සරණංකර හිමිගේ ශාස්ත්‍රීය මැදහත්වීම ගැන කියැවීමක් | සිළුමිණ

සරණංකර හිමිගේ ශාස්ත්‍රීය මැදහත්වීම ගැන කියැවීමක්

මේ ලිපියෙන් මා උත්සාහ කරනුයේ වැලිවිට සරණංකර සංඝරාජ හිමියන්ගේ (1698 - 1778) ශාස්ත්‍රීය මැදිහත්වීම යම් ආකාරයක කියවීමකට ලක් කිරීමයි. එහිදී මේ වන විට විශාල වශයෙන් උන්වහන්සේ හා උන්වහන්සේගෙන් ඉටු වූ ශාස්ත්‍රීය කාර්ය පිළිබඳ ලියැවී ඇති තොරතුරු සලකා බැලෙතත් ඒවා නැවත ගෙනහැර පෑමට අදහස් නොකරමි.

සරණංකර හිමි හා එ් යුගය පිළිබද ලියැවී ඇති ප්‍රධාන ශාස්ත්‍රීය ලේඛන ගෙන බලන විට පෙනී යන්නේ සැලකිය යුතු විස්තර මෙන් ම යම් ආකාරයක චිත්‍රපටයක් ද උන්වහන්සේ ගේ කාර්ය භාර්ය පිළිබඳ සිදුවී ඇති බවයි. එනිසා ප්‍රථමයෙන් ඒවායෙන් කිහිපයක් පමණක් නම් වශයෙන් ගෙනහැර පාමි. වඩාත් විස්තරාත්මක මෙන් ම ස්වාධීන විචාරාක්ෂියකින් ද යුතුව ලියැවුණු ‘සරණංකර සංඝරාජ සමය’ (1960) රචනා කරන ලද්දේ යම් ආකාරයක වාම නැඹුරුවක් සහිත පර්යේෂකයකු වූ පණ්ඩිත කොටගම වාචිස්වර හිමියන් විසිනි. හුදෙක් ශාසනාලයෙන් කරන වර්ණනා වෙනුවට මැදිහත් විචාරයක නිරත වීම තම අභිප්‍රාය වූ ආකාරයක උන්වහන්සේ තම හැඳින්වීමේ දී මෙසේ පවසති.

“අවසාන පරිච්ඡේදයෙන් දැක්වෙන සඟ රජුගේ දුබලතා ගැන මා කෙරෙහි උරණ නොවන්න. සඟ රජ පුහු දුන් හෙයින් සර්වතෝභද්‍ර යැයි කාට කිව හැකි ද? මා මේ පොත ලියූවේ අන්ධ භක්තියෙන් නොව විවේචනාත්මකවයි.”

වියතුන් දුටු සඟරජ හිමි

වාචිස්සර හිමිට වඩා වෙනස් ප්‍රවේශයක් ගන්නා ප.බ.ජී. හේවාවසම් තම ‘මාතර යුගයේ සාහිත්‍ය‍ධරයන් හා සාහිත්‍ය නිබන්ධන’ (1966) කෘතියේ දෙවන පරිච්ඡේදය ‘සරණංකර සංඝරංජයන් වහන්සේ’ යනුවෙන් කරන අතර (3) සිට (6) දක්වා පරිච්ඡේද සඝරජුගේ ගෝල පරම්පරාවත්, ඔවුන්ගේ මෙහෙවරත් සඳහා වෙන් කෙරෙයි. වැදගත් විස්තර බහුල මේ පරිච්ඡේද සඟ රජුගේ ශාස්ත්‍රීය ප්‍රබෝධය දකුණු ලක පැතිර ගිය ආකාරයත්, මාතර යුගය නිර්මාණය වීමත් ගැන විශේෂ අවධානය යොමු කරයි.

විශ්වවිද්‍යාල ක්ෂේත්‍රයේ මෑතකදී විසූ විරල පර්යේෂකයකු වන විභාවි විජයශ්‍රීවර්ධන ලියා පළ කළ ‘සිංහල භාෂාධයාන සම්ප්‍රදාය හා පාඨ්‍ය ග්‍රන්ථ’ මහනුවර යුගය (2000) සඟ රජුගේ අධ්‍යාපන ක්‍රමවේදය එය ශාස්ත්‍රීය ප්‍රබෝධයක් බවට පත්වූ ආකාරය මොනවට පිළිබිඹු කරන්නකි. එක් එක් ග්‍රන්ථවල භාෂා විලාසය උදාහරණ ලෙස ගනිමින් එ් යුගයේ කෘති ව්‍යුහ විභාගයට ලක් කළ කෘතියකි, විභාවිගේ කෘතිය. මීට අමතරව ලංකා විශ්වවිද්‍යාලයේ ඉතිහාසය කාණ්ඩ (3) ට කේ.එන්.ඕ. ධර්මදාස ලිවූ ලිපිය, ඩී.ඊ. හෙට්ටිආරච්චිගේ සුප්‍රකට (මාතර යුගය) පිළිබඳ ලිපිය මෙහිලා වැදගත් ය.

මෑත භාගයේ තිස්ස කාරියවසම් හා ඔලගන්වත‍්තේ චන්දසිරි හිමි වැනි පර්යේෂකයන් මාතර යුගය හා කොළඹ යුගය අතර විකාශනීය අවස්ථා පිළිබඳ පර්යේෂණ ග්‍රන්ථ පළ කළ බව පෙනේ. තිස්ස කාරියවසම් ලියූ (Religious Activities and the Development of a New poetical tradition in Sinhalese (1852 - 1906) (2009) කෘතිය, ඔලගන්වත්තේ හිමිගේ ‘නූතන සිංහල පද්‍ය සාහිත්‍යයේ පසුබිම’ (2009) කෘතිය හා උන්වහන්සේ මෑතකදී පළ කළ ‘Nineteenth Century poetical works and Social Institutions of SriLanka’ (2018) යන කෘති මෙයට උදාහරණ ලෙස සැලකිය හැකිය. ගන්දර පී.ඩී.එස්. වීරසූරිය ජයන්ත අමරසිංහ වැනි විවිධ යුග හා ප්‍රවණතා නියෝජනය කරන විචාරකයන් රැසක් මේ යුග අතර සම්බන්ධය පිළිබඳ තම අවධානය යොමු කර තිබෙන බව පෙනේ.

සරණංකර මෙහෙවර

සරණංකර හිමිගේ ප්‍රයත්නය ලෙස හඳුනාගත හැක්කේ 16 වන සියවසට පෙර තිබූ විශේෂයෙන් ම අනුරාධපුර හා පොලොන්නරු යුගවල තිබූ ශාස්ත්‍රීය ප්‍රබෝධය නැවත ඇති කිරීමයි. ඒ සඳහා එම යුගවල කෘති පරමාදර්ශ ලෙස සලකා කටයුතු කළ බව පෙනේ. පාලි, සිංහල හා සංස්කෘත ඇතුළත් ශාසනික ප්‍රබෝධය උන්වහන්සේගේ මෙම පරමාදර්ශවල මූලික පදනම සකස් කළ අතර ශාසනය හා රාජ්‍යය අතර සම්බන්ධය ගොඩනැඟීම හා ශාසනය ස්ථාපිත කිරීමට අවශ්‍ය උපසම්පදා ආදිය සඳහා වෙහෙසීම මෙම ප්‍රයත්නයේ කොටස් ලෙස සැලකිය හැකිය.

‍බොහෝ විචාරකයන් මෙම ප්‍රයත්නය බිඳ වැටුණු පරමාදර්ශ නැවත ගොඩනැඟීම හා ස්වර්ණමය යුගය වෙත නැවත ගමන් කිරීම යනාදී ලෙස හඳුන්වා ඇත. එය සත්‍යයකි. එහෙත් මෙම ප්‍රයත්නය විමසීමේදී අමතක නොකළ යුතු ඓතිහාසික කරුණු කීපයක් තිබෙන බව මගේ අදහසයි.

එනම්, ගම්පොළ යුගයේ සිට ම සිංහල රාජධානිවල පෙර පැවති ස්ථාවර තත්වයන් වෙනස් වී ප්‍රබල රජවරුන් බිහි නොවීමත් ගොවිතැනට වඩා අන්තර්ජාතික වෙ‍ෙළඳාම පෙරට ඒමත්ය. එම තත්වය තුළ සිංහල රාජ්‍යයේ වාර්ගික අනන්‍යතාව සැලකිය යුතු මට්ටමින් වෙනස් වූ අතර සන්දේශ, ප්‍රශස්ති ආදී විවිධ නව සාහිත්‍යංග ශාස්ත්‍රීය සම්ප්‍රදායට එක්වන්නට විය. සවැනි පරාක්‍රමබාහු (1412 - 1467) සමයේ රාජධානිය - එක්සත්ව හා ප්‍රබලව පැවතියත් කෝට්ටේ යුගයේ සාහිත්‍ය සම්ප්‍රදායෙන් පෙනෙන්නේ මිශ්‍ර වූ අනේක විධ සාහිත්‍ය සම්මිශ්‍රණයකි.

එසේම විශේෂයෙන් විදග්ධ කාව්‍යය හා ජනකාව්‍යය සම්ප්‍රදාය අතර මනා සම්පර්කයන් කෝට්ටේ යුගයේ සිදු වූ අතර මෙය සිංහල කවිය යම් ආකාරයක ජාත්‍යන්තරකරණය වීමත් හා භාෂාමය රැඩිකල්කරණයකට ලක්වීමක් ලෙස පෙන්වා දිය හැකිය. අලගියවන්න කිතු දහම වැලඳගැනීමත් සමඟ මේ තත්ත්වය තවත් ඉදිරියට ගමන් ගත් අතර කන්ද උඩරට ද්‍රවිඩ බලපෑම මෙම සම්මිශ්‍රිත තත්ත්වය තවත් මානයකින් තීව්‍ර කළේය.

පෘතුගීසි, ලන්දේසි ආක්‍රමණිකයන් මෙරට සමාජයට සංස්කෘතියට හා සාහිත්‍යයට විශාල බලපෑමක් එල්ල කරමින් සිටි යුගයකි ඒ. 16 වන සියවසින් පසු සාම්ප්‍රදායික විචාරකයන් අන්ධකාර යුගය ලෙස සලකතත් වඩා පුළුල් අර්ථයෙන් එම යුගය වඩා සම්මිශ්‍රිත තත්ත්වයත් සිංහල සංස්කෘතිය වෙතට රැගෙන ආ යුගයක් ලෙස ද සැලකිය හැකිය. පළමු විමලධර්මසූරිය, දෙවන රාජසිංහ වැනි රජවරුන් චතුර ලෙස බටහිර භාෂා වැහැරූ අතර උඩරට රජ මාලිගය පවා ඒකමතික ස්ථානයක් නොවීය. බුදුදහම තුළට විශාල ජන ආගමික බලපෑමක් පැමිණි ආකාරය මේ යුගය ගැන ලියන විචාරකයන්ගේ අවධානයට ලක් වී තිබේ. ගණනාත් ඔබේසේකර වැනි පර්යේෂකයන් පෙන්වා දෙන්නේ වැදි - ජන මිශ්‍රණය, විවිධ ජන වර්ගවල මිශ්‍රණය පැමිණි ආකාරයයි. නානායක්කර් රජවරුන් පවා බෞද්ධ කාව්‍ය රචනා කිරීමෙන් පෙනී යන්නේ දකුණු ඉන්දියානු බලපෑම බුදුදහම සමඟ සම්මිශ්‍රණය වූ ආකාරයයි.

සරණංකර යුගයේ බස

එහෙත් එබඳු සම්මිශ්‍රිතයන් පැවතිය ද සිංහල මහා සම්ප්‍රදාය හා එයට පසුතලය සකසන ශක්තිමත් රාජ්‍යයක් හා ශාසනික සම්ප්‍රදායක් නොතිබීම බෞද්ධ භික්ෂූන්ට ගැටලුවක් විය. සරණංකර හිමිගේ ප්‍රයත්නයෙන් පෙනී යන්නේ එබඳු ප්‍රයත්නයකට නායකත්වය දීමයි.

ඓතිහාසික, සංස්කෘතික හා ආගමික අර්ථවලින් මඳක් ඔබ්බට ගොස් සරණංකර හිමිගේ ප්‍රයත්නය විමසන්නේ නම් වාග් විද්‍යාව ඒ සඳහා සප්‍රයෝජනවත් විෂයයකි. භාෂාවේ ඉතිහාසය හා ඒ හා සබැඳි විවිධ සාධක පිළිබඳ සාකච්ඡා කිරීමේ දී මේ යුගය දක්වන විශේෂ වැදගත්කම ම.ව. සුගතපාල ද සිල්වාගේ අවධානයට ලක් වී තිබෙන ආකරය භාෂා විෂයයක ලිපි නම් ග්‍රන්ථයෙහි ඇතුළත් ඇතැම් ලිපිවලින් පෙනී යයි. මෙහිදී සුගතපාල ද සිල්වා උත්සාහ දරන්නේ සරණංකර හිමිගේ යුගයට අයත් පතපොත පිළිබඳ භාෂා ඉතිහාසය තුළ පදනම් වෙමින් විශ්ලේෂණයක නිරත වීමයි. ඔහුගේ එක් මූලික තර්කයක් ලෙස පෙනී යන්නේ මේ යුගයේ දී කටවහර විශාල වශයෙන් සිංහල ලේඛනයට පිවිසුණු ආකාරය පිළිබඳවය. එක් අතකින් සරණංකර හිමියන්ම ලියූ ව්‍යාඛ්‍යානවල සංස්කෘත බහුල විදග්ධ භාෂාවක් පවතින අතර වෙනත් බොහෝ ලේඛනවල අවිධිමත් ලේඛන වහරක් - විශේෂයෙන් ම කටවහරට නැඹුරු වූ වහරක් දැකිය හැකිය.

මේ පිළිබඳ උදාහරණයක් ගෙන බලමු.

“සතර සංවර සීලය, හෙරණ සිඛ, දින චරියාව, සෙඛියාව, සිල් වොලොගන්නා සූතිස් යොධයන’ හා ශීලානිසංස, කාමයෙහි ආදීනව, ධම්පියා සන්නේ තෙල් කටාහ ගාථා සන්නේ කියවනවාය. ශතක පොත් කියා නිම වුණාම උගන්ට පුළුවන් අයට නිඝණ්ඩුවැ ධාතු පාඨය, බාලාවතාරය, පද සාදනය කියවමින් ව්‍යාකරණ වැල්ලේ ලියවමින්, නාමය හා ලිංගත්‍රය සප්ත විභක්තියේ ඒක වචන බහු වචන තේරෙන ලෙසට රෑ දාවල් බොහෝ සේ උදාහරණ යොදා, අස්වනවාය.”

සංඝරාජ සාධු චර්යාව සරණංකර හිමිගේ අනුශාසනා වට්ටෝරුව පොතේ මෙසේ සඳහන් වෙයි.

“පොහොයෙන් පොහොයෙහි කළ වරද විචාළ ද නොසඟවා කීමය. වරදක් කළ විටෙක ස්වාමීපයෙහි සිටි යම් කෙනෙකුන්ට දන්වා ධර්මාන්විතව දඬුවම් විඳීමය.”

යථෝක්ත කෘතිවල භාෂා විලාසය - විශේෂයෙන් ම වාක්‍ය රටාව බෙහෙවින් ම කට වහරට සමීප වන බව කිව හැකිය. සුගතපාල සිල්වාගේ ද අවධානයට මෙය ලක්වූ බව පෙනේ. එහෙත් මීට ප්‍රතිවිරුද්ධව සඟරජ හිමි හා ගෝලයන් ව්‍යාඛ්‍යාන කෘතිවලදී යම් කෘත්‍රිම ස්වභාවයක් සහිත සංස්කෘත බහුල භාෂා ශෛලියක් උපයෝගී කොටගත් ආකාරය දැකිය හැකිය.

මේ අනුව සරණංකර යුගය භාෂාවේ ද්විත්ව ස්වරූපයක් ක්‍රියාත්මක වූ යුගයක් ලෙස හඳුනා ගැනීමට සිදුවේ. ජන ඇදහිලි, ජන ශ්‍රැති විද්වත් සමාජය තුළට කාවැදීම නිසා ජනබස විශේෂයෙන් ම ලිහිල් කටවහර ද භාෂාව තුළට ව්‍යාකරණ සංස්කෘතිය තුළට පිවිසි බව පෙනේ. විභාවි ශ්‍රී විජයවර්ධන මෙය සඳහන් කරන්නේ “ගද්‍ය ලේඛනයෙහි බෙහෙවින් යොදා ගැනුණේ සමකාලින කථා ව්‍යවහාරයට ආසන්න භාෂා විලාසයකි.” 89 පිටුව - සිංහල භාෂාධ්‍යයන සම්ප්‍රදාය හා පාඨ්‍ය ග්‍රන්ථ යනුවෙනි.

එනමුත් එය සකස් නොවූ අවිධිමත් කටවහරක් බව ද‍ පෙනේ. විල්බාගෙදර මොහොට්ටාලගේ කෘතියකින් උපුටා ගත් කොටසක් මෙසේ ය.

“මේ නැව ගඟින් පිටත්ව යන විට පිට්ටපොල මොහොට්ටාල අලාබ උනාය. මේ මොහොට්ටාලට අයිති පිලි මිල මුදල් ආවුද මේ සෑම දේ පළමුවෙනි වරේ මා සමඟ ගොසින් ලංකාවට නෑවිත් හැංගිලා හිටිය නන්තඹුරේ ගණින් වහන්සේට ගන්ටඕනෑය කියා රාත්‍රියක් නිදි නැතුව සබ කිව්වා ය.”

‍ෙම් අනුව වාග් විද්‍යාත්මකව මේ යුගය දැකිය හැක්කේ සිංහල භාෂාවේ ද්විත්ව ස්වරූපයක් වර්ධනය වූ ඓතිහාසික අවස්ථාවක් ලෙසයි. කටවහර, ලිඛිත වහර ලෙස පවතින වහර දෙක ලේඛන කලාව තුළ ද්වින්ධ ලෙස යෙදෙන අවස්ථාවක් ලෙස මෙම යුගය හඳුනාගත හැකිය.

සංස්කෘතික භාෂා ප්‍රබෝධය

1976 දී ලන්ඩන් සරසවියේ සිදු කළ ‘සිංහල ශුද්ධෝත්තමවාදී ව්‍යාපාරය’ (The puristic Movement in Sinhales) කෘතියේ ඒ. ආර්. ගුණසේන පෙන්වා දෙන්නේ සරණංකර යුගය සිංහල භාෂා ශුද්ධෝත්තම වාදයේ පළමු යුගය බවයි. එහිදී ගුණසේන සරණංකර හිමි ගැන පවසමින් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික ව්‍යාකරණ නීතිරීති හා සම්භාව්‍ය සිංහල යෙදුම් යොදාගත් ආකාරයයි. මෙම “Classical Sinhalese idiom” යන්න සඳහා උදාහරණ පෙන්වන ඔහු පූජාවලිය වැනි කෘතියකින් සරණංකර හිමි තම කෘති සඳහා ලැබූ ආභාසය සංසන්දනාත්මක උදාහරණ වලින් පෙන්වා දෙයි. ඒ අතර ම ඔහු පෙන්වා දෙන්නේ සරණංකර හිමි කිසිවිටකත් දෛනික වහරෙන් ලිවීමට එරෙහි නොවූ බවයි.

එහෙත් සරණංකර හිමි ඇරඹූ සිංහල භාෂා සංස්කෘතකරණය 19 වන සියවස අග භාගයේ දී හා 20 වන සියවසේ මුල් භාගයේ දී විවිධ පඬිවරුන් විසින් තම විෂය ක්ෂේත්‍රවල වර්ධනය කළ ආකාරය ඔහුගේ අවධානයට ලක්වෙයි. මෙසේ බලන විට මේ ස්වරූපය ද එක්තරා ග්‍රන්ථාගත භාෂා ශුද්ධෝත්තම ව්‍යාපාරයක් යැයි සැලකූ බව පෙනේ.

සරණංකර හිමිගේ පුරෝගාමී ප්‍රයත්නය දකුණු ලක පැතිරී ගියේ යම් රැඩිකල් ස්වරූපයකින් බව පෙනේ. ඒ සඳහා මාතර යුගය යන විශේෂ අනන්‍යතාව නිර්මාණය වූයේ එහෙයින් බව සිතිය හැකිය. සරණංකර හිමිගේ සුවිශාල කාර්යභාරය තුළ උඩරටට ම අනන්‍ය වූ දැඩි ආචීර්ණකල්පිත මාදිලියක් තිබූ අතර එය යම් තරමකින් මැකී ගියේ කටවහර ප්‍රබල වීම නිසා බව පෙනේ.

එම ප්‍රබුද්ධතා ව්‍යාපාරය තුළ විශිෂ්ටතාවය මෙන්ම ලාංකේය රාජ්‍යය නිර්මාණය කිරීමේ දී මෙරටට ශාස්ත්‍රවන්තයන් මුහුණ දුන් ප්‍රබලතම අර්බුද ද ගැබ්ව ඇති බව කිව හැකිය. එනම්, දෙමළ භාෂා අධ්‍යයනය හා ඒ හා සම්බන්ධ ශාස්ත්‍රීය සම්ප්‍රදාය බැහැර කිරීමයි. අතීතයෙන් ම මත්වීම හා අතීත සම්ප්‍රදායම උසස් ලෙස සැලකීම එම ගැටලුවයි.

20 වන සියවසේ 56 පෙරළිය දක්වා අප රට දේශපාලන චින්තනය දක්වා පැවති ගැටලුව ද එයයි. එය සමකාලීන බව නොතකන අතීත වන්දනයකි.

සරණංකර යුගයේ විශේෂණ හඳුනාගත යුත්තේ මෙබඳු කියවීමකින් යැයි සිතමි.

Comments