ඒ වකවනුවේ එය ප්‍රාථමික විද්‍යාලයක්. මගේ අම්මා ඉගැන්නුවේ ඒ ඉස්කෝලේ. ඒ පාසල හරි ප්‍රසිද්ධයි. ඒ වකවානුවෙ ශිෂ්‍යත්ව විභාගය සම්බන්ධව. බොහොම දක්ෂ ගුරුවරුන් හිටපු තැනක්. ශිෂ්‍යත්වය ලියන ළමයින්ගෙන් බාගයක් පමණ ශිෂ්‍යත්වය පාස් වෙලා කොළඹ ඉස්කෝලවලට යනවා.
කොහොම නමුත් ඔබ ශිෂ්‍යත්ව විභාගයෙන් ලංකාවෙන් පළමු වැනියා වෙනවා. ශිෂ්‍යත්වයෙන් ලංකාවෙන් පළමු වැනියා වීම ඔබේ හීන අතර තිබුණ ද?
ඒක නම් කොහෙත්ම බලාපොරොත්තු වෙච්චි දෙයක් නෙමෙයි. ඒත් මගෙ අම්මගේ ලොකු හීනයක් තිබ්බා මාව කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් කරන්න. ඒ කාලේ රෝයල් එකට යන්න පුළුවන් එකම මාර්ගය ශිෂ්‍යත්වය විභාගය සමත් වීම. නැත්නම් රෝයල් එන්ට්‍රන්ස් කියන ඇතුළත් වීමේ විභාගය සමත් වීම විතරයි. අපට කලින් අවුරුදුවලත් ළමයි පන්නිපිටිය ධර්මපාල කනිෂ්ඨ විද්‍යාලයෙන් රෝයල් එකට ගිහින් තිබ්බා. අම්මා මාව ඒ ඉලක්කයට යොමු කළා. ඇත්තටම තනිකරම මගේ අධ්‍යාපනික විනය හැදීම අම්මගේ ප්රයත්නයක්. ඒ දවස්වල අපේ ඔළුවේ තිබුණෙ සෙල්ලම් කරන එක විතරයි.
විභාගෙ ඉවර වුණාම තනිකරම සැණකෙළියක්නෙ. ප්‍රතිඵල ඇවිල්ලත් නෑ. ඉස්කෝලෙ ඇරිලා අපි සෙල්ලම් කරමින් ඉන්නවා. එක දවසක් හවස දෙකට විතර ලේක්හවුස් එකෙන් දෙන්නෙක් හදිසියෙන්ම ඉස්කෝලෙට ආවා. ඇවිත් අම්මවම මුණගැහිලා කියලා තිබුණා ශිෂ්‍යත්ව ප්‍රතිඵල කලින් දැනගත්තා. මේ ඉස්කෝලෙ දරුවෙක් තමයි ලංකාවෙන් ශිෂ්‍යත්වයෙන් පළමුවෙනියා. ඔහුගේ නම උදාර කුලරත්න. ඔහුව මුණගස්සන්න පුළුවන් ද කියලා. අම්මා තිගැස්සිලා කතා කරන්නෙ නැතිව ඔවුන් දිහා බලාගෙන ඉඳලා තිබුණා. ඒක කවදාවත් අමතක නොවන මොහොතක්.
කොළඹ රාජකීය විද්‍යාලයට ඔබ ඇතුළත් වෙනවානෙ. ඉන් පසසෙ පාසල් ජීවිතය පෙළ ගැහෙන්නෙ කොහොම ද?
මුලින්ම අපේ පොඩි ඉස්කෝලවල අපි ලොකු මිනිස්සු. අම්මත් ඉස්කෝලෙ. එතකොට තවත් ලොකුයි. එත් රාජකීය විද්‍යාලයට ආවාම ඒක වෙනම තැනක්. අපි වැටුණෙ ඉතාම දක්ෂ මිතුරන් පිරිසක් මැදට. දැන් ලොකු මිනිස්සු නෑ. මේ මිතුරු පිරිස ඇසුරෙහි ඇති වුණ තරගකාරීත්වයත් මිහිරක්. ඒ වගේම අපට හමුවුණු ගුරුවරු ඉතාම දක්ෂයි. අපේ අධ්‍යාපනය විතරක් නෙමෙයි. පාසල ඇතුළෙ ඇති වුණු සංවාදයෙත් හරාත්මක ගැඹුරක් තිබුණා. අපි පාසල් අවධියේදීම සාහිත්‍ය කටයුතුවලට යොමු වෙන්නෙ එහි ප්‍රතිඵලයක් විදිහට.
ඔබ වර්ෂ 1991 දී උසස්පෙළ ගණිත අංශයෙන් ලංකාවෙන් තුන් වැනියා. ඔබ ඉන් අනතුරුව විදේශගත වෙනවා.
ඒ වකවානුවෙ ඔස්ට්‍රෙලියානු රජයෙන් දුන්නා ලංකාවෙන් උසස්පෙළ විභාගයෙ වැඩිම ලකුණු ගත්ත 10 දෙනාට නිදහස් ශිෂ්‍යත්වයක්. එය කෙමෙන් නැති වෙලා ගියා. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමෙන් වැඩිම ලකුණු සහිත කණ්ඩායම අරගෙන ඔවුන්මයි ඒ ශිෂ්‍යත්වය දුන්නෙ. කිසිම ආකාරය බාහිර මැදිහත්වීමක් නෑ. ඊට අමතරව ඔවුන් මැදිහත් වෙලා ඉහළම ලකුණු නොගත්තත් දක්ෂතා සහිත අඩු ආදායම්ලාභීන් කණ්ඩායමකට අර්ධ ශිෂ්‍යත්වයක් දුන්නා. ඒක සාධාරණ වැඩක්. නමුත් දැන් ඒ ශිෂ්‍යත්ව ක්‍රමය නැති වෙලා.
ඔබ ඔස්ට්‍රේලියාවට ගිහින් හදාරන්නෙ ඉංජිනේරු විද්‍යාව. ඔබ හදාරන්න තෝරගත් විෂය පථය කුමක් ද?
මම විශ්විද්‍යාලයට ඇතුළත් වන්නේ වර්ෂ 1993. ඔස්ට්‍රෙලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලයට. ඒ කාලයේ ජංගම දුරකථන ප්‍රචලිත නෑ. අන්තර්ජාලයත් ආවා විතරයි. බටහිර අදහසක් තිබ්බා මේ දෙක ඉදිරියේදී සන්නිවේදන විප්ලවයක් ඇති කරයි කියන මතයක්. ඒ නිසා අපේ විශ්විද්‍යාලයෙ ඉංජිනේරු පීඨය මේ විෂය සම්බන්ධව දැඩි උනන්දුවකින් කටයුතු කළා. පර්යේෂණ කළා. මා තෝරා ගත්තෙ විදුලි සහ පරිගණක පද්ධති කියන විෂය ක්ෂේත්රය. අන්තිම අවුරුද්දෙ ක්ෂේත්රයේ එක් විෂය ඒකකයක් පිළිබඳ විශේෂඥ දැනුමක් ලබන්න ඕන. මම තෝරා ගත්තෙ විදුලි සංදේශ ඉංජිනේරු ක්ෂේත්රය. විදුලි සංදේශ ඉංජිනේරුවරයෙක් විදිහට තමයි මුල් උපාධිය ලබා ගත්තෙ.
ඉතින් මගේ පළමු උපාධිය ඉවර වෙන්න කලින්, ඒ කියන්නෙ තුන් වැනි අවුරුද්දෙ සිංගප්පූරු පුජිට්සු සමාගමෙන් ආවා රැකියාවලට බඳවාගන්න. ඔවුන් මාව බඳවාගත්තා.
මගේ වෘත්තිය වුණේ විදුලි සංදේශ ජාල කළමනාකරණ මෘදුකාංග හදන එක. ඒ කියන්නෙ මුළු පද්ධතියම එක තැනක ඉඳන් පරිගණකය හරහා කළමනාකරණය කරන්නෙ කොහොමද කියන එක. අපි වැඩ කළේ නව නිපැයුම් කරන්න.
ඒ ක්ෂේත්රයේම තවත් ප්‍රධාන ආයතනයක් තිබුණා නෝටෙල් කියලා. ඒක කැනඩා ආයතනයක්. ඒ වුණාට එහි පර්යේෂණ මධ්‍යස්ථානය තිබුණෙ එංගලන්තයෙ. මම ඒ ආයතනයෙ රැකියාවට අයැදුම් කළා. රැකියාව ලැබුණා. මං එංගලන්තෙට ආවා. මගේ පශ්චාත් උපාධිය කරන්න අවස්ථාව ලැබුණෙ එංගලන්තයට ආවට පස්සේ. ඔක්ස්ෆඩ් විශ්වවිද්‍යාලයෙ තිබුණා මෘදුකාංග ඉංජිනේරු පශ්චාත් උපාධි පාඨමාලාවක්. ඔක්ස්ෆර්ඩ් සරසවියේ එම පශ්චාත් උපාධි පාඨමාලාව හදාරන්න මට නෝටෙල් ආයතනයෙන් අනුග්‍රහය දැක්වුවා. මම ඒ පාඨමාලාව ඩිප්ලෝමා මට්ටමින් නැවැත්තුවා.
ඇයි ඔබ ඉංජිනේරු විද්‍යාව සම්බන්ධ ඔබේ පශ්චාත් උපාධිය සම්පූර්ණ කළේ නැත්තෙ.
ඇත්තටම ඒ වෙන කොට මට අවශ්‍ය වෙලා තිබුණා වෛද්‍ය විද්‍යාව හදාරන්න.
තනිකරම වෙනස් ක්ෂේත්‍ර දෙකක්. ඇයි ඔබ එහෙම හිතුවෙ?
හේතු කීපයක් තිබුණා. පොඩි කාලෙ ආසාවක් තිබුණා වෛද්‍ය විද්‍යාව හදාරන්න. එය වෛද්‍යවරයෙකු වීම පිළිබඳ සුබවාදී සිහිනයක්. ඒ සිහිනත් එක්ක අපි ගොඩනැඟුණා. ඒත් එක් වකවානුවක අපිට අපේ අනාගතය පිළිබඳව තිගැස්මක් ඇති වුණා. 88 වකවානුව රටම බරපතළ අර්බුදයක ගිලිලා තියන කාලයෙදි තමයි අපට අපේ අනාගතය සම්බන්ධව තින්දුවක් ගන්න වෙලා තිබුණේ. අපේ වයස්වලම තරුණයො අකාලෙ මිය ගියා. සරසවි නැවත ඇරෙන දිනයක් දන්නෙ නැතිව වැහුණා. මොනවද කරන්නෙ කියලා අවිනිශ්චිතයි. පිටරට අධ්‍යාපනය ගැන සිහින තිබුණෙ නෑ. අඩුම ගානෙ ගණිත අංශයෙන් විභාගය කළොත් සී.අයි.එම්.ඒ හරි කරන්න පුළුවන්. බයෝ කළොත් මොනවා කරන්නද? වගේ අදහසක් අවා.
ඒත් මං ඔස්ට්‍රෙලියාවට ගිය හැටියෙ මගෙ ශිෂ්‍යත්වය දුන්න අයගෙන් ඇහුවා මට වෛද්‍ය විද්‍යාව හදාරන්න පුළුවන්ද කියලා. මොකද රසායන විද්‍යාව, භෞතික විද්‍යාව සහ ගණිතය හදාරලා තියන කෙනෙකුට එහෙදි වෛද්‍ය විද්‍යා උපාධිය හදාරන්න පුළුවන්. මුල සිට විෂය කියලා දෙනවා. ඔස්ට්‍රෙලියාවෙ වගේම එංගලන්තයෙත් එහෙමයි. එත් ඔස්ට්‍රෙලියාවෙ වෛද්‍ය විද්‍යා උපාධිය අවුරුදු හයක්. නමුත් ඉංජිනේරු විද්‍යා උපාධිය අවුරුදු 4 යි. ඒ අය කිව්වා ඔයාට වෙන් කරලා තිබුණ අරමුදල් මදි කියලා. ඒ නිසා මං ඒ වේලාවෙදී වෛද්‍ය විද්‍යාව හැදෑරීමේ අදහස අත්හැරගත්තා.
මට වෛද්‍යවරයෙකු වීමේ ප්‍රධානම පෙලඹවීම සිදු වන්නෙ මගෙ තාත්තා අසනීප වීමත් සමඟ. තාත්තට බයිපාස් ශල්‍යකර්මයක් කළා. තාත්තා ඉතාම අමාරුවෙන් ඉඳලා බයිපාස් සැත්කම කළාට පස්සේ පහුව දා ඉඳලම ඉතා සනීපයෙන් ඉන්නවා දැක්කා. ඒක ඉතාම සුබවාදී විදිහට වුණේ. මට ඒක ආශ්චර්යයක් විදිහට පෙනුණෙ. මේ සිද්දිය වෛද්‍ය විද්‍යාව හදාරන්න මාව මුළුමනින්ම පොලඹවනු ලැබුවා.
කොහොමත් ඇමරිකාවෙ වෛද්‍ය උපාධිය දෙවැනි උපාධියක්. ඉස්කෝලෙන් පස්සෙ ශිෂ්‍යයො කෙළින්ම වෛද්‍ය විද්‍යාලයට යන්නෙ නෑ. ඉස්සරවෙලා පළමු උපාධියක් කරන්න ඕන. ඊට පස්සේ වෛද්‍ය විද්‍යා පාඨමාලාවට ඇතුළත් වීමේ විභාගයක් තියනවා. එය සමත්වන අය අවුරුදු හතරක වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාව හැදෑරිය යුතුයි. ඒ ක්‍රමය ඔස්ට්‍රෙලියාවට හා එංගලන්තයට ගෙනාවෙ මම වෛද්‍ය විද්‍යාව හදාරන්න තදින්ම තීන්දු කරගත්තු කාලෙදී.
මේ පාඨමාලාවට ඇතුළත් වීමේ විභාගයෙදි උරගා බලන්නෙ විද්‍යා දැනුම විතරක් නොවෙයි. ඉංග්‍රීසි රචනා දෙකක් ලියන්න ඕන. කලා අංශයේ දැනුම මැන බලන සාහිත්‍ය විචාර සහිත ඉංග්‍රීසි ප්‍රශ්න පත්රයකට පිළිතුරු ලියන්න අවශ්‍යයයි. මේ විභාගය කළා. විභාගය සමත් වෙලා ඔස්ට්‍රෙලියාවෙ අැඩිලේඩ් විශ්විද්‍යාලයෙ වෛද්‍ය විද්‍යාව හදාරන්න තෝරාගෙන තිබුණා.
මේ කාලෙ මං එංගලන්තයෙ ජීවත් වුණේ. කොහොමහරි මේ වෙන කොට කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලය ඇතුළු එංගලන්තයේ ප්‍රධානම සරසවි කීපයක් දෙවන උපාධිය ලෙස වෛද්‍ය විද්‍යාව හදාරන්න කුඩා කණ්ඩායම් වශයෙන් විද්‍යාර්ථයන් බඳවාගත්තා. එක් කණ්ඩායමක් 25යි. මට හිතුණා මං එංගලන්තෙ ජීවත් වෙමින් සිටි නිසා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා උපාධි පාඨමාලාවට ඉල්ලුම් කරලා බලන්න. ඒ විභාගයටත් පෙනී සිටියා. විභාගය සමත්. ඊටපස්සේ සම්මුඛ පරීක්ෂණයකුත් තියනවා. ඊටත් සහභාගී වුණා. මා කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයට තේරුණා.
2003 සැප්තැම්බර්වල කේම්බ්‍රිජ් සරසවියෙ වෛද්‍ය විද්‍යා පාඨමාලාව පටන් ගත්තා. ඒක අවුරුදු හරතක්. එතකොට මට වයස 30 යි. ටිකක් පරිණතයි. කාලය බෙදාගෙන වැඩ කරන්න දන්නවා. පුහුණු කරපු අධ්‍යයන ක්‍රම ටිකක් වෙනස් වුණා. වැඩිපුර කටපාඩම් කරන්න සිද්ධ වුණා. මහන්සිවෙන්න වුණා. නිතරම වැඩ කරන්නත් වුණා. ඒක මගෙ ක්‍රමය තුළ තිබුණ දෙයක් නොවෙයි. ඒත් මාත් එක්ක හිටිය පිරිසත් විවිධයි. ඔවුන් සමහරු නීතිඥයො. ඉංජිනේරුවො. ඉංග්‍රීසි භාෂාව හදාරපු අය. බැංකුකරුවො. දෙවන උපාධියට වෛද්‍ය විද්‍යාව හදාරන මේ වගේ පිරිසක් එක්ක වැඩ කරන එක හරිම රසවත් අත්දැකීමක් වුණා.
අපි මේ පාඨමාලාව හදාරන්න එන්නෙ ලෝකය දැකපු, ලෝක යථාර්ථය යම් පමණකට අත්වින්ද පිරිසක් විදිහට. කොහොමත් ලෙඩකට බෙහෙත් ටිකක් දෙන එක ඕන රොබෝ කෙනෙකුට කරන්න පුළුවන්. වැදගත් වෙන්නෙ වෛද්‍යවරයා හා රෝගියා අතර සිදුවන මානුෂික ගනුදෙනුව. එය පුහුණු කිරීමට හැකි මානසික පරිණතිය මේ පාඨමාලාවට එක්වන කාලයේ දී අපට ලැබී තිබුණා.
ඔබ වෛද්‍යවරයකු ලෙස තෝරාගන්නෙ විකිරණවේදය. ඇයි එවැනි ක්ෂේත්රයක් තෝරගත්තෙ.
එහෙ සම්ප්‍රදායට අනුව උපාධිය ලබාගත්තට පස්සේ අවුරුදු දෙකක් වැඩ කරන්න ඕන කනිෂ්ඨ වෛද්‍යවරයෙක් හැටියට. සමහර අය කරන්නේ කනිෂ්ඨ වෛද්‍යවරයෙකු ලෙසම කටයුතු කරනවා තමන් කැමති ක්ෂේත්රයක් සොයා ගන්නකම්. මම ටිකක් කල් ගිහින් වෛද්‍ය විද්‍යාව තෝරගන්නෙ. කනිෂ්ඨ වෛද්‍යවරයෙක් ලෙස සේවය කළ අවුරුදු දෙක නිමා වුණ හැටියෙම මම අයැදුම් කළා විකිරණවේදී විශේෂඥ පාඨමාලාව හදාරන්න. ඒ විෂය තෝරගන්න හේතුවක් තිබුණා.
වෛද්‍ය විද්‍යාලයේ පළමු අවුරුද්දෙ අපට උගන්වනවා කාය විච්ඡේදනය. මා ඉතාම කැමැත්තෙන් හදාරපු විෂයයක්.
කේම්බ්‍රිජ් විශ්වවිද්‍යාලයේ තිබෙන්නෙ වෙනස්ම ව්‍යුහයක්. අපි නැවතිලා ඉන්න නවාතැනට කියන්නෙ කොලේජ් එක. මේ වගේ කොලේජ් රාශියක් තියනවා. අපේ සියලු අවශ්‍යතා සම්පූර්ණ කරන්නෙ කොලේජ් එකෙන්. ඔවුන් අපි ලෙක්චර්ස් ගිහින් ආපුවහම හවස ටියුට් ක්ලාස් පවත්වනවා. ඒවා කරන්නෙ ඒ ක්ෂේත්රවල ප්‍රවීණයෝ.
මට කාය විච්ඡේදනය ඉගැන්නුවෙ රේ ගොඩ්වින් කියලා රේඩියෝලොජිස්ට් කෙනෙක්. ඔහු අප්‍රමාණ රසවතෙක්. ඔහු රැකියාව හා ජීවිතය සමතුලිතව රැගෙන යන විශිෂ්ට ආකාරය මට අතිශයින්ම ප්‍රිය වුණා. විශේෂඥ වෛද්‍යවරයෙක් වුණාට ඔහු හවසට බෑන්ඩ් එකක ප්ලේ කරනවා. අස්ස කරත්තවලින් රේස් පදිනවා. කැටයම් කපනවා. මධ්‍යකාලීන වාස්තුවිද්‍යා සම්ප්රදාය ගැන හදාරනවා. ඔහු වෛද්‍ය විද්‍යාවට අමතරව විචිත්‍රත්වයෙන් යුතු, ඇසූ පිරූ තැන් සහිත මනුෂ්‍යයෙක්. අපි රැකියාව හැටියට වෛද්‍ය වෘත්තිය කළාට ඒ ක්ෂේත්රයෙන් පිට තිබෙන රසවත් ලෝකයට ආදරය කරන්න පුරුදු වෙච්චි මිනිස්සු. රැකියාව හා ජීවිතය සමබර විය යුතුයි. මං හිතුවා විකරණවේදය තමයි වෛද්‍ය වෘත්තියෙදි මගේ විෂය ක්ෂේත්රය විය යුත්තෙ කියලා.
මං තෝරගත් පශ්චාත් උපාධි පාඨමාලාව අවුරුදු පහක්. මම හයවෙනි අවුරුද්දකුත් කළා. ඒ අස්ථි හා සන්ධි පිළිබඳ විශේෂ හැදෑරීමක්. අපි අවුරුදු පහක් පුහුණු වෙන්නෙ රෙජිස්ට්‍රා කෙනෙක් හැටියට. ශික්ෂණ රෝහල් දිස්ත්‍රික් රෝහල් ගණනකට යන්න ඕන අත්දැකීම් ගන්න. හයවැනි අවුරුද්ද මගෙ විෂය දැනුම ගන්න අස්ථි හා විකලාංගවේදය සම්බන්ධ විශේෂ රෝහලක් ඔස්වෙස්ට්රි. රොබට් ජෝන්ස් ඇන්ඩ් ඇග්නස් හන්ට් රෝහලේ වැඩ කළා.
ඔබ මේ රටට උරුම සම්පතක්. ඔබ නිර්මාණය වන්නේ මේ රටින්. රට වෙනුවෙන් ඔබේ දායකත්වය කුමක් ද?
දැන් මං ආසම දේ උගන්වන එක. මට මගේ රට වෙනුවෙන් මගෙ දැනුම බෙදා දෙන්න අවස්ථා කීපයක් ලැබුණා. මෙහෙ විකිරණවේදය සාමාන්‍ය උපාධියක්. උදාහරණයක් වශයෙන් හිස, උරස, සන්ධි ආදී වශයෙන් වෙන් වෙන් අංශ සම්බන්ධ විකිරණවේදය සම්බන්ධ විශේෂඥ දැනුමක් අරගත්තු වෘත්තිකයො නෑ. මට මගෙ රටින් ආරාධනාවක් ලැබුණා ඔවුන් එක්ක දැනුම බෙදා ගන්න. මං ඒ කටයුත්ත කළා. මේ අවුරුද්දේ මං නැවත ඇවිත් එවැනි දේශනයක් තියනවා.
අපේ රටේ ඉන්නෙ ඉතාම දක්ෂ පිරිසක්. දැනුම පිළිබඳ පිපාසෙකින් පෙළෙන පිරිසක්. උගන්වන්න එන හැම අවස්ථාවකම මං මගෙ රටින් ඉගන ගන්නවා. අඩු වියදමකින් විශාල රෝගීන් පිරිසක් කළමනාකරණය කරන්නෙ කොහොමද කියලා ප්‍රායෝගිකව පෙන්වන විශිෂ්ට ආදර්ශයක් ලංකාවෙ තියනවා. බටහිර මේ වගේ ආදර්ශ හැදෑරිය යුතුයි.
ඔබ තවමත් සිංහල සාහිත්‍ය සේවනය අත්හැර නැහැ. නිර්මාණකරණය අත්හැර නැහැ.
සත්කුළු මතින් ගීතය නිර්මාණය වෙන්නෙ අරුණ ගුණවර්ධන, හර්ෂණ දිසානායක, කියන දක්ෂ තරුණ නිර්මාණ්කරුවන් දෙදෙනාගේ ඍජු දායකත්වයෙන්. එංගලන්තෙ ජීවත්වෙන මට මගෙ අම්මා අසනීප වෙලා කියලා දැනගෙන ඒ මොහොතෙ ඇයව දකින්න එන්න බැරි වීම නිසා උපන් කම්පයෙන් ලියැවුණු කවිපෙළක් තමයි අරුණ සහ හර්ෂණ ගීතයක් බවට පරිවර්තනය කළේ. ඔවුන්ගේ නිර්මාණ දායකත්වය අතිශයින්ම විශිෂ්ටයි. වෘත්තීමයයි. අම්මාට අපව අවශ්‍ය මොහොතෙ ඇයව බලන්න මවු රටට එන්න බැරි වීමේ යථාර්ථය පිළිබඳ කම්පනය විදේශගත වෙලා ඉන්න බොහෝ දෙනෙකුට දැනෙනවා. මේ ගීතය ඔවුන් මේ තරම් තදින් වැලඳගන්න ඇත්තෙ ඒ නිසා.
ඔබගේ නිර්මාණ ඇතුළත් අරුණෝද සීයක් කවි පොත පසුගිය 27 දා කොළඹ සරසවියෙදී එළි දැක්කා. මේ ඔබේ පළමු කවි පොත ද?.
ඔව්. අරුණෝද සීයක් කෘතිය ඇතුළෙ සංගෘහිත වෙලා තිබෙන්නෙ අවුරුදු ගණනාවක් තිස්සෙ ලියැවුණ කවි එකතුවක්. එය පොතක් ලෙස පසුගිය 27 දා එළි දැක්කා. එය මා සිංහල කවියට කරන ගෞරවය හා ආදරය පිළිබඳ පුංචි ප්රකාශනයක් පමණයි.
ඔබ පුරා වසර තිහක් වැඩිපුරම ගනුදෙනු කළේ ඉංග්‍රීසි භාෂාව එක්ක. එහෙත් ඔබ අතිශය විචක්ෂණ විදිහට සිංහලය වහරමින් සිංහලෙන් නිර්මාණකරණයේ යෙදෙනවා.
අපේ රටේ බුද්ධි ප්රබෝධයක් ඇති කළ ගෞරවනීය විද්වත් පරම්පරාව ද්වීභාෂික අය. ඔවුන් ලෝකය එක්ක විචක්ෂණ විදිහට ජාත්‍යාන්තර භාෂාවලින් ගනුදෙනු කරන අතරෙ ඒ අත්දැකීමෙන් සිංහල සාහිත්‍යය පෝෂණය කළ අත්දැකීම් අපට තියනවා. මේ පොළොව එක්ක හැදුණ, සිංහල භාෂාවෙන් තමන්ගේ සංස්කෘතික රිකල්පනය ගොඩනඟාගෙන මේ සංස්කෘතිය තුළ සමාජානුයෝජනය වුණු, විශේෂයෙන්ම සිංහල භාෂාවෙන් මූලික අධ්‍යාපන ලබපු කෙනෙකු විදේශ ගතවූ විට මවු භාෂාව වැහැරීමේ ශූරත්වය හීන වෙනවා කියලා හිතන්නවත් එපා.
මගෙ තාත්තා විශ්වවිද්‍යාල ගුරුවරයෙක්. ඔහු කොළඹ විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන පීඨයේ හිටපු පීඨාධිපති මහාචාර්ය ඩබ්.ජී. කුලරත්න. එතුමා හරිම සුන්දර රසවතෙක්. අම්මා විද්‍යා ගුරුවරියක්. ඇය සාහිත්‍ය කෘතියක් තරම් පිරුණු කෙනෙක්. ඇය ආඩම්බරයෙන් කියන්නෙ ඇයගේ පුතා වෛද්‍යවරයෙක් කියලා නෙමෙයි. ඔහු සංවේදී නිර්මාණකරුවෙක් කියලා. ඔවුන් මගේ ළමා කාලය පුදුම විදිහට අර්ථවත් කළා.
මගේ බිරිය බිනීෂා අද මට නිර්මාණකරණයට අවශ්‍ය පරිසරය හදලා දෙනවා. ඔවුන් මට මගෙ ජීවිතේ වටිනාම දේ දීලා තියෙනවා.
ජානක ලියනආරච්චි